ජනපති විදෙස් නියෝජිතයින් කිහිපදෙනෙකු සමග ද්වි පාර්ශ්වික සාකච්ඡාවක….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමෙරිකා එක්සත් ජනපදයට ගොස් සිටියි.

එම අවස්ථාවේ දී මෙම හමුව සිදුව තිබුණි.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්  පාකිස්තාන අගමැති ශෙබාස් ශරීෆ් මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, ශ්‍රී ලංකා – පාකිස්තාන දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ නායකයෝ ද්වි-පාර්ශ්වික සාකච්ඡාවල නිරත වී ඇත.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් (Anthony Albanese) මහතා අතර ද ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී ඊයේ (24)  පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගනිමින්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහීදි නායකයෝ සාකච්ඡා කර තිබේ.

මෙහිදී දෙරට අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මෙන්ම, නව ආයෝජන සහ වෙළෙඳපොළ අවස්ථා පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

මේ අතර,   ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා (Marcelo Rebelo de Sousa) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී  පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබු අතර නායක දෙපළ අතර සුහද කතාබහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

එහිදී,  ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර වෙළෙඳ සහ සංචාරක සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවන් සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

මේ අතර අද දිනයේ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් මහතා අතර ද හමුවක් තිබීමට නියමිතය.

ජනපති සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිතවරයා අතර හමුවක්….

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත, එක්සත් ජනපදය විසින් ඉන්දියාවට නම් කරන ලද තානාපති සහ ධවල මන්දිර ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා අතර හමුවක් එ.ජ. වේලාවෙන්  (23) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි.

 මෙම හමුවේදී වෙළෙඳ, වාණිජ, සංචාරක සහ ආයෝජන ඇතුළු දෙරටට වැදගත් ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු වූ අතර එම ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා විය.

 පෙර නොවූ විරු ආර්ථික අර්බුදයකින් පසු, ශක්තිමත් ජනවරමක් සහිත නව රජයක් ලෙස, ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා වන ප්‍රමුඛතාවය මත ඇමරිකා එක්සත් ජනපදය සමඟ ක්‍රියාකාරී මෙන්ම වඩා සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට බලාපොරාත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සදහන් කළේය.

 විනිවිදභාවය සුරක්ෂිත කිරීම ඇතුළු ජනතාවගේ අනාගතය වෙනුවෙන් ආර්ථිකයේ දිගුකාලීන ස්ථාවරත්වය සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් ඇතුළුව රජය විසින් ගනු ලැබූ පියවර  පිළිබඳවද ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

 දෙරට අතර වෙළෙඳ අසමතුලිතතාවය විසඳීම සඳහා ඵලදායී සහ සාධාරණ විසඳුම් සොයා බැලීම, ද්විපාර්ශ්වික වෙළඳාමට බලපාන බාධක අවම කිරීම සහ සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ සබඳතා සහතික කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකා නියෝජිතයින් එක්සත් ජනපද බලධාරීන් සමඟ පවත්වන සාකච්ඡාවන්හි ප්‍රගතිය පිළිබදව ද මෙහිදී දෙපාර්ශ්වය විසින් සමාලෝචනය කරන ලදී.

 මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්  එක්ව සිටියහ.

ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්….

හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

මර්වින්ගේ නඩුවක් විභාගයට දින දෙයි….

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින්  හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය.

ඒ අනුව අදාළ නඩුවේ විභාගය නොවැම්බර් මස 17 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කර ඇත.

මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්තියට ලබා දුන්නේය

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව නොවැම්බර් මස 17 වනදා විභාගයට ගැනීමට තීරණයම කළේය.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

තිස්ස කුට්ටිට සාගරගෙන් දැඩි අවවාදයක්….

ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද සිදුකර තිබේ.

දුරකථන මාර්ගයෙන් මෙම අවවාදය සිදුකර ඇති බව පැවසෙයි.

ඒ, තිසකුට්ටි ආරච්චි මෑත කාලීනව සිදුකළ බව කියන මතභේදාත්මක ප්‍රකාශ පක්ෂය තුළ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කර ඇති බවට සඳහන් කරමිනි.

ඊට ප්‍රතිචාර වශයෙන් පොහොට්ටුව මෙම දැඩි අවවාදය සිදුකර ඇති බව පැවසෙයි.

හෙට (25) දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට පක්ෂ කාර්යාලයට කැඳවීමක් සිදුකර ඇති බවද වාර්තා වෙයි.

මේ අතර පසුගියදා අනුරාධපුරයේ පැවැති රැස්වීමක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පවසා තිබුණේ,

“මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මං මේ රටේ නිල නොලත් ජනාධිපති. මං එයාගේ ළඟම මිත්‍රයා..ළඟම හිතවතා. එහෙමයි කියලා මට ගිහින් කියන්න බැහැ. අරක දෙන්න මේක දෙන්න කියලා. ලංකාවේ වැඩිම ප්‍රතිශතයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනකොට අන්න එයාට ගිහින් කියන්න විතරයි තියෙන්නේ.. අනුරාධපුරයේ මිනිස්සු ඔයාට සැලකුවා කියලා. අනුරාධපුරයේ මිනිස්සුන්ට දැන් ඔයා සලකන්න කියලා.”

සම්පත් මනම්පේරි රිමාන්ඩ්….

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි සම්පත් මනම්පේරි නමැත්තා අද (23) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වලස්මුල්ල මහෙස්ත්‍රාත් නියෝග කර තිබේ.

ඒ අනුව ඔහු මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එළැඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කෙරුණි.

මීට අමතරව අදාළ ඉඩමේ තිබී හමුවූ අවි ආයුධ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි නමැත්තා ඔක්තෝබර් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කරන ලෙසද වලස්මුල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පසුගිය 17 වනද දහවල් සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාර වුණි.

පසුව ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ දින 07ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනෙවිය අවසර ලබාදී තිබුණි.

වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක් පත් කෙරේ….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සඳහා වැඩබලන අමාත්‍යවරුන් තිදෙනෙක්ද එම සංචාරයට එක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා මෙලෙස එක් වැඩබලන අමාත්‍යවරයෙක් පත් කරනු ලැබ ඇත.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද, ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු , විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද පත් කර තිබේ.

මහජන ආරක්ෂක ඇමතිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්…..

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (22) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට මහජනතාව විසින් ලබාදෙන තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු මත ඒ බව අනාවරණය වෙමින් පවතින බවය.

පසුගිය දේශපාලන සංස්කෘතිය හේතුවෙන් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය වර්ධනය වී ඇති බවත් වත්මන් ආණ්ඩුව මේ වනවිට ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, තංගල්ලේ දී විශාල මත්ද්‍රව්‍ය වැටලීම් තුනක් අද දිනයේ දී සිදුකර ඇති බව ද පැවසීය.

“අපි රටේ ජනතාවට විශේෂයෙන් කාරණයක් කියන්න ඕනේ. විශේෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් දේශපාලන සබඳතා තිබෙන බවට මේ වනවිට යම් යම් තොරතුරු අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දකුණේ දේශපාලනඥයින් මෙයට සම්බන්ධ බවට. විශේෂයෙන් මහජනතාව මේ වනවිට තොරතුරු ලබාදෙමින් තිබෙනවා. පොලීසිය සක්‍රීයව රාජකාරිය ඉටුකරමින් ඉන්නවා. බුද්ධි අංශ තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. මහජනතාවට අයාචනා කරනවා ඔබ දන්නා තොරතුරු පොලීසියට ලබාදෙන්න. ඒ තොරතුරු සහ පුද්ගලයාගේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා.”

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සහ අනෙක් පාතාල අපරාධකරුවන්ගෙන් මේ වනවිට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

මනම්පේරිට නවාතැන් දුන් CEB සේවකයෙක් අත්අඩංගුවට….

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින සම්පත් මනම්පේරිට නවතාන් පහසුකම් සැපයු බවට වූ චෝදනාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු කළුතර ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී බැංකු කාඩ්පත් කිහිපයක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

යෝෂිතට එරෙහි නඩුව යළි කැඳවීමට දිනයක්….

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 15 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී සිටියේය.

ඉන් අනතුරුව නඩුව ඔක්තෝබර් මස 15 කැඳවීමටද නියම විය.

රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දෙපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.