ජනතාවට වග කියන සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමති කියයි…

ජනතාවගේ සුවතාවය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය භාර ගන්නා සේම ජනතාවට වගකියන සෞඛ්‍ය සේවාවක් මෙරට ස්ථාපිත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමිනි.

රජයේ සුවපත් රටක් උදෙසා නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂය තුළදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන 100ක් ජනගත කිරීමට නියමිත අතර ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ලෙසද නම් කර තිබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ අතීතයේ පටන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග රැසක් පැවතිය බවත් එම අභියෝග ජයගෙන සුවතාවට පවත්වාගෙන යාමේ අභියෝගය ජය ගැනීමට කටයුතු කරන බවත්ය.

මේ සඳහා සියලු ප්‍රජාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය පවද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයද ලබා දෙමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ජනතාවට පහසුවෙන් සෞඛ්‍ය සේවා ලබා දීමට කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.

මෙම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන තුළ බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර සහන, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුප්ථාපන සේවා මෙන්ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායනාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමක සෞඛ්‍ය සත්කාර සේවා රාශියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම මෙම සෑම මධ්‍යස්ථානයකටම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමටද නියමිත අතර ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මූලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයන්ට සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආවේනික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතුවන සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන්ද ස්ථාපිත කිරීමට යෝජිතය.

 ගාල්ල – රවීන්ද්‍ර

ජනපති අනුර හා ප්‍රංශ ජනපති අතර හමුවක්…

BBNJ සාමාජිකත්වයට 60වන රටත් එක්වීම සැමරීම සඳහා නිව්යෝර්ක් හිදී පවත්වනු ලැබූ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වි තිබේ.

අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්වූ අවස්ථාවේදී මේ සඳහා සහභාගි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුම මෙලෙස ‘BBNJ’ ලෙසින් හඳුන්වනු ලැබේ.

ඒ සඳහා රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ප්‍රංශ රජය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන් රැසක් ඒ සඳහා එක්ව ඇත.

මෙම ගිවිසුමට එක් වූ 58වන සාමාජික රට ශ්‍රී ලංකාව වන අතර, 2025 සැප්තැම්බර් 16වනදා ඊට අදාළ ගිවිසුමට එළැඹ තිබේ.

ලෝකයේ සාගරවලින් 2/3ක් ආවරණය කරන මෙම ගිවිසුමෙන්, සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, තිරසාර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශවලට එම ජෛව විවිධත්ව ප්‍රතිලාභ බෙදා ගැනීමට කටයුතු කෙරේ.

මෙම ගිවිසුම 2026 ජනවාරි 17 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.

ජනපතිගේ ජපාන සංචාරය අදින් ඇරඹේ….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.

ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම සංචාරය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය.

තවද ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබද අවධාරණය කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමට නියමිතව ඇත.

ඊට අමතරව ‘එක්ස්පෝ 2025 ඔසාකා’ ප්‍රදර්ශනය සඳහා ද ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා පසුගියදා අමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එහි සිට මෙම ජපාන සංචාරය සිදුකරනු ලැබීය.

රාජිතට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව දැනුම්දෙයි….

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම ඊයේ (26) කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණයට දැනුම් දුනි.

මෙම නඩුකරය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවා තිබුණි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය නම් කර තිබේ.

ඔවුන් මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදාහැර ඇත.

මෙම නඩුකරය යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට නියමිතය.

වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම ඉවතට….

නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් නම් ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් 2020 වසරේදී ව්‍යාජ බදු ඔප්පුවක් සකසා රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් සිදුකළේ යැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයට චෝදනා එල්ල වී තිබේ.

එම නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම නඩුවේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් සිදු කළේය.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රකාශ කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලදී අනාවරණ වී නොමැති බවය.

නඩුව නැවතත් 2026 වසරේ පෙබරවාරි 27 වැනිදා කැඳවීමට නියමිතය.

අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂගෙන් පෙත්සමක්…..

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එම පෙත්සම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා එහි වගඋත්තරකරු ලෙස නම් කර සිටින අල්ලස් කොමිසමේ අධ්‍යක්වරයාට ලබන 2වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

සම්පත් මනම්පේරිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර…..

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සම්පත් මනම්පේරි නමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) අවසර ලබා දී තිබේ.

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගරගතව සිටියි.

ජනපති අමෙරිකානු සංචාරය නිම කරමින් ජපාන නිල සංචාරය අරඹයි….

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටව ගොස් තිබේ.

ඊයේ (25) රාත්‍රියේ  ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගොස් ඇත.

ජපන් රජයේ ආරාධනයකට අනුව, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටී.

මනුෂට හෙට අල්ලස් කොමිෂන් කැඳවීමක්…..

2023 වසරේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හෙට (26) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙසට කඳවීමක් සිදුකර ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රාජ්‍ය අතර ඇති කරගත් කෘෂිකාර්මික අංශයේ රැකියා වැඩසටහන යටතේ 2023 නොවැම්බර් 05 වන දින අත්සන් කර ඇති ගිවිසුම අනුව මෙරට ශ්‍රමිකයින් ඊශ්‍රායාල් රාජ්‍ය වෙත යැවීම සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ සටහන් කර ගත යුතු බව ලිපියක් මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් 2025.09.08 වන දිනද ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඒ මහතාව කොමිෂන් සභාව වෙත කැදවීම් කල නමුත් ඔහු විදේශ ගතවී සිටීම හේතුවෙන් ප්‍රකාශය ලබා දීම සදහා පැමිණීමට අපොහොසත් වී ඇත.

එබැවින් ඉහත කරුණු සම්බන්ධව ප්‍රකාශයක් ලබාදිම සඳහා හෙට‍ දිනයේ  පෙරවරු 09.30 ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සභාවේ, ජාවත්ත පාර, කැප්පෙටිපොළ මාවතේ පැරණි ජාතික හැදුනුම්පත් කාර්යාල ගොඩනැඟිල්ලේ දෙවන මහලේ පිහිටා ඇති දූෂණ විමර්ශන අංශ iv වෙත පැමිණෙන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.

සත්ත්ව සංගණන වාර්තාවේ ජනතාව දුන් තොරතුරුවලින් සියයට 50ක් ඇත්ත -නියෝජ්‍ය ඇමති නාමල්….

සත්ත්ව සංගණන වාර්තාවේ ජනතාව දුන් තොරතුරුවලින් 50%ක සත්‍යතාවක් පවතින බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි..

අද (26) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු ඉදිරිපත් කළේය.

ආහාර බෝගවලට හානිකරන සතුන් හඳුනා ගැනීමට සහ නිසි අධ්‍යනයක් සිදුකිරීම මෙන්ම ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා සිදුකරන ලද මෙම සත්ත්ව සංගණනය පසුගිය මාර්තු 15 දින දිවයින පුරා සිදුකෙරුණි.

එකම වේලාවකදී සිදුකර ඇති මෙම සංගණනයේදී වඳුරා, රිළවා, මොනරා, දඬුලේනා යන සතුන් පිළිබඳ සමීක්ෂණය සිදුකර ඇති අතර, ප්‍රතිඵල අනුව ජනතාව විසින් ලබා දෙන ලද වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරුවල 50%ක සත්‍යතාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

“ප්‍රතිඵල සත්‍යාපනයේදී තහවුරු වූයේ ප්‍රජාව විසින් ලබා දෙන ලද වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරුවල 50%ක සත්‍යතාවක් පවතින බවයි. ඒ අනුව සමීක්ෂණයේ අදාළ අගයන්හි 50%ක අගය නිවැරදි අගය ලෙස සැලකීමට ආහාර බෝග වගාවන්ට සිදුවන සත්ත්ව හානි අවම කිරීම සඳහා නිර්දේශ සකස් කිරීමේ කමිටුව තීරණය කරන ලදී.”

මෙම නිල වාර්තාවට අනුව රිළවා, වඳුරා, මොනරා, දඬුලේනා යන සතුන් සම්බන්ධ ප්‍රමාණයන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නට විය.

ඒ අනුව,

රිළවුන් – 5,197,517
වඳුරන් – 1,747,623
දඬුලේනුන් – 2,666,630
මොනරුන් – 4,285,745

තවද, මෙම සමීක්ෂණයට අදාළ සතුන් නොසිටීම හේතුවෙන් යාපනයේ ඩෙල්ෆ් දූපතට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක පමණ සංගණනය සිදුකර නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.