හිටපු ඇමති ෆවුසිට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක විභාගය අවසන්…..

නෙදර්ලන්ත රජය මගින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබාදී තිබූ වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම තුළින් හිටපු අමාත්‍ය ඒ එච්.එම්. ෆවුසි මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) අවසන් කළේය.

ඉන් අනතුරුව එම නඩුකරයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබන බවත් අධිකරණය නියෝග කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න මහතා විසින්ය.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ අමිල කුමාර මහතාගේ උපදෙස් මත කරුණු දැක්වූ නීතිඥ දිලුමි ද අල්විස් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු නගා සිටුවීම සඳහා නෙදර්ලන්ත රජය විසින් ණය පදනම මත මෙම නඩුකරයට පාදකවන වාහනය ශ්‍රී ලංකා රජය වෙත ලබාදී තිබූ බව පවසා තිබේ.

සුනාමි ආපදා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සඳහා එම වාහනය ලබාදී තිබුණද විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඒ එච්.එම්.සී මහතා එය සිය පෞද්ගලික පරිහරණයට වසර පහක් පමණ භාවිත කර තිබූ බවත් නීතිඥවරිය චෝදනා කර ඇත.

මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්” මෙම සිද්ධියට අදාළව වග උත්තරකරුට එරෙහිව අල්ලස් කොමිසම මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇති අතර එම චෝදනාවලට ඔහු වරද පිළිගෙන තිබේ.

ඒ අනුව මෙම නඩුකරය මෙම පවත්වාගෙන යාමේ පදනම කුමක්දැයි විමසා ඇත.

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරිය කියා සිටියේ පෙත්සම්කරු වරද පිළිගෙන තිබෙන්නේ අපරාධ නීතිය යටතේ ගොනු කළ චෝදනාවලට බවයි.

එහෙත් මෙම නඩුකරය මූලික අයිතිවාසිකම් නඩුකරයක් බවත් ඇය පෙන්වා දුන්නා.

මෙහිදී වග උත්තරකාර හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ණය පදනම මත ලබාදුන් වාහනයක් සිය පෞද්ගලිකව පරිහරණයට ගෙන තිබෙන බව පෙන්වා දුන් නීතිඥවරිය ඒ හරහා ඔහු  බදු ගෙවන්නන්ගේ බදු මුදල් අයථා ලෙස අවභාවිතයට ලක් කර තිබෙන බවටත් චෝදනා කර ඇත.

ඊට අමතරව “මහජන භාරය” නැමැති බරපතල වගකීමද ඔහු විසින් උල්ලංඝනය කර තිබෙන බවත් නීතිඥවරිය පෙන්වා දී ඇත.

ඒ නිසා මෙම ක්‍රියාව තුළින් අමාත්‍යවරයා රජයට සිදුකළ පාඩුව අයකර ගැනීමේ අරමුණින් මහජන සුභසාධන නඩුකරයක් වශයෙන් මෙම නඩුව ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු කටයුතු කළ බවත් නීතිඥවරිය කරුණු පෙන්වා දී තිබේ.

ඉන් අනතුරුව වග උත්තරකාර ෆවුසි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ රම්සි බාචා මහතාගේ උපදෙස් මත නීතිඥ රුවන්ත කුරේ මහතා කරුණු ඉදිරිපත් කර ඇත.

ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබා දී තිබූ වාහනයක් සිය සේවා දායකයා පෞද්ගලිකව පරිහරණය කළ බවට පෙත්සම්කාර පාර්ශවය විසින් එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් නීතිඥවරයා පවසා ඇත.

මේ අවස්ථාවේදී අගවිනිසුරුවරයා වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් “මේ සිද්ධියට අදාළව වගඋත්තරකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ නඩුවක් මහාධිකරණට ඉදිරිපත් කරා. වග උත්තරකරු ඒ චෝදනාවලට වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව ඔහු දූෂණ චෝදනාවලට වැරදිකරු වී තිබෙනවා.” එසේ තිබියදී ඔහුට එම වගකීමෙන් බැහැර විය හැකිදැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් කරුණු දක්වූ නීතිඥ රුවන්ත කුරේ මහතා සඳහන් කර සිටියේ වගඋත්තරකරු විසින් මෙම වාහනය භාවිතා කළේ අමාත්‍යංශ ලේකම්වරිය විසින් කරනු ලැබූ නියෝගයකට අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් එය මුදාහැරීමෙන් පසුව බවයි.

ප්‍රමාණවත් වාහන පහසුකම් අමාත්‍යාංශය තුළ නොතිබීම නිසා මෙම වාහනය අමාත්‍යාංශ ලේකම්වරියගේ නියමය පරිදි භාවිත කිරීමට සිදුවූ බවත් එය කිසිදු අවස්ථාවක පෞද්ගලික පරිහරණයට ගෙන නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා හිටපු අමාත්‍යවරයා විසින් එය භාවිතා කර තිබෙන්නේ සිය රාජකාරීමය කටයුතු සඳහා පමණක් බවත් පෙන්වා දුන්නා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දුකළ අතර ලිඛිත දේශන තිබේ නම් ඒවා අද සිට සති දෙකක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියම කළා.

ඉන් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අධිකරණය විසින් දිනයක් නොමැතිව කල් තබා ඇත.

දේශගුණික අවදානම හමුවේ ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි – ජනපති……

ඇති වියහැකි දේශගුණික තත්ත්වයන් මත ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

එය සාමාන්‍ය ක්‍රියාවලිය තුළ නොව, විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක් බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවත්වා තිබුණි.

එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම පසුගිය වසරේ යල කන්නයේ මිලදී ගත් වී තොග තවමත් ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට යොමු නොවීම ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගබඩා නිදහස් කර ගැනීම වෙනුවෙන් ගෙන ඇති පියවර සහ ඒ සඳහා වන යෝජනා පිළිබඳවද විමසා තිබේ.

එමෙන්ම මෙම යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් පවතින ගබඩාවල තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇති අතර ගබඩාවල තත්ත්වය සහ ආරක්ෂිත තොග පිළිබඳව නිවැරදි දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම මගින් ඉදිරියේදී මතුවිය හැකි මෙවැනි ගැටලු මගහරවා ගත හැකි බවට ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත.

ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ…..

අමෙරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පරිත්‍යාග කළ TH-57 ‘සී රේන්ජර්’ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10ක් නිල වශයෙන් භාර ගැනීම අද (23) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සිදු කෙරිණි.

රත්මලාන ගුවන් හමුදා කඳවුරට පැමිණි ජනාධිපතිවරයා ගුවන් හමුදා උත්තමාචාර සහිතව පිළිගැනුණු අතර, අනතුරුව නව හෙලිකොප්ටර් යානා නිරීක්ෂණය කර කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව අතර ද්විපාර්ශ්වික ගිවිසුමකටද අත්සන් තැබුණු අතර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදා ආඥාපති ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් මහතා ඊට අත්සන් තැබූහ.

මෙම TH-57 යානා මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමු පුහුණු හැකියාව වැඩිදියුණු කිරීම, මෙහෙයුම් ධාරිතාව පුළුල් කිරීම මෙන්ම ආපදා සහන, සෙවීම් හා මුදාගැනීම් සහ හදිසි මහජන සේවා කටයුතු සඳහා සහාය ලබාදීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා අවශ්‍ය ගුවන් කාර්ය මණ්ඩල පුහුණුවටද මෙම යානා යොදා ගැනීමට නියමිත බව සඳහන් වේ.

අමෙරිකාවේ සිට විශේෂ භාණ්ඩ ප්‍රවාහන පහසුකම් ඔස්සේ 2026 ජූනි 01 වනදා ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම යානා රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී එකලස් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ දේශගුණික හා ගුවන් මෙහෙයුම් තත්ත්වයන්ට ගැළපෙන තාක්ෂණික පරීක්ෂණ සහ අත්හදා බැලීම්වලින් අනතුරුව නිල මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි……

එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරි ජෙනරාල් Kevin Schneider අද (23) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා හමුවිය.

ඒ අනුව, ජෙනරාල් Kevin Schneider වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනමා, නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් ලැබීය.

නාවික හමුදාධිපති සහ ජෙනරාල් Kevin Schneider, කලාපීය ස්ථාවරත්වය හා ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වූ ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි – අභියාචනය ඉවතට….

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට ක්‍රියා කළේ යැයි චෝදනා ලබා වරදකරු කළ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ මාස 09ක සිරදඬුවම සහ රුපියල් 1500ක දඩය කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කර තිබේ.

එම සිරදඬුවමින් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් පොලිසිය විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණි.

නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2025 වසරේ ජනවාරි මස 09වනදා මාස 09ක සිර දඬුවමක් සහ රුපියල් 1500ක දඩයක් නියම කළේය.

ඉන් අනතුරුව ඥානසාර හිමියන් විසින් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එම අභියාචනයා විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ආගමික සංහිදියාව උල්ලංඝනය වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවය.

එවැනි ක්‍රියා වැළැක්වීම නීතියේ මෙන්ම අධිකරණ ක්‍රියාවලියේ වගකීමක් බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරු වරදකරු කරමින් දඬුවම් පැමිණවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි නොවන බවත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරු වරදකරු කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ඉවත දමන බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සම ගැන අධිකරණයෙන් තීරණයක්…..

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව ආනන්ද විජේපාල මහතා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන්න ලෙස ඉල්ලා මෙම අභියාචනා පෙත්සම  ඉදිරිපත් කර තිබුණි.

ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බලා තිබේ.

ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරමින් සිටියදී රාජ්‍ය සේවයේ තනතුරක් දැරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසුකමක් බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

එම රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකළ නීතිපතිවරයා අදාල පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් ජනාධිපතිවරයා නම්කර නොමැති නිසාත් වග උත්තරකාර අමාත්‍යවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කළද ඔහු රජයෙන් කිසිදු වැටුපක් ලබාගෙන නොමැති නිසාත් එම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට කරුණු දක්වා තිබුණි.

ඉන් අනතුරුව එම මූලික විරෝධතා පිළිගත් අභියාචනාධිකරණය ආනන්ද විජේපාල අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ඉකුත් වසරේ තීන්දු කර තිබුණා.

ඉන් අනතුරුව පෙත්සම්කාර රේණුක පෙරේරා මහතා විසින් එම අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළා.

එම පෙත්සම අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර රේණුක පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විශ්ව විමුක්ති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වන පුද්ගලයකුට රාජ්‍ය තනතුරක් දැරීමට කිසිදු නීතිමය සුදුසුකමක් නොමැති බව පෙන්වා දුන්නා.

එහෙත් වගඋත්තරකාර ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන අතරවාරයේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන්ද පත් කර තිබෙන බව පෙන්වා දුන් නීතිඥවරයා එය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව නුසුදුසුකමක් බවත් තර්ක කර තිබේ.

එහෙත් වග උත්තරකාර ආනන්ද විජේපාල අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ තර්කය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

රජයේ සේවකයකු වශයෙන් පිළිගැනීමට නම් යම් පුද්ගලයෙකු රජයෙන් කිසියම් ගෙවීමක්, වැටුපක් ලබා තිබිය යුතු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ආනන්ද විජේපාල මහතා කිසිදු අවස්ථාවක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් රජයෙන් වැටුපක් ලබාගෙන නොමැති බවත් පවසා ඇත.

ඔහු ඉටුකර තිබෙන්නේ ගරු සේවයක් බවත් රජයෙන් කිසිදු වැටුපක් ලබාගෙන නොමැති නිසා ඔහු නීතිය ඉදිරියේ රාජ්‍ය සේවකයෙකු ලෙස පිළිගත නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කර ඇත.

එම නිසා ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට කිසිදු ආකාරයක නුසුදුසුකමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව උද්ගත නොවන බවත් ජනාධිපති නීතිඥ අලගරත්නම් මහතා ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජීව පෙරේරා මහතා අධිකරණය හමුවේ කරනු දක්වමින් රාජ්‍ය සේවකයෙකු වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසුකමක් වන්නේ ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී එම තනතුර දරනු ලැබූවොත් පමණක් බව සඳහන් කර තිබේ.

එහෙත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේ කිසිදු රාජ්‍ය තනතුරක් දරා නොමැති බවත් ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් හෝ නුසුදුසුකමක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේ මෙම අභියාචනය සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කරන බවයි.

ඒ අනුව, මෙම අභියාචනය නොවැම්බර් මස 03 වනදා විභාගයට ගන්නා බවත් එම තීන්දුවේ සඳහන් වුණි.

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ නඩුව කල්යයි…..

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව අද (22) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවී ඇත.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ජූලි මස 30 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11 ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1,748,877.76ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

ගම්මන්පිලගෙන් සිරිල් ගාමිණී පියතුමන්ට ප්‍රශ්න 10ක්…..

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කතෝලික සභාවේ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන්ට ප්‍රශ්න 10ක් ඉදිරිපත් කළේය.

එහිදී ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ සිරිල් ගාමිණි පියතුමන් ඒවාට පිළිතුරු දීම මග හැරියහොත් උන්වහන්සේ පවත්වන ඉදිරි ප්‍රවෘත්ති සාකච්ඡාවලදී දිගින් දිගටම ඒ ප්‍රශ්න උන්වහන්සේ වෙත යොමු කරන ලෙසය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා,

“2018 පළාත් පාලන මැතිවරණයේදී සහ ජනාධිපතිවරණයට යනවිටත් 56% ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණා – වැඩිපුරත් එක්ක තිබුණා. පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා. කාදිනල් හිමියන් 2022 නොවැම්බර් 15වැනිදා විශ්‍රාම යෑමට තිබුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල පිරිසක් නීතීය හමුවට ගෙන ඒමට මම තනතුර දැරිය යුතුයැයි වතිකානුවට දැනුම්දීලා. කාදිනල් හිමි අවස්ථා 04කදී සේවා දිගු ලබාගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා කාදිනල් හිමි. එසේනම් මෙම ප්‍රහාරයේ වගකීම කාදිනල් හිමිට පවරන්නේ නැත්තේ ඇයි? 2021 ඔක්තෝබර් 13 වැනිදා සිදුකළ සාකච්ඡාවකදී. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු  සලේ කියලා සිරිල් ගාමිණී පියතුමා කියනවා එය සිදුකළේ කුමන සාක්ෂියක් මතද? පාස්කු විමර්ශන නැවැත්වීමට ආණ්ඩුවට බලකරන විපක්ෂයේ පිරිස කවුද? සුරේෂ් සලේ සිය දුරකථනයේ සහ පරිගණකයේ මුරපද රහස් පොලිසියට ලබාදිය යුතුයි කියලා ඔබතුමා ප්‍රකාශ කළාසැකකරුවෙකුට එවැනි බලකිරීමක් සිදුකිරීම නීතිවිරෝධී බව දන්නෙහිද? රහස් පොලිසිය සලේට අමානුෂික ලෙස සලකා ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හා මානව හිමිකම් වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා. එම අමානුෂික සැලකිලි සම්බන්ධයෙන් අප හඬනගනවිට ඔබතුමා එය සාධාරණීකරනය කරමින් ප්‍රකාශ සිදුකිරීම සාධාරණද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනාවට ලක්වීම නිසා. ගෝඨාභය රජපක්ෂ ආණ්ඩුව ශානි ඉවත්කළ බව දැනගෙනත්. යළි ඔහු එම තනතුරේ පිහිටුවන ලෙස සිදුකළ ඉල්ලීම හරහා නැවත පරීක්ෂණ භාරදෙන්නේ චුදිතයෙකුට බව දැන සිටියාද? ශානි සහ රවීට නඩු පැවරිය යුතු බවට නිර්දේශ කර තිබියදී ඔවුන්ටම එම තනතුරු ලබාදීමට බලකිරීමෙන් සැඟවිය යුත්තක් තිබුණේද? එකිනෙකට පරස්පර ඉල්ලිම් සිදුකළ බව පිළිගන්නවාද? වරින්වර මහමොළකරු මාරුකිරීමට බලපෑ හේතු මොනවාද? අබුහින්ද් මහමොළකරු බවට වූ තොරතුරු විර්ශනවලට ලබාදුන්නාද?”

2027 වසරේ සිට රටටම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක්…..

2027 වසර වනවිට පළාත් නවයටම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන වැඩටහන සමාරම්භක උලෙළ අමතමිනි.

මුල් ළමාවිය අධ්‍යාපනය රටේ ඇති සෙසු අධ්‍යාපනික කටයුතු සමඟ සමාන්තරව යා යුතු බවත් ඊට අධ්‍යාපන අමාත්‍යාංශය ද සම්බන්ධ වූ විය යුතු බවත් සරෝජා පෝල්රාජ් මහත්මිය කියාසිටියාය.

පෙර පාසල් විෂය මෙරට තුළ අවිධිමත් ලෙස පවතින අතර එය තවමත් රාජ්‍ය සේවයක් බවට පත්ව නොමැති බව ඇය පෙන්වා දෙයි.

සරෝජා පෝල්රාජ් මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ගුරුවරුන් බඳවාගැනීම සඳහා ක්‍රියා පටිපාටියක් සහ ඔවුන් නිරීක්ෂණය අමාත්‍යාංශයක් ද නොමැති බවය.

ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් සහ ජනපති අතර හමුවක්……

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් අතර සාකච්ඡාවක් අද (22) පවත්වා තිබේ.

එහිදී ඩොලර් ආදායම ඉහළ නංවන අපනයන ආර්ථිකයක් වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් සොයා බැලීම ජනාධිපතිවරයා විසින් කරන ලදී.

ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව අපනයන සැලැස්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සහ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමෙන් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත්, ඒ වෙනුවෙන් එක්වන ලෙසත් ආයෝජකයින්ට ජනාධිපතිවරයා ආරධනා කළ බව සඳහන්ය.

වැට් (VAT) බදු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණදී ඇති ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයා සිය අවධානය යොමු කළේය.

එහිදී ලබා දිය හැකි වෙනත් සහන පිළිබඳ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස අනුර කුමාර දිසානායක මහතා ව්‍යාපාරිකයන්ට දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

වෙළෙඳපොළ අවස්ථා ඉහළ නංවාගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කර ගැනීම සහ කෝටා ප්‍රමාණයන් ඉහළ නංවාගැනීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී සාකච්ඡා කර ඇත.

අයථා ලෙස උපයන ධනය මෙරටින් පිටතට ගලා යාම වැළැක්වීම සඳහා නීතිමය සහ තාක්ෂණික ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙහි දී අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.