චිචීගේ රොකට් එක ගැන අගමැතිනියගේ හෙළිදරව්ව…..

ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියන ‘සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැයකර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

එමෙන්ම එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බව ද අග්‍රාමාත්‍යවරිය අද (6) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ය.

ඇය මෙම අදහස් පළකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“2011/2012 කාලයේදී Supreme Global ආයතනයට අනුබද්ධිත Supreme Sat සමාගම විසින් දියත්කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳව අහල තියෙන ප්‍රශ්නය අනුව Supreme Sat සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබෙන්නේ 2012.05.23 දින.

2013/2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් දොළොස් මිලියන එක් ලක්ෂ හාර දහස් නවසිය තිස් හයක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවල තියෙනවා. 

සමාගම ඉදිරිපත් කළ ආයෝජන අයැදුම් පතෙහි තොරතුරු අනුව ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැත” යනුවෙන් ඇය පැවසීය.

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරයි

ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවා සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් සහ විරුද්ධව ඡන්ද 25ක් ලැබී තිබුණි. ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 96කින් සම්මත විය.

පාස්කු ප්‍රහාර නඩුව කල්යයි……

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (06) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

ඒ අනුව අදාළ නඩුව නවරත්න මාරසිංහ, ප්‍රදීප් අබේරත්න සහ සූජීව නිශ්ශංක යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුකරයට අදාළව විත්තිකරුවකු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කැඳවීමට නියම විය.

ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 11 වන දා දක්වා කල් තිබුණි.

මෙම නඩුවට අදාළව නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 24කට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් සියලුදෙනා අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ ලේඛන කැඳවීමට නියෝගයක්

සිර දඬුවම් ලබාසිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ ලේඛන කැඳවීමට කොළඹ මහාධිකරණය අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියම කළේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්  බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000 ක් සතොස ආයතනය හරහා ආනයනය කර  එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ඇප මත මුදාහැර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව අද කැඳවු අවස්ථාවේදිය.

ලැයිස්තුගත කර තිබෙන ලේඛන හෝ ඒවායේ මුල් පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබේ නම් ඒවා අද සිට සතියක් තුළ තම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස එහිදි කොළඹ මහාධිකරණය  අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක CID යෙන් පිටව යයි….

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

අද (05) උදෑසන 9.30ට පමණ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවකට සිදුකළ සංචාරයක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අනුවය.

සූදු ගසමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයකු ඇතුලු 15 දෙනෙකු අත් අඩංගුවට . ප්‍රාදේශිය සභා මන්ත්‍රී වරයා මේ මස 12 වනදා දක්වා රීමාන්ඩ්….

පලෝගම ස්තානාධිපති වරයාට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් , කැකිරාව මහේස්ත්‍රාත් අදිකණයෙන් ගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිස් විශේෂ කාර්‍යය බලකාය හා පොලිස් නිල සුනකයින් යොදවාගෙ , ඉපලෝගම පොලීසිය මගින් ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රී වරයකුගේ නිවසක් වටලා තිබෙනවා.

එම අවස්තාවේදී එම නිවස තුල අදාල මන්ත්‍රී වරයා විසින් සූදු පිටියක් පවත්වාගෙන ගොස් අතර , සූදු ක්‍රීඩාවෙ යෙදුනු තවත් 14 දෙනෙකු සමග මන්ත්‍රී වරයාද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සිදු කල සෝදිසි කිරීම් වලදී නිවසේ අධි ශීතකරණයක තිබූ විවිධ වර්ගයේ තහනම් දඩ මස් 7kg කට ආසන්න ප්‍රමාණයක් ද සොයගෙන තිබෙන අතර එම මස් තොගය හා අධි ශීතකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුව අදාල සැකකරුවන් ඊයේ කැකිරාව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කල ඇති අතර, සෑකකරුවන්ට දඩ මුදල් නියමකර නිදහකර තිබෙනවා. නමුත් එම අදාළ මන්ත්‍රී වරයා සම්බන්ධයෙන් , තඹුත්තේගම විශේෂ අපරාද විමර්ශන කාර්යංශයේ මුදල් වංචාවක් සම්බන්ද නඩුවකට අදාලව එම මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි පුද්ගලයකු නිසාවෙන් මහේස්ත්‍රාත්වරිය කරුණු විමසාබලා මන්ත්‍රීවරයා මේ මස 12 වන දින දක්වා රක්ෂිතය බන්ධනාගාරගත කර තිබෙනවා.

ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ – ආරක්ෂක ලේකම්

ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.

පාතාලය කිසිවිටෙකත් ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධ නොවන දෙයක් බවත් එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරමින් තිබෙන බවත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

“ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ. ඔයාට අද මෙතෙනට එන්න පුළුවන් වුණානේ කිසිම කරදයක් නැතුව. පාතාලය කියන්නේ, ජාතික ආරක්ෂාවට කෙලින්ම සම්බන්ධ දෙයක් නෙමෙයි නේ. ඒක මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරනවා. ජාතික ආරක්ෂාවට අවශ්‍ය කරන, පොලීසියට අවශ්‍ය කරන සහයෝගය සීමාවන් ඇතුළත අපි ලබාදෙනවා. ජාතික ආරක්ෂාවට අනතුරක් නෑ. පාතාලය කැලඹිලා තියෙනවා. පාතාලය කැලඹෙන්න ඕනේ. මොකද පාතාලයට දේශපාලන රැකවරණයක් නැති වෙලා තියෙනවා. ඒ නිසා පාතාලය කැලඹිලා. පාතාල ක්‍රියාකාරකම්වල නියැලෙන අය අත්අඩංගුවට පත්වෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඊට නීතිමය රාමුව තුළ සීමාවන් තුළ අපි ලබාදෙනවා.”

ප්‍රශ්නය – හැමදාම වෙඩි පත්තු වෙන්නේ පාතාලයට දේශපාලන රැකවරණයක් නැති නිසා ද ?

“ඔව් ඒකත් හේතුවක්. පාතාලය ඇතුළේ කැලඹීම් වෙලා තියෙනවා. ඒකෙන් ඔවුන්ට බාධා ඇති වෙලා තියෙනවා ඒ නිසා වෙඩි පත්තු වෙනවා. එහෙම තමා”

ඇමති විජිතගේ සංචාරක ආදායම ගැන නියෝජ්‍ය ඇමති කියූ කතාව…..

පසුගිය මාස හයක කාලයක් තුළ සංචාරකයින් පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අද (04) පැහැදිළි කිරීමක් සිදු කළේය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මහ බැංකු වාර්තාවට ජූනි මාසය අවසාන වන විට සංචාරක පැමිණීමෙන් ඉපයූ ආදායම මහ බැංකු වාර්තාවට අනුව සඳහන් වී ඇත්තේ ඩොලර් බිලියන 1.7ක් ලෙස බවය.

කෙසේ නමුත් ජූලි මාසයේ දත්ත මීට ඇතුළත්ව නැති බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජූලි මාසයේ ගත්තාද එවැනි ආදායමක් ලැබෙනු ඇති බව තමන් නොසිතන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා,

“මම හිතන්නේ මහ බැංකු දත්ත මත අපිට තියෙන්නේ ජූනි මාසයේ අවසාන වෙනකන් විතරයි. ජූලි මාසයේ ගණනය කිරීම් ඇතුළත් වෙලා තිබුණේ නෑ. ඒ අනුව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන්නේ ජූනි අවසාන වෙනකොට ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් ඩොලර් බිලියන 1.7ක් කියලා. ඒක තමයි නිවැරදි දත්තය….. විශාල පරතරයක් දකින්න පුළුවන් ඇමතිවරයාගේ සඳහනත් එක්ක ජූලි මාසයේ සම්පූර්ණයෙන් අපිට ඒ තරම් ලැබෙන්නේ නැතිව ඇති කියන අදහස තමයි මට තියෙන්නේ.”

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය……

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (04) සිය සහතිකය සටහන් කළේය.

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව මෙම පනත සංශෝධනය මගින් තනි කොටස් හිමියෙකු සමඟ සමාගමක් සංස්ථාගත කිරීමට ඉඩ සලසාදීම සමාගමක නම වෙනස් කරන විට මහජනයාට දැනුම් දීමේ කාල සීමාව වැඩ කරන දින 20ක් දක්වා දීර්ඝ කිරීම, හාරක සඳහා වූ කොටස් බලපත්‍රයක් හෝ හාරක කොටස් බලපත්‍රයක් නිකුත් කිරීම තහනම් කිරීම, හාරක සඳහා වූ කොටස් බලපත්‍රයක් හෝ හාරක කොටස් බලපත්‍රයක් නිකුත් කිරීම පිළිබඳ සමාගම වෙත දැනුම් දීම හා බලපත්‍ර දරන්නාගේ තොරතුරු සමාගම් ලේකම් වෙත පනතේ දින සිට දින 60 ක් ඇතුළත හෙළිදරව් කිරීමේ වගකීම එම බලපත්‍ර දරන්නා වෙත පැවරීම, ප්‍රතිෂ්ඨාව ලැබීමෙන් පසු සමාගමක් විසින් ප්‍රතිෂ්ඨාව ලද දින සිට දින 20ක් ඇතුළත කොටස් විභජනය කළ යුතු වීම මෙම පනතේ විධිවිධානවල ඇතුළත්  වේ.

තවද කොටස්වල “අර්ථලාභී අයිතිය” සම්බන්ධයෙන් නව විධිවිධාන හඳුන්වා දීම, එනම් අර්ථලාභී අයිතිකරුවන් පිළිබඳ තොරතුරු, ලේකම්වරුන් සහ අධ්‍යක්ෂවරුන් විසින් විස්තර රෙජිස්ට්‍රාර්වරයාට හෙළිදරව් කිරීම, රෙජිස්ට්‍රාර්වරයා විසින් එම තොරතුරු පිළිබඳ වාර්තා තබා ගැනීම, සමාගමක අර්ථලාභී අයිතිය පිළිබඳ තොරතුරු රෙජිස්ට්‍රාර්වරයා විසින් මහජනතාව වෙත ලබා දීම, සමාගමක් හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් අර්ථලාභී අයිතිකරුවන් පිළිබඳ විස්තර රාජ්‍ය බලධාරීන් වෙත ලබා දිය යුතු බව සහ “අර්ථලාභී අයිතිය” සහ “සඵල පාලනය” සඳහා නව අර්ථකථන ඇතුළත් කිරීම මෙම පනත සංශෝධනය කිරීම මගින් සිදුවේ.

එමෙන්ම ඇතැම් ලේඛන සහ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා සමාගමකට ලබා දෙන කාල සීමාවක් දීර්ඝ කිරීමට රෙජිස්ට්‍රාර්වරයාට බලය ලබා දීම, නම කපා හරින ලද සමාගමකට නිශ්චිත කාල සීමාවක් තුළ නැවත ලියාපදිංචි වීමට සහ රජය සතු කරන ලද එහි දේපළ නැවත ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීම, ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා සමාගම් ආරවුල් මණ්ඩලයට යොමු කිරීමේ හැකියාව පුළුල් කිරීම, සමාගම් අධ්‍යක්ෂවරුන් ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය සංශෝධනය කිරීම, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ යම් නිලධාරීන් පන්තියකට මුදල් විෂය භාර අමාත්‍යවරයා විමසා දිරි දීමනා ගෙවීමට ප්‍රතිපාදන සැලසීම,  සාමාන්‍ය දඬුවම් සඳහා විධිවිධාන සැලැස්වීම සහ  ප්‍රධාන ප්‍රඥප්තියේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පාඨවල දෝෂ නිවැරදි කිරීම සඳහා උපලේඛනයක් සැපයීම මෙම පනත සංශෝධනය මගින් සිදුවේ.

මෙම සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 ජුනි මස 05 වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මෙම සමාගම් ( සංශෝධන) පනත් කෙටුම්පත  2025 අංක 12  දරන  සමාගම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

මන්ත්‍රී චාමර සම්පත්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…..

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අද (04) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ  2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදි සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් පිළිබඳව පැමිණිලි කිරීම සඳහාය.

එහිදී අදහස් දක්වමින් චාමර සම්පත් මහතා පැවසුවේ පසුගිය 2024 වසරේදී ගැසට් නිවේදනයක් මගින් පොලිස් සේවය සඳහා බඳවා ගැනීම වෙනුවෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සිදුකළ යෝග්‍යතා පරීක්ෂණවලින් පසුව ඒ සඳහා සුදුසුකම් ලැබූ 100 දෙනෙක් සඳහා පත්වීම් ලබා දීමට පසුගිය වසරේ නොවැම්බර් මස සැලසුම් කර තිබූ බවය.

නමුත් එම සැලසුම් කර තිබූ පත්වීම් අදාළ සුදුසුකම් ලැබූ පුද්ගලයින් 100 දෙනා වෙත ලබා නොදී මේ වන විට නැවත ගැසට් කරමින් බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය.

ඒ අනුව මේ තුළින් දූෂණයක් සිදුව ඇතැයිද ඒ සම්බන්දව පොලිසිය භාර අමාත්‍යවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා,

“2024 පොලීසියට SIලා බඳව ගන්න ගැසට් එකක් ගැහුවා. 2024.05.09 යෝග්‍යතා පරීක්ෂණයක් තිබ්බා ඇප්ලිකේෂන් 18,000ක් ආවා. යෝග්‍යතා පරීක්ෂණයෙන් 6,000ක් තෝරගෙන විභාගයට වාඩි වුණා. ඒකෙන් අවසන් සම්මුඛ පරික්ෂණයට 3,000ක් වාඩි වුණා. වෛද්‍ය පරීක්ෂණ, මත්ද්‍රව්‍ය පරීක්ෂණ තියලා හරියටම 100ක් තෝරගෙන තිබුණා. මේ 100 තෝරගෙන පත්වීම් දෙන්න 2024.11.20 සූදානම් කරලා තිබුණා. ඒ සූදානම් කරලා තිබුණාට පස්සේ අද වෙනතුරු මේ පත්වීම් දෙන්නේ නෑ පොලීසිය භාර ඇමති සහ පොලිස් දෙපාර්තමේන්තුව. මේක හරි අසාධාරණයක් මේ 100ක් පොලිස් පරීක්ෂකවරු බඳව ගන්න මේ පරීක්ෂණයෙන් පස්සේ මේකට වියදම් කරලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුව විශාල මුදලක්. මේකේ දූෂණයක් වෙලා තියෙනවා. මේවා නවත්වලා පත්වීම් නොදී ඉඳලා මේගොල්ලෝ ලෑස්ති වෙනවා අලුතින් ගැසට් කරලා අලුතින් පත්වීම් දෙන්න. එතකොට මේකට වියදම් කරපු මුදල් කාගේ මුදල්ද? මේවා රජයේ මුදල්. ඒකයි මම අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මේවා වෙනුවෙන් වියදම් කරපුවා අල්ලස් කොමිසම මේ හැම එකක් ගැනම මේ ගැනත් පරීක්ෂණ කරන්න. පොලිසිය භාර ඇමති හා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් වෙනුවෙන් තමයි පැමිණිල්ල දැම්මේ. එතකොට 2024 තිබ්බේ ශ්‍රී ලංකා පොලීසිය නෙමෙයිද ? මම මේ අසාධාරණය වෙනුවෙන් තමයි මම මේ පැමිණිල්ල දැම්මේ.”