විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 62කට අධ්‍යක්ෂක මණ්ඩලය එකඟ වෙයි….

ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වී තිබේ.

එම සමාගම් 4 සභාපතිවරුන්ගෙන් යුතුව නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම ජනතාව අපහසුතාවයට පත්වෙන වැඩවර්ජනය අවසන් කොට සේවයට වාර්තා කරන ලෙස වෘත්තීය සමිතිවලින් එම සමාගම්වල සභාපතිවරුන්  04 දෙනා විසින් ඉල්ලා තිබේ.

එලෙස සේවය වාර්තා කරන්නේ නම් ඉතිරි ඉල්ලීම් 02 සම්බන්දයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමටද එකඟ වී තිබේ.

බලශක්ති ඇමතිට එරෙහිව සජබයෙන් විශ්වාසභංග යෝජනාවක්….

බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනඑන බව සමගි ජන බලවේගය පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ සිය පක්ෂය ඒකමතිකව ගත් තීරණයකට අනුව විශ්වාසභංග යෝජනාව ගෙනඑන බවය.

“දැනටමත් අල්ලස් කොමිසම විසින් ඇමතිට විරුද්ධව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබීම, ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසිලෙස කළමනාකරණය කිරීමට අපොහොසත්වීම යන කරුණු 2ක මත ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනඒමට පියවර ගන්නවා.”

“සමගි ජන බලවේගය සමග විපක්ෂයේ කටයුතු කරන අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම් සමගත් සාකච්ඡා කරලා වඩා පුළුල් සහයෝගයක් ලබාගන්න අපි කටයුතු කරනවා.”

“ඒ වගේම රජය තුළින් තනි මතයට ස්වාධීනව ඡන්දය භාවිත කරන්න පුළුවන් මන්ත්‍රීවරුන්ගෙන් මං ඉල්ලා සිටිනවා අපිට සහයෝගය දෙන්න.”

බේරාගත් ඉරාන නැවියන් ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඇමති විජිත ඉන්දියාවේදී කියයි….

ඉරාන නැවියන් නැවත එම රටට යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ අන්තර්ජාතික නීතියට අනුකූලව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

නවදිල්ලියේ පැවැති රයිසිනා සංවාද සංසදයේදී මේ සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී ඔහු සඳහන් කළේ මෙම කාරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව අන්තර්ජාතික නීති රාමු අනුගමනය කරන බවය.

මේ අතර රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ ඉරාන යුද නෞකාවක් වන IRIS Dena නෞකාව මුහුදුබත්වීමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයන් සිය රටට නොයවන ලෙස එක්සත් ජනපදය කේබල් පණිවුඩයක් මගින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බවය.

ඉකුත් බදාදා (04) ගාල්ලේ සිට නාවික සැතපුම් 19ක් පමණ දුරින් ඉන්දියානු සාගරයේදී එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් IRIS Dena යුද නෞකාව ගිල්වා දමන ලදි.

ඉන් නාවිකයන් විශාල පිරිසක් මිය අතර මෙරට නාවික හමුදාවේ සහාය ඇති ජීවතුන් අතර සිටි 32 දෙනෙකු ගොඩබිමට රැගෙන එනු ලැබීය.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් රෝහල් ගත කෙරුණි.

මේ අතර ඉන්දියාවේ විශාකාපට්නම් හිදී පැවැති මිලාන් 2026 යුද අභ්‍යාසය සඳහා සහභාගී වීමට ගිය ඉරාන නෞකා තුනෙන් දෙවෙනි නෞකාව වන ‘IRIS Bushehr යුද නෞකාව ද පානදුරට ඔබ්බෙන් වූ මෙරට අනන්‍ය ආර්ථික මුහුදු කලාපයට පසුගියදා පැමිණ තිබුණි.

ඒ තමන් ඇතුළු පිරිසට මෙරට සීමාවට පැමිණීමට අවසර දෙන්නැයි ඉල්ලමිනි.

ඒ අනුව නෞකාවේ ‍කාර්ය මණ්ඩ‍ලය ඇතුළු නැවියන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායට රැගෙන එනු ලැබීය.

එලෙස ගොඩබිමට රැගෙන ආ නාවිකයන් පිරිස වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙනගොස් තිබුණි.

මිල ඉහළයාම අපිටත් දරන්න වෙනවා – අමාත්‍ය වසන්ත සමරසිංහ…..

ලෝකයේ මිල ඉහළයෑම් අපට පාලනය කළ නොහැකි බවත් තෙල් සැපයුම හා ගෑස් සැපයුම අඩු කළහොත් මිල ඉහළ ‍යාම සිදුවන බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

දැනටමත් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර එම ඉහළ යාම අනිවාර්යෙන්ම අපටත් දැරීමට සිදුවන බවද එය නතර කළ නොහැකි තත්ත්වයක් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මැදපෙරදිග ඇති වී තිබෙන මෙම තත්ත්වය මුළු ලෝකයටම බලපාන තත්ත්වයක් වන අතර විශේෂයෙන් නැව් මාර්ග භාවිත කර ආනයන, අපනයන කරන සෑම රටකටම මෙය විශාල ගැටලුවක් වන බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,
”මැදපෙරදිග ඇතිවෙලා තියෙන තත්ත්වය මුළු ලෝකයටම බලපාන තත්ත්වයක්.. විශේෂයෙන් නැව් මාර්ග භාවිත කර ආනයන, අපනයන කරන සෑම රටකටම මෙය ප්‍රශ්නයක්..ලෝකේ මිල ඉහළයාම අපට පාලනය කරන්න බෑ.. මොකද තෙල් සැපයුමත් ගෑස් සැපයුමත් අඩු කළොත් මිල ඉහළ යනවා.. දැනටමත් මිල ඉහළ යාමක් වාර්තා වෙනවා ඒ මිල ඉහළ යාම අනිවාර්යෙන්ම අපිටත් දරන්න වෙනවා.. ඒක අපිට නවත්වන්න බෑ”

කොළඹ මහ නගර සභාවේ හිටපු මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රීවරියගේ පෙත්සම කැඳවීමට දින දෙයි….

කොළඹ මහ නගර සභා අයවැයේදී ආණ්ඩු පක්ෂයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ යැයි චෝදනා කරමින් සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගෙන තිබෙන තීරණය අත්විටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියක වන සොහාරා බුහාරි මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම අද (06) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස  නියම කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, මහලේකම් නිසාම් කාරියප්පර්, කොළඹ තේරීම් භාර නිලධාරි, ඇතුළු පිරිසක් නම් කර ඇත.

නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය සඳහන් කර ඇත්තේ කොළඹ මහ නගර සභා අයවැයේදී ආණ්ඩු පක්ෂයට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කළේ යැයි චෝදනා කරමින් සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කළ බවය.

2025 වසරේ දෙසැම්බර් මස 31 වන දා ඉදිරිපත් කෙරුණු අදාළ අයවැය තුළ මහජන හිතවාදී සාධනීය යෝජනා රැසක් ඇතුළත්ව තිබූ බැවින් තමන් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවත් ඇය පෙන්වා දී තිබේ.

සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබූ බවත් ඇය සිය පෙත්සම මගින් සඳහන් කර ඇත.

කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඇය අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් ඉල්ලා සිටි.

ඊට අමතරව සිය මන්ත්‍රී ධුරය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් නිකුත් කළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරනතුරු තමන්ට අඛණ්ඩව කොළඹ මහ නගර සභා මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීමට අවසර දෙන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

ජොන්ස්ටන්ගේ සතොස නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 18 වැනිදා….

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා මාර්තු මස 18 වනදා කැඳවන ලෙස  කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වෙනත් නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව මාර්තු මස 18 වනදා දක්වා කල් තැබීමට නියම කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙ‍ෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර  දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙ‍ෙළඳ ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම  මෙම නඩුව ගොනු කර තිබුණි.

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි….

ප්‍රකාශයට පත්කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 100කින් සම්මතවී තිබේ.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 108ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 08ක් පමණය.

මහජන ආරක්ෂක ආඥා පනතේ විෂය අංක 81 යෝජනා සම්මතය වැඩි ඡන්ද 100කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය යථා පරිදි  සම්මත කරගන්නා ලදී.

අත්අඩංගුවේ පසුවන පිල්ලයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවයි….

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥවරයෙකුට ප්‍රවේශය ලබාදීමට ඇති හැකියාව සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2016 වසරේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව පිල්ලෙයාන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම අද ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ ගිහාන් කුලතුංග යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පිල්ලයාන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාව සම්බන්ධයෙන් තම සේවා දායකයාට එරෙහිව මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කොට ඔහු මේ වන විට අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙන බව සඳහන් කළේය.

කෙසේ වෙතත් සිය සේවාදායකයා මේ වන විට වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන තිබෙන බවත් මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔහුගෙන් උපදෙස් ලැබී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතාගෙන් විමසුවේ මෙම උපදෙස් ලබා ගැනීමේ කාර්යය සඳහා අත්අඩංගුවේ පසු වන තැනැත්තා සම්බන්ධ කර ගැනීම සඳහා ප්‍රවේශයක් සලසා දීමට හැකියාවක් තිබේ ද යන්නය.

ඒ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු ඒ සඳහා ඉල්ලීමක් කරන්නේ නම් එවැනි අවස්ථාවක් සලසා දීමට හැකියාව තිබෙන බවය.

ඒ අනුව අත්අඩංගුවේ පසුවන පෙත්සම්කරුගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා කටයුතු කරන ලෙස මෙහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම විභාගය සඳහා ලබන ජූලි මස 28 වනදා කැඳවීමටද නියම විය.

Rebuilding Sri Lanka අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන් මූල්‍යමය පරිත්‍යාගයක්….

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රුපියල් 582,786.18 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරන තිබේ.

ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරමින් ශ්‍රියානි කුලවංශ මහත්මිය විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා වෙත පසුගියදා  භාර දෙන ලදී.

නිම්මි ද සොයිසා, සුනිල් ගුණවර්ධන, නිලූකා, කයිල් අබේසිංහ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යුද්ධය නතර කරන්නැයි අමෙරිකාවට බලකරමින් කොළඹදී විරෝධතා….

මැදපෙරදිග යුද්ධය නවත්වන ලෙස අමෙරිකාවට බල කරමින් සහ ඉරානයට සහාය පළකරමින් අද (06) කොළඹදී විරෝධතා පැවැත්වුණි.

එම විරෝධතාවලට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්වී තිබුණි.

කොළඹ දවටගහ පල්ලිය අසල අද දහවල් මෙම විරෝධතාව පැවැත්වුණි.

මුස්ලිම් ප්‍රජාව සංවිධාන කර තිබූ මෙම විරෝධතාවට මෙරට ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කෝෂ් මහතා, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් එක්වුණි.

මේ අතර මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ද අද උදෑසන සාමකාමී විරෝධතාවක් පැවැත්වුණි.

එය සංවිධාන කරනු ලැබුවේ සිවිල් සංවිධාන එකතුවක් විසිනි.

මේ අතර අමෙරිකාව ඉරානයට සිදුකරන ප්‍රහාරවලට විරෝධය පළකරමින් හා මැදපෙරදිග යුද්ධය නවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිටදී ද උද්ඝෝෂණයක් පැවැත්වුණි.

ඒ එක්සත් සමාජවාදී පෙරමුණ, සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විසිනි.