විදුලි වෘත්තීය සමිති සහ ජනපති අතර සාකච්ඡාව සාර්ථකයි……

විදුලි වෘත්තීය සමිති අද (13) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය ගැටලු පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති අතර, එම සාකච්ඡා සාර්ථක බව ඔවුන් පවසයි.

ජනාධිපතිවරයා සිය ගැටලුවලට සාධාරණය ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවත් විදුලි වෘත්තීය සමිති සඳහන් කරයි.

ආණ්ඩුව පරාජය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් තම සමිතිවලට නොමැති බවත් විදුලි වෘත්තීය සමිති සාමාජීකයින් මෙහිදී අවධාරණය කළේය.

නව සමාගම්වල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ජනාධිපතිවරයා අද සවස විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් එහිදී විදුලිබල වෘත්තීය සමිතිවල ගැටලූන්ට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී එකඟත්වය පළ කර බවත් වෘත්තීය සමිති සාමාජිකයින් පැවසීය.

නව සමාගම්වලට බාහිරින් බඳවා ගැනීමට නියමිත විදුලි අධිකාරී සහ විදුලි ඉංජිනේරු පත්වීම් වහාම නැවැත්වීමට ජනාධිපතිවරයා නියෝග කළ බවද විදුලිබල වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක් ද ? – GMOA සැකයෙන්…..

වෛද්‍යවරුන්ගේ සහ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ දත්ත ඇතුළත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක් සිදුවි ඇති බවට සැකයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළව සේවා ව්‍යවස්ථාවක් (Service Minutes) ස්ථාපිත කිරීමට සම්බන්ධ යැයි පවසමින් ලිපියක් ඇතුළත් කර ඇති අයුරු දක්නට ලැබෙන බව එම සංගමය සඳහන් කරයි.

මෙම ලිපිය රාජ්‍ය ආයතනයක් මඟින් නිකුත් කරන නිල ලේඛනයක් යැයි බැලු බැල්මට නොපෙනෙන අතර ලිපි ශිර්ෂයක් නොමැතිව, දිනයක් නොමැතිව, යොමු කරන ලද පාර්ශ්වයක් හෝ පාර්ශ්වයන් නොමැතිව, සම්බන්ධීකරණ නිලධාරියෙක් සඳහන් කර නොමැතිව සකස් කර ඇති අවිධිමත් ලේඛනයක් පමණක් බව නිරික්ෂණය වෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ඇති මෙම ලිපියේ නිත්‍යානුකූලභාවය සහ නිලභාවය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් මතුවී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

මේ පිළිබඳ පැහැදිලි කරගැනිම සඳහා අදාළ ලේඛනයේ කැඳවුම්කරු ලෙස සඳහන් කර ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සන්නිවේදනය කිරීමට කිහිප වතාවක් උත්සාහ කළද ඔහුවද සම්බන්ධ කරගත නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,

“මීට ඉහතදීත් සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත පද්ධතීන්ට අනවසර ඇතුල්වීම් නිසා සිදුවූ ගැටලු රාශියක් පිළිබඳව අප දැනුවත්ය. එම නිසා මෙසේ වගකීම් විරහිත ලෙස සහ අවිධිමත් ලෙස පළවීමක් සිදුවීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අපහසුතාවයට පත් කිරීමට කළ උත්සාහයක් ද යන්න සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විමර්ශනයක් කළ යුතු අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ද එය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා වෙත ලිඛිතව දන්වා ඇත.” යනුවෙනි.

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදු කිරීමට පනවා ඇති සීමාවන් ඉවත් කිරීමේ සූදානමක්…..

සහල්වලින් අතුරු නිෂ්පාදන සිදු කිරීමට පනවා ඇති සීමාවන් ඉදිරියේදී ලිහිල් කිරීමට අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මහවැලි ජල කලමනාකරණ කමිටුව අද (13) රැස්වූ අවස්ථාවේදීය.

මෙරට බඩඉරිඟු අවශ්‍යතාවයෙන් සියයට 50ක් පමණක් රට තුළ නිෂ්පාදනය කර බවත් සෙසු තොග ආනයනය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේවෙතත් මෙරට තුළ බඩඉරිඟු නිෂ්පාදන ඉහළ දැමීමට ප්‍රමාණවත් වගා බිම් නොමැතිවීම හේතුවෙන් සහල් නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කළ යුතු බව කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කළේය.

මේ සඳහා කුඹුරු ඉඩම් වැඩි කිරීමට අපේක්ෂා නොකරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍රමවේදයට අනුව වගා කටයුතුවල නිරත වන ලෙසත් ඒ මහතා එහිදී ගොවීන්ගේ ඉල්ලා සිටියේය.

“වී ටික එකපාර වෙළඳපොළට එනවා වෙනුවට සතියක් දෙකක් තියාගන්න පුළුවන් වෙන තත්ත්වයට ගොවිජනතාව අරන් එන එක අපේ ඉලක්කයක්. වී වේලීම සහ ගබඩා කිරීමට අපිට ක්‍රමයක් සකස් කරගන්නම වෙනවා. ගොවියාගේ කාර්යය ගොයම් කපලා දුන්නම අවසන් වෙනවා. එතනට තව කෑලි දෙකක් එකතු වෙන්න ඕනේ. වී වේලීම සහ ගබඩා කිරීම කියන කෑලි දෙකත් එතනට එකතු වෙන්න ඕනේ. ඒ සඳහා අපි වැඩසටහනකට යමින් ඉන්නේ. 

අපිට තියෙනවා ප්‍රධාන කාරණා දෙකක්. එකක් ගොවිජනතාවගේ ජීවිතය නඟා සිටුවන එක. අනික ආහාර සුරක්ෂිතතාවය. සාධාරණ ලාභයක් ගොවියාට දෙන්නේ නැත්නම් ගොවිතැන කරන්න බැහැ. අපි වී මිල ගැසට් කරලා නීතියක් කරලා නැහැ. අපේ අරමුණ පෞද්ගලික අංශය වී අඩුවට ගන්න එක වැළැක්වීම. වී අලෙවි මණ්ඩලයේ මැදිහත්වීම මදි කියන කාරණය අපි පිළිගන්නවා. ගබඩා ප්‍රශ්න, කාර්ය මණ්ඩල ප්‍රශ්න තියෙනවා. 

අපි බය වුණා දිට්වා එක්ක කෘෂිකර්මාන්තය ගොඩගන්න යම් කාලයක් යයි ද කියලා. නමුත් අපි වන්දි ගෙවලා නැවත වගා කරන්න පටන්ගත්තා. ඒකට අපි ගොවි මහතුන්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒවගේම ගොවීන් එක්ක වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.  අපිට කීරි සම්බා පිටරටින් ගේන්න වෙනවා. ඒ නිසා අපි ගොවීන්ගෙන් ඉල්ලනවා කීරි සම්බා වැඩියෙන් වගාකරන්න.”

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව කලාපීය වටමේස සාකච්ඡාවට ශ්‍රී ලංකාව එක්වෙයි……

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා තායිලන්තයේ බැංකොක් නුවර පසුගිය 10 වෙනිදා පැවැති විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව කලාපීය වටමේස සාකච්ඡාවට එක්විය.

ඒ, මෙරට තුළ විවෘත පාලනය, විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීමේ අරමුණින්ය.

මෙම වටමේස සාකච්ඡාව සංවිධාන කර තිබුණේ, එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (Westminster Foundation for Democracy – WFD) විසිනි.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මාලදිවයින සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ නියෝජිතයින් සහභාගී වූහ.

ශ්‍රී ලංකාව මින් පෙර විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව (OGP) ක්‍රියාවලියෙන් අක්‍රීය වී තිබූ අතර, එය නැවත සක්‍රීය කිරීම සහ ඒ සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ මාර්ග සිතියම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

කලාපීය අසල්වැසි රටවල් විවෘත පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති සාර්ථකත්වයන් සහ අභියෝග පිළිබඳ අත්දැකීම් බෙදාහදා ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වේ.

විවෘත පාලන ප්‍රතිසංස්කරණ සඳහා දේශපාලන නායකත්වයේ සහයෝගය ලබා ගැනීම සහ එම ප්‍රතිසංස්කරණ හුදෙක් ලේඛනවලට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ජනතාව වෙත සමීප කරවන ආකාරය පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙම වටමේස සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමණික්කම් මහතා, OGP ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානී ස්වාති මෙහෙතා සහ එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) නියෝජිතයින් ද එක්ව සිටියහ.

සිසු සැරිය බස්රථ සේවාවට තවත් බස්රථ 200ක්…..

‘සිසු සැරිය’ බස්රථ සේවාව තවදුරටත් විධිමත් කිරීම සඳහා මෙම වසරේ දී නව බස් රථ 200කට අධික ප්‍රමාණයක් අලුතෙන් එක්කිරීමට නියමිතව ඇත.

ඉසුරුපාය පරිශ්‍රයේ අද (12) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් මේ බව තහවුරු කළේය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙම ‘සිසු සැරිය’ බස්රථ සේවය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම මාධ්‍ය හමුවේදී පාසල් සිසුන් ප්‍රවාහනය සම්බන්ධයෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී පාසල් සිසුන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමඛතාවක් සේ සලකා ක්‍රියා කරන බවය.

ඒ වෙනුවෙන් මෙම වසරේ දී රුපියල් බිලියනයක පමණ මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බව හෙතෙම පැවසීය.

මෙම අවස්ථාවට එක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සහ එහි සැලසුම් අධ්‍යක්ෂ ආලෝකා කරුණාරත්න මහත්මිය පෙන්වා දුන්නේ, පාසල් සිසුන්ගේ අධ්‍යාපනයට ඵලදායී සේවයක් සැපයීම අරමුණු කොට ‘සිසු සැරිය’ පාසල් බස් රථ සේවය තවදුරටත් විධිමත් කිරීමට නව ක්‍රියාමාර්ග රැසක් මේ වනවිටත් දියත් කෙරෙමින් පවතින බවය.

එහි ප්‍රධාන කරුණක් ලෙස පෞද්ගලික පාසල් ප්‍රවාහන සේවා නිසි ලෙස ප්‍රමිතිගත කිරීමට නීතිමය වශයෙන් තිබූ අවහිරතාව ඉවත් කිරීම පෙන්වා දෙනු ලැබූ අතර, එමගින් එම රථවල ප්‍රමිතිය, රියදුරන්ගේ පළපුරුදුභාවය හා රිය සහායක පිළිබඳ තොරතුරු ආදී වශයෙන් යම් නීතිමය සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ පිළිබඳ අණ පනත් කෙටුම්පත් කරමින් පවතින බවත් මෙහිදී ප්‍රකාශ කෙරිණි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ‘සිසු සැරිය’ බස් රථ සේවාව දීප ව්‍යාප්තව ඉතා පුළුල් ලෙස ව්‍යා‍ප්ත කිරීම සඳහා පෞද්ගලික බස් රථ සහ කුඩා මට්ටමේ ආරක්ෂිත වාහන හිමියන්ට ද ආරාධනා කරන බවය.

මෙහිදී ආසන්නවම ඇති ගමනාගමන මණ්ඩලයට හෝ ලංගම කාර්යාලයකට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් ඒ සඳහා දායක විය හැකි බව සඳහන් කෙරුණු අතර, පාසල්වල ප්‍රවාහන අපහසුතා ඇති සිසුන් සිටී නම් ඔවුන් පිළිබඳ විදුහල්පති මාර්ගයෙන් ඉහත ආයතන දැනුම්වත් කිරීමෙන් මෙම පහසුකම් සලසාදිය හැකි බවත් වැඩිදුරටත් දැන්වීය.

ලක්විජය බලාගාරයේ යන්ත්‍රවලට හානියක් සිදුව නොමැති බව කෝප් කමිටුව කියයි……

මෑත කාලීනව මෙරටට ආනයනය කරන ලද ගල්අඟුරු භාවිතයෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අදාළ යන්ත්‍රෝපකරණවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය හයවෙනිදා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ස්ථානීය පරීක්ෂාවකට එක්වූ අවස්ථාවේදීය.

බලාගාරය නිසි පරිදි ක්‍රියාත්මක වන බවත්, විදුලිය ජනනය කිරීමේ යම් අඩුවක් පැවතුණද, එය මේ අවස්ථාවේ රටෙහි බලශක්ති අවශ්‍යතාවය අනුව ගැටළුවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී අවශ්‍ය වන ගල්අඟුරු ප්‍රමාණය බලාගාරය සතුව ඇති නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වන තෙක් ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටි‌යේය.

මෙම ස්ථානීය පරීක්ෂාවේදී ගල්අඟුරු ගොඩබෑමේ සිට ගල් අඟුරු මගින් විදුලිය ජනනය කරන තෙක් වන ක්‍රියාවලියට අදාළ සියලුම කටයුතු පරීක්ෂාවට ලක්කරන ලදී.

ගල් අඟුරු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැදි සාම්පල ලබා ගැනීම, නියැදි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව කාරක සභාව සිය අවධානය යොමු කළේය.

මෙරටට ආනයනය කරන ගල්අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීම ප්‍රතීතනය  සහිත රට තුළම ස්ථාපිත ස්වාධීන පරීක්ෂණාගාරයක් මගින් සිදු කිරීම විදුලි ජනනය සඳහා ගල් අඟුරු ආනයනයේදී වැදගත් වන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිය නිරීක්ෂණය මගින් අනාවරණය කළේය.

රටෙහි පවතින විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා කල්පිටිය අර්ධද්වීපයෙහි නාරක්කල්ලිය පිහිටි නොරෝච්චෝලේ ලක්විජය බලාගාරය ඉදිකර තිබේ.

මෙරට විශාලම සහ එකම ගල්අඟුරු බලාගාරය ලෙස ජාතික විදුලි පද්ධතිය සඳහා 900MWකට අධික දළ ධාරිතාවක විදුලිය නිකුත් කරනු ලබයි.

රටෙහි විද්‍යුත් ශක්ති අවශ්‍යතාවයෙන් 35% – 40% පමණ මෙම බලාගාරය විසින් නිපදවනු ඇත.

විදුලිබල මණ්ඩලයට අනුයුක්ත 845 දෙනෙකුගෙන් පමණ සමන්විත වන කාර්ය මණ්ඩලයකින් බලාගාරය සමන්විත වන බවත්, ලක්විජය බලාගාරයේ කළමනාකරු ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අනාවරණය විය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ශ්‍රී ලංකාවේ ඇති විශාලතම විදුලි බලාගාරය මෙන්ම, එකම ගල් අඟුරු බලාගාරය වන අතර එය මෙරටෙහි විද්‍යුත් ශක්ති අවශ්‍යතාවයෙන් 35% – 40% පමණ නිපදවනු ලබයි.

ගල්අඟුරු ගොඩබෑමෙන් අනතුරුව ගබඩා කර තැබීම සඳහා අක්කර 47කින් යුක්ත අංගනයක් බලාගාරය සතුව පවතී.

එහි නියැදි පරීක්ෂාවට අවශ්‍ය විද්‍යාගාර පහසුකම් හා විදුලි ජනනය සම්බන්ධයෙන් තත්‍ය දත්ත පරීක්ෂා කිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඇතුළු පහසුකම් බලාගාරය සතුව පවතින බව එහිදී අනාවරණ විය.

ආනයනය කරන ගල්අඟුරුවල තත්ත්වය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේ ගැටලු සහගත අවස්ථා පැවතීම හේතුවෙන් එම ක්‍රියාවලිය වැඩි දියුණු කරගැනීම සුදුසු බව කමිටුවේ අදහස විය.

ප්‍රතීතනය සහිත රට තුළම ඇති ස්වාධීන පරීක්ෂණාගාරයකින් මෙම පරීක්ෂණ කටයුතු කිරීමේ වැදගත්කම කමිටුව එහිදී පෙන්වා දුන්නේය.

ජනපති සහ ලංවිම ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක්…..

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට හිමිව තිබූ සියලු අයිතිවාසිකම් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී නව සමාගම් තුළ ද තහවුරු කිරීම රජයේ ස්ථාවරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට, කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සහ නව සමාගම්වල අයිතිය රජය යටතේ පවත්වා ගනිමින් රටක් ලෙස බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම එම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙහි අරමුණ වන බව එහි සඳහන්.

විදුලිබල මණ්ඩලය ලෙස පවතින අවස්ථාවේදීම විසඳා ගත යුතුව තිබූ, එහෙත් මෙතෙක් නොවිසඳී ඇති ගැටලු පිළිබඳව ද වෘත්තීය සමිති නියෝජිතයන් අනුර කුමාර දිසානායක මහතා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

මෙය කිසිසේත් සුමට ක්‍රියාවලියක් නොවන බවත්, දීර්ඝකාලීන සහ සැලසුම්සහගත ක්‍රියාවලියක් බවත් එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම පරිවර්තනීය කාලය තුළ සේවකයන් සහ නව සමාගම් අතර මනා අවබෝධයකින් යුතු සංවාදයක් පවත්වා ගැනීමේ වැදගත්කමත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන් බව අදාළ නිවේදනයේ සඳහන්ය.

එමෙන්ම, සේවකයන්ගේ මානසික නිදහස තහවුරු කරමින්, ඔවුන්ගේ අනාගත අපේක්ෂා හඳුනාගනිමින් ඔවුන්ට සිය සේවය තෘප්තිමත්ව සැපයිය හැකි නිදහස් පරිසරයක් සකසාදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණ කළේය.

සියලුදෙනා එක්ව අවබෝධයෙන් සහ රට ගැන හැඟීමෙන් යුතුව කටයුතු කිරීමෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කරගත හැකිය.

මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගනිමින්, මෙරට විදුලි පාරිභෝගිකයන්ට වඩා හොඳ සේවාවක් සහතික කිරීමටත්, මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමටත් එක්ව වැඩ කරමු’යි සියලු වෘත්තීය සමිතිය නියෝජිතයන්ට ජනාධිපතිවරයා ආරාධනා කළේය.

මෙම නව පරිවර්තනයේ අවශ්‍යතාව තමන් ද පිළිගන්නා අතර, එහිදී රජය සමඟ අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට දායකත්වය ලබා දෙන බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ.

රටම බලාසිටින අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ප්‍රකාශයට පත් කරන දිනය මෙන්න……

මෙරට සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබන 16 වනදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

නැකැත් සම්පාදනය කිරීමට පාර්ශව දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් මේ වන තෙක් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

1991 වසරේ සිට අලුත් අවුරුදු නැකත් සම්පාදනය රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවූව ද 2024 වසරේ දී නැකත් කමිටුවේ සාමාජිකයින් අතර පැවති මතභේද හේතුවෙන් සංස්කෘතික කටයුතු භාර හිටපු අමාත්‍යවරයා විසින් රාජ්‍ය නැකැත් කමිටුව විසුරුවා හැරීමට පියවර ගෙන තිබූ බව සඳහන්ය.

ඒ අනුව 2025 වර්ෂයේදී පොහොය කමිටුවේ සාමාජිකයින් වන සාම්ප්‍රදායික පංචාංග ලිත් කතෘවරුන් මගින් අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්පාදනය කිරීමට පියවර ගත් බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් 2026 වර්ෂය සඳහා නැකැත් සම්පාදනය කිරීමට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වී ඇති අතර පොදු එකඟතාවකට එළඹීමේ අරමුණින් අවස්ථා 4කදී එම කණ්ඩායම් සමග සාකච්ඡා කළ ද මේ දක්වාත් ඒ පිළිබඳව එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව සඳහන්ය.

ඒ අනුව තවදුරටත් එම දෙපාර්ශවය සමඟ සාකච්ඡා පවත්වමින් සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව ඒකාබද්ධව සකස් කර ලබන 16 වැනිදා ප්‍රකාශයට පත් කිරීම සිදුවන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගෙන්වන ඉන්ධන තොග අප්‍රේල් අග තෙක් ප්‍රමාණවත් – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි…..

මෙම මස තුළ මෙරටට ළඟාවන බවට තහවුරු කර ඇති ඉන්ධන නෞකාවල ඉන්ධන තොගවලින් එළඹෙන අප්‍රේල් අග දක්වා ප්‍රමාණවත් ඉන්ධන රටට ලැබෙනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

“අද දිනය වනවිට කොළඹ වරායේ බොර තෙල් නෞකාවක් බාමින් තිබෙනවා. දින 18 පමණ සරිලන ප්‍රමාණයේ ඉන්ධ නිෂ්පාදනය කළ හැකි බොර තෙල් නෞකාවක්. ඊට අමතරව තවත් නෞකා 4ක් මේ මාසයේ පැමිණීමට ස්ථිරකර තිබෙනවා. 14, 15 කියන දිනයන් හි  ඒ නැව් එනවා. එකේ ඩීසල් මෙට්‍රික්ටොන් 19,000ක් සම පෙට්‍රල් මෙට්‍රික්ටොන් 21,000ක් තියෙනවා. ඒ වගේම  17 සහ 18 කියන දවස් දෙකේ තවත් නෞකාවක් එනවා. එකේ ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 20,000 බැගින් තිබෙනවා. ඒ දෙකෙම එන්නේ සිංගප්පූරුවෙන්. ඊට පස්සේ 21 සහ 22 දිනයනවල ඩීසල් සහ පෙට්‍රල් නැවක් එන්න තියෙනවා ඒක එන්නේ ඉන්දියාවෙන්. ඊට පස්සේ 27, 28 කියන දෙදින තුළ ඉන්දියාවෙන් පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000කුත් ඒ වගේම 29 සහ 30 කියන දවස්වල ඩීසල් මෙට්‍රික්ටොන් 37,000ක් සිංගප්පූරුයෙන් ලංකාවට ඒමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ගත්විට මේ මාසයේ අපි ඇනවුම්කරන ලද සියලුම නෞකා මේ වෙද්දි ස්ථිර කරලා තියෙනවා එන බවට. ඒ වගේම ඉන් කිහිපයක් ලංකාවට පිටත් වෙලා තියෙනවා. මේ එන නෞකාවල ගත්තාම අපේ තෙල් තියෙනවා ඊළඟ මාසේ අවසාන සතිය වෙනතුරු තියෙනවා.”

ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේන රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) පස්වරුවේ නියෝග කළේය.

කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ගත් බවට වූ චෝදනා යටතේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.

ඒ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට වූ චෝදනාවකට අදාළවය.

පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කෙරුණේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතය.