කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩුව කල්යයි…..

අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු ඇති නඩුව ඔක්තෝබර් 01 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන අතුරින් කිහිපයක් අල්ලස් කොමිසම විසින් විත්ති පාර්ශවයට විවෘත අධිකරණයේදී භාර දෙනු ලැබීය.

තවදුරටත් ලේඛන අවශ්‍ය නම් ඒවා අද දින සිට සති දෙකක් ඇතුළත අධිකරණයට දැනුම් දෙන ලෙස එහිදී අධිකරණය විසින් විත්ති පාර්ශවයට නියම කර ඇත.

ඉන් අනතුරුව නඩුව යළි ඔක්තෝබර් 01 වනදා කැඳවීමට දින නියම කෙරිණි.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය , සෞඛ්‍ය හා පරිසර අමාත්‍යංශවල කටයුතු කරමින් අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා, ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

කෙහෙළියගේ පුත් රමිත් මාස 21කට කෝටි 27ක වත්කම් උපයලා…..

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (12) අධිචෝදනා ගොනු කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මාස 21ක කාලයක් තුළ රමිත් රඹුක්වැල්ල රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගෙන ඇතත්, උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධිචෝදනා කර ඇත.

එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වත්කම් අතර සුඛෝපභෝගි නිවාස, ජීප් රථ ඇතුළු වත්කම් රැසක් පවතින බව වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේදී රමිත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබුණි.

එම ධුරයේ කටයුතු කරන අතරතුර 2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා මාස 21ක කාලසීමාව තුළ ඔහු රුපියල් 296,566, 444.76 ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඇත.

ඉන් රුපියල් 275,302,616.06ක වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට රමිත් රඹුක්වැල්ල අපොහොසත් වී තිබේ.

අල්ලස් කොමිසම දූෂණ විරෝධී පනත යටතේ අධිචෝදනා ගොනු කර ඇත්තේ ඒ අනුවය.

තවද එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වූ වත්කම් අතර, කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 8ක් සහ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක් වටිනා නිවාස දෙකක් ඇත.

එමෙන්ම රමිත්ගේ නමින් තිබෙන බැංකු ගිණුම් 4ක්, ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුම් 4ක්, එක්කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් discovery jeep රථයක් ඇතුළු වත්කම් රැසක් පවතින බව වාර්තා වේ.

එසේම විත්තිකරුගේ හා බිරිඳගේ නම්වලින් ඇති බැංකු ගිණුම්වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇතැයිද අල්ලස් කොමිසම අනාවරණ කරගෙන තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු….

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

අදාළ නඩුව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ ඊයේ (12) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.

ජාතික ජන බලවේගයේ ප්‍රදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාට මරණ තර්ජනය කල බව කියන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණ සමයෙහි වැලිගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු නීතිඥ තාරක නානායක්කාර මහතාට තර්ජනය කිරීමේ චෝදනා මත වින්දිතයන් සුරැකීමේ පනත යටතේ ඔහුට මෙලෙස නඩු පවරා තිබේ.

එම නඩුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඊට පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටිමින් ඔහු රෝගාතුර බව දන්වා ඇත.

එහෙත් ඔහුගේ ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට….

වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ඔහුගේ සමීපතමයෙකු නීතිවිරෝධීව ආනයනය කළ ජීප් රථ 2ක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ රවින්ද්‍ර කුමාර නම් 58 හැවිරිදි හිටපු සභාපතිවරයා සහ ලක්ෂිත මනෝජ් නමැති 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

හිටපු ජනපති චන්ද්‍රිකාත් නිවසින් පිටවෙන්න සුදානම් – මෛත්‍රී පිටව ගිහින්….

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානම් බව වාර්තා වේ.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් පිටව ගොස් තිබේ.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් නිල නිවසෙන් පිටව ගියේය.

ඒ ඊයේ (10) දිනයේ සම්මත වූ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතට අනුව හිටපු ජනාධිපතිවරුන්ට එම වරප්‍රසාදය අහිමි වී යෑමත් සමඟය.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් රැඳී සිටින්නේ පෞද්ගලික නිවාසවලය.

එමෙන්ම හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මියද පසුගිය වසරේ සිට නිල නිවසින් ඉවත්ව සිටී.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනතට ඊයේ කථානායක අත්සන් තැබූ අතර ඒ අනුව එතැන් සිට හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹූවට සපයන ලද නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාවත්, මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් මෙන්ම වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුපද අහිමි වනු ඇති.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවේ.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙට…..

“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)”  පනත් කෙටුම්පත හෙට දින (10) පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා විවාදයට ගැනීමට (දෙවනවර කියවීම) තීරණය කර තිබේ.

අද (09)  කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙය තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ බව දැනුම් දී ඇත.

හිටපු මන්ත්‍රී රාජිතට රාජිතට ඇප හිමිවෙයි….

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

බාහිර මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරනවා – ඇමති විජිත ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී කියයි…..

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (08) පස්වරුවේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසි වාරය අමතන ලදී.

එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කර සිටියේ, එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති යුද ගැටුම්වල දී සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් උල්ලංගණයන් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවරාකාරයේ හෝ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය.

තවද, මෙම සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට ප්‍රතිචාර දක්වමින්, රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණක් බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ විය.

සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදී නොමැති බවට සඳහන් කර ඇත.

අද සිට ඔක්තෝබර් 8 වනදා දක්වා පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා එරටට ගොස් සිටියි.

සැසිවාරය අතරතුර ඒ ඒ රටවල, තරුණයින්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම, ප්‍රචණ්ඩත්වය පිටුදැකීම, ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් ආදි මාතෘකා යටතේ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එසේම මියන්මාරය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, සුඩානය‍, පලස්තීනය, සිරියාව ආදි රටවල මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳ වාර්තා සහ වාචික යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කිරීමට නියමිතය.

මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි.

එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය හමුදාවේ හා අනෙකුත් ආරක්ෂක අංශවල බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිගැනීමට වසර ගණනාවක් පුරා අසමත්ව ඇති බවය.

එමෙන්ම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට කටයුතු කිරීමට බලය හිමි වන රෝම ප්‍රඥප්තියට අත්සන් තැබීමටද මෙමගින් නිර්දේශ කර තිබේ.

කෙසේවෙතත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබුණි.

එමගින් ශ්‍රී ලංකා දූත මණ්ඩලය පෙන්වා දී ඇත්තේ අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පදනම් වූ මානව හිමිකම් මණ්ඩලය සම්මත කළ 57/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන නොමැති බවය.

ඒ යටතේ ක්‍රියාත්මක වන වගවීම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව විරුද්ධත්වය පළකරන බවත්, දේශීය සංහිඳියා ක්‍රියාවලියට එවැනි බාහිර ව්‍යාපෘතීන් අගතිදායක වන බවත් එමගින් පෙන්වා දී ඇත.

සංචාරය අතරතුර විජිත හේරත් අමාත්‍යවරයා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

නිමල් ලාන්සාට ඇප…..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඇප මත මුදා හැර තිබේ.

2006 වසරේ සිදුවූ සිදුවීමක් සම්බන්ධව කොච්චිඩේ පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

ඒ අනුව අද (07) දිනයේදී මීගමුව මහාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇප මත මුදා හැර තිබේ.

සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්…..

මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඒ සඳහා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කිරීමටද එක්සත් ජාතික පක්ෂය මෙහිදී අදහස් කර ඇත.

සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කරනු ලැබිය.

එම සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මේ අනුව සමගි ජන බලවේගය සමඟ විවෘතව වැඩ කිරීමට තීරණය කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.