අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්…….

මේ මොහොතේ වූවද රට භාර ගැනීමට සූදානම් බවත්, පවතින ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙළ තමන් සතු බවත් සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකික ප්‍රජාව සමග පැවැත්වූ විශේෂ හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

“කැක්කුම Sri Lanka – Mingle with Dilith” විශේෂ හමුව ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හී  Acacia Campus Theatre ශාලාවේදී ආරම්භ විය.

සර්වජන බලය සහ මෙල්බර්න් සහෝදරත්වය (Melbourne Solidarity) එක්ව සංවිධාන කළ මෙම හමුව සඳහා මෙල්බර්න් හී වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්ව සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,

“ඔබ දන්නවා අද ඩොලරය මේ වේගයෙන් උඩට යන්නේ ඇයි කියලා. ඒක ඕන බබෙකුට තේරෙනවා. මේක ගල්ෆ් යුද්ධය නිසා සිදු වුණු දෙයක් නෙමෙයි. සුළු බලපෑමක් තිබුණත්. අපි ඩොලර් වලින් ගෙවලා රුපියල් වලින් අයකරගෙන බදු, ප්‍රාථමික ගිණුමට දාගෙන ,  ප්‍රාථමික ගිණුමේ අපිට රුපියල් වලින් ට් රිලියන එකයි දශම දෙකක් තියෙනවා කියලා පාරම්බානකොටම සියලු දෙනා දැනගත යුතුව තිබුණා අපි මේ ඉඟුරු දීලා තමයි මිරිස් අරන් තියෙන්නේ කියලා. කේන්ද්‍රීය උපාය මාර්ගික වැඩපිළිවෙලක් නැති, කිසිඳු දේශපාලන ව්‍යාපාරයකට රටක් ජයග්‍රහණය කරා ගෙනියන්නට බැහැ. අවුරුදු පහ ඉන්න පුළුවන්. හැබැයි රටට සුගතියක් වෙන්නේ නැහැ. අපි වලට වැටෙන එක විතරයි වෙන්නේ.” 

ප්‍රශ්නය – මේ රටේ කැක්කුම හොඳ කරගන්න ඔබතුමා මේ යන ගමන තනියමද යන්නේ නැත්නම් වැඩපිළිවෙලක්, කණ්ඩායමක් සමගද කියලා දැනගන්න කැමතියි.

“පෞද්ගලිකව මා දිහා බලන්න එපා. ඒ නිසා තමයි, අපේ දේශපාලන ව්‍යාපාරය අර සාම්ප්‍රදායික මේ නායකයා, කේන්ද්‍රීය දේශපාලන ව්‍යාපාරයකට නෙමෙයි සර්වජන බලය ඉන්නේ. ඒක නිසා, අපේ ආකෘතියම වෙනස්. අපි සැලකිලිමත්, අපිත් එක්ක එකතුවෙන කණ්ඩායම් ගැන. නමුත් සාම්ප්‍රදායික දේශපාලනයත් එක්ක මුසු වුණු අපේ නැවුම් අපේක්ෂාවන් සමඟ එකඟ වෙන්නත් පුළුවන් අන්තිමට ඡන්ද ගන්නත් පුළුවන්, වැඩපිළිවෙලක තමයි අපි ඉන්නේ. ඒක නිසා අපි ඒගොල්ලෝ ඔක්කොම එකතු කරගෙන තමයි මේ ගමන යන්නේ.” 

ප්‍රශ්නය – දැන් අවුරුදු පහෙන් පහට මිනිස්සු මේ දේශපාලන කතා වලට අහුවෙලා, ඒ එකසිය පනස් නමයක් හරි, දෙසිය විසිපහම හරි බහුතරයක් දීලා, ආණ්ඩුව පත් කරාට පස්සෙත්, ඒ මිනිස්සුන්ගේ විශ්වාස කරපු දේවල් ඉටුවෙන් නැති වුනහම, මිනිස්සුන්ට එන්නේ මාරම තරහක්. ඉතින් මම  දිලිත් අයියගෙන් අහන්න කැමතියි, ඔබතුමාට බහුතරය හම්බුනා පස්සේ ඔබතුමත් ඔය දෙන පොරොන්දු ඉටු කරන්න බැඳිලා ඉන්නවද? එහෙම නැත්නම් මාස දෙකක් විතර ගියාට පස්සේ ඔය කියන කතා වෙනස් කරලා අර පරණ පුරුදු එකේම ඉස්සරහට යනවද? එහෙම වුනොත් මට වෙන්නේ ඔබතුමාටත් විඩියෝ හදන්න.

“ඒක නිසාම තමයි අපි පොරොන්දු දේශපාලනයක් කරන්නේ නැත්තේ. මොකද පොරොන්දුවක් දුන්න ගමන්ම අහනවා ඒක වෙන්නේ කොහොමද කියලා. ඔය අලුත් පරම්පරාව කිසි දෙයක් අපි කිව්ව පලියට විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ අහනවා ඒ ලොජික් එක මොකක්ද කියලා. ඒකේ පිටිපස්සේ තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඒකම නිසා තමයි අපි මේ ලොජිකල් සීක්වන්ස් එකක් තියෙන වැඩ පිළිවෙලක් අරගෙන ගිහිල්ලා අමාරුවෙන් මාර්කට් කරන්න හදන්නේ. මීට වැඩිය පහසු මාකටින් දේවල් තියෙද්දී. අපිටත් පුලුවන් විශාල මඩ ව්‍යාපාරයක් පමණක්ම කරලා සෑහෙන ජනතා ප්‍රසාදයක් මේ අවස්ථාවේදී කොහොම වුණත් අපිට හේතුවක් නැහැ බොරු කියලා ඡන්දේ අරගෙන අමාරු රස්සාවක් කරන්නට ඔය තැනට ගිහිල්ලා. ඒක නිසා අපි එහෙම බලාපොරොත්තුවක් නැහැ. අපි ඉන්නේ ඔබ ඉන්න පරාසයේ සතුටු දැයක් හදන්නට. ඉතින් සතුටු දෑයක් නෙමෙයි ඒක එහෙම වුණොත්. “

ප්‍රශ්නය – මේ අවස්ථාව හම්බුණොත් දෙදහස් විසිනමය වෙනකම්ම ඉන්නේ නැතුව ඔයාට ඔෆර් වුණොත් එහෙම ජනාධිපතිකම වෙන්න පුළුවන්නේ. මේ දවස්වල තියෙන ක්‍රයිසිස් එක. දැන් පටන් අරගෙන තියෙන්නේ. මේක කොහොමද ඔයා ටැකල් කරන්නේ?

“වැඩ පිළිවෙලක් නැතුව වැඩේ භාරගන්න නරකයි. දැන් හැබැයි අපිට දැන් දුන්නොත් දැන් කරනවා. අද දුන්නොත් අද කරලා පෙන්නනවා. ඒක කරන්න. ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයක මුලට ගියොත් ඒක ඉතාම සරලයි. දැන් තියෙන ප්‍රශ්නේ මේ ඩොලර් එක මත එන පීඩනය අංක එක. ඒක පිළිගන්නට ඕන. මේක තමයි අංක එක.  දැන් අපේ ආර්ථිකයට එන පීඩනය මේක. දැන් මේක කළමනාකරණය කරගන්න නම් පළවෙනියටම කරන්න ඕන මොකක්ද මේ අවස්ථාවේදී සැබෑ, අවංක, විශ්වාසවන්ත, දෙබසක් ජනතාව ඒක අරඹන්නට ඕනේ. මොකද අද නැතිවෙලා තියෙන්නේ මේ රටට නායකත්වය ගැන තියෙන විශ්වාසය මිසක් ඩොලර් නෙමෙයි. ගොඩනැගිය යුතු මේ විශ්වාසය ගොඩනගන්නට පුළුවන් පැය ගානක් ඇතුලත සත්‍ය කතා කරලා ජනතාවත් එක්ක සංවාදයකට යන්නට ඕන. දැන් නැවතත් පාරම්බානවා නම් නැවතත් ඩොලර් නැතිවීමට හේතුව වෙන කවුරුහරි කෙනෙක් කියලා කියනවා නම් ඒක ගොඩ දාන්න බැහැ.” 

“ඒක අංක එක. අනිත් එක තමයි ණය හිමියන්ට ඕන විදියකට ව්‍යාපාරයක් පවත්වාගෙන ගියොත් හරියට බැංකුව, බැංකුවට ඕන විදියට අපි ව්‍යාපාරය කරගෙන යනවා වගේ. අපි තේරුම් ගන්නට ඕන අපේ ණය හිමියන් අපිට වඩා අසරණ තත්ත්වයක ඉන්නවා. අපෙන් ණය අය කර ගැනීම එතකොට මේ එක තමයි අපි පාවිච්චි කරලා නැත්තේ. මම අයි. එම්. එෆ්. විරෝධියෙක් නෙමෙයි. නමුත් මම කියන්නේ අයි. එම්. එෆ්. එක මේ ගෙනියන ප්‍රෝග්‍රෑම් එක තුල තමයි අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක කරගන්නට තරම් වූ ශක්තියක්, පෞරුෂයක්, දැනීමක් නොමැති වීමෙන් තමයි මේ අද අර්බුදයට ලොකුම හේතුව.”

රණවිරු ස්මාරකය අසල ඇතිවූ සිද්ධියට ප්‍රකාශයක් දෙන්න විමල්ට කැඳවීමක්…..

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාට පොලිසියෙන් කැඳවීමක් ලැබී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් කියා සිටියේ, ඒ සඳහා තමන් එළැඹෙන සඳුදා තලංගම පොලිසිය වෙත යන බවය.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවට වත්මන් ආණ්ඩුවේ පිරිස් ප්‍රකාශ කළද, එය වචනයට පමණක් සීමා වී ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ විමල් විරවංශ මහතා,

“සියලු රට වැසියන්ට තියෙන අයිතිය අනුව රණවිරු ස්මාරකයට මල් තියලා, වීරෝදාර රණවිරුවන්ට අපේ උත්තමාචාරය පුද කරන්න ගියා. ඒකට බාධා කරා. බාධා කරලා දැන් අපිට කියනවා ප්‍රකාශයක් ගන්න පොලිසියට එන්න කියලා. අපි සඳුදා උදේ යනවා තලංගම පොලිසියට අපේ ප්‍රකාශය දෙන්න. 

ජනාධිපතිවරයා කියනවනේ නීතිය කාටත් එක හා සමානයි කියලා. හැබැයි අධිකරණ අමාත්‍යංශයට අයිති මල්වානේ මන්දිරය අත්පත් කරගත්ත කට්ටියට නීතිය ක්‍රියාත්මක වුනේ නෑ. 

අපි ගියේ මොකක් හරි අත්පත් කරගන්න නෙවෙයි. අපි ගියේ මහජනයාට විවෘත පොදු ස්ථානයකට. ඒ ස්මාරකය හැදුවේ මහජනයාට ඒ වැඩේ කරන්න. ඊට කලින් අවුරුද්දෙත් අපි ගියා. 

අපට නීතිය එක විදිහක්. අන්තරේ පැටව් ටික මල්වානේ මන්දිරය අත්පත් කරගන්නකොට නීතිය ගොළුයි, නීතිය අකර්මන්‍යයි, නීතිය ගරහිතයි” යනුවෙන් පැවසීය.

බැසිල් රාජපක්ෂට වරෙන්තු……

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා නියෝග කර තිබේ.

මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට ඒ මහතා අද (22) දිනයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර ඇත.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් බැසිල් රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය මග හරිමින් සිටින බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්තාත් චතුරංග එරංග දිසානායක මහතා බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි……

රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර කඩිනම් ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා ඇත.

රුපියල වේගවත්ව අවප්‍රමාණය වීම, ජීවන වියදම ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව වැඩිවීම යන කරුනු  පක්ෂ දේශපාලනයකින් තොරව අවදානයට ලක්කළ යුතු ගැටලු බව ඔහු වැඩිදුරටත් මෙහි සඳහන් කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සුරේෂ් සලේ බව පැහැදිලියි – දිලීප පීරිස්…..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මැතිවරණයක් ඉලක්ක කරගෙන සුරේෂ් සලේගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බවත්, ප්‍රහාරයේ මහ මොළකරු ඔහු යන්න පැහැදිලි වන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (20) ප්‍රකාශ කළේය.

මෙහිදී සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැන්වූයේ, සිය සේවාදායකයා මහෙස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත්, ඒ සඳහා ඉඩ ලබාදෙන ලෙසත්ය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ, එලෙස ප්‍රකාශයක් ලබාදීම විමර්ශන අඩාළ කිරීමේ උත්සාහයක් බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන නොමඟ යැවීමක් සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළ මෙම නඩුව කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද යළි කැඳවනු ලැබීය.

මේ සඳහා දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණය වෙත රැගෙන ආවේය.

විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහත අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ,

“ස්වාමීනි…. අද දින පිටු 14 ක දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ වාර්තාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් සිදුකළ අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රංශයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගිහින් එහි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේදී තමයි මේ ප්‍රකාශය සටහන් කර ගත්තේ. ඔහු එම ප්‍රකාශය තුළින් පාස්කු ප්‍රහාරය ගැන දීර්ඝ විස්තරයක් කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයට අනුව තුවාන් සුරේෂ් සලේ මේ ප්‍රහාරයේ මහමොලකරු වශයෙන් කටයුතු කර තිබෙන බව පැහැදිලි වෙනවා. දේශපාලන අවශ්‍යතාවයක් ඉටුකිරීම සඳහායි එය කර තිබෙන්නේ.” යනුවෙනි.

වැඩිදුරටත් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ,

” ස්වාමීනි… අලියාර් හංදියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සහරාන් හෂීම්ගේ කල්ලියේ සාමාජිකයෙක් වන සෙයිනි මවුලවී බන්ධනාගාරගත වෙනවා. මේ සෙයිනි මවුලවී කියන පුද්ගලයා සහ පිල්ලයාන් සිටින්නේ එකම සිරකුටියේ. සෙයිනි මවුලවී පිල්ලයාන්ට ප්‍රකාශ කරනවා අපේ කණ්ඩායමේ ඉන්නවා මැරෙන්න සූදානම් පිරිසක් කියලා. මේ තොරතුර සැකකාර සුරේෂ් සලේට ආරංචි වෙනවා. ඔහු මේ මැරෙන්න කැමති කට්ටියගෙන් වැඩක් ගන්න කටයුතු කරනවා. ඒ අනුව තමයි සෙයිනි, සලේ සහ පිල්ලයාන් සම්බන්ධ වන්නේ. පාස්කු ප්‍රහාරයෙන් මියගිය  සහරාන් හෂීම් ඇතුළු ස්වංඝාතක ප්‍රහාරයකින් හයදෙනෙකු පුත්තලමේදී සුරේෂ් සලේ හමුවී සාකච්ඡා කරලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය  සිදුවූ අවස්ථාවේදී සැකකාර සුරේෂ් සලේ අසාද් මවුලානාට ඇමතුමක් ලබා දෙනවා. ඇමතුමක් දීලා කියනවා ටාජ් සමුද්‍රා ඒක ළඟට ගිහිල්ලා එහි සිටින පුද්ගලයෙක්ව ගන්නා ලෙසට. ඔහුගේ දුරකථනය භාරයට ගන්න කියලත් කියනවා. ඒ පුද්ගලයා තමයි දෙහිවලදී බෝම්බයක් පුරවා ගත් ජමිල් නමැත්තා. මේ ජමීල් නමැති බෝම්බකරු අහිංසක පුද්ගලයෙකු බවට වරුණ ජයසුන්දර විසින් සඳහන් කර තිබෙනවා. ඒ නිසා අපි වරුණ ජයසුන්දර නමැති නිලධාරියා සම්බන්ධයෙනුත් විමර්ශනය කරනවා” යනුවෙනි.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා

“මේ ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපුව බන්ධනාගාරයට ගිහින් පිල්ලයාන් හමුවෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සතියකින් එළියට ගන්නා බවට ඔවුන් පිල්ලයාන්ට දැනුම් දෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා. ඉන් පසුව යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබූ සුරේෂ් සලේව සමස්ථ  රාජ්‍ය බුද්ධි සේවයේම ප්‍රධානියා වශයෙන් පත්කරනවා. එසේ කරන්නේ බුද්ධි තොරතුරු වෙනත් අංශ වෙත ගමන් කිරීම වැළැක්වීමටයි. සෙයිනි මවුලවී රක්ෂිත බන්ධනාගාර ගත වුණාම ඔහුට ඇප ගන්න රුපියල් දෙලක්ෂ පනස්දාසක මුදලක් වැය කරනවා. ඒ මුදල ගෙවලා තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශයෙන්. ස්වයං ඝාතකයින් ආරක්ෂා කරගන්න අපේ මහජන මුදල් වැය කර තිබෙනවා. එසේ කරලා තිබෙන්නේ මාස හයකින් එළඹෙන ඡන්දය තෙක් මෙම අන්තවාදී ක්‍රියා සම්බන්ධ තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමටයි. පිල්ලයාන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එකට කටයුතු කර තිබෙනවා. එසේ කටයුතු කර තිබෙන්නේ රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නෙමෙයි. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට හා ඝාතන සිදු කරන්නයි එසේ කටයුතු කරලා තිබෙන්නේ. අසාද් මවුලානාගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වෙලා තිබෙනවා පිල්ලයන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එක්ව සිදුකළ අපරාධ ගැන. මාධ්‍යවේදීන් වන ප්‍රගිත් එක්නැලිගොඩ පැහැරගෙන යාම කීත් නොයාර්ට පහර දීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහර දීම වැනි කටයුතු වලට මෙම කල්ලි සම්බන්ධ වී තිබෙනවා. පිල්ලයාන්ගේ කල්ලියේ දෙදහකට අධික පිරිසකට යුද හමුදා බුද්ධි අංශයෙන් වැටුප් ගෙවා තිබෙනවා. ඒ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නෙවෙයි. දේශපාලන කොන්ත්‍රාත් කරන්නයි මේ වගේ දේවල් කරලා තියෙන්නේ. මෙවැනි ක්‍රියා වැළැක්වීමට කටයුතු කරන්න කියලා මම යුද හමුදාපතිවරයාට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. මෙවැනි ක්‍රියා දිගටම සිදුවුණොත් යුද හමුදාපතිවරයාවත් සැකකරුවෙක් හැටියට අධිකරණයට ගේන්න වෙනවා තොරතුරු වසන් කිරීම සම්බන්ධව. පාස්කු ප්‍රහාරයෙන් පසුව අසාත් මවුලානාගේ පවුලේ අයව අහුන්ගල්ලේ හෝටලයකට ගෙන්වාගෙන තිබෙනවා. සුරේෂ් සලේ  විසින් තමයි එය කර තිබෙන්නේ. තානාපති කාර්යාලයේ රැකියාවක් ලබා දෙන බවටත් ඔහුට සඳහන් කර තිබෙනවා. මේ හෝටලේ ලොග් පොත් වල සටහන් සියල්ල අපි ලබාගෙන තිබෙනවා. ” යනුවෙන් පවසා ඇත.

වැඩිදුරටත් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා

” ස්වාමීනි… රැඳවුම් භාරයේ පසුවන සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම තරයේ විරුද්ධ වෙනවා. ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වෙලා තිබෙනවා. මේක ඔහුට වේදිකාවක් කරගන්න ඉඩ දෙන්න බෑ. මේ දවස් වල පුද්ගලයින් අබිරහස් ආකාරයට මිය යනවා. ඒ නිසා මේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා විසින් කළ නියෝගය ඉවත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. සැකකාර සුරේෂ් සලේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ එකසිය විසිහත් වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. මේක මේ විමර්ශනය අඩාල කරන්න කරනු ලබන උත්සාහයක්. සංවිධානාත්මක කල්ලියකට අවශ්‍ය වෙලා තිබෙනවා මේ විමර්ශනය අඩාළ කරන්න. මේ විමර්ශනය නවත්වන්නයි බලාගෙන ඉන්නේ. “ යනුවෙන් පවසා ඇත.

වැඩිදුරටත් කරුණු දැක්වූ  අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා

“කිසිදු සැකයක් නෑ. සුරේෂ් සලේ  තමයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ග්‍රහයා. ඔහු වටේ තමයි අනෙකුත් ග්‍රහයින් කැරකිලා තියෙන්නේ. සුරේෂ් සලේ මේ ක්‍රියාව කළේ කා වෙනුවෙන්ද? ඒ ගැනත් අපි පරීක්ෂණය කරනවා. පරීක්ෂණ කරලා ඊට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයින් නීතිය ඉදිරියට ගේන්න අපි කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරයට පෙර මේ ප්‍රහාරය එක්කෝ උතුරු පළාතේ හමුදා කණ්ඩායමක් කේන්ද්‍ර කරගෙන කරන්න සූදානම් කරලා තිබුණා. ඒ වගේම දකුණේ සමූල ඝාතනයක් සිදු කරන්නත් සැලසුම් කරලා තිබුණා. පසුව මොවුන් ඒ සැලසුම් දෙකම අතහැරලා තමයි පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය කටයුතු කළේ. මාස හයකින් එළැඹීමට නියමිත ඡන්දයක් ඉලක්ක කරගෙන සැකකාර සුරේෂ් සලේගේ මෙහෙයවීමෙන් තමයි මෙම ක්‍රියාව සිදුවෙලා තිබෙන්නේ.” යනුවෙන් සඳහන් කර තිබේ.

ඉන් අනතුරුව සැකකාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දැක්වීමක් සිදුකර ඇත,

” පැමිණිල්ල දිගින් දිගටම සඳහන් කළා ප්‍රංශයට ගොස් අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව. නමුත් මේ ප්‍රකාශයේ අන්තර්ගත  කරුණු සාක්ෂි වශයෙන් පිළිගන්න බැහැ. සාක්ෂි වශයෙන් පිළිගන්න නම් ඒවා අධිකරණය හමුවේ හරස් ප්‍රශ්න අසා අභියෝගයට ලක්විය යුතුයි. ඔහු මේ ප්‍රකාශය සිදු කළේ චැනල් ෆෝ නාලිකාවට. චැනල් ෆෝ නාලිකාව ගැන බ්‍රිතාන්‍යයෙන් ඇහුවොත් දැනගන්න පුළුවන්. එය කිසිදු විශ්වාසනීයත්වයකින් තොර නාලිකාවක් හැටියටයි ප්‍රකට වෙලා තිබෙන්නේ. මේ නඩුවේ සාක්ෂිකරුවන් කීපදෙනෙකු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයාට ලබා දුන් ප්‍රකාශවල පිටපත් විත්තිය විසින් ලබා ගැනීම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා චෝදනා කලා. ඉතින් මේ ප්‍රකාශවල පිටපත් සීඅයිඩි යට ගන්න පුළුවන්නම් අපට ගන්න බැරි ඇයි? ඒ වගේම අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා චෝදනා කළා මේ සැකකරුවන්ගේ නීතිඥ ප්‍රවේශය අධීක්ෂණය නොවන බවට. ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මම කණගාටු වෙනවා. මොකද මේක නීතිඥවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක්. නීතිපතිවරයා විසින් මේ වගේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම නීතිඥවරුන්ගේ පරම අයිතිය නැති කිරීමක් හැටියටයි සඳහන් කරන්න වෙන්නේ. මගේ සේවාදායකයාව නොමරා මරණ තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. මගේ සේවාදායකයා පසුගිය වතාවේ මහෙස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් ලබා දෙන්න අවසර ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබුණා සිතා බලා පිළිතුරක් ලබා දෙන ලෙසට. ඒ අනුව මගේ සේවාදායකයා අද මට උපදෙස් ලබා දීලා තිබෙනවා ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට අධිකරණයට දැනුම් දෙන ලෙසට. එම ප්‍රකාශය අද දිනම වාර්තා කිරීම ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනවා” 

ඉන් අනතුර අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු අදාළ බෝම්බ ප්‍රහාරයෙන් අගතියට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රැඳවුම් නියෝග මත රඳවාගන සිටින මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සුදුසු නොවන බව සිය මතය බව ප්‍රකාශ කර තිබේ.

සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා රැඳවුම් භාරයේ පසුවන සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට පැමිණිල්ල විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කර ඇත.

එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අවසර ලබාදෙන ලෙස සුරේෂ් සලේ මහතා කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත්වන බවත් මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

එතෙක් සැකකරු රැඳවුම් නියෝග මත තබාගෙන මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

දේශපාලනය සංවර්ධනයෙන් වෙන් වූ දෙයක් නොවෙයි – අගමැති හරිනි…..

දේශපාලනය සංවර්ධනයෙන් වෙන් වූ දෙයක් නොවන බවත් රාජ්‍ය පාලනයේදී ගන්නා සෑම තේරීමක් සහ තිරණයක්ම හැඩගස්වනු ලබන්නේ ඒ මගින් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මැයි 19 දින සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ 60 වන සංවත්සර සඳහා පැවැති සමුළුව අමතමින් මේ බව  ප්‍රකාශ කළාය.

ඊයේ( 18) පස්වරුවේ මෙරටින් පි⁣ටත්ව ගිය අග්‍රාමාත්‍යවරිය ඇතුළු දූත පිරිස  මෙරට වේලාවෙන් රාත්‍රී 8.00 ට ලන්ඩන්හි හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ළඟා වුහ.

හිත්‍රෝ ගුවන් තොටුපළේදී අග්‍රාමාත්‍යවරිය ඇතුළු පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඒ සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා, එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාගේ විශේෂ නියෝජිත සහ ශ්‍රී ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් රිචඩ් විල්ඩෑෂ් මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

අනතුරුව අද (19)  උදෑසන, බ්‍රයිටන්හි පිහිටි සසෙක්ස් විශ්වවිද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, සංවර්ධන අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අනු ජෝෂි, මහාචාර්ය මික් මුවර් සහ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් විසින් පිළිගනු ලැබීණි.

එහි පැවැති ප්‍රසිද්ධ රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන හා ආර්ථික අත්දැකීම් පාදක කරගනිමින් දේශපාලනය, යහපාලනය සහ සංවර්ධනය අතර ඇති අන්‍යෝන්‍ය සබැඳියාව පිළිබඳව පැහැදිලි කළාය.

මහජන අපේක්ෂාවන් ඉටු කරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම ආරක්ෂා කරමින්, රාජ්‍ය පාලනය, ආර්ථික පුනරුත්ථාපනය, සමාජ ආරක්ෂණය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සමබරව පවත්වාගෙන යාමේදී ඇති වන අභියෝග පිළිබඳව මෙහිදී අගමැතිවරිය විසින් අවධාරණය කළාය.

එසේම, වැටුප් ලබන සහ නොලබන රැකවරණ සේවාවන්, ජාතික ආර්ථිකයේ මධ්‍යම සංරචකයක් ලෙස හඳුනාගැනීමට රජය දක්වන ප්‍රතිපත්තිමය අවධානය සහ රැකවරණ ක්ෂේත්‍රය තුළ කාන්තාවන් මුහුණ දෙන අභියෝග මෙන්ම ඔවුන්ගෙන් සිදුවන දායකත්වය ද අග්‍රාමාත්‍යවරියගේ විශේෂ ඇගයීමට ලක් විය.

රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ……

හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ වන තෙක් කිසිදු ආරාධනයක් ලැබී නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.

අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා විසින් 5 වන විධායක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාට මෙම සැමරුම සඳහා ආරාධනා කර ඇති බවට ප්‍රකාශ කිරීම අසත්‍ය කරුණක් බවද මනෝජ් ගමගේ මහතා සඳහන් කළේය.

ජනතාව නොමඟ යවමින් විජයග්‍රාහී සැමරුමට මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇතැයි අමාත්‍යවරයා පවසා ඇතැයිද සඳහන් කළ නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙනදාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ ආරක්ෂක අමාත්‍යංශයෙන් නිල වශයෙන් විජයග්‍රාහී සැමරුම සඳහා ආරාධනය ලැබෙන බවද පැවසීය.

යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අබියසදී හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ.

දිවයිනට පැමිණි ICC නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවෙති…..

මෙරට සංචාරයක නිතරව සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නියෝජිතයින් දෙදෙනෙකු වන ඉම්රාන් ක්වාජා සහ දේවජිත් සාකියා අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

එහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පාලනය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමුකර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව සමග ඊයේ (16) සාකච්ඡා පවත්වනු ලැබීය.

ඒකාබද්ධ විපක්ෂය මල්පාරට රැස්වෙයි…..

ඒකාබද්ධ විපක්ෂයේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක් අද (16) කොළඹ මල්පාරේ දී පැවැත්විණි.

ආණ්ඩුව සිදු කරන දූෂණයන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා සිදු කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ තුන්වන සම්මන්ත්‍රණය 24වනදා ජාඇල දී පැවැත්වීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාව පැය කිහිපක් පුරා පැවති අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ නියොජනය කරමින් සාමාජිකයින් එක්ව තිබේ.

එහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න

”ඒකාබද්ධ විපක්ෂය විසින් 24වනදා ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ සම්මන්ත්‍රණ මාලාවේ 3 වෙනි එක පවත්වනවා.. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ එක්ව සාකච්ඡාවක් තිබ්බා.. විපක්ෂය හැමතැනම ඉන්නවා ගැටලුවක් නෑ අවශ්‍ය වෙලාවට එකතු වෙයි.. සියලුම අය එකතු වෙයි. තාම විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ, තම තමන්ගේ පක්ෂ ශක්තිමත් කිරීම කරන්නේ.. මැතිවරණයක් ආපුවහම රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වගකිවයුතු පක්ෂය විදිහට ඒ යුතුකම අපි කරනවා.” 

චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත විවෘත අධිකරණයේ දී කියයි……

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (14) ප්‍රතික්ෂේප කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ කුමන්ත්‍රණය නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පදනම් විරහිත බවය.

ඒ අනුව එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බවකී විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව අදාළ චෝදනාව පවත්වාගෙන යාමට බාධාවක් නැති බවත් සඳහන් කළේය.

ඉන් අනතුරුව විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාට විවෘත අධිකරණයේ දී චෝදනා පත්‍ර කියවාදීම සිදුකෙරුණි.

එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කළේය.

ඒ අනුව නඩු විභාගය ආරම්භ වී තිබේ.