එළියට ආ හඬපටය ගැන ගල්අඟුරු සභාපතිගෙන් නිවේදනයක්…..

සමාජ මාධ්‍යවල සංසරණය වන තමා සහ ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල්අඟුරු සැපයුම්කාර සමාගමේ නියෝජිතයෙකු අතර ඇතිවූ බව කියන දුරකතන සංවාදය පිළිබඳව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තමා ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා ලෙස ගල්අඟුරු සැපයීම සඳහා කැඳවන ලද ටෙන්ඩර් මණ්ඩලය හරහා නිසි සුදුසුකම් ලත් මෙන්ම ඒ වනවිටත් කැබිනට් අනුමැතියද සහිතව කොන්ත්‍රාත් ප්‍රධානය කර තිබූ සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයා අමතා ඊට අදාළව බැංකු විසින් නිකුත් කරන කාර්යය සාධන ඇපකරය එය අදාළ බැංකුව විසින් නිකුත් කරන ලද දිනය යන මාර්තු 25 දිනැතිව ලබාදෙන ලෙස කළ දැනුම්දීමක හඬපටයක් විවිධ අර්ථ ගැන්වෙන අයුරින් විකෘති කොට සමාජ මාධ්‍ය ජාලතුළ ප්‍රචාරය කර ඇති බවය.

තුෂාර උපුල්දෙණියගේ මානව හිමිකම් කඩවෙලා – මානව හිමිකම් කොමිසම…..

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීම හා වැඩතහනම් කිරීම නිසි නීතිමය පටිපාටිය තුළ සිදුකර නොමැති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ මානව හිමිකම් කඩවී ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබේ.

ඒ උපුල්දෙණිය මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනය අවසන් කරමිනි.

ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම හා වැඩ තහනම් කිරීම තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇති බවට එම කොමිසම නිගමනය කර ඇත.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට චෝදනා එල්ලවූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ ජනාධිපති කාර්යාලය සිදුකළ පැමිණිල්ලක් මතය.

ඒ අනුව අතරතුර ඔහුගේ වැඩ තහනම් කිරීමට 2025 වසරේ ජුනි 09 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේ විමර්ශන අපක්ෂපාතීව සිදුකළ යුතු බව පවසමිනි.

සිදුකළ විමර්ශනයට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා 2025 වසරේ ජුනි 10 වැනිදා අත්අඩංගුවට ගැනෙන අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු පසුව ඇපමත මුදාහැරිණි.

මෙම සිදුවීමේදී උපුල්දෙණිය මහතාගේ මානව හිමිකම් කඩ වූ බව පවසමින් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඒ අනුව ඔවුන් සිදුකළ විමර්ශනයේදී නිරීක්ෂණය කර ඇත්තේ වින්දිතයා අත්අඩංගුවට ගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවැරදිව හා ප්‍රමාණාත්මකව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර නොමැති බවත් මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වේ.

එහිදී ඔවුන් වින්දිතයාගේ ප්‍රකාශ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවද නිරීක්ෂණය වී ඇතැයි සඳහන්.

එසේම, අධීකරණ අමාත්‍යාංශ ලේකම්වරයා උපුල්දෙණිය මහතාගේ වැඩතහනම් කිරීමට ඉදිරිපත් කරන ලද පත්‍රිකාව තුළ වින්දිතයා සබැඳිව සහ සිදුවීම පිළිබඳ කරුණු ප්‍රමාණවත්ව සහ නිසිලෙස ඉදිරිපත් කර නොමැති බවද මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර තිබේ.

වින්දිතයා දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, ඔහුගේ බලතල නිලධාරීන් වෙත අභිනියෝජනය හෙවත් බලතල පවරා තිබියදී ඔහුගේ වැඩතහනම් කිරීම ප්‍රශ්න සහගත බවද මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා නීතියේ දක්වා ඇති කාර්ය පටිපාටිය අනුව අත්අඩංගුවට ගැනීම සහ වැඩතහනම් කිරීම සිදුකර නොමැති බව කොමිසමේ නිරීක්ෂණය වේ.

එබැවින් වින්දිත උපුල්දෙණිය මහතා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යස්ථාව වන, නීතිය පසිඳලීම, නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතු බවට වන වගන්තිය සහ, 13 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව අත්තනෝමතිකව සිරභාරයට ගැනීම හා දඬුවම් කිරීම යන කරුණුවලට අදාළව මෙම උල්ලංඝනය සිදුවී ඇති බව සඳහන්.

එවන් පසුබිමක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාකලාපය පරීක්ෂා කර සුදුසු පියවර ගත යුතු බවය.

එසේම, වින්දිතයාගේ වැඩතහනම් කිරීමේ ක්‍රියාවලියෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් සියලු කරුණු සලකා අමාත්‍යාංශ ලේකම්වරයා උපුල්දෙණිය මහතා සම්බන්ධව සුදුසු පියවර ගත යුතු බවත්, ඒ පිළිබඳ මානව හිමිකම් කොමිසම දැනුම්වත් කළ යුතු බවත් දන්වා ඇත.

2026 අප්‍රේල් 30 වැනිදාට පෙර මෙම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇත.

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජය වෙයි….

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

එහිදී අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49කි.

විපක්ෂයේ මන්ත්‍රීවරු බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය භාරදී තිබුණේ රාජ්‍ය මූල්‍ය පාඩුව, ජාතික බලශක්ති ආරක්ෂාව අනතුරේ හෙළීම, දූෂිත ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය හැසිරවීම, ‘දූෂණය වරද’ සඳහා ක්‍රියාකාරී අධිකරණ ක්‍රියාමාර්ගයන්ට ලක්වීම සහ රජයේ ‘දූෂණ විරෝධී ජනවරම’ පාවාදීම තුළින් බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ විශ්වාසය ආපසු හැරවිය නොහැකි ලෙස අහිමිකරගෙන ඇති බව හා ඔහු දිගින්දිගටම බලශක්ති අමාත්‍ය ධුරයේ රැඳී සිටීම මහජන යහපතට, නීතියේ ආධිපත්‍යයට සහ යහපාලන මූලධර්මවලට පටහැනි බව සඳහන් කරමිනි.

බාල ගල්අඟුරු ආනයනයෙන් රුපියල් බිලියන 100ක පාඩුවක් – ඩී.වී.චානක…..

බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් රුපියල් බිලියන 100ක පමණ පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා අණාවරණය කළේය.

ඔහු පවසන්නේ නෙරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමෙන් පසු මෙවැනි විශාල පාඩුවක් සිදු වූ පළමු අවස්ථාව මෙය බවය.

හෙට දිනයේ විවාදයට ගැනීමට නියමිත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඩී.වී. චානක මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනපති අතර හමුවක්…..

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

යුදමය තත්ත්වයත් සමග මැදපෙරදිග කලාපයේ රටවල් මුහුණ දී ඇති අභියෝග සහ විශේෂයෙන් එම රටවල සාමයට, ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව තානාපතිවරුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

මැදපෙරදිග කලාපයේ කඩිනමින් සාමය ස්ථාපිත වීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, යුද්ධයට සම්බන්ධ වී නොමැති මැදපෙරදිග කලාපීය රටවලට එල්ල වන ප්‍රහාර පිළිබඳව සිය කනස්සල්ල පළ කළ අතර, එම ප්‍රහාර කිසිසේත් අනුමත නොකරන බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම, මැදපෙරදිග කලාපීය රටවල් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, විශේෂයෙන් බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට මෙන්ම, විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තයට අදාළව ලබා දෙන දායකත්වයද ඇගයීමට ලක්කළේය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මැදපෙරදිග කලාපයේ රටවල රැකියාවල නිරත වන අතර, පවතින යුදමය තත්ත්වය හමුවේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවධානය යොමු කර කටයුතු කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී ස්තූතිය පළ කළේය.

එසේම,  මැදපෙරදිග කලාපයේ රටවල සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් තනි රටක් ලෙස සහ සාමුහිකවත්,  ජාත්‍යන්තර නීතියට අනුකූලව ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති සහ අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලයේ ප්‍රධානී  Khaled Nasser Sulaiman AlAmeri, ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති Khalid Hamoud Nasser Alkahtani, ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති Ahmed Ali Saeed Al Rashdi, ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති  Adel Ibrahim,     ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති  Ihab I.M. Khalil, ශ්‍රී ලංකාවේ කටාර් රාජ්‍යයේ තානාපති  Hamad Mohammed Abdullah Al – Sanad Al – Dosari, කොළඹ පිහිටි ඉරාක තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරී Anmar A.A. Al-Emin, කොළඹ පිහිටි කුවේට් තානාපති කාර්යාලයේ වැඩබලන කාර්යභාර නිලධාරී  Abdullah A.M.A. Almuhana, කොළඹ පිහිටි ලිබියානු  තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරී  Faek B.T. Aboud යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූ අතර කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද එක්ව සිටියහ.

බදාදා නිවාඩුව අවලංගුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි….

බදාදා දිනයේ නිවාඩුව අවලංගුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (08) රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මේ බව සඳහන් කළේය.

පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම හේතුවෙන් හෙට (08) පාර්ලිමේන්තුව රැස් නොවීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබිණි.

නමුත් අද දින එළැඹි තීරණයට අනුව හෙට පෙ.ව 9.30 – පෙ.ව. 10.00  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

ඉන්පසු පෙ.ව  10.30 – පෙ.ව 11.00 කාලය ස්ථාවර නියෝග  27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

අනතුරුව පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන වර්තමාන තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය  පැවැත්වීමටත් මෙහිදී තීරණය කර ඇත.

තවද ලබන 9 වෙනි බ්‍රහස්පතින්දා සහ 10 වෙනි සිකුරාදා යන දෙදිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවේ.

මේ අතර එළඹෙන සිංහල – දමිල අලුත් අවුරුදු උත්සවය හේතුවෙන්  අප්‍රේල් දෙවන පාර්ලිමේන්තු සතිය නොපැවැත්වීමටත් මෙහිදී තීරණය වූ බව මහලේකම්වරිය පැවසුවාය.

IMF නියෝජිතයන් සහ හඳුන්නෙත්ති අතර සාකච්ඡාවක්…..

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් අද (06) පවත්වා තිබේ.

එහිදී මෙරට කාර්මික අංශය සතු විභවතාවන් සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රය ලබා දෙන දායකත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන් නගාසිටුවීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දු පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා නියෝජිත පිරිස දැනුවත් කළේය.

ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ කාර්මික අංශයේ වර්ධනය කෙරෙහි ඇති වැදගත්කම මෙහිදී IMF නියෝජිතයන්ගේ ඇගයීමට ලක්විය.

නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමනේදී පවතින බාධක ඉවත් කිරීම, අපනයන ක්‍රියාවලිය සරල කිරීම සහ විදේශීය ආයෝජන සඳහා හිතකර වටපිටාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ සමගාමීව දේශීය කර්මාන්තකරුවන්ට ලබාදිය හැකි සහන සහ මූල්‍ය පහසුකම් පිළිබඳවද දෙපාර්ශවය අතර සාකච්ඡා වූ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළේය.

‘GMOA’ ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ඇමති දින දෙයි….

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භ කර තිබෙන වර්ජනයේ ගැටලු ගැන අවධානය යොමුකරමින් එළැඹෙන බ්‍රහස්පතින්දා (9) ඔවුන්ට සාකච්ඡාවක් ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගීවීමට තමන් හෙට (6) ඉන්දියාව බලා පිටත්ව යන බවත්, යළි පැමිණීමෙන් පසු අදාළ සාකච්ඡාව ලබාදීමට බලාපොරොත්තුවන බව බවත් හෙතෙම පැවසීය.

වෛද්‍යවරයෙක් බිහි කරන්න රජය රුපියල් ලක්ෂ 60ක් වැය කරයි….

වෛද්‍යවරයෙකු බිහි කිරීමට ජනතා බදු මුදලින් රුපියල් ලක්ෂ 60කට වඩා වැය කරන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (04) දින පෙරවරුවේ කිරිබත්ගොඩ, පෞද්ගලික රෝහලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සෙසු අංශ හා සැසදීමේදී වෛද්‍ය පීඨයකට ඇතුළත්ව වෛද්‍යවරයෙකු ලෙස පිටවන ශිෂ්‍යයෙකු වෙනුවෙන් රජය ඉතා ඉහළ මුදලක් වැය කරයි.

ඉංජිනේරුවෙකු බිහි කිරීමට රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් රජය දරණ බව ද අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

“අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තාම, අපේ ආණ්ඩුවත් නිදහසෙන් පසුව බලයට පත් වුණ හැම ආණ්ඩුවක්ම කල්පනා කළේ, නිදහස් සෞඛ්‍ය සේවයක් ලබා දෙන්න. දැනටත් අපි කල්පනා කරන්නේ නිදහස් සෞඛ්‍ය සේවය ජනතාවට පුළුවන් ප්‍රමාණයක් ලබා දෙන්න. පුද්ගලයෙක්ගේ පර්ස් එකේ තියෙන සල්ලි මත ඒ පුද්ගලයා ජීවත් වෙනවා ද මිය යනවා ද කියන එක තීරණය කරන්න හොඳ නැහැ කියන එක අපි නිතරම කියන දෙයක්. ඒ නි සා අපි හැකිතාක් උත්සහ කරනවා නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන්න. 

බටහිර වෛද්‍ය විද්‍යාලව ලෝකයේ වේගයෙන් දියුණු වෙනවා. ලංකාවේ වැඩිම බදු මුදලක් වැය කරන්නේ වෛද්‍යවරයෙක් බිහි කරන්න. අපේ රටේ ජනතාව විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන වෛද්‍ය සිසුවා අවුරුදු පහකට පස්සේ ඉන් පිට කිරීම සඳහා රුපියල් ලක්ෂ 60ක් වැය කරනවා. ඉංජිනේරුවරයෙක් බිහි කරන්න අපි වැය කරන්නේ ලක්ෂ 30යි. ඒ වගේ දෙගුණයක් මේ රටේ බදු ගෙවන ජනතාව වැය කරනවා. අපේ රටේ ඉන්නවා 35,000ත් 38,000ත් අතර වෛද්‍යවරු ඉන් 25,000ක් 28,000ක් පමණ රජයේ රෝහල්වල සේවය කරනවා. මේ අය සමාජයේ සුවිශේෂි වගකීමක් දරන අයයි. ඔවුන්ගෙන් සුවිශේෂි සේවාවක් මේ සමාජය අපේක්ෂා කරනවා.”

GMOA වර්ජනයෙන් අදත් රෝගීන් පීඩාවට – විශේෂඥ වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නැහැ…..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) උදෑසන 8.00 සිට දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුව සහ සේවා ස්ථාන මාරු ලැයිස්තුව දේශපාලනීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්වන බව පවසමිනි.

මෙම අනීතික හා අත්තනෝමතික ක්‍රියාවන් නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර නොගැනීම තුළ මෙලෙස යළි වැඩ වර්ජනයකට අවතීරණ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍යවරු ඉකුත් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ද මෙලෙස වැඩ වර්ජනයේ නිරත වූ අතර ඒවා ක්‍රියාත්මක වූයේ එක් දිනකට පමණකි.

වර්ජනය හේතුවෙන් මෙරට සියලුම රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සාමාන්‍ය හා දෛනික ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම ඇනහිටින අතර හදිසි හා අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා පමණක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

ඒ අනුව රජයේ සියලු රෝහල්වල කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර රෝගීන් පත්ව ඇත්තේදැඩි අපහසුතාවකටය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ වර්ජනය අවසන් කරන දිනය සම්බන්ධයෙන් විධායක සභාව අද (04) දහවල් 12ට රැස්වී තීරණය කරන බවය.

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජනයට සහාය ලබා නොදෙන බවය.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා සඳහන් කර සිටියේ ඔවුන් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු සිදු කරන අතර රෝහල්වල විශේෂ වෛද්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යන බවය.

එමෙන්ම පශ්චාත් පුහුණු විශේෂඥ වෛද්‍යවරුන් ද මෙම වර්ජනය සඳහා සහාය නොදක්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තුළ වෛද්‍යවරුන් 2,300ක් පමණ සිටින අතර සියලු දෙනාම සාමාන්‍ය පරිදි රාජකාරීවල නිරත වන බවත් ප්‍රතිපත්තියක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් වැඩවර්ජන සඳහා සහභාගී නොවන බවත් ඥානසේකරම් මහතා පැවසීය.

එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන්ට ද විවිධ ගැටලු පවතින නමුත් ‍රෝගී ජීවිත අවදානමේ හෙළා වරජනයේ නිරත වීම සිය ප්‍රතිපත්තියක් නොවන බවය.

එම ගැටලු පිළිබඳව ආණ්ඩුව සමග සාකච්ඡා පවත්වන බවත් සමහර ගැටලු සඳහා මෙතෙක් විසඳුම් ලබා දී නොමැති බවත් එහිදී ඔහු කියා සිටියේය.