ඕනෑම අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගත යුතුයි – අග්‍රාමාත්‍යවරිය…..

ලෝකය තුළ උද්ගතවන ඕනෑම ගෝලීය අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගත යුතුයි යන හැඟීම රජය සතුව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, ගාල්ල, දඩල්ල  අල්-මුබාරක් විද්‍යාලයෙහි තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අමතමිනි.

අධ්‍යාපනයේ වටිනාකම හොඳින් අවබෝධ කරගත් රජයක් ලෙස විවිධ ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවත් රටේ මානව සම්පත සංවර්ධනය  සඳහා අයවැය ප්‍රතිපාදන ඔස්සේ විශාල මුදලක් යොදවා ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

“පාසල ගමට ඉතාමත්ම කිට්ටු සම්බන්ධයක් තිබිය යුතු තැනක්. මෙතන අපි දැක්කා පාසල ගැන ගමේ ජනතාවගේ සිත් තුළ තියෙන හැඟීම. අඩු සම්පත් ප්‍රමාණයක් තිබුණු පාසලක් ගමේ දරුවන් වෙනුවෙන් ආරක්ෂා කරගැනීමේ අදිටනින් ප්‍රදේශවාසීන් සියලුදෙනාම එකතුවෙලා එම පාසල ගොඩනගන්න එකතුවීම ඇත්තෙන්ම මුළු රටටම ලබාදෙන විශිෂ්ට ආදර්ශයක්.

ඔබ දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අපේ දරුවන්ට ලෝකේ තියෙන අලුත්ම තාක්ෂණය ළඟාකරදීමේ අධිෂ්ඨානයක ඉන්නවා. ඒ නිසා තමයි සියලුම ද්විතීයික පාසල් සඳහා අවම වශයෙන් එක smart board එකක් හරි ලබාදෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම පාසල්වලට අවශ්‍ය අන්තර්ජාල පහසුකමුත් මේ වනවිට පාසල් 4000කට පමණ ලබාදීලා තියෙනවා. ඉතිරි පාසල් සඳහාත් මේ වසර අවසානයට පෙර අන්තර්ජාල පහසුකම් ලබාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පොරොන්දුවෙලා තියෙනවා.

හැබැයි තාක්ෂණය කියන්නේ නිවැරදි දේ දරුවන්ට ලබාදීම සඳහා භාවිතා කළයුතු මෙවලමක්. ඒ නිසා තමයි තාක්ෂණික අන්තර්ගතය දියුණු කිරීම සඳහා ගුරු පුහුණු, සම්බන්ධිත පන්තිකාමර වැනි වැඩසටහන් අප සංවිධානය කරන්නේ. රටක් විදියට අපට තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. අපගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අවශ්‍ය මානව සම්පත අප ගොඩනඟමින් යන්නේ. අප ඉලක්ක කරන මට්ටමට  රට ගොඩනැගෙනතුරු අපට පුළුවන් තාක්ෂණය හරහා දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන්න.

අපගේ රටේ ආර්ථිකය ගොඩනගමින් යන මේ මොහොතේ කුමන තත්ත්වයකදී වුණත් අධ්‍යාපනය අප රැකගතයුතුයි යන අධිෂ්ඨානය තුළ රජයක් ලෙස අප වැඩකරනවා. අපේ රටේ සංවර්ධිත ඉලක්ක ළඟාකරගන්න නම් සියලුදෙනා කැපවීමෙන් වැඩකරන්න සිද්ධ වෙනවා. අධ්‍යාපනයට විතරක් නෙමෙයි රටක් හදන්නෙත් මෙහෙමයි. රටක් හදන්නත් පුරවැසියන් හැටියට රජය, නිලධාරීන්, දේශපාලන අධිකාරිය යන සියලුදෙනාම එකට එකතුවී එක ඉලක්කයක එක ගමනක් හැටියට යන්න පුළුවන්නම් අපිට කරන්න බැරිදෙයක් නෑ කියන එක මේ දඩල්ල ප්‍රදේශයේ ගම්වාසීන් අද ඔප්පු කරලා තියෙනවා.”

පූජිත්ගේ නඩුවේ තීන්දුව ජූලි 31වනදා…..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ තීන්දුව ජුලි මස 31වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.

එය අද (12) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම නඩුවේ වාචික හා ලිඛිත දේශන මේ වන විට පාර්ශවකරුවන් විසින් මේ වනවිට ඉදිරිපත් කර අවසන් කර තිබේ.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නඩුවේ තීන්දුව ජූලි මස 31වනදා ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.

මේ අතර මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව ද අද (12) කැඳවූ අතර එහිදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා දේශන ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ මහතා දේශන ඉදිරිපත් කළ අතර ඔහුගේ වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම ලබන සඳුදා (15) දක්වා කල් තැබීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේය.

අභියාචනයත් ප්‍රතික්ෂේප වූ ශෂී වීරවංශ – නඩුවේ සම්පූර්ණ විස්තරය මෙන්න…..

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ වසර දෙකක සිර දඬුවම හා දඩයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළේය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ස්ථීර කරන බවය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට 2022 වසරේ මැයි මස 27 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරදකරු කරනු ලැබීය.

එහිදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇයට වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළේය.

අනතුරුව එම තීන්දුවට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහාධිකරණයේ අභියාචනයක් ගොනුකළේය.

දීර්ඝ කාලයක් සිදු කෙරුණු එම අභියාචනා විභාගයෙන් අනතුරුව අද දිනයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ස්ථීර කරන බවය.

“විත්තිකාරිය 1967 වසරේ පෙබරවාරි මස 01 වනදා ඉපදුණු බව සඳහන් කරමින් 675320203V දරණ අංකය යටතේ ජාතික හැඳුනුම්පතක් ලබාගෙන තිබෙනවා. ඉන් පසුව 1971 වසරේ පෙබරවාරි මස 03 වනදා ඉපදුණු බව සඳහන් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන තිබෙනවා. සාවද්‍ය තොරතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ලබාගත් විදේශ ගමන් බලපත්‍රය  ‘අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක්’ ලෙස සැලකෙනවා.

එසේ අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමට කිසිවෙකුට කිසිදු නෛතික හිමිකමක් නැහැ. අදාල විදේශ ගමන් බලපත්‍රයේ අක්ෂර වල ගැටලුවක් තිබූ බව විත්තිකාරිය සිය විත්තිවාචකය තුළින් සඳහන් කළත් එම වරද නිවැරැදි කර ගැනීමට ඇය ක්‍රියා කර නැහැ.

එමෙන්ම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදි මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් වූ සාක්ෂි අධික ලෙස තක්සේරු කරමින් තමන් වරදකරු කළ බව විත්තිකාරිය සිය අභියාචනාවේ සදහන් කර තිබුණද එම තීන්දුව අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ මහේස්ත්‍රාත්වරයා තමන් හමුවට ඉදිරිපත් කළ සාක්ෂි නිවැරදි ලෙස විශ්ලේෂණය කරමින් එම තීන්දුව ලබා දී ඇති බවයි.”

ඒ අනුව විත්තිකාරිය අදාළ චෝදනා වලට වරදකරු කරමින් 2022 වසරේ මැයි මස 27 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව තහවුරු කරන බව පැවසූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාරිය ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කරන බවට නියෝග කළේය.

කෙසේ වෙතත් මෙම මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිවද ශෂී වීරවංශ මහත්මිය අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ෂාන් විජයලාල් එළඹෙන 12 වනදා තෙක් රිමාන්ඩ්…..

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා එළඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (10) දහවල් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා පසුව අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ, 2019 වසරේ රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතේ පොදු ස්වෙච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේ සිද්ධියක් පිළිබඳ එල්ලවී ඇති චෝදනාවක් සම්බන්ධයෙනි.

එහිදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදුකිරීම හා දකුණු පළාතේ දිස්ත්‍රික් තුනෙහි පළාත් සභා මන්ත්‍රීවරු 54 දෙනෙකු වෙත එම මිලදී ගන්නා ලද පුටු 16,361ක්, නිවාස කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීමට සැලැස්වීම මඟින් රජයට පාඩු කර ඇතැයි පැවසෙයි.

දිට්වා නිසා හානිය වූ පාසල්වල වත්මන් තත්ත්වය ගැන වාර්තාවක් ලබාදෙන්න – අගමැති…..

‘දිට්වා’ සුළිකුණාටුවෙන් හානියට පත් එක් එක් පාසලේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් සතියක් ඇතුළත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

වතු ආශ්‍රිත පාසල් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දුන්නාය.

මෙහිදී දිට්වා සුළිකුණාටුවෙන් වතු ආශ්‍රිත පාසල්වලට සිදුවූ හානි, ඒ සඳහා ගෙන ඇති ප්‍රතිසාධන ක්‍රියාමාර්ග, ඉඩම් ගැටලු, ගුරු පුරප්පාඩු, පාසල් සංවර්ධනය සහ නැවත ඉදිකිරීම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල පූර්ණ හානි, අර්ධ හානි සිදුවූ සහ වෙනත් ස්ථාන වෙත ගෙනයා යුතු පාසල් පිළිබඳව ද අවධානය යොමු විය.

අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, හානියට පත් පාසල්වල සිසුන් වෙනත් පාසල්වලට අනුයුක්ත කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. එම දරුවන් නිසි ලෙස පාසල් පැමිණෙනවාද, අධ්‍යාපනය ලබනවාද සහ ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා මොනවාද යන්න පිළිබඳ පසු විපරමක් සිදු කළ යුතු බව ද ඇය සඳහන් කළාය.

එමෙන්ම, තාවකාලික පාසල් ඉදිකිරීම කෙරෙහි කඩිනම් අවධානය යොමු කළ යුතු බවත්, නිවැරදි දත්ත රැස්කර සියලු පාර්ශ්ව සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් ඇය පෙන්වා දුන්නාය.

දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා වෙනම දෙමළ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන බවත්, මෙවර ගුරු බඳවා ගැනීම්වලදී පළාත් පාසල්වල ගුරු පුරප්පාඩුවලින් සියයට 50ක් පිරවීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

තවද, වතු ආශ්‍රිත පාසල් දරුවන් සඳහා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීම සහ වෘත්තීය අධ්‍යාපනය දෙමළ භාෂාවෙන් ලබාදීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්…..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ සිය සැමියා මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහුට ප්‍රතිකාර ලබා දෙන බව සහ තමන්ට සහ දරුවාට සිය සැමියා දුර සිට දැකීමට අවසර ලබා දී ඇති බවය.

මෙවැනි තත්ත්වයක් යටතේ සිය සැමියා වෙනුවෙන් නීතිමය කටයුතු සිදුකරන නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවසර ලබා දෙන ලෙසද ඇය සිය ලිපිය මගින් ඉල්ලා ඇත.

එමගින් සිය සැමියාට මාරාන්තික උපවාසය අත්හැරීමට පෙළඹවීමට උපකාරි වනු ඇතැයිද ඇය සිය ලිපිය මගින් සඳහන් කර ඇති අතර මෙම තීරණාත්මක මොහොතේදී සිය සැමියාට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව නීතිමය සහ මානසික සහායද අත්‍යවශ්‍ය වන බවද ඇය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

සම වරප්‍රසාදිත අධ්‍යාපනයක් වෙනුවෙන් නිවැරදි දත්ත මත තීන්දු ගත යුතුයි – අගමැති හරිනි…..

රට තුළ සම වරප්‍රසාද හිමි අධ්‍යාපන රටාවක් ඇති කිරීම සඳහා නිවැරදි දත්ත කළමනාකරණයක් මත පදනම්ව තීන්දු තීරණ ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී ඊයේ (06) පැවති ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) මානව සම්පත් මොඩියුලයෙහි පළමු අදියර සහ “ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ නියමු ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වගකියන රජයක් ලෙස සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සමානව අත්විඳිය හැකි ක්‍රමයක් ඇති කළ යුතු බවත්, ඒ සඳහා නිවැරදි දත්ත, ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක අත්‍යවශ්‍ය වන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන කුලුනු පහ යටතේ ඇති මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම හා සඵලදායී කිරීම වෙනුවෙන් මෙම පද්ධතිය නිර්මාණය කර ඇත.

මින් පෙර එක් එක් පළාත් විසින් එකිනෙකට වෙනස් තොරතුරු පද්ධති භාවිතා කළද, මෙම නව පද්ධතිය හරහා ජාතික හා පළාත් පාසල්වල සියලු තොරතුරු එකම ජාලයකට ගොනු කෙරේ.

එහි පළමු අදියර යටතේ සබරගමුව, බස්නාහිර, දකුණ සහ වයඹ යන පළාත් හතරේ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් මෙම පද්ධතිය හරහා සිදු කිරීමට නියමිත අතර, ඉදිරියේදී එය මුළු දිවයිනටම සහ සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

මේ හරහා ගුරුවරුන් බඳවාගැනීම්, ගුරු මාරු සහ උසස් වීම් කටයුතු වඩාත් විනිවිදභාවයකින් හා කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ රජයේ සේවාවන් වඩාත් විනිවිදභාවයකින් ලබාදීමට ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය වන බවය.

කෙසේ වෙතත්, ඩිජිටල්කරණය යනු ගුරුවරයා වෙනුවට කරන ආදේශකයක් නොවන බවත්, එය ගුරුවරයාගේ වැදගත්කම තවදුරටත් ඉහළ නංවන මෙවලමක් පමණක් වන බවත් ඇය පැවසුවාය.

“ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) හරහා සිසුන්ගේ ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය ඉහළ නැංවීමට මඟ පෑදෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මේ ඔස්සේ පහසුකම් අඩු පාසල්වලට උපරිම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමටත්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අවස්ථා පුළුල් කිරීමටත් කටයුතු කරන බව ඇය සඳහන් කළාය.

මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපනයෙහි ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකාය, පළාත් අධ්‍යාපන බලධාරීන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු පාර්ශවකරුවන් රැසකගේ සහයෝගයෙන් නිම කර ඇත.

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජයක් ලෙස අප භාර ගන්නවා – අගමැති…..

දරුවකුගේ ඉදිරි අධ්‍යාපන ගමනේ මඟ තීරණය කරන ප්‍රධානතම සන්ධිස්ථානය පෙරපාසල් අධ්‍යාපනය වන බැවින් එහි ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජයක් ලෙස භාරගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

එමෙන්ම සියලු පළාත් ආවරණය වන පරිදි පූර්ව ළමාවිය අධ්‍යාපන කටයුතු නිවැරදි අධීක්ෂණයකට ලක් කළ යුතු බව ද ඇය වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සිදු කළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාව අතරතුර වයඹ පෙරපාසල් ගුරු පුහුණු විද්‍යාලයේ 2023/2024 වර්ෂය සඳහා වූ පෙරපාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාධාරිනියන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා අද (05) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

පෙරපාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවය පෙරපාසල් අධ්‍යාපන සංවර්ධන අධිකාරිය සහ වයඹ පළාත් සභාව එක්ව සංවිධානය කර තිබුණි.

එමෙන්ම මෙහි පැමිණ සිටි ආරාධිතයින් විසින් පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා වූ රජයේ ස්ථාවරය පිළිබඳව නව ඩිප්ලෝමාධාරිනියන් දැනුවත් කිරීමට කටයුතු කළේය.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,

”ඉදිරි අවුරුදු කිහිපය තුළ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අප සැලසුම් කරමින් සිටිනවා. ඒ සඳහා ජාතික අධ්‍යාපන කොමිසම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන ආයතනයන් සමඟ එක්ව ඒ පිළිබඳ ප්‍රතිපත්ති, ගුරු පුහුණුවට අවශ්‍ය නිර්ණායක සහ ඒවා අධීක්ෂණය කිරීමට අවශ්‍ය රෙගුලාසි සම්පාදනය කිරීම සඳහා අප වැඩකටයුතු සකස් කරමින් සිටිනවා. මෙම වසරේදී පෙරපාසල් ගුරු පුහුණු කටයුතු ආරම්භ කිරීමට සැලසුම් සකස්කරමින් තිබෙනවා. ඒ හරහා 2027 වන විට අප බලාපොරොත්තු වෙනවා එකම විෂය මාලාවක් රට පුරා පෙරපාසල් සඳහා ක්‍රියාත්මක කරන්න. ඒ වගේම පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ නිවැරදි මතයක් සමාජගත කිරීමද වැදගත් වෙනවා.

පෙරපාසල් අධ්‍යාපනය ඔස්සේ සිදුකළ යුත්තේ දරුවාගේ ඉදිරි ප්‍රාථමික අධ්‍යාපනයට හොඳ සූදානමක් ලබාදීමයි. එමනිසා දරුවන්ගේ චාලක කුසලතා වැනි දේවල් වර්ධනය කිරීමටයි පෙරපාසල් අධ්‍යාපනය ඔස්සේ ඉලක්කගත විය යුත්තේ. දෙමාපියන්, වැඩිහිටියන් හැටියට අපේ වගකීමක් තමයි දරුවාට අනවශ්‍ය බරක් නොදැනෙන ලෙස සමාජශීලීත්වය සහ දැනුම වයසට සුදුසු ආකාරයට වර්ධනය කරගැනීමට ඉඩසැලැස්වීම. විශේෂයෙන්ම පෙරපාසල් ගුරුවරුන් ලෙස පූර්ව ළමාවිය අධ්‍යාපනයෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන ඒ පණිවිඩය සමාජයට ලබාදීමට ඔබට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා”

හැකර් විද්ද ඩො.මි 2.5 ගැන වාර්තාව මුදල් කාරක සභාවට……

ඔස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත භාරදී තිබේ.

එම කාරක සභාව අද (04) රැස්වූ අවස්ථාවේදී එය සියලු සාමාජිකයින් වෙත ලබාදීමට කටයුතු කළ බව එහි සභාපති හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

එම වාර්තාව පරිශීලනය කර ලබන සතියේදී ඒ සම්බන්ධයේ මුදල් ලේකම්වරා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද මන්ත්‍රීවරයා කියාසිටියේය.

මහා භාණ්ඩාගාරය විසින් මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාගේ නිවසට එවනු ලැබූ අවස්ථාවේදී  ඔහු එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඊයේ (03) නැවතත් හරවා යැවූ බව සඳහන්ය.

වාර්තාව තමාගේ නිවසට නොව පාර්ලිමේන්තුවට බාරදිය යුතු බව පවසා මෙසේ හරවා යැවීමට ඒ මහතා කටයුතු කළ බවට තොරතුරු වාර්තා විය.

උතුරේ දන්සල් පැවැත්වීම ගැන පළ වූ අසත්‍ය පුවතක්…..

දන්සල් පැවැත්වීමට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

– උපුටා ගැනීම – 

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින, ” මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් තහනමක් පනවා ඇත” යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත වේ.

එවැනි කිසිදු තීරණයක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් ගනු ලැබ නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවා සිදු නොවූ බවත් මහත් වගකීමෙන් යුතුව දන්වා සිටිමි.

දිගු කාලයක් තිස්සේ අපගේ ජන කොටස් අතර පවත්නා ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමටත්, ජනතාව අතර ව්‍යාකූලත්වය ඇති කිරීමටත් යන ද්වේෂ සහගත අරමුණින් ඇතැම් කොටස් විසින් මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති හිතාමතාම සෑදීමෙන් හා ව්‍යාප්ත කිරීමෙන් ක්‍රියා කරන බව පැහැදිලිය.

මෙම පහත් හා ද්වේෂ සහගත සමාජ මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එබැවින්, මෙවැනි පදනම් විරහිත ව්‍යාජ ප්‍රවෘත්ති විශ්වාස නොකරන ලෙසත්, ව්‍යාජ ප්‍රචාරයන්ට රැවටෙන්නේ නැතිව, ජාතික හා ආගමික සංහිඳියාව සහ සාමය ආරක්ෂා කරගනිමින් ජීවත් වන ලෙසත් සැමට ආදරයෙන් ඉල්ලා සිටිමි.

– උපුටා ගැනීම අවසන් –