චීනවරාය පොලිස් වසමේ වෙඩිතැබීමක්…..

ත්‍රිකුණාමලය, චීනවරාය පොලිස් වසමේ 05 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද (01) රාත්‍රී කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 59ක් වූ 05 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩිතැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා චීනවරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

සජිත් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි….

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන් මිදීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය.

විපක්ෂනායකවරයා සහ ජපාන තානාපති අකිඕ ඉසමොතා (Akio Isamota) මහතා අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණි.

මෙහිදී විපක්ෂ නායකවරයා විනාශ වූ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත් දුම්රිය ⁣මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමටත් ජපාන රජයේ සුවිශේෂී දැනුමේ සහ තාක්ෂණයේ දායකත්වයත් ශ්‍රමයත් ලබාදෙන ලෙස ජපාන රජයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම කොරියානු ජනරජයේ මෙරට තානාපතිනිය ද අද මුණුගැසුණු අවස්ථාවේදී විපක්ෂ නායකවරයා පැවසුවේ ආපදා තත්ත්වයෙන් මිදී රටක් ලෙස නැගී සිටීමට ආධාර උපකාර ලබාදීමට කටයුතු කරන ලෙසය.

මේ අතර ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ මහත්මිය හමුවූ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ආපදා තත්ත්වයෙන් හානිවූ සෞඛ්‍ය සේවා සහ පසුව උද්ගත විය හැකි වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා උපරිම දායකත්වය ලබාදෙන ලෙසය.

ආපදා මරණ 390 දක්වා ඉහළට….

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා සිදුවූ ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ 390 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 352ක් අතුරුදන්ව ඇතැයි එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව තිබේ.

එමෙන්ම පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු මෙම ආපදාවෙන් පීඩාවට පත්ව ඇතැයිද නිවාස 432ක් පූර්ණ වශයෙන් හානියට පත්ව තවත් නිවාස 15,688ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

තවද දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 1,368ක පවුල් 57,790ක පුද්ගලයින් 204,597ක් රැඳි සිටින බවත් එම මධ්‍යස්තානය සඳහන් කළේය.

චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්….

ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් පරිත්‍යාගයක් සිදුකිරීමට චීන රජය තීරණය කර තිබේ.

මීට අමතරව චීන යුවාන් කෝටියක් වටිනා ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදුකිරීමට නියමිත බවත් සඳහන්ය.

චීන ජනතාව සැමවිටම ශ්‍රී ලාකීය සහෝදර සහෝදරියන් සමග සිටින බව පවසන ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම පරිත්‍යාගය පිළිබඳ තොරතුරු මේ වනවිටත් දැනුම් දී ඇත.

දුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක්….

හෙට (02) සිට ඉදිරියට සංශෝධිත දුම්රිය කාල සටහන නිවේදනය කර තිබේ.

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

හෙට දින සිට ඉදිරියට සංශෝධිත දුම්රිය කාල සටහන පහතින්,1

“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර හා ජාතික ආපදා තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ජනතා පක්ෂයෙන් නිවේදනයක්….

මේ වන විට “දිට්වා” සුළි කුණාටුව හා අධික වැසි හේතුවෙන් දිවයින පුරා ගංවතුර, නායයෑම් සහ ඉතා බරපතල ආපදා තත්ත්වයක් උදා වී ඇත. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අප ලද තෙරතුරු  සහ අන්තර්ජාතික වාර්තා අනුව, මරණ සහ වැඩි සංඛ්‍යාවක් තුවාල සිදුවී ඇති අතර, ලක්ෂ ගණනක් පදිංචිකරුවන්ට ගංවතුර සහ නායයෑම් බලපා ඇති බව දක්වයි.

ශ්‍රී ලංකා ජනතා පක්ෂය (SLJP) ලෙස, ජීවිත අහිමි වූ සියලුම පවුල් වෙත අපගේ ගැඹුරු ශෝකය සහ හෘදයාංගම සංවේගය ප්‍රකාශ කරමු, තුවාල ලැබූ සියලු දෙනාට සීඝ්‍ර ආරෝග්‍ය ලාභය ප්‍රාර්ථනා කරන අතර, බිය සහ අවිනිශ්චිතතාවයට මුහුණ දෙන සෑම පුරවැසියෙකු සමඟම අප ස්ථිරවම සහයෝගයෙන් සිටින්නෙමු.

මෙම ආපදා අවස්ථාවේදී පීඩාවට පත් සියලුම ජනතාව සමඟත්, ඔවුන්ට සහන සේවා සපයන සියලුම සහන සේවා ආයතන, ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් සමඟත් ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරමින්, හැකි සෑම අයුරකින්ම ඔවුන්ට උදව් උපකාර කරන ලෙස දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ සියලුම දිස්ත්‍රික් නායකයන්ගෙන්, ප්‍රාදේශීය නායකයන්ගෙන් සහ සියලුම සාමාජිකයන්ගෙන් අපි දැඩිව ඉල්ලා සිටින්නෙමි.

 

මෙම තත්ත්වය හුදෙක් “ස්වභාවික විපතක්” පමණක් නොවන බව අපගේ දැඩි ස්ථාවරයයි. වගුරු බිම් ගොඩකිරීම, ජලය බැස යන ඇල මාර්ග හා කාණු පද්ධති කැළිකසළවලින් අවහිර වීම සහ කඳු මුදුන් විනාශ කරමින් සිදුකරන මහා පරිමාණ අනවසර ඉදිකිරීම් වසර ගණනාවක් පුරා පවතින නීති උල්ලංඝනය කිරීම්ය. මේවා මිනිස් ක්‍රියාකාරකම් නිසා නිර්මාණය වූ ව්‍යසනයන් වේ.

එයට අමතරව, මේ මෙහෙතේ අත්‍යශය නෙවනයැයි සදහන් කරමින් රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබා දීම, “අත්‍යවශ්‍ය සේවා” නිශ්චිත ලෙස නිවේදනය නොකිරීම, රෝහල්වල මූලික ඖෂධ හිඟය, ප්‍රාදේශීය සහ පළාත් මට්ටමේ නිලධාරීන්ට අධිකාරිය සහ අරමුදල් නොදීම වැනි තීරණ මගින් ජීවිත හා සම්පත් රැක ගැනීම තවදුරටත් දුෂ්කර කර ඇත. මේවා සරල පාලන දෝෂ නොව,  ජනතාවගේ ජීවිත අහිමි වීමට සෘජුවම බලපාන අදූරදර්ශී තීරණ බව SLJP ලෙස අපි අවධාරණය කරමු.

ඒ අනුව, ශ්‍රී ලංකා ජනතා පක්ෂය රජයෙන් ප්‍රමාදයකින් තොරව පහත සඳහන් හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටී:

  • සෞඛ්‍ය, ආපදා ප්‍රතිචාර, ආහාර බෙදා හැරීම, ජල සැපයුම, විදුලිය සහ මහජන ආරක්ෂාව ඇතුළු සියලුම අත්‍යවශ්‍ය සේවා වහාම ප්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙසත්, අවශ්‍ය නිලධාරීන් බලමුලු ගන්වන ලෙසත්.
  • අත්‍යවශ්‍ය ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය ඇතුළුහදිසි වෛද්‍ය සැපයුම් පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට බලතල ලබා දෙන ලෙසත්.
  • පීඩාවට පත් පවුල් සඳහා සහල්, පිටි, පරිප්පු, පානීය ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහාදිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන වෙත හදිසි අරමුදල් මුදා හරින ලෙසත්.
  • තෙත් බිම්, ඇළ මාර්ග, කුඹුරු සහ කඳු මුදුන් මත සිදු කර ඇතිනීති විරෝධී ඉදිකිරීම් පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් ප්‍රකාශයට පත් කර, දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්.
  • එවැනි මහා පරිමාණ ජාතික ඛේදවාචක නැවත සිදු වීම වැළැක්වීම සඳහා, සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර,ජාතික ආපදා සහ දේශගුණික ඔරොත්තු දීමේ සැලැස්මක් ආරම්භ කර, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්.

ශ්‍රී ලංකා ජනතා පක්ෂය අවධාරණය කරන්නේ, මෙවැනි මොහොතක ජනතාවගේ ජීවිත දේශපාලන අවශ්‍යතාවලට වඩා ඉදිරියෙන් තිබිය යුතු බවයි. රටේ ජීවිත සහ අනාගතය ආරක්ෂා කිරීම සඳහා වගකීමෙන්, කඩිනමින් සහ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

හීරියමුල්ලගේ බුද්ධික ප්‍රසන්න
සභාපති – ශ්‍රී ලංකා ජනතා පක්ෂය (SLJP)

තරුණ තරුණියන්ට මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙමු ක්‍රීඩාව තුළින් ජය කෙහෙළි නංවා ජීවිතය ජයගමු යන මැයෙන් සංවිධානය කළ ක්‍රිකට් තරගාවලියක් උත්කර්ෂවත් අන්දමින් කොටවිල ක්‍රීඩාංගනයේදී……

තරුණ තරුණියන් විවිධ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව එම පිරිස එමගින් මුදවාගෙන නැවත සමාජගත කිරීමේ අභිලාෂය පෙරදැරිව සිදු කරන තවත් වැඩසටහනක් ලෙස මාතර අධිකරණය මගින් විශෝධනයට යොමුකල එම තරුණ තරුණියන්ට ජීවිතය ජය ගැනීමට ක්‍රීඩා අවස්ථාව ලබාදීමේ අරමුණින් සංවිධානය කළ ක්‍රීඩා උත්සවයක් කොටවිල ක්‍රීඩාංගණයේදී (25 ) දින පැවැත්විණි.
මෙම ක්‍රීඩා උත්සවය මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී ජේ.එස්. අනුර රෝහණ මහතා උපදෙස් සහ මග පෙන්වීම මත මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ වැඩ පරීක්ෂක එරංග ලංගප්පුලි මහතා සහ එච්.ජී.යූ.සම්පත් මහතා වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී ඊ.ඒ. චතුරි නිසංසලා මහත්මිය සහ සී.විජේසිංහ මහත්මිය ,වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී පී. ජී. එන්.සී. කරුණානායක මහතා සහ ගයාන් ලසන්ත යන නිලධාරීන් විසින් වැඩසටහන සංවිධානය කළහ.
එ සදහා වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරී කේ.එච් තුෂාර ප්‍රියංජිත් මහතාගේ සම්පත් දායකත්වය තුළින් වැඩසටහන සාර්ථකත්වයට පත්ව තිබිණි.
විවේකය ඵලදායීව ගතකිරීමට සහ ජීවිතයට සතුට ළඟා කර ගැනීමට ක්‍රීඩාව තුළින් හැකියාව ලැබෙන බව අවබෝධ කර දීමට මෙමගින් අවස්ථාව උදා වී තිබිණි.

වැලිගම – තරංග ගුණරත්න

News Iamges.00_01_12_22.Still1033 News Iamges.00_01_12_22.Still1032 News Iamges.00_01_12_22.Still1031 News Iamges.00_01_12_22.Still1030

මෝදර දේවාලයේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු එළියට….

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව ගාල්ලා දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මහදුර ඉසුරු නැමැත්තෙකු වන අතර ඔහුගේ පියා කරන්දෙණිය සුද්දා විසින් ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

සැකකරුට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගලයෙකුවද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසුවේය.

අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනාවන මිරන්ත වරුසවිතාන නැමැත්තාව වෙඩිතබා ඝාතනය ඝාතනය කළේය.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මෝටර් රථයකින් ඔහු අනතුරට පත්කර පසුව වෙඩිතැබීම සිදුකර තිබුණි.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ, කරන්දෙණිය සුද්දාගෙන් පළිගැනීම සඳහා මෙම ඝාතනය සිදුකර තිබූ බවය.

ඉකුත් මැසි මස 4 වැනිදා මීටියාගොඩ ප්‍රදේශයේදී කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් ඝාතනය කළ මහදුර නලින් නැමැත්තාතේ පුත්‍රයාවන මහදුර ඉසුරු මෙම ඝාතනයට සෘජුව සම්බන්ධ වී ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී 30 හැවිරිදි මහදුර ඉසුරු නැමැත්තාව සෙල්ලකතරගම ප්‍රදේශයේදී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (25) අත්අඩංගුවටගනු ලැබීය.

මහදුර ඉසුරු නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා තමන් සෘජුවම සම්බන්ධ වූ බවය.

ඔහුගේ යතුරුපැදිය ගැටීමට සැලැස් වූ මෝටර් රථය තමන් විසින් පැද වූ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව තමන් මෝටර් රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේ හැර දමාගිය බවත් සැකකරු පවසා ඇති බව වාර්තා වේ.

ඝාතනයෙන් පසුව තමන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සැඟවී සිටි බවත් සැකකරු පවසා තිබේ.

ඔහු දින 7ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මෙම ඝාතනයත් සමග මහදුර ඉසුරු නැමැත්තාගේ පවුලේ සියලු දෙනා ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදී කල්ලිය වන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ පවුල්වල සාමාජිකයන්ද පදිංචි ප්‍රදේශවලින් පලාගොස් සැඟවී සිටින බව වාර්තා වේ.

‘දෙහි බාලේට’ අයත් ධීවර යාත්‍රා පහක් CID භාරයට….

‘දෙහි බාලේට’ අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබේ.

දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

එහි වටිනාකම රුපියල් මිලියන 200ක් පමණ වන බවද සඳහන් වේ.

පෞද්ගලික විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරීත්වය ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය….

ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒවා අනුමත පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස පිළිගැනීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ජා කර තිබේ.

ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේතුවේ දී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙරට ගුණාත්මකභාවයෙන් පහළ උපාධි ලබාදීම සඳහා ආයතන බිහිවීම, ඒ ඔස්සේ සිදුවන හානිය පිළිබඳව කරුණු දක්වමින් පැහැදිලි කළේය.

එම ආයතන හුදෙක් අධ්‍යාපනය ලබාදීමට නොව ලාභ ලබාගැනීමේ මූලික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

ඒ අනුව උපාධි අපේක්ෂකයෙකු අදාළ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ සිට උපාධිය ලබාගැනීම දක්වා ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපතිවරයා, පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු එම උපාධි ලබාදෙන ආයතන අධීක්ෂණය හා නියාමන කාර්ය සිදු කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

ඒ ඔස්සේ අවශ්‍ය දත්ත පද්ධති සකස් කර ලොව අනෙකුත් විශ්වවිද්‍යාල හා සම්බන්ධ වෙමින් ඒවා අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීම මගින් එම විශ්වවිද්‍යාලවල ස්වභාවය, පාඨමාලාවන්ගේ ගුණාත්මක බව යනාදී කරුණු ගැන සියලු තොරතුරු දැනගැනීමට අවස්ථාව පවතින බව එහිදී ඔහු දැනුම් දී ඇත.

එමගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අපේක්ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය ලබදෙන්නේ ද නැද්ද යන්න නිවැරදිව තීරණය කළ හැකි බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

තවද දේශීය විශ්වවිද්‍යාලවල ගැටලු, විදෙස් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.