වාහන සඳහා වන ලීසිං ණය සීමාව දැඩි කරයි…….

ලියාපදිංචි නොකල වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු මෙරට තුල වසරකට වඩා අඩු කාලයක් ලියාපදිංචි කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසීං පහසුකම් හෙට(25)සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතිකයක්(LVT Ratios) පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

සංශෝධිත උපරිම ණය සීමාවන් අනුව වාණිජ වාහන (Commercial Vehicles) සඳහා වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වා ඉහළ දමා තිබේ.

එමෙන්ම මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් 40%ක් දක්වා ඉහළ දමා ඇත.

ඒ අනුව ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60%ක මුදලක් ගැනුම්කරු විසින් දැරිය යුතුය.

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම සහ අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින් මෙලෙස මෝටර් රථ සඳහා ලබාදෙන ණය සීමාවන් තවදුරටත් දැඩි කිරීමටත් මහ බැංකුව පියවර ගෙන ඇත.

මහ බැංකුවේ බලතල ප්‍රකාරව ගනු ලැබූ මෙම තීරණයට ප්‍රධානම හේතුව වී ඇත්තේ, මෝටර් රථ සඳහා දැනට පවතින උපරිම ණය වටිනාකම් සීමාවන් තවදුරටත් වැඩිකිරීමය.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ 21දෙනා ගැන තවත් කරුණු……

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (22) අලුයම මෙරටට රැගෙන ආ අපරාධකරුවන් 21 දෙනා ගැන තොරතුරු රැසක් හෙළිකර ගැනීමට පොලීසියට හැකිව තිබේ.

මෙලෙස පිටුවහල්කළ පිරිස අතර මෙරට පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘මහවත්තේ චාමර’ හා ‘වනාතේ කුඩු දුමින්ද’ ද සිටී.

එරට පැවැති සාදයක් අතරතුරදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අතරින් කුඩු දුමින්ද 2025 වසරේ අගෝස්තු මස 8වනදා බොරැල්ලේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය මෙහෙයවා ඇති අයෙකු බව පොලිසිය පැවසීය.

සැකකරු මේ වනවිට වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

එමෙන්ම කුඩු දුමින්දගේ සමීපතමයන් පස්දෙනෙකු ඊයේ මෙරටට පිටුවහල් කළ පිරිස අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නමැත්තාව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී තිබේ.

ඔවුන් හැරෙන්න සෙසු සැකකරුවන් පිරිසෙන් බහුතරයක් ඩුබායිහීදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉරානය විසින් ඩුබායි රාජ්‍යයට එල්ලකළ ප්‍රහාර වීඩියෝගත කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම හේතුවෙන්ය.

ඒ අනුව ඔවුන් සතුව තිබූ මුදල් හා රන් භාණ්ඩ ඇතුළු සියලු දේ එරට ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇති අතර, පසුව ඔවුන් හැඳසිටි ඇදුමින්ම ගුවන් ගමන් බලපත්‍රය පමණක් ලබාදී මෙරටට එවා ඇති බව පොලිසිය පැවසීය.

පිටුවහල් කළ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින අතර, ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ඔවුන්ට චෝදනා එල්ලවී ඇති පොලිස් ස්ථානවෙත ඊයේ (23) පස්වරුවේ භාරදී තිබේ.

සියලු රජයේ ආයතනවලට මැයි 31න් පසු තහනම් වෙන තනි ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය…..

සියලුම රාජ්‍ය ආයතනයන් හි තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය එළැඹෙන මැයි 31 දින සිට නතර කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දන්වා තිබේ.

අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධව දැනුවත් කරමින් පසුගිය 15 වැනිදා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දන්වා ඇත.

ඒ අනුව එළැඹෙන මැයි 31 වැනි දිනෙන් පසුව සියලුම රාජ්‍ය ආයතනයන් හී ප්ලාස්ටික වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන් තහනම් වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවය.

එමෙන්ම 2023.07.19 දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයද අනුවද තහනම් කර ඇති ප්ලාස්ටික් භාවිතය රාජ්‍ය ආයතන තුළ භාවිතයෙන් වැළැක්වීම සඳහා ආයතන ප්‍රධානීන් අවශ්‍ය කටයුතු කළ යුතු බවද අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය මගින් දන්වා තිබේ.

පරිසර අමාත්‍යාංශයේ එකඟතාව මත මෙම චක්‍රෙල්ඛය නිකුත් කර ඇති අතර ප්ලාස්ටික් භාවිතය අවම කිරීම මෙහි මූලික අරමුණ වේ.

අංක 2341/30 අති විශේෂ ගැසට් පත්‍රය අනුව පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත බීම බට සහ කලතන, ගුවන් ගමන්වලදී හැර තනි භාවිත ප්ලාස්ටික් ආහාර බහාලුම්, පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි, මල් මාලා, ඉඳි ආප්ප වට්ටි භාවිතය තහනම් කෙරිණි.

එමෙන්ම අංක 2034/37 දරන අති විශේෂ ගැසට් පත්‍රය අනුව සියලුම ආකාරයේ පොලිතින්, පොලිප්‍රොපිලින් නිෂ්පාදන දේශපාලන, සාමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික වෙනත් යම් උත්සව හෝ අවස්ථාවලදී සැරසිලි සඳහා භාවිතයද තහනම් කෙරුණි.

පරිසර දූෂණය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා මින් පෙර පැවැති රජයන් ද විවිධ පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 2023 වසරේ එවකට පැවැති රජය විසින් ඉහත සම්බන්ධ කරුණු කෙරෙහි අවධානය යොමු කර 2023 වසරේ ඔක්තෝම්බර් 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එක්වරක් පමණක් භාවිත කෙරෙන ප්ලාස්ටික් අයිතම 09ක් රට තුළ නිෂ්පාදනය කිරීම හෝ අලෙවිය තහනම් කිරීමටද පියවර ගැනුණි.

අවිධිමත් ලෙස ප්ලාස්ටික් සහිත නිෂ්පාදන බැහැර කිරීම මේ වන විට දැඩි පාරිසරික බලපෑමක්ද එල්ල වී ඇති අතර සෞඛ්‍ය ගැටලු බොහොමයක් ඇතිවීමටද අවිධිමත් ප්ලාස්ටික් භාවිතය හේතු වී තිබේ.

මේ අතර එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් සැරසිළි සඳහා සහ දන්සැල් සම්බන්ධයෙන්ද ප්ලාස්ටික් භාවිතයෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය පසුගියදා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

එම අධිකාරිය පැවසුවේ මිනිසා සහ සතුන් ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියම රැකගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවය.

වෙසක් පහන් කූඩු, සැරසිලි සහ දන්සැල්වලදී බහුලව භාවිත වන පහත සඳහන් ද්‍රව්‍ය විකිණීම, ප්‍රදර්ශනය හෝ භාවිතය රජය විසින් නීතියෙන් තහනම් කර තිබේ.

පොලිතීන් හා ප්ලාස්ටික් අක්‍රමවත්ව බැහැර කිරීම නිසා ඇළ දොළ ගංගා අපවිත්‍ර වීම, සතුන් එම ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් මියයාම සහ මයික්‍රො ප්ලාස්ටික් ශරීරගත වීමෙන් මිනිසාට බරපතළ සෞඛ්‍ය සංකූලතා ඇති විය හැකිය.

විශේෂයෙන් මේවා විවෘත පරිසරයේ දහනය කිරීමෙන් විෂ වායු පරිසරයට මුදා හැරෙන අතර එම විෂ වායු මිනිසාට සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය වීමේ අවදානමක්ද පවතී.

අපරාධකරුවන් 226 දෙනෙකුට එරෙහිව පොලිසිය රතු නිවේදන ලබාගෙන…..

විදෙස්ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 226 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.

එම පිරිස අතර සංවිධානාත්මක අපරාධකරුවන් 90කට ආසන්න පිරිසක් සිටින බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියේය.

“මේ අවස්ථාව වනවිට රතු නිවේදනය ලබාගෙන සැකකරුවන් 35ක්. වෙනත් වැරදි ආකාරයෙන් වැරදිකරුවන් 33ක් වගේම සැකකරුවන් 68කට 70කට ආසන්න ප්‍රමාණයක් දිවයිනට රැගෙන ඇවිත් තියෙනවා වර්තමාන රජය බලයට පත්වීමෙන් පස්සේ. ඒ වගේම  තවත් රතු නිවේදන 226ක් පමණ අරගෙන තිබෙනවා. 

මොවුන් අතර සංවිධානාත්මක අපරාධකරුවන් 90කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් රතු නිවේදන අරගෙන තිබෙන්නේ. ඩුබායි, ඉන්දියාව, රුසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රාජ්‍යයන්වල ඔවුන් සිටින බවට හඳුනාගෙන සිටිනවා. ඔවුන්ව ළඟදී ලංකාවට රැගෙන ඒමේ කාර්යයෙන්ම ඉෂ්ට කරනවා.”

මාර්ග නීති කැඩූ උතුරේ යතුරුපැදි පෙළපාලියේ තිදෙනෙක් අත්අඩංගුවට……

උතුරු පළාත තුළ පැවැත්වුණු සැමරුම් උත්සවයකට සමගාමීව මාර්ග නීති කඩකරමින් මහාමාර්ගයක ගමන් කළ යතුරුපැදි පෙළපාලියක සිටි තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරුපැදි කිහිපයක ගමන් ගත් මෙම පිරිස සම්බන්ධව පොලිස් බුද්ධි අංශ යොදවා සිදුකළ සොයා පරීක්ෂණයකින් අනතුරුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ අදාළ විමර්ශනයේදී සැකකාර යතුරුපැදිකරුවන් පිරිස පුත්තූර් හංදියෙන් කොඩිකාමන් හරහා කිලිනොච්චිය දෙසට ගමන් කර ඇති බවට අනාවරණය වූ බවය.

ඒ අනුව අදාළ යතුරුපැදිවල අංක තහඩුවේ ලියාපදිංචිකරු සොයා කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 19 වන දින කිලිනොච්චිය කෙරක්කන්කඩ්ඩු ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී යතුරුපැදියේ හිමිකරු සොයා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර තිබේ.

එමගින් යතුරුපැදිකරුවන් කිහිප දෙනෙකු පසුගිය 18 වැනි දින විශ්වමඩු හන්දිය අසලදී රැස්වී මුලතිව් මාර්ගය ඔස්සේ වෙල්ලමුල්ලි වෛයිකාල් දෙසට ගමන් කර ඇති බව අනාවරණය වී ඇති අතර ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව ගමන් ගන්නේ කවුරුන්ද කුමන ප්‍රදේශයකදීද වැනි තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානය විසින් අද (23) උදෑසන සැකකාර යතුරුපැදිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් තිදෙනා අපරික්ෂාකාරි රිය පැදවීම යටතේ යතුරුපැදි ධාවනය, පීඩාකාරී ලෙස යතුරුපැදි පැදවීම, හිස්වැසුම් නොමැතිය ගමන් කිරීම ඇතුළු චෝදනා රැසකට විරුද්ධව අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

දික්ඔය අඹුසැමි යුවළ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට…..

හැටන්, දික්ඔය නගරයේ වෙළෙඳසැලක සිටි අඹුසැමි යුවළක් ගෙල කපා ඝාතනය කර පවුම් 18ක ස්වර්ණාභරණ රැගෙන පලා ගිය සැකකරු අද (23)  පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා පැවසීය.

සැකකරු බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්‍රසෝ තේ වත්තේ නිවසක සැගව සිටියදී, තමන්ට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව හෙතෙම පැවසීය.

සැකකරු විසින් රැගෙන ගිය ස්වර්ණාභරණද පොලිස් භාරයට ගත් බව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු, දික්ඔය ප්‍රදේශයේ විවාහ වී සිටි බව මූලික විමර්ශනයේදී අනාවරණය ගෙන ඇත.

අඹුසැමි යුවල ඝාතනයෙන් පසු ඔහු මුහුණු පොත ඔස්සේ හදුනාගත් කාන්තාවකගේ බගවන්තලාව ප්‍රදේශයේ නිවසක සැගව මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

මියගිය අඹුසැමි යුවලගේ දේහ ඔවුන් ඝාතනයට ලක්වූ වෙළෙඳසැලේම තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (24) දික්ඔය පොදු සුසාන භූමියේදි සිදු කිරිමට නියමිතය.

රණවිරු ස්මාරකය අසල ඇතිවූ සිද්ධියට ප්‍රකාශයක් දෙන්න විමල්ට කැඳවීමක්…..

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාට පොලිසියෙන් කැඳවීමක් ලැබී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් කියා සිටියේ, ඒ සඳහා තමන් එළැඹෙන සඳුදා තලංගම පොලිසිය වෙත යන බවය.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවට වත්මන් ආණ්ඩුවේ පිරිස් ප්‍රකාශ කළද, එය වචනයට පමණක් සීමා වී ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ විමල් විරවංශ මහතා,

“සියලු රට වැසියන්ට තියෙන අයිතිය අනුව රණවිරු ස්මාරකයට මල් තියලා, වීරෝදාර රණවිරුවන්ට අපේ උත්තමාචාරය පුද කරන්න ගියා. ඒකට බාධා කරා. බාධා කරලා දැන් අපිට කියනවා ප්‍රකාශයක් ගන්න පොලිසියට එන්න කියලා. අපි සඳුදා උදේ යනවා තලංගම පොලිසියට අපේ ප්‍රකාශය දෙන්න. 

ජනාධිපතිවරයා කියනවනේ නීතිය කාටත් එක හා සමානයි කියලා. හැබැයි අධිකරණ අමාත්‍යංශයට අයිති මල්වානේ මන්දිරය අත්පත් කරගත්ත කට්ටියට නීතිය ක්‍රියාත්මක වුනේ නෑ. 

අපි ගියේ මොකක් හරි අත්පත් කරගන්න නෙවෙයි. අපි ගියේ මහජනයාට විවෘත පොදු ස්ථානයකට. ඒ ස්මාරකය හැදුවේ මහජනයාට ඒ වැඩේ කරන්න. ඊට කලින් අවුරුද්දෙත් අපි ගියා. 

අපට නීතිය එක විදිහක්. අන්තරේ පැටව් ටික මල්වානේ මන්දිරය අත්පත් කරගන්නකොට නීතිය ගොළුයි, නීතිය අකර්මන්‍යයි, නීතිය ගරහිතයි” යනුවෙන් පැවසීය.

ජාතික කලා භවනේ චිත්‍ර අස්ථානගතවීම ගැන 15 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි….

ජාතික කලා භවනේ චිත්‍ර 42ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පොලිසිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙක් ඇතුළු 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අස්ථානගත වූ එම චිත්‍ර අතර මිල කළ නොහැකි පෞරාණික චිත්‍ර මෙන්ම සිතුවම් කලාව සඳහා මෙරට ප්‍රචලිත වූ 43 කණ්ඩායමේ නිර්මාණ කිහිපයක් ද ඇති බවයි  විමර්ශනවලදී අනාවරණ වී ඇත.

ජාතික කලා භවනේ චිත්‍ර 42ක් අස්ථානගත වීමක් පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා අනාවරණ කළේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අද දෙරණ සිදුකළ සොයාබැලීමේදී තවත් වැදගත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට හැකි විය.

එහිදී හෙළිවුණේ, අස්ථානගතව ඇති චිත්‍ර 42 හි සේයාරුවක් හෝ නෙැමැති නිසා ඒවා වෙන් වෙන්ව හඳුනාගැනීමට නොහැකි බවය.

2008 වසරේදී මුද්‍රණය කර ඇති ඇල්බමයකට අනුව එම චිත්‍ර 42න් 14ක් පහසුවෙන් හඳුනාගත හැකි වූවද සෙසු 28 හඳුනාගත නොහැකි බවයි වාර්තා වෙයි.

1987 වසරේදී ජාතික කලා භවනේ තොග භාණ්ඩ ලේඛනයට අනුව එහි චිත්‍ර 42ක් සඳහන් වූවද එම තොග පොතද මේවනවිට අස්ථානගතව පවතී.

එමෙන්ම 2008 වසරේදී සකසන ලද චිත්‍ර ඇල්බමයේ ඇති චිත්‍ර 247න් මේවන විට කලා භවනේ පවතින්නේ චිත්‍ර 233ක් පමණය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියක් 2023 වසරේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට මේ පිළිබඳ සිදුකළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදු කෙරේ.

එහෙත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය 2025 වසර වනවිටත් මේ සම්බන්ධව  කිසිදු පරීක්ෂණයක් සිදුකර නොතිබුණු අතර විෂය භාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ උපදෙස්මත බුද්ධශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත්කර ඇතැයි සඳහන්ය.

මේ අතර අස්ථානගතවී ඇති චිත්‍ර අතර මිල කළ නොහැකි පෞරාණික චිත්‍ර රැසක් ද ඇති බවයි වාර්තා වෙයි.

එමෙන්ම විශිෂ්ට නිර්මාණ ශිල්පී ලයනල් වෙන්ඩ්ට් ඇතුළු පිරිසක් විසින් නිර්මාණය කරන ලද 43 කණ්ඩායමේ චිත්‍ර කිහිපයක් හා ඩඩ්ලි සේනානායක මහතාගේ රුව සහිත චිත්‍ර දෙකක්ද ඇති බව පැවසේ.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, මෙහි පසුගිය කාලයේ නිසි ක්‍රමවේදවලට බැහැරව කටයුතු සිදුව ඇති බවය.

එමෙන්ම සිතුවම් ඇතුළු කලා භාණ්ඩ පිළිබඳ නිසි දත්ත ලේඛනයක් පවත්වාගෙන ගොස් නැතැයි යන්න ද පොලිසිය අනාවරණ කරගත් තවත් කරුණකි.

මෙහි තිබූ චිත්‍ර 63ක් අබලි චිත්‍ර යැයි පවසමින් රුපියල් 1500කට 1999 වසරේදී අලෙවි කර ඇති බව වාර්තා වෙයි.

ඒ පිළිබඳ වගකිවයුතු නිලධාරීන් කිසිවෙක් සතුව කිසිඳු ලියවිල්ලක් නොමැතිවූවත් එම චිත්‍ර බලාගැනීමට සිටි පුද්ගලයා සතුව පමණක් ලියවිල්ලක් ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

එමෙන්ම වෙනත් රටක පැවැති චිත්‍ර ප්‍රදර්ශනයක් සඳහා මෙහි ඇතම් චිත්‍ර රැගෙන ගොස් ඇතත් ඉන් ඇතැම් ඒවා යළි ජාතික කලා භවන වෙත රැගෙනවිත් නැත.

මෙහි නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවය මීට සම්පූර්ණ හේතුවී ඇති බවයි පොලිසිය සඳහන් කරයි.

මේ නිසා මෙහි විමර්ශන සිදුකිරීම ද ඉතා අපහසු බවත් පොලිසිය පැවසීය.

ජාතික කලා භවනේ හිටපු නිලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් මෙම චිත්‍ර අස්ථානගතවී ඇතිද? විනාශවී ඇතිද? එසේත් නොමැති නම් සොරකම් කර ඇතිද යන්න සොයාගැනීමට දැඩි උත්සාහයක් ගැනීමට පොලිසිය සිදුව තිබේ.

කාලගුණයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 27,000 ඉක්මවයි…..

අයහපත් කාලගුණය හමුවේ දිවයින පුරා පුද්ගලයින් 27,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය විසින් අද (23) පස්වරුවේ නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනුයේ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පවුල් 6,907කට අයත් පුද්ගලයින් 27,419ක් බලපෑමට ලක්ව ඇති බවය.

ආපදාවෙන් දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක් බලපෑමට ලක්ව ඇති අතර ආපදාවෙන් එක් පුද්ගල මරණයක්ද වාර්තා වී තිබේ.

මේ අතර ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 02ක් වාර්තා වී ඇති අතර තවත් නිවාස 807ක් අර්ධ හානියකට ලක්ව ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

සයිබර් අපරාධ සම්බන්ධව අත්අඩංගුවට ගත් විදේශිකයින්ට නීතිය ක්‍රියාත්මක වන හැටි…..

සයිබර් අපරාධ සම්බන්ධයෙන් මේ වන විට විදෙස් ජාතිකයින් 700කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

අද (23) පැවැති මාධ්‍ය හමුවක එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මොවුන් අතරින් බොහොමයක් චීනය, වියට්නාමය, ඉන්දියාව, කාම්බෝජය වැනි රටවල්වලින් පැමිණ ඇති බවය.

ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඔවුන් අතරින් ඇතැම් පාර්ශ්වයන් පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බවය.

එමෙන්ම යමකිසි පාර්ශ්වයක් හෝ පිරිසක් තමන්ගේ ස්ථානයක කුලී පදනම මත පැමිණෙන්නේ නම් එම සියලු පාර්ශ්වයන්ගේ තොරතුරු ළඟම තිබෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව අදාළ පාර්ශ්ව සම්බන්ධයෙන් රහසිගත විමර්ශන ආරම්භ කරනු ඇති බවත් පැවසූ ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ විදෙස් රටවල්වලින් පැමිණ මෙරට තුළ සයිබර් අපරාධ සම්බන්ධ වංචනික කටයුතු සිදු කිරීම මේ වන විට අභියෝගයක් බවටද පත්ව ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා,

“මේ වන විට විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින් 700කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට අපිට හැකිවුණා. මොවුන් ඉන්දියාව, චීනය, වියට්නාමය, කාම්බෝජය වැනි මේ සියලු රටවල්වල සිට පැමිණි අය. ඔවුන්ගෙන් සැකකරුවන් බොහොමයක් නැවත එම රටවල්වලට පිටුවහල් කිරීමට කටයුතු කරලා තියෙනවා. මින් කිහිප දෙනෙක් පරිගණක අපරාධ සම්බන්ධයෙන් වැරදිවලට සම්බන්ධ වූ අය. ඔවුන් සම්බන්ධව මේ වන විට පරිගණක අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කරලා තියෙනවා.  

ඔබගේ වසමේ, ඔබගේ නිවසක්, හෝටලයක්, හෝ ඕනැම ස්ථානයක් යම් කිසි පාර්ශ්වයකට කුලියට දෙනවානම් ඒ කුලියට දිම පිළිබඳව ඒ සියලු අයගේ අනන්‍යතාව පිළිබඳව ළඟම තිබෙන පොලිස් ස්ථානය දැනුවත් කිරීමේ හැකියාවක් පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදන යටතේ තිබෙනවා. පොලීසිය විසින් ඒ සෑම තොරතුරක් සඳහාම රහසිගත විමර්ශන ආරම්භ කරලා තිබෙනවා. අපිට ඇත්තටම මේක අභියෝගයක් විශේෂයෙන්ම විදෙස් රටවලින් ඇවිල්ලා මෙවැනි අපරාධයන් සඳහා පෙළඹවීම.”