පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සයිබර් ආරක්ෂාව ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහනක්…..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සර්ට්  ආයතනය ආයතනය විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

ජාතික පාලනයේදී ඩිජිටල් තාක්ෂණය ආරක්ෂිතව සහ වගකීමෙන් යුතුව භාවිතා කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන පැවැත්වූ අතර, සයිබර් ආරක්ෂාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අත්‍යවශ්‍ය කරුණක් බව එහිදී අවධාරණය කෙරිණි.

ඩිජිටල් වේදිකා ප්‍රතිපත්ති සම්පාදනය හා මහජන සන්නිවේදනය සඳහා වැදගත් භූමිකාවක් ඉටු කරන බැවින්, සංවේදී තොරතුරු හා ජාතික පද්ධති වෙත ප්‍රවේශය ඇති තීරණකරුවන් ලෙස මන්ත්‍රීවරුන් සයිබර් ප්‍රහාර, දත්ත සොරකම් හා දුස්තොරතුරු ව්‍යාප්තිය වැනි තර්ජනවලට ලක් විය හැකි බවද සඳහන් කෙරිණි.

මෙම වැඩසටහනට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමලි වීරසේකර මහත්මිය ඇතුළු රජයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගී වූහ.

වැඩසටහන අතරතුර සයිබර් ආරක්ෂණයේ හොඳම පිළිවෙත්, ආරක්ෂිත මාර්ගගත සන්නිවේදන ක්‍රම, සහ අන්තර් සම්බන්ධිත ඩිජිටල් පරිසරයක ආරක්ෂිතව ක්‍රියා කිරීම පිළිබඳ තාක්ෂණික දැනුම ලබාදීම සිදු කෙරිණි.

තවද, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ ශ්‍රී ලංකා CERT හි සභාපති තිලක් පතිරගේ මහතා ද අදහස් පළ කළ අතර, වැඩබලන විධායක නිලධාරී වෛද්‍ය කණිෂ්ක කරුණාසේකර මහතා විසින් මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ලදී.

මෙම වැඩසටහන මඟින් සයිබර් ආරක්ෂාව පිළිබඳ අවබෝධය ශක්තිමත් කරගැනීමට මන්ත්‍රීවරුන් තුළ දැඩි උනන්දුවක් පෙන්වා තිබූ අතර, එය වර්තමාන පාලන ක්‍රමයේ අත්‍යවශ්‍ය අංගයක් බවද අවධාරණය කෙරිණි.

නුවරඑළියේ ජලාශ කිහිපයක ජල මට්ටම සීඝ්‍රයෙන් පහළට….

වියළි කාලගුණයේ බලපෑම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජලාශ කිහිපයක ජල මට්ටම සීඝ්‍රයෙන් පහළගොස් තිබේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඉහළ කොත්මලේ ජලාශය මෙන්ම ඩෙවෝන් සහ සෙන් ක්ලෙයාර් දිය ඇලිවල ද ජල ධාරිතාව මේ දිනවල පහළ ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසූවේය.

එමෙන්ම ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යාම හේතුවෙන් විදුලි උත්පාදනයට ද බාධා පැමිණ ඇති බව සඳහන් වේ.

මේ අතර අධික උෂ්ණත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක වැව්, ගංගා, දිය ඇළි සහ ජලාශවලද ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ ගොස් ඇත.

චමින්ද කුලරත්නගේ පෙත්සම් විභාගයේදී කථානායක වෙනුවෙන් නීතිපති අද පෙනීසිට නැහැ….

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කථානායකවරයා වෙනුවෙන් අද (27) නීතිපතිවරයා පෙනී නොසිටි අතර කථානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කණගීස්වරන් මහතා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය.

නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

මෙම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබු අවස්ථාවේදී කථානායකවරයා  වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරය සමථයට පත් කිරීම සඳහා සලකා බැලීමට සූදානම් බවය.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා අද අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ වගඋත්තරකාර කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවය.

ඒ අනුව කථානායකවරයා වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා අධිකරණයට දැනුම්දුනි.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසටය.

ඒ අනුව පෙත්සමට අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 20වනදාට පෙර ගොනු කරන ලෙස අධිකරණය විසින් වගඋත්තරකාර පාර්ශ්වයට නියම කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායක ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ සාමාජිකයන් නම් කර ඇත.

රුපියල් කෝටි 5ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට….

සපුගස්කන්ද ප්‍රදේශයේදී රුපියල් කෝටි 5කට අධික වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ සැකකරු සතුව තිබී හෙරොයින්, අයිස්, කොකේන් සහ මත්පෙති තොගයක් මෙලෙස සිය භාරයට ගත් බවය.

ඒ අතර හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 515ක්, කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 565ක් ඇති බවද විමර්ශන නිලධාරින් වැඩිදුරටත් පවසයි.

එම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු විසින් අදාළ සැකකරුට ලබාදුන් ඒවා බවට තොරතුරු හෙළිවී ඇත.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

පෙට්‍රල් සහ ඩීසල් රැගත් නැවක් හෙට දිවයිනට….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉකුත් අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස හෙට (28) මෙරටට ඉන්ධන නෞකාවක් ලැබීමට නියමිතව තිබේ.

ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් මෙම නෞකාව හෙට දිනයේදී කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ඉන්ධන තොගය මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එක් පියවරක් බවය.

සම පැහැපත් කරන ආලේපනවල ප්‍රමිතිය පරීක්ෂා කරන්න නව තාක්ෂණය…

මෙරට පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත රුපියල් ලක්ෂ 180ක් වටිනා නවීන ජංගම රසදිය විශ්ලේෂක යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කර තිබේ.

එම යන්ත්‍ර සංකේතාත්මකව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත භාරදීම අද(27) වෙළෙඳ අමාත්‍යංශයේදී සිදු කෙරිණි.

ඒ සඳහා විෂයභාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගී වී ඇත.

වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපන ඇතුළු විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදනවල අඩංගු රසදිය ප්‍රමාණය ඉතා කෙටි කාලයක් තුළ පරීක්ෂා කර බැලීමට මෙම ජංගම රසදිය විශ්ලේෂක යන්ත්‍ර දෙක හරහා හැකියාව ලැබේ.

පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දක්වා සිදුකර තිබෙන කාර්යභාරය ඇගයීමට ලක් කරමින් තවදුරටත් එම කටයුතු පහසු හා කඩිනම් කිරීම සඳහා මෙම යන්ත්‍ර දෙක එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අනුව රූපලාවන්‍ය නිෂ්පාදනවල අඩංගු විය හැකි උපරිම රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් එකක් වුවද, වෙළෙඳපොළේ ඇති ඇතැම් නිෂ්පාදනවල එම අගය ඉක්මවා පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට පෙර සිදු කළ පරීක්ෂාවන්හිදී හෙළි වී තිබේ.

පාරිභෝගික සුරක්ෂිතතාව සඳහා නගරයෙන් නගරයට ගොස් වෙළෙඳසැල් තුළදීම රූපලාවණ්‍ය නිෂ්පාදනවල රසදිය ප්‍රමාණය පරීක්ෂා කිරීමට මෙම ජංගම යන්ත්‍ර යොදා ගැනීමට අපේක්ෂිතය.

අධික ලෙස රසදිය අඩංගු ව්‍යාජ සහ ප්‍රමිතියෙන් තොර ආලේපන නිසා සිදුවන සෞඛ්‍ය අවදානමෙන් පාරිභෝගිකයා රැක ගැනීම මෙහි ප්‍රධාන අරමුණකි.

මේ හරහා සම්පූර්ණ පරීක්‍ෂණයක් සිදු කිරීමට විනාඩි 05 – 10 වැනි ඉතා කෙටි කාලයක් ගත වන අතර අතිරේක රසායනික ද්‍රව්‍ය හෝ වායු වර්ග අවශ්‍ය නොවන බැවින් පරීක්ෂණයක් සඳහා වැයවන පිරිවැය ද මෙහි අඩුවීම විශේෂත්වයකි.

මෙම යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දී ඇති අතර ඉදිරියේදී දිවයින පුරා පරීක්ෂණ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්…

තම නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබාගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා එම මුදල මාර්ගත ක්‍රමය ඔස්සේ ගෙවන ලෙසට පාරිභෝගිකයන් ඉල්ලා කරමින් වංචාවක් සිදු කරන බවය.

මෙම වංචනික ක්‍රියාවලිය යටතේ, පාරිභෝගිකයන් විසින් Payment Gateway හරහා තම කාඩ් පතෙහි තොරතුරු ඇතුළත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කරගැනීමට කටයුතු කරන බව තැපැල්පති ආර්.පී සත්කුමාර මහතා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් මහජනතාව මෙම වංචාකාරි කෙටි පණිවුඩ සබැඳි, ව්‍යාජ වෙබ් අඩවි සහ මාර්ගගත ගෙවීම් ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

නොහඳුනන සබැඳි වෙත ප්‍රවේශ නොවන ලෙසත් තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශ්ව පුද්ලයන්ට හෝ වෙබ් අඩවිවලට ලබා නොදෙන ලෙස ද තැපැල්පති ආර්.පී සත්කුමාර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ශ්‍රි ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතයට කුමක් සිදුවෙයිද ?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන බවට චෝදනා එල්ල වන ගරු සභාපති පවිත්‍ර ෆර්නෑන්ඩු මහතාගේ හැසිරීම, ඔහුගේම විධායක සභාව තුළ දැඩි විවේචනයට සහ ආන්දෝලනයට ලක්ව ඇත.
විශේෂයෙන්, මෑත කාලයේදී ගන්නා ලද තීරණ, ක්‍රියාමාර්ග, ඒවායේ පවතින දුර්වලතා සහ විනිවිදභාවයෙන් තොර බව මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇත.
අප විසින් අවධාරණය කරනුයේ, මේ වන විට ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව සහ එහි පරිපාලනය, රට තුළ දැඩි අප්‍රසාදයට ලක්ව ඇති බවයි. පසුගිය කාලය තුළ ගන්නා ලද තීරණ සහ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍රවෙමින් පවතී.
අන්තර්-ක්‍රීඩා සමාජ පළමු පෙළ කණ්ඩායම් වසර පුරාවට විශාල කැපවීමක් සහ මූල්‍ය භාරයක් දරමින්, නිසි අනුග්‍රහයක් නොමැතිව, සියවසකට ආසන්න ඉතිහාසයක් ඇති මෙම ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්නේ බොහෝ අපහසුතා මධ්‍යයේය.
එහෙත්, කනගාටුවට කරුණ වන්නේ ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් රග්බි ක්‍රීඩාවේ උන්නතිය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් නොදක්වීමයි. විශේෂයෙන්, පළමු පෙළ කණ්ඩායම් අතරින් සී.ආර්. & එෆ්.සී. (CR & FC) වැනි කණ්ඩායමකට පමණක් විශේෂ සැලකිල්ලක් දැක්වීම පිළිබඳව බරපතළ ගැටළු මතුවී ඇත.
එමෙන්ම, පරිපාලන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මධ්‍යගත කරමින්, අනෙකුත් පාර්ශ්වයන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොදීම සහ සභාපතිවරයාගේ අභිමතය පරිදි දැඩි පාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳවද විවේචන ඉදිරිපත් වී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන්, රග්බි ක්‍රීඩාව සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර දැඩි අප්‍රසාදයක් සහ අවිශ්වාසයක් පවතින අතර, එය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට ශෝකාන්ත තත්ත්වයක් බවට පත්ව ඇත.
වත්මන් රග්බි ක්‍රීඩා පද්ධතිය තුළ ගැටළු රැසක් උද්ගත වී ඇති අතර, එය ක්‍රීඩාවේ ගුණාත්මකභාවය සහ අනාගතය පිළිබඳව දැඩි අවදානමක් ඇති කරයි. විශේෂයෙන්, විදේශීය ක්‍රීඩකයන්—විශේෂයෙන් ඩුබායි හරහා ෆීජී ක්‍රීඩකයන්—ගෙන් සමන්විත කණ්ඩායම් ගෙන්වා අන්තර්-ක්‍රීඩා සමාජ සත්-සාමාජික තරඟාවලියට එක් කිරීම පිළිබඳව බරපතළ විවේචන එල්ල වී ඇත.
මෙය මුදල් විශුද්ධිකරණයක්ද, නැත්නම් අල්ලස් මත කණ්ඩායම් විශේෂ ප්‍රතිලාභ ලබාදීමට සම්බන්ධ කූට ක්‍රියාමාර්ගයක්ද යන්න පිළිබඳව සැක මතුවී ඇති අතර, ඒවා පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය වේ.
එමෙන්ම, දේශීය ක්‍රීඩකයන්ට සාධාරණ අවස්ථා නොලැබීම සහ විදේශීය ක්‍රීඩකයන්ට විශේෂ පහසුකම් සැලසීම ක්‍රීඩාවේ සාධාරණත්වයට හා එහි ආත්මයට පටහැනි වේ.
තරඟවල සාධාරණත්වය පිළිබඳවද ගැටළු මතුවී ඇති අතර, ක්‍රීඩාවේ ස්වභාවයට නොගැලපෙන එකඟතා මත තරඟ පැවැත්වීම පිළිබඳවද සැක පවතී. එවැනි තත්ත්වයන් දිගටම පවතින පරිදි නම්, රග්බි ක්‍රීඩාවද ලංසු තැබීම් සහ අනීතික ක්‍රියාකාරකම්වලට ලක්වීමේ අවදානමක් පවතින බව පැහැදිලි වේ.
පසුගිය කාලයේ පාලන දෝෂ හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ගැටළු මතුවූ අතර, වර්ල්ඩ් රග්බි වර්ගීකරණය සම්බන්ධයෙන්ද අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය. එපමණක් නොව, කළමනාකරණ දුර්වලතා හේතුවෙන් ජාත්‍යන්තර රග්බි ආයතනවලට දඩ මුදල් ගෙවීමටද සිදුවී ඇත.
තරඟාවලි සම්බන්ධයෙන්ද ගැටළු රැසක් මතුවී ඇති අතර, ප්‍රමුඛ ක්‍රීඩා සමාජ කිහිපයක් එයින් ඉවත් වීම මෙම තත්ත්වය තවදුරටත් බරපතළ කර ඇත. විශේෂයෙන්, හැව්ලොක් ක්‍රීඩා සමාජය ඉවත් වීම මෙම අර්බුදයේ ගැඹුර පැහැදිලි කරයි.
එමෙන්ම, යූඊඩීඑස් (UUDS) වැනි ආයතනවල සම්බන්ධතාවය, මූල්‍ය පසුබිම සහ ඒවාට ලැබෙන විශේෂ සැලකිල්ල පිළිබඳවද විවෘත සහ පාරදෘශ්‍ය විග්‍රහයක් අවශ්‍ය වේ.එසේ එක් කණ්ඩායමක් පමණක් මෙවැනි දේශීය ක්‍රීඩකයන්ට පමණක් සීමිත වූ තරගාවලියක් සඳහා සහභාගි කරගන්නා ලද්දේ කුමන පදනමක් මතද යන්න විවෘත විග්‍රහයක් අවශ්‍ය වේ!

මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා සහ අදාළ බලධාරීන්ගේ අවධානයද මේ සම්බන්ධයෙන් යොමු වී ඇති අතර, ක්‍රීඩා සමාජ විසින් මේ පිළිබඳව කෝප් කමිටුවට සහ නීතිමය මාර්ග වෙත යොමු වීමටද සැලසුම් කර ඇත.
දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා සමාජ දිනෙන් දින දුර්වල වෙමින් පවතින අතර, කොළඹ කේන්ද්‍ර කරගත් සීමිත කණ්ඩායම් කිහිපයකට පමණක් අවධානය යොමු කරන වත්මන් පරිපාලනය ඉක්මනින් නිවැරදි මාර්ගයට යොමු විය යුතුය.
එය ඉතා ඉක්මනින් සිදුවනු ඇතැයි අප බලාපොරොත්තු වන අතර, එය සිදු වන තුරු අප දැඩි අවධානයෙන් මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටිමු…

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (26) මෙරටට පැමිණීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ සිදුකරන ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන සම්පූර්ණ කිරීමේ අරමුණින් ප්‍රතිපත්තිමය සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම පිරිස අප්‍රේල් 9 වනදා දක්වා දිවයිනේ රැඳී සිටින බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය මේ බව තහවුරු කර ඇත.

මෙම සංචාරය අතරතුර, මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරට බලධාරීන් සමඟ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව මෙන්ම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මෙම නියෝජිත පිරිසේ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ යාවත්කාලීන තක්සේරුවක් සිදු කරන බවත්, ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහයෝගය කුමක්ද යන්න තීරණය කරන බවත් ජූලි කොසැක් මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පස්වන සමාලෝචනය සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව 2025 ඔක්තෝබර් 9 වන දින එළඹුණු අතර, එම සමාලෝචනය මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආර්ථික බලපෑම සහ ගෝලීය ඉල්ලුම වෙනස් වීම හේතුවෙන් පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධව සිදු කිරීමට බලධාරීන් සැලසුම් කර ඇති අතර, මෙම සංචාරය හරහා හයවන වාරිකයට අදාළ සමාලෝචන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අපේක්ෂිත බව සඳහන් වේ.

පෙබරවාරි මාසයේ මෙරට අපනයනවල වර්ධනයක්…

2026 පෙබරවාරි මාසයේදී වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ශ්‍රී ලංකාවේ මුළු අපනයන අමෙරිකානු ඩොලර් මිලියන 1,401.78ක් ලෙස වාර්තා වී තිබේ.

එය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.22% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.

ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ, 2026 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.32% කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් මිලියන 1,066.88ක් වී තිබේ.

සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට ප්‍ර‍ධාන ශක්තියක් වී ඇති බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

ඒ අනුව සේවා අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 334.9ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2025 වසරේ පෙබරවාරි මාසයට වඩා 14.68% ක වැඩිවීමකි.

2026 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ මුළු අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 2,896.31ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 7.56% ක කැපී පෙනෙන වර්ධනයකි.

අපනයන ආදායමේ වර්ධනය, භාණ්ඩ අපනයනය ස්ථාවර වීම, සේවා අපනයනය වර්ධනය වීම මගින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ශක්තිමත් වී ඇති බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.