ජයකොඩිගේ ඉල්ලාඅස්වීමට සුමන්තිරන්ගේ ප්‍රසාදය….

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම ධුරයෙන් ඉල්ලාඅස්වීම සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා සිය ප්‍රසාදය පළකර තිබේ.

කෙසේවෙතත් හිටපු අමාත්‍යවරයා ආරක්ෂා කර ඔහුව ධුරයේ තබා ගැනීමට ඡන්දය දීම සම්බන්ධයෙන් රජය සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව, ඔහු දැඩි ලෙස විවේචනය කර ඇත.

ආනයනය කරන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර බව පරිපාලනය විසින්ම පිළිගෙන තිබියදීත්, රජය සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඔහුව අඛණ්ඩව ආරක්ෂා කිරීම පිළිගත නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා සිය ‘X’ අවකාශයේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් අලුතින් පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසම මගින් සිදුකෙරෙන විමර්ශන වලට සහාය දක්වමින්  කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඊයේ (17) ඉල්ලා අස්විය.

නීතිවිරෝධී ධීවර කටයුතු කළ 41ක් නීතියේ රැහැනට…..

නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 41දෙනෙකව, ඩිංගි යාත්‍රා 11ක් සහ ට්‍රැක්ටර් රථ 2ක් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්ත‍මේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ,  ත්‍රිකුණාමලය චෙම්මලෙයි, චෙඩ්ඩිපලයාම්, එලිස‍බෙත් දූපත, ෆවුල් පොයින්ට්, ක්ලැපන්බර්ග් පොයින්ට්, උප්පුරාල්, නන්දිකඩාල් කලපුව, අලම්පිල්, අලියා දූපත, පුඩුවකට්ටු, පුත්තලම උච්චමුනෙයි සහ යාපනය කොමාර් පොයින්ට් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙමස පළමුවනදා සිට 15 වෙනිදා දක්වා සිදුකළ මෙහෙයුම් වලදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කුඩැල්ලන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, කින්නියා, කොඩ්බේ, ඊච්චලම්පත්තු, කලවංචිකුඩි, කිලිනෝච්චිය, පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ පුල්මුඩේ විශේෂ කාර්ය බලකාය වෙත භාරදී ඇත.

1 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්….

2026 වර්ෂයේ 1 ශ්‍රේණිය දෙවන සහ තුන්වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් ඇතුළත් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ ඒ අනුව අදාළ බෙදා හැරීම් එළැඹෙන 30 වැනිදා වන විට සියලුම පාසල් වෙත බෙදා හැර අවසන් කිරීමට නියමිත බවය.

1 ශ්‍රේණිය විෂයමාලා දැනුවත් කිරීම සහ ගුරු පුහුණුව, පළාත් ප්‍රාථමික විශය අධ්‍යක්ෂවරුන් ගුරු උපදේශකවරුන්, පුහුණුකරුවන් සහ ගුරුවරුන් සඳහා මේ වන විට ලබා දී ඇති අතර අවශ්‍ය  අමතර පුහුණු කිරීම් එළැඹෙන මැයි 16 දින වන විට අවසන් කිරීමට පළාත් අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේය.

තවද 1 ශ්‍රේණිය, I වන වාරය විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ  පාසල් පවතී නම් එළඹෙන II වන පාසල් වාරයේදී එම විෂය කොටස් සම්පූර්ණ කර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කරනු ඇති බවත් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

අනියම් පෙමක් නිසා සැමියා බිරිඳව ඝාතනය කරයි……

අනියම් පෙමක් සම්බන්ධයෙන් හටගත් ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කර තිබේ.

අද (17) අලුයම නිදි යහනේ දී මෙම ඝාතනය කර ඇති බව වටවල පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිඔය යූ.ඩී.කේ. කොටසේ පදිංචිව සිටි 27 හැවිරිදි එක් දරු මවකි.

මෙම කාන්තාව විදේශගතව සිට දැනට මාස 3කට පෙර සිය සැමියා පදිංචිව සිටි ගලහා පුපුරැස්ස ප්‍රදේශයේ නිවසට පැමිණ ඇත.

පසුව මීට සති දෙකකට පෙර ඇය සිය දරුවා ද සමග සිය මව පදිංචිව සිටි වැලිඔය වත්ත නිවසට පැමිණ තිබේ.

සිය බිරිඳ නැවතත් තමා වෙත නොපැමිනීම හේතුවෙන් සැමියා ඊයේ (16) ඇය සිටි ප්‍රදේශයට ගොස් ඇත්තේ ඇයව නැවත රැගෙන එමට බව සඳහන් වේ.

කෙසේවෙතත් සිය බිරිඳ සම්බන්ධයෙන් ප්‍රදේවාසීන් ඔහුට පවසා ඇත්තේ ඇය එම ප්‍රදේශයේ තරුණයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන යන බවටය.

ඒ සම්බන්ධයෙන් උරණ වූ සැමියා අනියම් සම්බන්ධය නවතා දමන ලෙස පවසමින් බිරිඳට බැන වැදි ඇති අතර දෙදෙනා අතර ඊයේ පස්වරුවේ සිටම බහින්බස්වීම් සිදු ව තිබේ.

පසුව අද අලුයම ඇය නිදි යහනේදී මෙලෙස ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

අවුරුදු 30ක් වයසැති සැකකරු සහ අනියම් පෙම්වතා වටවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් වටවල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙසින් නිදහස් කිරීමේ පුවතට පැහැදිලි කිරීමක්…..

විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය, අසාමාන්‍ය ලෙස නිදහස් කිරීමට කටයුතු යොදා ඇති බවට පළවන පුවත ගැන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් යොමුකරමින් එම මණ්ඩලය අද (17) මේ බව පැවසිය.

ඒ අනුව බලගොල්ල ජල පවිත්‍රාගාරය මගින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි බලගොල්ල, දිගන, අලුක්වත්ත, වරාපිටිය, ගම්උදාව, කුණ්ඩසාලේ, දම්බරාව, විජේසිරිගම, BOI,IDB ආදී ප්‍රදේශ ආවරණය කරමින් ජල සම්බන්ධන 16,977ක් සඳහා නල ජල සැපයුම් ලබාදී ඇති බව අදාළ නිවේදනයේ දැක්වේ.

ජලාශවල ජලය අධික ලෙස විදුලිය උත්පාදනයට යොදවා ගැනීම හේතුවෙන් මහනුවර, කුණ්ඩසාලේ හා දිගන ප්‍රදේශ කිහිපයකට පානීය ජලය සපයන බලගොල්ල පොම්පාගාරය අකර්මන්‍ය වන තත්ත්වයක් උද්ගතව ඇති බව අදාළ වාර්තාවන්හි දැක්විණි.

ඒ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත්කළ නිවේදනය,

බලගොල්ල ජල පවිත්‍රාගාරය මගින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටි බලගොල්ල, දිගන, අලුක්වත්ත, වරාපිටිය, ගම්උදාව, කුණ්ඩසාලේ, දම්බරාව, විජේසිරිගම, BOI,IDB ආදී ප්‍රදේශ ආවරණය කරමින් ජල සම්බන්ධන 16,977ක් සඳහා නල ජල සැපයුම් ලබා දී ඇත. 

මෙම ජල සම්පාදන ක්‍රමයේ තුළුමුව (Intake) වික්ටෝරියා ජලාශය තුළ වූ පොන්ටුන් මත සවිකල පොම්ප යොදාගෙන ක්‍රියාත්මක කරනු ලබයි. 

කෙසේ නමුත් පසුගිය දිනවල පැවැති දැඩි නියඟ තත්ත්වයන් යටතේ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළ ගිය අතර, ‘දිට්වා’ කුණාටුවට පසුව මෙම පොන්දූන් ක්‍රියාත්මක ප්‍රදේශ තුල දැඩි ලෙස මඩ තැන්පත් වීම හා එයට ඉහළින් තැන්පත් වූ මඩ ගලාඒමත් නිසා වරින්වර පොම්ප ක්‍රියාකිරීම හා පිරිපහදු ක්‍රියාවලිය දින 10ක පමණ (06.04.2026 සිට 15.04.2026) කාලයක් දැඩි ලෙස අඩපණ වීම සිදුවිය.

ඒ සඳහා අප මණ්ඩල මඟින් තාවකාලික වේල්ලක් ඉදිකර ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කල අතර මේ වන විට ජල පිරිපහදු ක්‍රමය යථා තත්ත්වයට පත්කර අදාළ සේවා ප්‍රදේශවලින් බොහොමයක් ආවරණය වන ලෙස ජලය සැපයුම් යථාවත් කිරීමට කටයුතු කොට ඇති අතර අවශ්‍යතාව මත බවුසර් මගින් ද ජලය සැපයෙනු ඇත.

තවද ඉදිරියේදී මෙවැනි තත්වයකට මුහුණදීම සඳහා අමතර සහයක් වනු පිණිස වික්ටෝරියා ජලාශය තුල වන හාරගම ප්‍රදේශයේ පිහිටි ජල තටාකය යොදා ගෙන (225mm HDPE), 2km පමණ නල මාර්ගයන් මගින් අමු ජලය ජල පවිත්‍රාගාරය වෙත යොමු කිරීමට අවැසි කටයුතු මේ වනවිට ක්‍රියා වෙමින් පවති. 

මෙම කටයුතු තව දින 2-3 ක කාලයක් තුල අවසන් කිරීමට අපේක්ෂිතය.

මේ වනවිට බලගොල්ල ජල පවිත්‍රාගාරය අමු ජල පොම්ප ක්‍රියා කරවීමේ ගැටලුව විසදා ජලය බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ප්‍රධාන ජාත්‍යන්තර ආයතන කිහිපයකට ලිපියක්…..

ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමය යන ප්‍රධාන ජාත්‍යන්තර ආයතන වෙත, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ලිපියක් මගින් දැනුම් දීමක් සිදුකර ඇත.

එම සංගමය විසින් ඉල්ලා ඇත්තේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ගැඹුරුන් අවධානය යොමු කරන ලෙසටය.

මෙම ගැටලු අතරින් ප්‍රධානතම කරුණ ලෙස ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාව නීතිවිරෝධී හා ද්වේශ සහගත ලෙස සේවය තහනම් කර ඇත බවය.

එය නීතිමය ක්‍රමවේද, ස්වාභාවික නීතිමය සාධාරණත්වය සහ ආයතනික ස්වාධීනතාවය දැඩි ලෙස උල්ලංඝනය කරන ක්‍රියාවක් ලෙස එම සංගමය පෙන්වා දී තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය මඟින් යවන ලද මෙම ලිපි මඟින් මෙම සේවය තහනම් කිරීම නීතිමය බලය නොමැති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උප‌දේශක කමිටුව (SAC) මගින් සිදු කර ඇති අතර, එය නැති බලයක් පවරාගෙන සිදු කරන ලද ක්‍රියාවක් බවද පෙන්වා දී ඇත.

එමෙන්ම, මෙම ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ නීතිමය බලයක් නොමැති හා ක්‍රමවේදය දෝෂ සහිත මූලික පරීක්ෂණයක් මත පදනම් වීම හේතුවෙන්, මුල් අවස්ථාවෙන්ම එය අදාළ නොවන බවට නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් අභියාචනාධිකරණ හමුවේ පවරන ලද නඩුවේදී කරුණු ඉදිරිපත් වී ඇති බවද පෙන්වා දී තිබේ.

තවද, මෙම සංගමය පෙන්වා දෙන්නේ මෙම තීරණය ස්වාධීන පරිපාලන තීරණයක් නොව, වත්මන් කථා නායක ජගත් වික්‍රමරත්න මහතාගේ සෘජු පෞද්ගලික මැදිහත් වීමක් මත සිදු කර ඇති බවය.

මෙය ඔහු විසින් තම බලය ඉක්මවා ද්වේශ සහගත ලෙස කටයුතු කිරීමක් බව මෙකී ලිපි මඟින් පෙන්වා දී ඇත.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ,

1 (1)

ගල්අඟුරු වංචා ගැන ඕනෑම අයෙකුට කොමිසමට තොරතුරු ලබාදිය හැකියි – ඇමති විජිත….

ගල්අඟුරු ආනයනයේදී වංචාවක් සිදු නොවුණු බවත්, ගෙන්වූ ගල්අඟුරු බාල මට්ටමක තිබුණු බව පිළිගන්නා බවත් අමාත්‍ය විජිත හේරත් පවසයි.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ගල්අඟුරු මිලදී ගැනීම් ගැන විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමට, ඕනෑම අයෙකුට ගල්අඟුරු සම්බන්ධ වංචා සම්බන්ධව තොරතුරු ලබාදිය හැකි බවය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,

“ගල්අඟුරු ආනයනයේ දී කිසිදු වංචාවක් සිදුකළේ නෑ. රජයක් ලෙස අපි වගකීමෙන් කියනවා. නමුත් අපි පිළිගන්නවා ඒ ගෙන්වූ ගල්අඟුරුවල තත්ත්වය යම් බාල මට්ටමක තිබුණ කියන එක. ඒක අපි ඉතා විවෘතව ජනතාවට දැනුම් දුන්නා. 

සියලු පරීක්ෂණ සිදුකරන්නේ ඒ අදාළ පර්යේෂණාගාරවල. ඒවා සියල්ල පසුකරමින් මේ ක්‍රියාවලිය සිද්ධ කරේ. නමුත් පාවිච්චියට ගන්න කොට  උපදවන විදුලි ධාරිතාවයේ යම් අඩුවක් තියෙනවා කියන එක නිරීක්ෂණය වුණා.

ඒ හැර කිසිදු ආකාරයක ඇමතිවරයාගේ සෘජු සම්බන්ධයක් මත හෝ වෙනත් අයගේ සෘජු සම්බන්ධතාවයක් මත දූෂණයක්, වංචාවක් සිද්ධ වුණා කියලා මෙතෙක් කිසිදු පරීක්ෂණයකින් තහවුරු වෙලා නෑ.

ගල්අඟුරු ගෙන්වන සමාගම් එක්ක මොනවහරි ඩීල් දාලා වැරදි විදිහට මේවා ගෙනාවා කියලා…එහෙම කිසිම දෙයක් නැහැ. ඉතා වගකීමෙන් කියනවා. 

ඇත්තටම මේ කමිටු ප්‍රසම්පාදන කමිටු. ඒවා රජයේ නිලධාරීන්ගෙන් යුක්ත කමිටු. ජාතික ප්‍රසම්පාදන කොමිසම. ඒවා ස්වාධීනව කටයුතු කරන්නේ. ඒවායේ නිර්දේශවලට අනුකූලව තමයි මේ ගල්අඟුරු ආනයනය සිද්ධ කරලා තියෙන්නේ.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තීරණය කළා, මේ පිළිබඳ විගණන පරීක්ෂණයක් කරලා විගණන වාර්තාවක් ලබාගත යුතුයි කියලා. 

ඒ විගණන වාර්තාවේ කිසිම තැනක ඇමතිවරයා මෙතන ගල්අඟුරු ගෙන්වීමේදී වංචාවක්, දූෂණයක් කරා කියලා කිසියම් ආකාරයක සඳහනක් වත් නෑ. 

ඒ නිසා යම් පාඩුවක් වුණා කියන එක පමණයි. ඒ නිසා විගණන වාර්තාවේ හරි පැහැදිලිව සනාථ කරලා තියෙනවා ඇමතිවරයා සම්බන්ධ වෙලා වංචාවක් සිදු කරේ නැහැ කියලා” යැයි පැවසීය.

ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්…..

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (17) පැමිණිල්ලක් ලැබී තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා 2024 හා 2025 වසරවලට අදාළව පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදා භාර දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී තිබේ.

රුපියල් කෝටි 6.7කට අධික නිෂ්චල දේපොළ තමාට අයත් බවට අමාත්‍යවරයා සිය වත්කම් ප්‍රකාශය මගින් දක්වා තිබීමත්, සිය වියදම් පවා පියවාගැනීම දුෂ්කර බවට ඔහු වසර කිහිපයකට පෙර ප්‍රකාශයක් කර තිබීමත් සැලකිල්ලට ගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව,

“ඉතාමත්ම අඩු කාලයක් තුළදී විශාල ධනයක් ඔහු උපයා ගත්තේ කෙසේද?. එතකොට අල්ලස් හා දූෂණ විරෝධී කොමිෂන් සභාවට ඔහු අවසන්වරට ලබාදීපු වත්කම් ප්‍රකාශයත්, වර්තමානය වනවිට ඔහු සතු වත්කම් සම්බන්ධවත් තිබෙන පරස්පරයත් ගැන සමාජය මතු කරන සිදුවීම ගැන පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා” යැයි පැවසීය.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට….

දිවයිනට දකුණු දෙසින් මුහුදු සැතපුම් 400ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් අදාළ බහුදින ධීවර යාත්‍රාව අද (17) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් තිබුණි.

රුපියල් කෝටි 400කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය තොගයක් එහි තිබී සොයාගැනුණි.

දෙනුවන් පුතා නම් අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් සිව්දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් අතර එහි තිබී මත්ද්‍රව්‍ය බහාලු උර 6ක් සොයාගැනුණි.

බලහත්කාරයෙන් කාන්තාවකගේ හිසකෙස් කැපූ කතක් ඇතුළු 5ක් අත්අඩංගුවට….

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.

විමර්ශන කටයුතු සිදුකර ප්‍රධාන සැකකාරිය වන අවුරුදු 27ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ වයස අවුරුදු 20, 21, 22 සහ 23 වයසේ පසුවන රාජාංගනය, කඩවත, රාගම, ත්‍රිකුණාමලය චීනවරාය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (18) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු රාගම පොලිසිය විසින් සිදුකරයි.