මාලිමාවට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ අයවැයත් පරදී….

මාලිමාවේ බලය හිමි රත්නපුරු මහ නගර සභාවේ 2026 වසරට නියමිත මංගල අයවැය රත්තපුර මහ නගර සභාවේ නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පොල මහතා විසින් අද(12) දින සභාවට ඉදිරිපත් කෙරුණා

එය සම්මත කරගැනීමට ඡන්ද විමසීමක් සිදු කෙරුණා. එහිදී 25 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා
අයවැයට පක්ෂව ඡන්ද දොළහකුත් (12)විපක්ෂව ඡන්ද දහතුනකුත් (13)හිමිවිය .
මේ නිසා මාලිමාවේ බලය හිමි රත්නපුර මහ නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද තුනකින්(03) පරාජ විය

රත්නපුර මහ නගර සභාවේ මුළු සභික සංඛ්‍යාව 27 ක් වන අතර අද දින සභාවට මන්ත්‍රීවරු දෙදෙනෙක් පැමිණ සිටියේ නැත

එම මන්ත්‍රීවරු දෙදෙනා ..
1 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ L.P. ලියනාරච්චි

2 එක්සත් ජාතික පක්ෂයේ R.G. ඩයන් නිපුණ රාජපක්ෂ

රත්නපුර –  ගයාන් කුඩාගම

විජේදාසට නිදහස් පක්ෂයෙන් ලැබෙන අලුත්ම තනතුර…..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස පත් කිරීමට සැලසුම් කර තිබේ.

එළැඹෙන විධායක සභාවේදී අදාල පත් කිරීම සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේය.

එමෙන්ම මේ වන විට විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙසත් මහරගම ආසන සංවිධායකවරයා ලෙසත් මේ වන විට පත් කර තිබේ.

ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව රැස්වෙයි….

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව ඊයේ (10) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය.

මෙම පශ්චාත් ආපදා සමයේ ජනතාවට අවශ්‍ය ආහාර  ද්‍රව්‍ය සැපයුම හා මිල තත්වයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන ලදි.

වගා බිම්වලට සිදුවූ හානිය උපයෝගී කර ගනිමින් ඇතැම් වෙළෙඳුන්, වෙළෙඳපොළ තුළ කෘතිම ලෙස මිල ඉහළ නැංවීමක් සිදු කිරීමට ගන්නා උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා අවශ්‍ය තීරණයන් ගැනීමට ආහාර සුරක්ෂිතා කමිටුව මෙහි දී කටයුතු කරන ලදි.

ඒ අනුව වෙළෙඳපොළ තුල එම කෘතිමව ඇති කරන ලද මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා අල, ළූනු සහ පරිප්පු යන ආහාර ද්‍රව්‍ය, ශ්‍රී ලංකා රාඡ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ආනයනය කිරීමට අවධානය යොමු වී ඇත.

එම ආහාර ද්‍රව්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ ලංකා සතොස අලෙවි සැල් ජාලය සහ සමුපකාර අලෙවි සැල් ජාලය හරහා පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීමට ද ආහාර සුරක්ෂිතා කමිටුව සාකච්ඡා කොට ඇත.

දිට්වා සුළි කුණාටුවත් සමඟ රටට බලපෑ ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ආහාර සුරක්ෂිතා කමිටුව සතිපතා රැස්වීමටද තීරණය කර තිබේ.

ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය….

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ වත්මන් ණය ගනුදෙනුකරුවන්ගේ දැනට පවතින ණය පහසුකම්වල මුල් ණය මුදල හෝ ණය පොළී ආපසු ගෙවීම මාස 3 සිට 6 දක්වා කාලයක් ඒ ඒ සිද්ධිය සලකා බලමින් අත්හිටුවීමට තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (11) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු සඳහා නිකුත්කළ නිර්දේශ සැලකිල්ලට ගෙන ඔහු මේ බව පැවසීය.

ඒ අනුව ණය අත්හිටුවන කාලය තුළ අදාළ ගිවිසුම්ගත පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් අය නොකරන ලෙසත්, කල්දැමූ පොලී ගෙවීම් සඳහා කිසිදු පොලියක් අය නොකරන ලෙසත් බලපත්‍රලාභී බැංකුවලට මහ බැංකුව දන්වා ඇත.

එමෙන්ම නව ණය පහසුකම් ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස්ද ලබාදී තිබේ.

“අපි සම්මත කළ අයවැයෙන් රුපියල් බිලියන 81ක් වෙන්කළා මේ ආදි සහන ණය ලබාදෙන්න. ඒ මුදලුත් පවතිනවා. ඊට අමතරව නව ණය පහසුකම් ලබාදීමට කටයුතු කරගෙන යනවා.

ආපදාවෙන් විනාශයට පත්වුණු මේ කර්මාන්ත, කෘෂි, ධීවර යනාදී කර්මාන්ත ව්‍යාපාරික ස්ථාන නගාසිටුවීම සඳහා අවශ්‍ය සහාය රජය ලබාදෙනවා. ඒක කළ යුතුමයි.

මේකෙන් සිදු වූ ආර්ථික බලපෑම ඉක්මනින් යථා තත්වයට පත් කරලා, එතනින් එහාට ආර්ථිකය වර්ධනය කරගන්න නම්, මේ ආර්ථික ක්ෂේත්‍රයේ සෘජුවම නිරත වූ අයට සහන ලබාදිය යුතුයි” යනුවෙන් පැවසීය.

සිදුවුන ආපදාවෙන් රෝහල් 410කට බලපෑම්….

සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්වයත් සමග දිවයිනේ රෝහල් 410කට බලපෑම් එල්ල වූ අතර ඉන් වැඩිම හානි සිදුව තිබුණේ මහියංගනය මූලික රෝහලට සහ හලාවත දිස්ත්‍රික් රෝහලටය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආයතන 500කට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ල වු බවය.

අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව සදහන් කළේය.

අදාළ සෞඛ්‍ය ආයතන යථා තත්ත්වයට පත් කිරීමට තවත් කාලයක් ගතවනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම එම වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා සදහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් රෝහල් 53ක උපකරණ සඳහා බලපෑම එල්ල වී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා,
”මහියංගන රෝහල, ඒ වගේම හලාවත රෝහලේත් අරගෙන යන්න පුළුවන් දේවල් ඔක්කොම වගේ උපකරණ ඒ කාර්ය මණ්ඩලය ඒ වෙලාවේ අරගෙන ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මහියංගනය ගත්තහම ගොඩක් දේවල්. ඒ කියන්නේ සමහර මැෂින්වල ගලවන්න පුළුවන් කෑල්ල අරගෙන උඩට ගිහිල්ලා තියෙනවා. ගොඩක් ඩැමේජ් වෙච්ච ඒවා තුනයි තියෙන්නේ. එකක් ඔය හලාවත රෝහල, මහියංගනය අනිත් එක වත්තේගම.. ඒකේ ලොකු ඩැමේජස් නැහැ. බිල්ඩින් වල ඩැමේජ් වෙලා තියෙන්නේ දෙසිය තිස් හයකයි. ඒ කියන්නේ ඔය උපකරණවලට ඩැමේජ් තියෙනවා පනස් තුනක. ඒවා පිළිබඳ යම් තක්සේරුවක් කරමින් යනවා.”

දිවයින පුරා විශේෂ මෙහෙයුම් – වරෙන්තුකරුවන් 270ක් අත්අඩංගුවට….

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පුද්ගලයින් 27,953 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 614 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 270 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 33 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

2025 – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ජනවාරි මස 11වනදා….

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) 2026 ජනවාරි මස 11 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම අදාළ විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතුය.

”දිට්වා සුළිකුණාටුව සමයේ මෙරට නායයෑම් 1241ක්”…..

දිට්වා සුළිකුණාටුව රට තුළ පැවති දින කිහිපය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප අනුව මධ්‍ය හා විශාල පරිමාණයේ නායයෑම් 1241ක් සිදුව ඇතැයි හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළා.

කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගාසිටුවීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවය.

කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් රුපියල් මිලියන 3.6ක පරිත්‍යාගයක්….

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ව සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.

ඉන්දුනීසියානු තානාපති Dewi Gustina Tobing මහත්මිය විසින් ඊට අදාළ වෙක්පත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත අද (11) එම අමාත්‍යාංශයේදී භාර දෙන ලදී.

කොළඹ සිටින තානාපතිවරු සහ මහකොමසාරිස්වරු නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කොරියා තානාපති Lee Miyon, ස්විස්ටර්ලන්ත තානාපති Dr. Siri Walt, පලස්තීන තානාපති Thab 1.M. Khalil, මාලදිවයින් මහ කොමසාරිස් Masood Imad, ඕමාන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානි Said Al Harbi, ඉතාලි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Alberto Arcidiacono යන මහත්ම මහත්මිහු එම අවස්ථාවට එක්ව සිටියහ.

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන්නැයි නියෝග…..

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා යළි විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවනු ලැබීය.

පර්ප්‍රචුවල් ට්‍රෙෂරිස් සමාගම, හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු සැකකරුවන්ට එරෙහිව මුදල් විසුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පර්ප්‍රචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙප්රි ඇලෝසියස්, කසුන් පලිසේන ,පි.එම්.ගුණවර්ධන, මුත්තු රාජා සුරේන්ද්‍රන් යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

සෙසු සැකකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අජාන් ගාර්ධිය පුංචිහේවා යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිට නොමැත.

එම සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා එහිදී  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් යළි විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන්කර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල ලබන මැයි මස 21වනදා කැඳවන ලෙසත් නියම කළේය.