2026 වසර විභාග කාලසටහනේ කිසිදු වෙනසක් නෑ – විභාග කොමසාරිස් ජනරාල්……

2026 වසර සඳහා අදාළ විභාග කාලසටහන කිසිදු වෙනස් කිරීමකින් තොරව අදාළ දිනයන්හිදීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

අද (24) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේ හමුවකට එක්වෙමින් ඇය පැවසුවේ, 2025.09.14 වෙනදා නිවේදනය කළ පරිදි 2026 වසර සඳහා වූ විභාග කාලසටහන ඉදිරියේදී ක්‍රියාත්මක වන බවයි.

සියලුම විභාග සඳහා සිසුන්ට අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවශ්‍ය කාලය සලකා බැලීමෙන් අනතුරුව මෙම කාලසටහන සකස් කළ බව ද ඇය එහිදී පෙන්වා දුන්නාය.

දැරණියගල පොලිසිය හා තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන විමර්ශනයක්……

දැරණියගල පොලීසිය හා තරුණයින් පිරිසක් අතර පසුගියදා ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බවත්, ඊට අදාළ සියලු පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතා මතු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙම සිදුවීමේදී පොලිසිය පාර්ශවයෙන් යම් වැරැද්දක් සිදුව ඇත්නම් ඔවුන්ට එරෙහිවද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

එමෙන්ම අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

ලද නිර්නාමික පෙත්සමකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට වූ තොරතුරක් මත අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පසුගිය ජුනි 19වැනිදා දැරණියගල නූරි පාරේ පිහිටි නිවසක් වැටලීමට ගොස් තිබුණි.

එහිදී මත්ද්‍රව්‍ය ද සමඟින් අදාළ නිවසේ සිටි තරුණයන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ නමුත් එම අවස්ථාවේදී තමන් සතුව මත්ද්‍රව්‍ය නොමැති බව පවසමින් තරුණයන් පොලිසියට චෝදනා එල්ල කර ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකු මුදාහරින ලෙස බලකරමින් එහි සිටි පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරියෙකුට තර්ජනය කර තිබේ.

එහිදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පොලිස් නිලධාරියා විසින් සැකකරුවෙකුගේ මාංචු ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, ඉන් අනතුරුව පිරිස එකතු වී පොලිස් නිලධාරීන්ට පන්න පන්නා පහරදී ඇති බව වාර්තා විය.

පසුව පොලිස් නිලධාරියෙකුගේ මුදල් පසුම්බියක් තුළ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ඇති බව පවසමින් තරුණයෙකු ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති අතර, පසුව එම මුදල් පසුම්බිය දැරණියගල පොලිසියට භාරදී තිබේ.

එහිදී පහරදුන් පිරිස විසින් පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන්වද මුදාගෙන තිබුණි.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව්දෙනා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේ නමුත් පොලිස් රාජකාරීයට බාධා කිරීමේ චෝදනාව යටතේ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම සම්මතයි……

ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.

කෙටුම්පතට පක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණි.

ඒ අනුව ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම වැඩි ඡන්ද 103කින් සම්මත විය.


Update – 06.00PM

ඉන්පසුව කාරකසභා අවස්ථාව පැවැත්වීමෙන් අනතුරු සංශෝධන සහිතව තෙවනවර කීයවීම සම්මත විය.

තිල්අඩියේ බිහිසුණු අනතුරක් – 5ක් රෝහලට……

පුත්තලම – තිල්අඩිය ප්‍රදේශයේදී අද (24) සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අනුරාධපුරයේ වන්දනාවේ ගොස් ආපසු මීගමුව බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්, මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයකද ගැටී අනතුරුව අසල තිබූ ගොඩනැගිල්ලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක විසින් වන අතර, එහි 7 දෙනෙකු ගමන් කර තිබේ.

වෑන් රථය මීගමුව දෙසට ධාවනය වෙමින් තිබියදී, තිල්අඩිය ප්‍රදේශයේදී එකවරම මෝටර් රථයක් මාර්ගය හරහා අනෙක් දිශාවට ධාවනය කර ඇත.

එම මෝටර් රථයේ ගැටීම වැළැක්වීමට වෑන් රථය පදවාගෙන ආ කාන්තාව උත්සාහ කර තිබේ.

එහිදී පාලවිය දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටුණු වෑන් රථය, පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබූ ගොඩනැගිල්ලක වැදී නැවතී ඇත.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කළ දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථයේ සිටි තිදෙනෙකි.

වෑන් රථය ගොඩනැගිල්ලේ ගැටෙන අවස්ථාවේදී ඒ තුළ කාන්තාවන් පිරිසක් සිට ඇති අතර, ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රු.මි. 100ක ඉතිරියක්……

මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කළ බවට තහවුරු කිරීමට ඇඟිල්ලේ තීන්ත ආලේපනය කිරීම අහෝසි කිරීමෙන් මැතිවරණයකදී රුපියල් මිලියන 100ක පමණ මහජන මුදල් ඉතිරිකිරීමේ හැකියාව ලැබෙන බව ‘පැෆ්රල්’ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙම තීරණය සෑම අතින්ම ඉතාම හොඳ තීරණයක් බව ද ‘පැෆ්රල්’සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

‘පැෆ්රල්’සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

මෙම යෝජනාව හදිසියේ මතුවූ එකක් නොව, වසර ගණනාවක් තිස්සේ මැතිවරණ ක්ෂේත්‍රයේ, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවට ලක් වූ කරුණක් බවත් මෙම ක්‍රමවේදය ඉවත් කිරීමෙන් තීන්ත ආනයනය කිරීම, බෙදා හැරීම සහ ඒ සඳහා අවශ්‍ය පරිපාලන ක්‍රියාවලිය සඳහා වැයවන මුදල සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවී මැතිවරණ වියදම් අඩු කිරීමෙන් මහජන මුදල්ද ඉතිරි කරගත හැකි බවත් ඔහු පැවසීය.

ඡන්දය ප්‍රකාශ කිරීමේදී අනන්‍යතාපත්‍රය අනිවාර්යය කර තිබීම හේතුවෙන් ඡන්දදායකයාගේ අනන්‍යතාව තහවුරු කිරීම දැඩි කෙරෙන අතර එම නිසා වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාද සැලකිය යුතු ලෙස අවම වී ඇත.

මේ හේතුමත නොමැකෙන තීන්ත ආලේප කිරීමේ අවශ්‍යතාවය පෙරමෙන් දැඩි ලෙස නොපවතින බවට අදහස කාලයක සිට ඉදිරිපත්ව තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය.

ඡන්ද දායකයෙකු ඡන්දය භාවිතා කළ බව තහවුරු කිරීම සඳහා ඇඟිල්ලේ නොමැකෙන තීන්ත ආලේප කිරීම දශක ගණනාවක් සිට ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියේ කොටසක් බවත් ඡන්ද ලේඛන සකස් කිරීමට තාක්ෂණය භාවිත කිරීමත් සමග හොර ඡන්ද භාවිතා කිරීමට වර්තමානය වන විට අවස්ථාවක් නොමැති බවත් රෝහණ හෙට්ටිආරච්චි මෙහිදී වැඩිදුරටත් පැවසීය

මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස මේ වසර අවසන් වීමට පෙර නිම කරන්නැයි උපදෙස්……

ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට මලෛගම් ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති නිවාස 4,700ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

මෙම නිවාස ව්‍යාපෘතියේ කටයුතු සැලසුම් සහගතව සහ කඩිනමින් අවසන් කිරීම සඳහා එහිදී ආයතන කිහිපයකටම විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරිණි.

මෙම නිවාස වැඩපිළිවෙළ යටතේ නිවාස ලබාදීම ප්‍රධාන කොටස් දෙකක් යටතේ සිදු කෙරේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් ආපදා අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගත් ස්ථානවල වෙසෙන පවුල් වෙත නිවාස 2,026ක් ලබා දීමට නියමිතය.

ඉතිරි නිවාස සංඛ්‍යාව හඳුනාගත් වතුකරයේ වැඩකරන ජනතාව වෙනුවෙන් වෙන් කෙරේ.

ඒ අනුව, ප්‍රාදේශීය වැවිලි සමාගම් 22ක්, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනවසම සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතුවල පදිංචි මලෛගම් ජනතාව වෙනුවෙන් මෙම නිවාස හිමි වනු ඇත.

මෙම නිවාස ව්‍යාපෘතිය ද්විපාර්ශ්වික මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන අතර එක් නිවසක් වෙනුවෙන් වැය කෙරෙන මුදල මෙසේය.

ඉන්දීය රජයේ දායකත්වය  – රුපියල් ලක්ෂ 28ක්

ශ්‍රී ලංකා රජයේ දායකත්වය – රුපියල් ලක්ෂ 4ක්

එහිදී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අවධාරණය කළේ නිවාස ව්‍යාපෘතියේ සියලු කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කළ යුතු බවය.

නිවාස ඉදිකිරීමට යෝජිත ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සුදුසු ඉඩම් හඳුනා ගැනීමට අදාළ වාර්තා කඩිනමින් ලබා දිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, නිවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි උප සභාපති ධුරවලින් ඉවතට…….

වවුනියාව නගරාධිපතිවරයා සහ චාවකච්චේරි නගර සභාවේ උප සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනයද මේ වන විට නිකුත් කර ඇත.

ආණ්ඩුකාරවරයාගේ මෙම නියෝගයත් සමග, වවුනියාව නගරාධිපති ලෙස කටයුතු කළ සුන්දරලිංගම් කන්දීබන් මහතාට ඔහුගේ නගරාධිපති ධුරය මෙන්ම සභික ධුරයද අහිමි වී තිබේ.

එමෙන්ම, චාවකච්චේරි නගර සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ ඥානප්‍රගාසම් කිෂෝර් මහතාටද ඔහුගේ උප සභාපති ධුරය සහ සභික ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අහිමි වී ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ජනතාවට බෙදා නොදුන් දිට්වා ආපදා සහන කාමරවල කුණුවෙලා…….

‘දිට්වා’ ආපදාවලට ලක්වූ ජනතාව වෙත බෙදා හැරීම සඳහා වෙන්කර තිබූ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය තොගයක් බෙදා නොහැර, ගම්පොළ උඩුපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළම කල් ඉකුත් වී විනාශ වී තිබේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුකළ නිරීක්ෂණයකදී ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන්ට දැකගැනීමට හැකිවී ඇත්තේ, එහි කාමර තුනක් පුරා මෙලෙස ජනතාවට ලබා නොදුන් වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබෙන අයුරුය.

එම නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙලෙස ගොඩගසා ඇති වියළි ආහාර ද්‍රව්‍ය බොහොමයක් මේ වන විටත් පරිභෝජනයට ගත නොහැකි පරිදි කල් ඉකුත්වී ඇති බවය.

ඩෙංගු අධි අවදානම් කලාප ලැයිස්තුව එළියට……

දිවයින පුරා පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සහ මර්දන කටයුතු කඩිනම් කිරීම සඳහා දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම වාර්තාවට අනුව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් බහුතරයක් මීට ඇතුළත් වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහා නගර සභා බලප්‍රදේශයෙහි බත්තරමුල්ල, මහරගම, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩඋයන සහ ගොතටුව වැනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසක ග්‍රාම නිලධාරී වසම් අධි අවදානම් සහිත බව හඳුනා ගෙන ඇත.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, සීදුව, කැලණිය, රාගම, මිනුවන්ගොඩ, මීගමුව, බියගම, වත්තල, කටාන සහ මහර ඇතුළු ප්‍රදේශ රැසක ග්‍රාම නිලධාරී වසම් ද මෙම අවදානම් ලැයිස්තුවට එක් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මතුගම, පානදුර, වඩ්ඩුව, කළුතර සහ පායගල යන ප්‍රදේශවල වසම් මේ යටතට ගැනේ.

මීට අමතරව ගාල්ල, හම්බන්තොට, මාතර, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල , පුත්තලම, බදුල්ල, මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටි ග්‍රාම නිලධාරී වසම් ද මෙම අධි අවදානම් ලැයිස්තුව අයත් බව එහි සඳහන්.

කොළඹ දිස්ත්‍රික්කය –

බත්තරමුල්ල
බටපොත, සුභූතිපුර, තලංගම උතුර, වල්පොල, කලපළුවාව, මුත්තෙට්ටුගොඩ

බොරලැස්ගමුව
වේරහැර දකුණ, කටුවාවල දකුණ, නැගෙනහිර බොරලස්ගමුව, නීලම්මහර,  බෝධිරාජපුර, දිවුලපිටිය නැගෙනහිර

දෙහිවල –
කොහුවල, D1, කරගම්පිටිය, නැදිමාලේ

එගොඩඋයන –
ඉඳිබැද්ද නැගෙනහිර, එගොඩ උයන දකුණ, එගොඩ උයන උතුර, ඉඳිබැද්ද බටහිර, මොරටුමුල්ල නැගෙනහිර, බටහිර විල්ලෝරවත්ත

ගොතටුව –
හිඹුටාන බටහිර, මුල්ලේරියාව උතුර, ගොතටුව නව නගරය, කොටුවිල, බලගම, මෙගොඩ කොලොන්නාව, උඩුමුල්ල දකුණ, වෙලේවත්ත, වෙන්නවත්ත, කැලණිමුල්ල, මහබුත්ගමුව සී, රාජසිංහගම,

හංවැල්ල –
කොටිකාවත්ත නැගෙනහිර, එගොඩගම, කිරිවන්දල උතුර, මාවතගම බටහිර, තුන්නාන නැගෙනහිර

හෝමාගම –
කටුවන, පිටිපන උතුර, ගලවිලවත්ත උතුර, හෝමාගම දකුණ, පිටිපන දකුණ, හේනවත්ත, ජල්තර, මාවතගම, පනාගොඩ නැගෙනහිර

කඩුවෙල –
මාලඹේ, තලාහේන, හේවාගම, අතුරුගිරිය, කොරතොට, හෝකන්දර දකුණ, ඔරුවල, බෝමිරිය

කහතුඩුව –
හිරිපිටිය, නියඳගල, මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිවත්තුඩුව, කහතුඩුව උතුර, පොල්ගස්ඕවිට

කැස්බෑව –
හොන්නන්තර දකුණ, මඩපාත, මාකන්දන නැගෙනහිර, මාකන්දන බටහිර

මහරගම –
කොට්ටාව දකුණ, මාකුඹුර උතුර,ගොඩිගමුව උතුර, කොට්ටාව නගරය, ගොඩිගමුව දකුණ බී, ගොඩිගමුව දකුණ ඒ, දෙපානම, කොට්ටාව බටහිර, වත්තේගෙදර, නාවින්න, දඹහේන, මහරගම නගරය, රුක්මලේ බටහිර, කොට්ටාව උතුර, මාකුඹුර දකුණ

කොලොන්නාව –
ඔරුගොඩවත්ත, සාලමුල්ල, සේදවත්ත

මොරටුව –
බොරුපන, තෙලවල උතුර, මෝල්පේ, රාවතාවත්ත බටහිර, අඟුලාන උතුර, ලක්ෂපතිය දකුණ, තෙලවල දකුණ, කටුබැද්ද, ලක්ෂපතිය උතුර, රාවතාවත්ත නැගෙනහිර

පාදුක්ක –
පාදුක්ක, ගලගෙදර දකුණ

නුගේගොඩ –
නුගේගොඩ, ඔබේසේකරපුර, ගංගොඩවිල උතුර, ගංගොඩවිල දකුණ, නුගේගොඩ බටහිර, වැලිකඩ නැගෙනහිර, වැලිකඩ උතුර

පිළියන්දල –
නැගෙනහිර පැලැන්වත්ත, තුම්බෝවිල, දකුණ මකුළුදූව, උතුර පැලැන්වත්ත, බෝකුන්දර, ගොරකපිටිය, නැගෙනහිර ඇරැව්වල, බටහිර ඇරැව්වල, මාම්පේ, උතුර පලිගෙදර

පිටකෝට්ටේ –
මාදිවෙල, පිටකෝට්ටේ 

රත්මලාන –
කඩවල, රත්මලාන නැගෙනහිර, අත්තිඩිය, උතුර බඩෝවිට, ගල්කිස්ස, වැලිකන්ද

D1 –
මට්ටක්කුලිය/සම්මන්ත්‍රණපුර, මෝදර, මහවත්ත, මාදම්පිටිය ,අලුත්මාවත, ලුණුපොකුණ, බ්ලූමැන්ඩල්, කොටහේන නැගෙනහිර, කොටහේන බටහිර

D2A –
කොච්චිකඩේ උතුර, ජින්තුපිටිය, මසංගස්වීදිය, ග්‍රෑන්ඩ්පාස් උතුර, නවගම්පුර, ග්‍රෑන්ඩ්පාස් දකුණ/කෙත්තාරාම, නැගෙනහිර අලුත්කඩේ,  කෙසෙල්වත්ත, කොටුව, මාලිගාවත්ත නැගෙනහිර, කොච්චිකඩේ දකුණ

D3 –
දෙමටගොඩ, වනාතමුල්ල, කුප්පියාවත්ත නැගෙනහිර, බටහිර කුප්පියාවත්ත, බොරැල්ල උතුර, බොරැල්ල දකුණ, කුරුඳුවත්ත

D4 –
නාරාහේන්පිට/ගෝතමීපුර, තිඹිරිගස්යාය, කිරුළ, කිරුළපන, නැගෙනහිර පාමංකඩ

D5 –
බම්බලපිටිය, මිලාගිරිය,  හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත උතුර, බටහිර පාමංකඩ, වැල්ලවත්ත දකුණ

වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්…..

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

තෙල්ගේ අශෝක පීරිස් මහතා සභාපතිත්වයෙන් මෙම කොමිෂන් සභාව පත් කර තිබේ.

රාජ්‍ය නිලධරයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳ පවතින ගැටලු වලට විසදුම් ලබා දීම රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම හා නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයකට ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතු ද යන්න සඳහා නිර්දේශ ලබාගැනීම මෙම කොමිෂන් සභාව පිහිටුවීමේ අරමුණ බව සඳහන් වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බළතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත.