රජයේ මහජන සේවා සැපයීම් කාර්යක්ෂම කිරීමට ‘PIC-Net’ බළකායක්…….

“මහජන සේවා ප්‍රශස්තකරණය සඳහා බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (Public Impact Champions Network PIC-Net) ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

ඒ, රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස, රාජ්‍ය අංශය තුළ ආයතනික මට්ටමින් ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහාය.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා මහජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම මෙහි අරමුණ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්  චක්‍රලේඛයක් මගින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරුන්, කොමසාරිස් ජනරාල්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් දැනුවත් කර ඇත.

PIC-Net වැඩසටහන යටතේ, තෝරාගත් සෑම රාජ්‍ය ආයතනයක්ම ඩිජිටල් යුගයේ සේවා විශිෂ්ටත්වය ප්‍රවර්ධනය සඳහා සාමුහිකව වගකියන නියමුවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමස්ත සේවක පිරිස අතරින් තෝරා පත්කර ගත යුතුය.

තාක්ෂණික භාවිතය, සේවා අත්දැකීම්, ක්‍රියාවලි කාර්යක්ෂමතාව සහ ආයතනික වෙනස්කම් යන අංශ ඒකාබද්ධව හා මනා සම්බන්ධීකරණයකින් වැඩිදියුණු කිරීමට මෙම කණ්ඩායම සාමුහිකව කටයුතු කරනු ඇත.

මෙම නියමුවන් ඔවුන්ගේ ආයතන තුළ ක්‍රියාවට නැංවෙන ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියෙහි කේන්ද්‍රීය බලවේගය ලෙස කටයුතු කරනු ඇති අතර, මෙම වැඩසටහන මගින් රාජ්‍ය අංශය පුරා විසිරුණු 400 දෙනෙකුගෙන් පමණ සමන්විත ඩිජිටල් පරිවර්තන නියමුවන්ගේ ජාතික කණ්ඩායමක් නිර්මාණය වේ.

තෝරාගනු ලබන නියමුවන්ට ඩිජිටල් පරිවර්තනය, සේවා ප්‍රතිසැලසුම්කරණය, ක්‍රියාවලි වැඩිදියුණු කිරීම, වෙනස්කම් කළමනාකරණය ආදී කරුණු පිළිබඳ ප්‍රායෝගික කුසලතා ගොඩනැංවීම සඳහා විධිමත් පුහුණුවක් ලබා දීම, ප්‍රායෝගික වැඩමුළු පැවැත්වීම සහ විශේෂඥ මගපෙන්වීම් ලබා දීම ආදිය සිදු කෙරෙනු ඇත.

මෙම නියමුවන් ඩිජිටල් පරිවර්තනය සඳහා වන ආයතනික කේන්ද්‍රීය නිලධාරීන් ලෙස වැඩසටහනේ ක්‍රියාත්මක කාල සීමාවෙන් ඔබ්බට ක්‍රියා කරමින්, ආයතන තුළ සහ ආයතන අතර දැනුම් හා අත්දැකීම් බෙදා ගැනීම හා අඛණ්ඩව වර්ධනය සඳහා ද සක්‍රියව සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සමස්ත ක්‍රියාවලිය තුළ අවශ්‍ය මඟපෙන්වීම සහ සම්බන්ධීකරණ සහාය ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka ආයතනය එක්ව ලබා දෙනු ඇත.

ආසියානු සංවර්ධන බංකුවේ (ADB) සහාය ඇතිව වැඩසටහනේ කළමනාකරණ උපදේශකයින් පත් කරනු ලැබ ඇති අතර ආයතන ප්‍රධානීන් විසින් යෝජනා කරනු ලබන නියමුවන් තේරීමේ ක්‍රියාවලිය සඳහාද ඔවුන් සහාය වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

විදුලි බිල වැඩිවීම රජය ගත්තු කප්පමක් – සජිත්……

රජය විසින් විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය බාල ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින්ගේ කරපිට පැටවීමක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂනායකවරයා සඳහන් කරනුයේ මෙම ගල්අඟුරු ජාවාරමේ බර මෙරට විදුලි පාරිභෝගිකයින් පිට පැටවීම සිදු නොකරන ලෙසට ඉල්ලා සිටියද මහජන උපයෝගීතා කොමිසම සහ රජය 18%කින් විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කර ඇති බවය.

එමෙන්ම මෙම විදුලි බිල වැඩි කිරීම ව්‍යාපාරිකයින් සහ කර්මාන්තකරුවන්ගෙන් රජය විසින් ගනු ලැබූ කප්පමක් බවටද චෝදනා කළ විපක්ෂනායකවරයා සඳහන් කරනුයේ ඒකක 180ට වැඩි විදුලි ඒකක සඳහා මෙම නව විදුලි ගාස්තු අය කිරීම හේතුවෙන් ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් දැඩි පීඩාවකට පත්ව ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,

“සරළව කතා කළොත් ඉහළ මධ්‍යම පන්තියත්, ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවත්, කර්මාන්තකරුවනුත්, ව්‍යවසායකයනුත් අද මේ විදුලි බිල වැඩිවීමට ලක්වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ 18% විදුලි බිල වැඩිවීම අපි දකින්නේ රජය ගත්තු කප්පමක් හැටියට. 18%කින් විදුලි බිල වැඩිකරලා රජය කප්පම් ගන්නේ රටේ ඉහළ මධ්‍යම පන්තියෙන්, කර්මාන්තකරුවන්ගෙන්, ව්‍යවසායකයින්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන්. කුමක් සඳහාද ? බාල ගල්අඟුරු ව්‍යාපෘතියේ ඒ අලාභය මගහරවාගන්න. බාල ගල්අඟුරු ගේනවායි කියලා මුළ ඉඳලාම කිව්වා. මුළ ඉඳලාම රජය කිව්වා එහෙම දෙයක් නෑ කියලා. ඊට පස්සේ කියනවා ගල්අඟුරු නම් බාලයි හැබැයි වංචාවක් දූෂණයක් නෑ කියලා. අපි පැහැදිව කියනවා බාල ගල්අඟුරු ගෙන්වීම තුළ, ඉන්ධන විදුලි ජනනය වෙත යොමුවන්නට රජයට සිදුවුණා. ඒකෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය වැඩිවුණා. ඒ නිසාම මේ පිරිවැය වැඩිවීමත් බාල ගල්අඟුරු වංචාවේ වන්දිය ගෙවන්නත් අද සිදුවෙලා තිබෙන්නේ ඒකක 180ට වැඩියෙන් පරිභෝජනය කරන අපේ රටේ ඉහළ මධ්‍යම පන්තියටත්, ව්‍යාපාරිකයින්ටත්, කර්මාන්තකරුවන්ටත්. අපේ රටේ ආර්ථිකයට සුවිසාල දායකත්වයක් ලබා දෙන 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් සිද්ධ වෙනවා මේ දූෂිත ගල්අඟුරු ජාවාරමේ වන්දිය ගෙවන්න.”

දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220කට රජය මිලදී ගනී……

දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් හෙට (10) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, එම ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමිනි.

ඒ අනුව දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220කට මිලදී ගැනීම නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි, සී/ස නුවරඑළිය කෘෂිකර්ම සමුපකාර සමිතියේ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේදී ආරම්භ කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙලෙස මිලදී ගන්නා දේශීය අර්තාපල්  ලංකා සතොස හරහා පාරිභෝගිකයාට සහන මිලකට ලබාදීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.

එක් ගොවියෙකුගෙන් අර්තාපල් කිලෝ 1,000ක උපරිමයකට යටත්ව මෙම මිලදී ගැනීම සිදු කරන බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව ගොවීන්ට සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමටත්, පාරිභෝගිකයාට සහන මිලට දේශීය අර්තාපල් ලබාදීමටත් රජය සහ පෞද්ගලික අංශයේ වෙළෙඳ ජාලයන් ද එක්ව මෙම කටයුතු සිදු කරනු ඇත.

රතුගල නව ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර ඇත්තන් පත් කරයි……

රතුගල නව ආදිවාසී නායකයා ලෙස දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තන් පත් කර තිබේ.

එම ඇත්තන් මියගිය ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ගේ පුත්‍රයා ද වෙයි.

අසනීප තත්ත්වයෙන් පසු වූ සුදාවන්නිල ඇත්තන් පසුගියදා මිය ගිය අතර එම ඇත්තන්ගේ අවසන් කටයුතු චාරිත්‍රානුකූලව  අද (09) රතුගලදී සිදු කරන ලදී.

සුදාවන්නිල ඇත්තන්ගේ දේහය තැන්පත් කරනු ලැබුවේ, එම ඇත්තන් ජීවත් වු ඉඩමේය.

දේහය භූමදානය කිරීමට පෙර දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන් භාවිත කළ දුන්න සහ කෙටේරිය නව නායකයා වෙත ලබාදෙන ලදී.

මෙරට තුළ යුරෝපා සංගම් ආයෝජන වැඩි කිරීමේ හැකියාව කෙරෙහි අවධානය…..

යුරෝපා සංගම් බාහිර ක්‍රියාකාරී සේවයේ ඉන්දු – පැසිෆික් කලාපය සඳහා වූ යුරෝපා සංගම් විශේෂ නියෝජිත මාරියා කැස්ටිලෝ මහත්මිය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හමුව තිබේ.

මාරියා කැස්ටිලෝ මහත්මියගේ මෙරට නිල සංචාරය අතරතුර අද (09) දින නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවිය.

2925 නොවැම්බර් මාසයේදී  බ්‍රසල්ස්හි පැවති  04 වන යුරෝපා සංගම් ඉන්දු-පැසිෆික් අමාත්‍ය සංසදයේදී ඇතිවූ සාකච්ඡා මත පදනම්ව, මෙම හමුවේදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.

මෙහිදී ඉන්දියානු සාගරය හා ඉන්දු-පැසිෆික් කලාපය තුළ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම, ගෝලීය සම්බන්ධතා, වෙළඳාම සහ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.

එමෙන්ම සමුද්‍රීය ආරක්ෂාව සහ නාවික ගමනාගමන කටයුතු  ආරක්ෂා කිරීමේදී UNCLOS සම්මුතියේ වැදගත්කම නැවත තහවුරු කරමින්, CRIMARIO සහ IORIS වැනි කලාපීය මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

බලශක්ති ආරක්ෂාව සහ ගෝලීය සම්බන්ධතාව ආරක්ෂා කිරීම පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගත් අතර, මැදපෙරදිග වත්මන් තත්ත්වය සහ  බලශක්ති ආරක්ෂාව, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය හා ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි ඇති බලපෑම් පිළිබඳව ද අවධානය යොමු විය.

විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය, හරිත බලශක්තිය සහ සම්බන්ධතා ආශ්‍රිත ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව තුළ යුරෝපා සංගම් ආයෝජන වැඩි කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී යුරෝපා සංගම් විශේෂ නියෝජිතවරිය සඳහන් කළාය. එමෙන්ම ගෝලීය අභියෝග හමුවේ හවුල්කාරිත්වයන් විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම ද ඒ මහත්මිය මෙහිදී අවධාරණය කළාය.

නව රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාව GSP+ යෝජනා ක්‍රමයට නැවත අයදුම් කිරීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පැහැදිලි කළ අතර, නීතියේ ආධිපත්‍යය, යහපාලනය සහ මානව හිමිකම් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම නැවත තහවුරු කළේය.

මැයි 9 වන දින සමරනු ලබන යුරෝපීය දිනය නිමිත්තෙන් විශේෂ නියෝජිතවරියට සහ ඇයගේ දූත පිරිසට සුබ පැතුම් ද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එක් කරනු ලැබීය.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාමන් මොරෙනෝ මහත්මිය, කොළඹ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගී වූහ.

ඩුබායි සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාලයේ 7ක් කොටුවෙයි……..

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඩුබායි සුද්දාගේ’ මත්ද්‍රව්‍ය ජාවාරමේ බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධාන බෙදුම්කරු ඇතුළු සැකකරුවන් 7ක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය පැකට් කරන තිප්පොළක් වැටලූ අවස්ථාවේදී මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

එහිදී රුපියල් ලක්‍ෂ 15කට අධික හෙරොයින් ග්‍රෑම් 50ක් හා අයිස් ග්‍රෑම් 25ක්, එම මත්ද්‍රව‍ය පැකට් කිරීමට උපයෝගී කරගන්නා විශේෂිත කඩදාසි, ඉටිකොල, ජංගම දුරකථන 4ක්, මෝටර් රථයක්, මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා අනෙකුත් උපකරණද මෙහිදී සිය භාරයට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

බණ්ඩාරගම, වැල්මිල්ල අලෝතියාව ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් රැඳී සිටින බවට බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාට ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

පදනම් ආයතනයට වෙනකළ මුදලෙන් රු.මි. 75ක් යළි මහා භාණ්ඩාගාරයට….

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා 2025 අයවැය මගින් වෙන්කළ රුපියල් මිලියන 135ක මුදලින්, රුපියල් මිලියන 75ක මුදලක් යළි මහා භාණ්ඩාගාරය වෙත ලබාදී තිබේ.

එහි සභාපතිනී මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය විසින් ඊට අදාළ වෙක්පත, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත ඊයේ (07) ලබාදුන්නේය.

අයවැය මගින් ලබාදුන් පුනරාවර්තන වියදමක් මෙලෙස භාණ්ඩාගාරය වෙත ලබාදීමක් සිදුකර ඇත්තේ, ශ්‍රී ලංකා පදනම් ආයතන ඉතිසාහයේ පළමුවරටය.

ශ්‍රී ලංකා පදනම් ආයතනය 2025 වසර තුළදී රුපියල් මිලියන 416ක සමස්ත ආදායමක් රැස් කරගෙන ඇති අතර, එම වසරේ වියදම ලෙස වාර්තා වී ඇත්තේ රුපියල් මිලියන 340ක්ය.

ඒ අනුව 2026 මාර්තු මස 26 වැනිදා පැවැති කළමනාකරණ මණ්ඩල රැස්වීමේ දී ඉතිරි මුදල වූ රුපියල් මිලියන 75ක් නැවත භාණ්ඩගාරය වෙත ලබාදීමට අනුමැතිය හිමිව තිබේ.

ඉදිකිරීම් හා කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඒකල දී විවෘත කෙරේ…..

ඉදිකිරීම් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අද (08) පෙරවරුවේ ඒකල කාර්මික ජනපදයේදී විවෘත කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව මෙය ස්ථාපිත කර ඇති බවය.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කර ඇත.

නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෙරසවි අංගන පරිශ්‍රයේ ස්ථාපිත මෙම ව්‍යාපෘතිය, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර පාරිසරික පරිවර්තනයක් කරා තැබූ සුවිශේෂී පියවරක් ලෙස හැඳින්විය හැකිය.

ලෝකයේ සමස්ත අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් 40%ක් සහ කාබන් විමෝචනයෙන් 25%ක් ජනනය කරනු ලබන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙන් වන අතර, අප රටේ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට එවැනි අපද්‍රව්‍ය ටොන් 300ක් පමණ එකතු වේ.

මෙතෙක් කලක් අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා පාංශු දූෂණය, ජල දූෂණය සහ ගංවතුර අවදානම් ඇති කළ මෙම සුන්බුන්, මෙම ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය ඔස්සේ වටිනා අමුද්‍රව්‍ය බවට පත් කෙරේ.

මෙමගින් ස්වාභාවික සම්පත් ක්ෂය වීම අවම වන අතර ඉදිකිරීම් පිරිවැය ද සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකි වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 350ක් වටිනා යන්ත්‍ර සූත්‍ර සහ භූමිය වෙන් කර තිබේ.

පැයකට මෙට්‍රික් ටොන් 200ක ධාරිතාවයකින් යුත් මෙම ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රාගාරයට අමතරව, නවීන විද්‍යාගාරයක් සහ පරිපාලන ගොඩනැගිල්ලක් ද  ඉදිකර ඇත.

“Clean Sri Lanka” වැඩසටහන යටතේ රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් වී ඇති අතර ඉන් රුපියල් මිලියන 150ක් දැනටමත් නිදහස් කර තිබේ.

ඉදිරියේදී මෙම වැඩපිළිවෙළට රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ සම්බන්ධ කර ගනිමින් පර්යේෂණ කටයුතු පුළුල් කිරීමට ද සැලසුම් කර ඇති බව සඳහන්ය.

ස්වාභාවික සම්පත් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට සියලුම ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ දායකත්වය බලාපොරොත්තු වන ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

පිටිගල සහ තිස්සමහාරාමයේදී පුද්ගල ඝාතන දෙකක්…..

ප්‍රදේශ දෙකකදී සිදු වූ පුද්ගල ඝාතනවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පිටිගල, හොරංගල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 60 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය.

දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර එහිදි තුවාල ලැබු සැකකරු අත්අඩංගුවට ගෙන ඇල්පිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම තිස්සමහාරාම, ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක් තුළ දී ද කාන්තාවක් ඝාතනය කර ඇත.

අදාළ කාන්තාවගේ සිරුරේ කැපුම් තුවාල නිරීක්ෂණය වී ඇති අතර ඝාතනය සිදු කළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ 88 හැවිරිදි ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

චෙම්මනි සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 260කට අදාළ අස්ථි කොටස් හමුවෙයි……

චෙම්මනි – සිත්තුපත්ති සමූහ මිනීවළේ මේ දක්වා සිදුකළ කැණීම් කටයුතුවලින් මිනිස් අස්ථි කොටස් 260ක් සොයාගෙන තිබේ.

ඉන් සිරුරු 256කට අයත් අස්ථි කොටස් ගොඩගෙන ඇති බව සඳහන්ය.

තෙවන අදිරයරේ 11 වන දිනයේ කැණීම් කටයුතු අද (08) සිදු කෙරුණු අතර එහිදී තවත් සිරුරු තුනකට අයත් අස්ථි කොටස් සොයා ගත් අතර ඉන් සිරුරු දෙකක් ගොඩගෙන ඇති බව සඳහන්ය.

තෙවන අදියරේ කැණීම් කටයුතුවලදී අද (08) දින දක්වා මිනිස් අස්ථි කොටස් 17ක් සොයාගෙන තිබේ.