සතීෂ් ගමගේ යළි රිමාන්ඩ්….

අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා තවදුරටත් සැප්තැම්බර් මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සාමාජිකයින් හා විවිධ සේවාවන් ලබාගැනීම සඳහා පොලීසියට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ මුදල් මෙම සැකකරුගේ අනුදැනුම මත විවෘත කර තිබූ වෙනත් පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් තුනක තිබී සොයා ගත් බවත් අල්ලස් කොමිසම  පසුගියදා අධිකරණයට වාර්තා කර තිබුණි.

පෑලියගොඩ වෙඩිතැබීමක්…

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් පැමිණ සිදුකළ මෙම වෙඩිතැබීමෙන් පෑලියගොඩ මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තුසිත හල්ලොලුව අත්අඩංගුවට….

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණය මඟහරිමින් සිටි ඔහු අද (19) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය මැයි 17වනදා රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී ඔහුගේ ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අදාළව අධිකරණය මඟහරිමින් සිටි තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) පොලීසියට නියෝග කළේය.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමක දී තුසිත හල්ලොලුව මහතා අද අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු….

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබේ.

පොලිසිය විසින් අධිකරණයට සිදුකරන ලද කරුණු දැක්විමක් සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තු නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

ඒ අනුව, අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අදාළව පූජ්‍ය අතුරලිය රතන හිමිට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් සිදුකරමින් සිටී.

බලපෑම් කොට එම මන්ත්‍රි ධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට රතන හිමිට චෝදනා එල්ලවී ඇත.

එම විමර්ශනවලට අදාළව රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය උන්වහන්සේ වැඩසිටි රාජගිරිය සඳහම් සෙවණට ගියද උන්වහන්සේ එහි නොසිටි බවත් දුරකථනයද විසන්ධි කර ඇති බවත් එම කොට්ඨාසය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව රතන හිමියන් අධිකරණය මඟහරිමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීමකට අනුව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද මෙලෙස වරෙන්තු නියෝගයක් නිකුත්කර තිබේ.

මිහින්තලේ හිමි CIDයට

මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කිරීම සඳහායි.

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්……

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 25 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

ඔහුව අද (18) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

වරෙන්තු අත්හිටුවන්නැයි ඉල්ලා රාජිතගෙන් මෝසමක්….

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

එම මෝසම අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එය කරුණු තහවුරු කිරීම සඳහා විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, අදාළ මෝසම සම්බන්ධයෙන් පැමිණිලිකාර අල්ලස් කොමිසම අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම ඉල්ලීම සිදුකරන ලෙසය.

ඒ අනුව අදාළ මෝසමින් ඉල්ලා සිටින කරුණට අදාළව අධිකරණය නියෝගයක් නිකුත් කළේ නැත.

කටුනායක ගුවන්තොටුපොළ වෙත එන අයට නිවේදනයක්…..

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යය බහුල දින සහ වේලාවලදී, ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සඳහා, පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත පිවිසීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාළය තුළ ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත අමුත්තන්ට ඇතුළු වීම අත්හිටුවා ඇත.

පසුගිය දිනවල ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාත්‍රී කාළයේ ගුවන් මගීන් සහ ගුවන්තොටුපොළ භාවිතා කරන්නන් අධික තදබදයකට ලක් වීම හේතුවෙන් අපහසුතා ඇති වූ බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යබහුල වේලාවන්හිදී ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීම සහ තදබදය කළමනාකරණය කිරීමට, මෙම තීරණය ගෙන ඇත.

A-9 මාර්ගයේ මාරක අනතුරක් – දෙදෙනෙක් මරුට

A-9 මාර්ගයේ (යාපනය – මහනුවර) ඕමන්තේ ප්‍රදේශයේ අද (17) පස්වරුවේ සිදු වූ මාරක අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

මෙම අනතුරට ලක්ව ඇත්තේ විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් වන අතර, ඔවුන් මහනුවර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය කටයුත්කට සහභාගි වී නැවත සිය නිවෙස්කරා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

ඔවුන් ගමන්ගත් බොලෙරෝ වර්ගයේ කැබ් රථය ඕමන්තේ පොලීසිය අසල ඉන්දින පිරවුම්හලක් ආසන්යේ දී පෙරළීගොස් ගොස්ගොස් තිබේ.

ඒ හේතුවෙන් එහි සිටි අය පාරට විසි වී, ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇත.

අනතුර සිදුවන විට කැබ් රථයේ රථයේ 15 දෙනෙකු සිට අතර, තුවාල ලැබූවන් වව්නියාව මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක කාන්තාවක් හා අවුරුදු 30ක පිරිමි පුද්ගලයෙකු බව සඳහන්.

කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා අමාත්‍යාංශ දහයක විධායක නිලධාරීහු එක්ව සිටියහ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම යන අරමුණු ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.

ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ඒ වෙනුවෙන් රාජ්‍ය සේවය සූදානම් විය යුතු බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සඳහන් කළේය.

කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම තුළින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කර ගනිමින් ජනතාවට වඩා හොද සේවාවක් ලබාදීමට අවධානය යොමු කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ, සමිස අබේසිංහ යන මහත්වරු ඇතුළු එම ආයතනයේ නිලධාරීහු මෙම වැඩමුළුවට සම්පත්දායකත්වය සැපයූහ.