‍16 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ පිරිසකට උසස්වීම්

16 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව, අද (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස්වීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,256කට උසස්වීම් ලබාදී ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 12 දෙනෙකුට සහ සෙසු නිලයන් 848කට උසස්වීම් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන් 10,093ක් සඳහා ද උසස්වීම් ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

දේශබන්දු විමර්ශන කමිටුව හමුවට පැමිණෙයි

දේශබන්දු තෙන්නකෝන් සිදුකර ඇති බවට සඳහන් විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) පාර්ලිමේන්තුවේදී රැස්වී තිබෙනවා.

ඒ අනුව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම කමිටුව හමුවේ පෙනී සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

2002 අංක 05 දරණ නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතට අනුව පොලිස්පතිවරයාට එරෙහිව ඇති චෝදනා විමර්ශනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් අදාළ කමිටුව පත්කර තිබෙනවා.

බටලන්ද වාර්තාව අධ්‍යනයට නීතිපති විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කෙරේ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ කමිටුව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයනි වෑගඩපොල සහ රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි පත්කර තිබෙනවා.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පවතින සාක්ෂිවලින් අධිචෝදනා ගොනුකළ හැකිද යන්න සම්බන්ධයෙන් කමිටුව විසින් කරුණු අධ්‍යනය කිරීමට නියමිත අතර, මීට අමතරව කාලාවරෝධය වූ වැරදි වේ නම්, ඒවා හඳුනා ගැනීමද කමිටුවට පවරා ඇති වගකීමක් බවයි සඳහන් වෙන්නේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා.

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කිරිඇල්ල සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත   විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටින්නේ.

තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (18) දින සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කොටහේන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට භාර‍වෙයි

කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට භාරවී තිබෙනවා.

ඒ අනුව අපරාධයෙන් පසු පලාගිය සැකකරුවෙකු හා අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (17) කොටහේන පොලිස් ස්ථානයට හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 හා 18 වයස්වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අද (18) අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය 16 වනදා කොටහේන පොලිස් වසමේ සුමිත්‍රා මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියකින් වෙඩි තබා පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතල තුවාල සිදුකළා.

මා ජීවත්ව නොසිටින දිනක වුවද, මාතෘ භූමිය එක සිංහ ධජයක් සෙවණේ පවතීවා – මහින්ද රාජපක්ෂ

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර වසර 16 සපිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින් මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බියෙන් තොරව, ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා රටක් ලෙස සියලු දෙනා සාමූහිකව දුටු සිහිනයක් බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

LTTE සංවිධානයට එරෙහිව කළ යුද්ධය දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොවන බවත් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රටේ සියලුම ජනතාව අපේ ජනතාව බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

දෙමළ සිවිල් වැසියන් LTTE ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි අවස්ථාවක, දෙමළ සිවිල් වැසියන් මිනිස් බෝම්බ බවට පත් කර තිබූ අවස්ථාවක, යුධ පිටියට ගොස් ප්‍රාණ ඇපකරුවන් මුදා ගනිමින් සිදුකරන ලද අති මානුෂීය මෙහෙයුම් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ලොව දක්ෂතම හා විනයගරුකම හමුදාව බවට පත්කළ බවත් එදා තම ජීවිත බේරාගත් දෙමළ ජනතාව හෘද සාක්ෂියට එකඟව මෙයට සාක්ෂි දරණු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව තමා දණින් වැටී නමස්කාර කළේ රටේ වීරෝධාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් ඒ උතුම් නිදහස් මාතෘ භූමියට බවත් මින් ඉදිරියටත්, තමා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවණේ පවතීවා! යන්න තමාගේ එකම ප්‍රාර්ථනය බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනපති සහභාගී වෙයි

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ‍ලෙස හෙට (19) ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන පවසනවා.

ඒ අනුව ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට පස්වරු 4 සිට 6 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතයි.

මෙම උත්සවය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලකද සහභාගීවීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට එය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළ ද, ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගන්නා බවත්, මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර, වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතින බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ පවසා සිටියා.

මේ පිළිබඳව පොලීසිය දැනුවත් කිරිමටද පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පිරිසක් මුදාහරී

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටි සැකකරුවන් දසදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළේය.

නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය විසින් අධිකරණයට දන්වා සිටියේ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ ඉල්ලීමක් කරමින්, මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව තිබී පොලීසිය භාරයට ගන්නා ලද ජංගම දුරකථන ඇතුළු නඩු භාණ්ඩ ඔවුන් වෙත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා.

ඒ අනුව අදාල භාණ්ඩ සැකකරුවන් වෙත මුදාහරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.