හොරු අල්ලනවා කියලා බොරු සංදර්ශන දාලා, ජීවන වියදම් ගැටලුව වහන්න ආණ්ඩුව උත්සාහ කරනවා – සාගර

ජනතාවට උසුලා ගැනීමට නොහැකි ජීවන වියදම අඩු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

ජාතික ජන බලවේගය බලයට පැමිණියේ ජනතාවට අඩු මුදලට ආහාර ‍ලබාදෙන බවට පවසමින් බවත්, මේ වන විට කන්න බොන්න කෙසේ වෙතත් ජනතාවට ‘ලෙවකන්නට’ වන තත්ත්වයට බඩු මිල ඉහළ ගොස් ඇති බවයි අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ලුණු පැකට්ටුවක මිල රුපියල් 300 ඉක්මවා ඇති බවද, සෑම එළවළු වර්ගයකම මිල ඉහළගොස් ඇති බවද, වත්මන් මාලිමා ආණ්ඩුව රටේ ජනතාවට කන්න බොන්න නැති කළ ආණ්ඩුවක් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.

හොරු අල්ලන බවට ජනතාවට පවසමින් බොරු සංදර්ශන පවත්වා ජීවන වියදම් ගැටලුව වසා දැමීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවයි ඔහු පවසන්නේ.

පසුගිය සතියම ආණ්ඩුව ගත කළේ කැරම් ‍බෝඩ් බෙදාදීම නිසා දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලීන්ගේ පිහිටෙන් බවත්, ඔවුන් හිරේට නියම වූයේ මහජන බදු මුදල් සොරකම් කර නොව එම බදු මුදල්වලින් ගමේ ඇති ක්‍රීඩා සමාජවලට කැරම් ‍බෝඩ් බෙදාදීම නිසා බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකශ කර සිටියේ.

අනුදි ගුණසේකර දිවයිනට පැමිණෙයි

ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින අවසන් තරගය ලොව පුරා රටවල් 108ක තරගකාරිනියන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර, කෙසේ නමුත් එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතර පිවිසීමට නොහැකි වුණා.

නමුත් අනුදි ගුණසේකර එම තරගාවලිය තුළ වාර්තා රැසක් තබමින් තරග අංශ කිහිපයකින් ජයග්‍රහණ වාර්තා කිරීම‍ට සමත්වුණා.

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී, කැකිරාව ප්‍රාදේශීය සභාව සඳහා සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සමගි ජන බලවේගය විසින් ලබාගත් ආසන සඳහා කාන්තා මන්ත්‍රීවරියන් නම් කරන ලෙස ඉල්ලා කැකිරාව මැතිවරණ තේරීම්භාර නිලධාරියා විසින් නිකුත් කර තිබෙන ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ සාමාජිකයින් දෙදෙනෙකු වන චන්දිම ගමගේ සහ අයි.එම්.පී.කේ. ඉලංගසිංහ යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව, ජුනි 16 වන දින දක්වා මෙම අතුරු තහනම පනවා ඇති බවයි සඳහන් වෙන්නේ.

සමගි ජන බලවේගය විසින් කැකිරාව ප්‍රාදේශීය සභාවේ ආසන හතරක් දිනාගත් බවත්, ඉන් ආසන තුනක් සමානුපාතික නියෝජනය යටතේ ලබාගෙන තිබෙන බවත් තේරීම් භාර නිලධාරියා විසින් පක්ෂයේ මහ ලේකම්වරයාට දැනුම් දී ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දී ඇති අතර, සමානුපාතික නියෝජනය යටතේ ලබාගත් එම ආසන තුන සඳහා අතිරේක නාමයෝජනා ලැයිස්තුවේ හෝ මූලික නාමයෝජනා පත්‍රයේ නම් සඳහන් කාන්තා සාමාජිකාවන් පත් කළ යුතු බවට තේරීම් භාර නිලධාරියා අදාළ ලිපිය මගින් සඳහන් කර ඇති බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

සමානුපාතික නියෝජනය යටතේ ලබාගත් ආසන තුන සඳහා කාන්තා සාමාජිකාවන් පත් කරන ලෙස තේරීම් භාර නිලධාරියා විසින් ගනු ලැබූ තීරණය පළාත් පාලන ඡන්ද විමසීම පනතේ විධිවිධාන වලට පටහැනි බවත්, එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල අල්ලස් කොමිසම විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නගර සභාවට අයත් අංක 12 ගව මස් කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේ දී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත අදාළ ලංසුව පිරිනැමීමෙන් රු. 2,380,000ක පාඩුවක් රජයට සිදු කිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජාතික බදු සතිය අදින් ඇ‍රඹේ

“බදු ශක්ති” ජාතික බදු සතිය අද (02) සිට ආරම්භ වනවා.

ඒ අනුව එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

අද සිට 07 වැනිදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත සඳහන් කළා.

දිස්ත්‍රික්ක වශයෙන් අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිත අතර අදාළ වැඩසටහන් පැවැත්වෙන දින සහ වේලාවන් පහතින් දක්වා තිබෙනවා.

news images

ඉන්ධන ගාස්තුවේ වෙනසක් නෑ – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව ජුනි මාසය සඳහා ඉන්ධන ගාස්තුවේ සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.

ඒ අනුව පැවති ඉන්ධන ගාස්තු වෙනසක් නොවන බවයි සඳහන් වන්නේ.

අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක්

අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන, ඉදිරි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් දීර්ඝ කාලීනව සාධාරණ මිලකට ලබා ගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇතිකර ගැනීමද, මෙරට තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ ඒ මඟින් කලාපීය පිරිපහදු ඛනිජ තෙල් වෙළඳපොල තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව වැඩිදුරටත් සඳහන්.

තැපැල් වැඩ වර්ජනය අවසන්

තැපැල් වැඩ වර්ජනය ඊයේ (30) පස්වරුවේ අවසන් කළ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර පවසනවා.

එම වැඩ වර්ජනය හේතුවෙන් ගොඩ ගැසී තිබුණු තැපැල් මලු 2,000කට අධික ප්‍රමාණයක් අද සිට බෙදාහැරීම ආරම්භ කර ඇතැයි ප්‍රකාශ කළා.

බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් තමන් වැඩ වර්ජනයේ නිරත වූ බවයි ලේකම්වරයා සඳහන් කර සිටියේ.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 4,623ක් පීඩාවට – ආපදා කලමණාකරන මධ්‍යස්ථානය

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104ක, පුද්ගලයින් 4,623ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

අද (31) සහ පසුගිය දෙදින තුළ බලපෑ වැසි සහ තද සුළං හේතුවෙන් සිදු වූ ආපදා හේතුවෙන් මෙම හානි සිදුවී ඇති බවයි එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (පූර්ව දැනුම්දීම්) රවී ජයරත්න සඳහන් කළේ.

මෙම අයහපත් කාලගුණයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර, එහි පවුල් 327ක පුද්ගලයින් 1,278ක් අද උදෑසන වනවිට පීඩාවට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

එසේම, කොළඹ දිස්ත්‍රික්කයේද ස්ථාන 32ක ගස් කඩා වැටීම්, විදුලි රැහැන් බිඳවැටීම් වැනි ආපදා සිදුව ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම දිවයින පුරා අර්ධ නිවාස හානි 1,184ක් පමණ සිදුව ඇති බවට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය වෙත තොරතුරු ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පිරමීඩ ආයෝජන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාගම් අධ්‍යක්ෂක රිමාන්ඩ් කිරීමට නියෝග

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබෙන නීති විරෝධී පිරමිඩ ආයෝජන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස්, රුපියල් කෝටි 225කට අධික මුදලක් නීති විරෝධී ලෙස හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම සැකකරු පිරමීඩ ආයෝජන ව්‍යාපෘතියක් මෙහෙයවා ඇති බවයි.

ඒ අනුව, 2023 වසරේ මාස පහක කාලයක් තුළ එම සමාගමේ ගිණුම් 56 ක් හරහා රුපියල් කෝටි 220 කට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවත්, මෙම මුදල් කවර පාර්ශ්වයක් වෙත ගමන් කර තිබේද යන කාරණය පිළිබඳ විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයා වන එරංග දිල්ශාන් නමැත්තා සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින්, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ත‍ිබෙනවා.