කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමක් සම්බන්ධයෙන් හසලක OICට දුන් තීන්දුවක්….

2019 වසරේ “ධර්ම චක්‍රයක්” සහිත ඇඳුමක් පැළඳ සිටියේ යැයි කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම තුළින් හසලක පොලීසියේ ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අදාළ කාන්තාව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ හසලක පොලීසියේ එවකට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන නිශාන්ත යන අය විසින් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් 30,000ක මුදලක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

එම වන්දි මුදල ගෙවීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුදල් හෝ පොලිස් සාමුහික අරමුදලේ මුදල් භාවිත නොකළ බවට පොලිස්පතිවරයා විසින් අධිකරණයට සහතිකයක් ලබාදිය යුතු බවටත් එම නියෝගයේ සඳහන් වේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3 (1) වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු පැහැදිලි කිරීම් දැක්වෙන චක්‍රලේඛයක් නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායිකාව ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් පැළඳ සිටි බවට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්ත ද පසුව එය නැවක සුක්ඛානමක් බවට කරුණු අනාවරණය වී ඇති බව කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දී ඇත.

2019 වසරේ මැයි මස 17 වනදා හසලක පොලිස් වසම තුළදී ධර්ම චක්‍රය සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි මෙම පෙත්සම්කාරිය අත්අඩංගුවට ගෙන  රඳවා ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබුණි.

මහනුවර ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය ඇරඹෙයි…..

රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන 1715 වැනි ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය අද (30) ආරම්භ විය.පළමු කුඹල් පෙරහර උතුරු දිසාභිමුඛව වීථි සංචාරය ඇරඹුණේ අද පස්වරු 7.05ට යෙදුණු සුබ මොහොතිනි.පළමු කුඹල් පෙරහරේ පෙරහර කරඬුව වැඩමකරවීම ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා හස්තියා සිදුකළ අතර දෑල ඇතුන් ලෙස බුරුම රාජා සහ කෝට්ටේ රාජා හස්තීන් ගමන් කළේය.පළමු දිනයේ පෙරහර නැරඹීමට දේශීය සැදැහැවතුන් මෙන්ම විදෙස් සංචාරකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියේය.ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර 5ක් අගෝස්තු 03 වැනිදා දක්වා වීථී සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහර ලබන 04 වනදා වීථී සංචාරය කිරීමට නියමිතය.

හිටපු මන්ත්‍රී ජොන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට……

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් ත්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද (30) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු  ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ නඩු විභාගය පැවැත්විය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ සතොස හිටපු මූල්‍ය ප්‍රධානී නිමේෂා සංජීවනි මහත්මියගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර තිබේ.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 16 වනදා දක්වා කල් තබා ඇත.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවයේ නිරත වූ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු  වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ  අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් සාකිර් යන අයට එරෙහිව අල්ලස්කොමිසම මෙම නඩුව ගොනු කර තිබුණි.

BYD රථ දහසකට වඩා හම්බන්තොට සිරවෙයි…..

BYD ATTO 3 ඇටෝ ත්‍රී වර්ගයේ මෝටර් රථ දහසක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් නොකර තබාගැනීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය.

කෙසේ වෙතත් අදාළ මෝටර් රථවල එකම බලයලත් බෙදාහැරීමේ ආයතනය වන ජෝන් කීල්ස් සමාගම පවසන්නේ, ඔවුන්ගේ සියලුම වාහන දේශීය නීති රෙගුලාසිවලට අනුකූල බවට සහතික කරන බවය.

මේ අතර CROSS BORDER ණයවර ලිපි විවෘත කරමින් කොන්දේසි සපුරා නොමැතිව ආනයනය කළ රථවාහන ප්‍රතිඅපනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කළේය.

CROSS BOARDER LC හෙවත් දේශසීමා ණයවර ලිපි විවෘත කර ආනයනය කරන ලද රථවාහන 500කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හම්බන්තොට වරායේ නිශ්කාශනය නොකර ගාල්කර තිබේ.

මේ අතර BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ දහසක් පමණ ද හම්බන්තොට වරායෙන් නිෂ්කාශනය නොකර ශ්‍රී ලංකා රේගුව රඳවා තබාගෙන තිබේ.

ඊට හේතු වී ඇත්තේ මෙරටට ආනයනය කරන ලද ATTO 3 මාදිලියේ රථවල මෝටර් බලය 100kW ලෙස නිෂ්පාදනය කර පැමිණියද, එම මාදිලියෙන්ම වෙනත් රටවලට ආනයනය කරන වාහනවල මෝටර් බලය 150kW වීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයයි.

100kW මෝටර් රථ සඳහා අඩු රේගු බද්දක් අය කෙරෙන අතර, 150kW සඳහා වැඩි රේගු බද්දක් නිෂ්කාශනයේදී අය කෙරේ.

එමෙන්ම මෙම BYD වාහන මාදිලි පිළිබඳ මෑතකාලයේ පළවන පුවත සම්බන්ධයෙන් එම රථවාහන සඳහා මෙරට එකම බලයලත් බෙදාහැරීමේ ආයතනය වන John Keels CG Auto පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ චීනයේ BYD වෙතින් ආනයනය කරන ලද වාහන 100 kW මාදිලි බව ජනතාවට සහතික කරන බවය.

එම වාහන සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර වෙළෙඳපොළවල අලෙවිවන වාහන මාදිලි බවද එම නිවේදනයේ සඳහන්.

එම සමාගම පෙන්වාදෙන්නේ මෙම වාහන motor power චීනයේ BYD හි පරීක්ෂණ වාර්තා මගින් තහවුුරු කර ඇති බවත්, ස්වාධීන පරීක්ෂණ ආයතනයක් එය වැඩිදුරටත් සහතික කර ඇති බවය.

මෙරට වගකිව යුතු සමාගමක් ලෙස John Keels CG Auto පුද්ගලික සමාගම ආනයනය කරනු ලබන සියලුම වාහන දේශීය නීති රෙගුලාසිවලට සම්පූර්ණයෙන්ම අනුකූල බවට සහතික කරන බව එම සමාගම පවසයි.

වත්මන් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක්……

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබේ.

අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාල සේවා දිගුව ලබා දී ඇත.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව නියෝජනය කරන වත්මන් යුද හමුදාපතිවරයා පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස එම ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

යුද හමුදාපති ධුරයේ රාජකාරී භාර ගැනීමට ප්‍රථම ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරය හෙඹවීය.

කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා වර්ෂ 1989  ජනවාරී මස 20 වැනිදා කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්විය.

නීති විරෝධී ගිණීවියක් හක්කපටස් හා මදු සමඟ සැකකරුවන් තිදෙනෙක් වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට….

හොරොව්පතාන ජාතික උද්‍යානයේ කටයුතු භාර නිලධාරීන් අද(30) හොරොව්පොතාන ප්‍රෙද්ශයේදී සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත නීති විරෝධී ගිනි අවියක්, හක්ක පටස් දෙකක් හා කේබල් මදු සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
ලද තොරතුරකට අනුව හොරොව්පොතාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී හොරොව්පොතාන ආනඔලොන්දෑව වන රක්ෂීතයට අයත් බව කියන බැඳපුවැව ප්‍රෙද්ශයේ දී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. වන රක්ෂීතයට අයත් බව කියන ප්‍රෙද්ශයක පිහිටි කුඹුරු යායක දී එම ගිණී අවිය ඇතුළු දෑ සොයා ගත් බව වනජීවී නිලදාරීහු පවසති. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හක්ක පටස් හා කේබල් කම්බි වලින් සැකසූ මදු දෙකක් හා සඟවා තිබූ ගිණී අවිය ඇතුළු දෑ සොයා ගෙන තිබේ.
වන අලි තර්ජනය බහුල වශයෙන් ඇති ප්‍රෙද්ශයක් බවයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රෙද්ශය හඳුනාගෙන ඇති බවත්, හක්කපටස් හේතුවෙන් සිදුවන වන අලි මරණ මෙන්ම වන අලින්ට සිදුකරන වෙඩිතැබීම් ආදිය ද හොරොව්පොතාන ප්‍රෙද්ශයෙන් ඉකුත් සමයේ වරින් වර වාර්තා වී ඇති බවත් වනජීවී නිලධාරිහු පෙන්වා දෙති.
මෙරට නිෂ්පාදික නීති විරෝධී ගිණී අවිය හා හක්කපටස් මෙන්ම කේබල්වලින් සැකසූ මදු දෙකක් ද සමඟ මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් හොරොව්පොතාන පරංගියාවාඩිය ප්‍රෙද්ශයේ හා නොච්චියාගම දුනුදඹුවැව ප්‍රෙද්ශවල පදිංචිකරුවෝ බව වනජීවී නිලධාරීහු පවසති. අත්අඩංගුවටපත් එම සැකකරුවන් අවුරුදු 38, 30 හා 26 යන වයස් වල පසුවන්නෝ වෙති.

කැකිරාව කුෂාන් ජයවර්ධන

ශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත.මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර, එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම අවශ්‍ය වේ.මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බව මාලදිවයින් රජය සඳහන් කරයි.  තම රජය ශ්‍රී ලංකාව වෙත දක්වන ඉහළ ප්‍රමුඛතාව මෙමගින් යළි තහවුරු කෙරෙන බව මාලදිවයින් රජය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දියාව සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට එරෙහිව පෙත්සමක්…..

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සමාජ ක්‍රියාකාරිණියක්වන අමානි රිෂාඩ් හමිඩ් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු 27 දෙනෙකු නම් කර ඇත.

නීතීඥ කනිෂ්ක විතාරණ මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය කියා සිටින්නේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව සමඟ මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවය.

මීට අදාළව ඉකුත් ජනවාරි මස 27 සහ ජුනි මස 02 වනදා අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන තිබෙන බවත් මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

මෙම කටයුතුවලට අදාළව 2022 වසරේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙන බවත් එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන තිබෙන බවත් පෙත්සමින් පෙන්වා දී ඇත.

මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු කරුණු ඉන්දියාව අතට පත්වන බවත් ඒ තුළින් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මේ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන්ම ස්වාධීනත්වයට මැදිහත්වීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බවත් මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමින් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන මෙම අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් තීන්දු බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

සුදත්ත තිලකසිරිට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්….

හිටපු අමාත‍ය මනූෂ නානායක්කාර මහතා විසින් සුදත්ත තිලකසිරිට එරෙහිව පවරන ලද නඩුවක් අද දින කොළඹ දිසා අධිකරණ අංක 01 හි කැදවනු ලැබූ අවස්ථාවේදී පැමිණිලිකාර මනූෂ නානායක්කාර මහතාගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සදුන් විතානගේ මහතා විසින් මනූෂ නානායක්කාර මහතාට එරෙහිව සෘජුව හෝ වක්‍රව අපහාස වන අයුරින් ප්‍රකාශයන් පළ කිරීම මෙන්ම කුමන ආකාරයක හෝ අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම වලක්වාලමින් සුදත්ත තිලකසිරිට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබූවා.

පැමිණිලිකාර මනූෂ නානායක්කාර මහතා වෙනුවන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලී සබ්‍රී මහතා පෙනී සිටියා. නඩුව එලඹෙන අගෝස්තු මස 07 වන දින යලි කැදවීමට නියමිතයි.

ආසන පටි නීතිය දැඩි වෙයි…..

ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුවට සහභාගී වෙමින් ඔහු සඳහන් කර සිටියේ, එම නීතිය අනුගමනය නොකරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“2,350 මැරෙනවා අවුරුද්දකට. තව 6,000 විතර මාරාන්තික තුවාල ලබනවා. ඒක නිසා 2025 සහ 2026 අවුරුද්දට ප්‍රවාහන අමාත්‍යංශයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා රෝඩ් සේෆ්ට් ප්ලෑන් එකක්. ඒ යටතේ, සීට් බෙල්ට් ප්ලෑන් එකක් impose කරන්න. කොහොමත් අපි ගැසට් එක ගහනවා. දැනුත් impose කරලා තියෙන්නේ 2011 අවුරුද්දෙ ඉඳන්. කවුරුත් ගණන් ගන්නෙ නෑ. හයිවේ යනවා සීට් බෙල්ට් දාන්නෙ නැතුව. 

ඒ නිසා අපි 2,300ක් මැරෙන එක 2,000කට අඩු කරන්න පුළුවන්. අපි සැප්තැම්බර් 30 දාලා තියෙනවා සියලුම අධිවේගී මාර්ගවලට. මට මතක විදියට අපි කියනවා සීට් බෙල්ට් දාන එක මගීන්ට. මොකද ගොඩක් බස්වල අනිවාර්යෙන්ම සීට් බෙල්ට් තියනවා. ඒ නිසා අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරලා එක්කො තහනම් කරනවා බස්. නැත්නම් ලයිසන් කැන්සල් කරනවා.”

එම කමිටුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ අර්බුදවලට එහි ප්‍රධානීන් වගකිව යුතු බවය.