හිටපු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේනට ඇප හිමිවෙයි….

ක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (1) නියම කළේය.

2014 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදාදීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩඉරිඟු බීජ, නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත්කර ගැනීමේ අරමුණින් තම හිතවතුන් හා ආධාරකරුවන් අතර බෙදාහැරීම තුළින් ‘දූෂණය’ නැමති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් ඔහු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම පැමිණිල්ල කැදවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළ විමර්ශන බොහෝ දුරට අවසන් වී ඇතැයි සඳහන් කළාය.

කෘෂිකර්ම නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බවත්, ඒ අනුව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සැකකරු විමර්ශනවලට පූර්ණ සහාය ලබා දී ඇති බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති බවත් සඳහන් කළේය.

ඒ අනුව සැකකරු සුදුසු කොන්දේසි මත ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර දෙකක් මත මුදා හැරීමට නියම කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළහ.

ඉන් අනතුරුව මෙම නඩුව ලබන ජනවාරි මස 9 වනදා කැඳවන ලෙසත් නියම කළේය.

ගෙවුණු මාස 06ට පොලිස් නිලධාරීන් 300ගේ වැඩ තහනම් කරලා……

මෙම වසරේ පසුගිය මාස 06 ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් තුන්සීයක් වැඩ තහනමට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රජයක් ලෙස තරාතිරම කුමක් වුවත් ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

එමෙන්ම රාජ්‍ය සේවයේ නියුතු සුළු පිරිසක් සිදුකරන වැරදි හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයටම කැළලක් ඇතිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

”මේ මාස 6ට විතරක් 300ක් මේ වෙනකොට වැඩ තහනමට ලක්වෙලා තියෙනවා. එහෙම වැඩ තහනමට ලක් වෙන්නේ තමන් කරන, තමන්ට ලැබුණු රැකියාව පිළිබඳ ආදරයක්, බැඳීමක්, තමන් ලබන වැටුප මොන ආකාරයෙන්ද ලැබෙන්නේ කියලා හැඟීමක්, දැනීමක් නැති තැන. 

සමහර අය අවුරුදු 25ක් සේවයේ ඉඳලා තමන්ගේ තනතුර අහිමි කරගෙන, විශ්‍රාම වැටුප අහිමි කරගෙන සිරගත වන අවස්ථා අපි දැකලා තියෙනවා. 

අපේ පාලක ජෙනරාල්වරයාට, පොලිස්පතිවරයාට, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට… මුලට තියෙනවා වැඩබලන කියලා. 

ඇයි වැඩබලන ඇවිල්ලා තියෙන්නේ. ආගමන පාලක ජෙනරාල්වරයා සිරගත වෙනවා, පොලිස්පතිවරයා සිරගතවෙලා ඇප පිට ඉන්නවා, බන්ධනාගාර කොමසාරිස්වරයා තමන්ගෙම බන්ධනාගාරයේ බන්ධනාගාර ගතවෙලා ඇප පිට නිදහස් වෙලා ඉන්නවා. 

දැන් මේ ප්‍රධාන ආයතනවල ඉන්නේ වැඩ බලන තනතුරු තියාගෙන. ඇයි එහෙම වෙන්නේ?. අපි ආයතනයක රැකියා ලබනකොට ඒක රැකියාවක් විතරක් හැටියට සිතුවොත්, ඒක අපේ තාවකාලික අවස්ථාවක් හැටියට හිතුවොත්…එවැනි දේ සිද්ධ වෙන්න පුළුවන්. 

ඒ හින්දා අපි රජයක් හැටියටත්, තරාතිරම කුමක් වුවත් ඒ හැම තරාතිරමක කෙනෙකු නීතිවිරෝධි කටයුතු කරන සෑම අවස්ථාවකම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා” යැයි පැවසීය.

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය වෙනුවෙන් ඉන්දියාවෙන් දෙන මුදලේ පළමු කොටස නිදහස් කෙරේ….

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සදහා සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 770) නිකුත් කර ඇත.

මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 14.89ක වියදමින් ණයක් ලෙස ඉන්දීය රජයෙන් දීමට යෝජනා කර තිබුණ ද 2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයේදී ඉන්දීය රජය විසින් එය ප්‍රදානයක් බවට පරිවර්තනය කරන ලදී.

එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉන්දියානු රාජ්‍ය අංශයේ ආයතනයක් වන ඉර්කෝන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් විසිනි.

ඉන්දීය ආධාර ඇතිව, උතුරු මාර්ගයේ ධාවන පථ පැයට කිලෝමීටර 100 දක්වා දුම්රිය වේගයට සහාය වන පරිදි වැඩිදියුණු කර ඇත.

මීට සමගාමීව දියුණු සංඥා පද්ධතියක් හරහා මගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම තුළින් දුම්රිය සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, ව්‍යාපෘතිය 2026 අගෝස්තු වන විට අවසන් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දුම්රිය අංශයට ඉන්දියාවේ සමුච්චිත මූල්‍ය ආධාර ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2කි.

මේ දක්වා, ඉන්දියාව කිලෝමීටර 500 කට ආසන්න දුම්රිය මාර්ගයක් ඉදිකර ප්‍රතිසංස්කරණය කර ඇති අතර කිලෝමීටර 400 ක පමණ දුම්රිය ජාලයක් හරහා සංඥා සහ විදුලි සංදේශ පද්ධති සපයා ඇත.

ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචනයක් විභාගයට අවසර……

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ශාන්ත දොඩංගොඩ නමැත්තෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමදාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය.

මෙම සිද්ධියෙන් අගතියට පාර්ශවය විසින් අදාල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම අද සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 13 වනදා දක්වා කල් තැබිණි.

මෙම පෙත්සම ඉදිරිපත් කළ අගතියට පත් පාර්ශවය සඳහන් කර සිටින්නේ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බවය.

ඒ අනුව එම තීන්දුව බල රහිතකර විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය මගින් පනවන ලද මරණීය දණ්ඩනය යළි නියම කරන ලෙසත් එම අභියාචනාවලින් ඉල්ලා ඇත.

NSB හි රුපියල් ලක්ෂ 1800ක වංචාවකට නිලධාරීන් ඇතුළු සැකකරුවන් 5ක් රිමාන්ඩ්….

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) නිලධාරින් ඉතා සූක්ෂම අයුරින් රුපියල් ලක්ෂ 1800 ක් වංචා කර ඇතැයි නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත ඊයේ (30) දන්වා සිටියේය.

අදාළ බැංකුවේ තිබූ රුපියල් ලක්ෂ 1800 ක මහජනතාවගේ මුදල් මෙලෙස අවභාවිත කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පුළුල් විමර්ශනයේදී අනාවරණ වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය වෙත දන්වා සිටියේය.

අදාළ රාජ්‍ය බැංකුවේ ණය දෙන අංශයේ මෙම මහා පරිමාණ වංචාව සිදුව ඇතැයි දන්වා සිටි රජයේ නීතිඥවරයා එම වංචාවට අදාළව අදාළ බැංකුවේ ප්‍රධාන ශාඛාවේ ණය කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයිද දන්වා සිටියේය.

මෙම මහා පරිමාණ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට එම රාජ්‍ය බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක්ද සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බැවින්, ඒ පිළිබඳවද විමර්ශන පවත්වන බව රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ණය අයැදුම්පත් කරන පිරිසකට ඉතා සැලසුම් සහගතව අදාළ බැංකුවේ සැකකාර නිලධාරියා රුපියල් ලක්ෂ ගණනින් ණය මුදල් දී ඇති බවත්, එම ණය මුදල් අනුමත කර දීම වෙනුවෙන් එම බැංකුවේ ඇතැම් පිරිස් රුපියල් ලක්ෂ ගණනින් කොමිස් මුදල් පවා ගෙන තිබීම පුදුම සහගත කරුණක් බවද රජයේ නීතිඥවරයා අධිකරණය වෙත දන්වා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය.

“අදාළ රාජ්‍ය බැංකුවේ තිබූ රුපියල් ලක්ෂ 1800 ක රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන පවත්වමින් සිටිනවා

මෙම අපරාධය ඉතා සංවිධානාත්මකව සූක්ෂම අයුරින් කර ඇති බවද පේනවා.

මෙම රාජ්‍ය බැංකුවේ ප්‍රධාන ශාඛාවේ ණය කළමනාකරු වශයෙන් කටයුතු කළ බව කියන ක්‍රිෂාන් අබේගුණවර්ධන නමැති නඩුවේ තුන්වැනි සැකකරු වටා එකතු වෙමින්, අනෙකුත් සැකකරුවන් මෙලෙස මුදල් වංචා කර ඇති බවද හෙළිවෙලා.

අදාළ බැංකුවේ ණය ගනුදෙනු අංශයේ මෙම මහා පරිමාණ වංචාව සිදු වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මූලිකව එම බැංකුවේ ණය ගොනු 10 ක් පිළිබඳ විමර්ශන පැවැත් වූවා. අනතුරුව ණය ගිණුම් 46 ක් පිළිබඳ විමර්ශන පැවැත් වූවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාරගේ උපදෙස් පරිදි අංශ කීපයක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මීට අදාළ විමර්ශන කරනවා. මෙය ඉතා විශාල විමර්ශනයක් බව කිව හැකිය.

මෙම නඩුවේ පළමු වැනි සැකකාරිය වන බාලසූරියගේ දිලිනි මහේෂිකා පෙරේරා සහ 04 වැනි සැකකාරිය වන ශානිකා ප්‍රියදර්ශනී අදාළ බැංකුවෙන් ණය අයැදුම් කිරීම සඳහා කූට ලේඛන සකස් කර වාර්තා ඉදිරිපත් කර තිබෙනවා.

මෙම නඩුවේ එක් සැකකාරියක් බොරැල්ල ප්‍රදේශයේ කොමියුනිකේෂන් එකක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම ස්ථානයට විවිධ ආයතනවල ලෙටර් හෙඩ් මුද්‍රා සහතික පිටපත් ගැනීමට පැමිණෙනවා. ඒවායේ පිටපත් අදාළ සැකකාරිය තබාගෙන ව්‍යාජ දත්ත ඇතුළත් කර ණය අයැදුම්පත් කර තිබෙනවා. මෙම නඩුවේ සැකකාරියන් දෙදෙනා කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතන 02 ක විධායක ශ්‍රේණියේ නිලධාරිනියන් දෙදෙනකු ලෙසත්, ඉතා ඉහළ වැටුප් ගන්නා අය බවත් සඳහන් කර ණය අයැදුම්පත් කර තිබෙනවා.

අදාළ ආයතනවල ප්‍රධානීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ප්‍රකාශ සටහන් කරගත්තා. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම සැකකාරියන් දෙදෙනා ඔවුන්ගේ ආයතනවල නිලධාරිනියන් නොවන බවයි.

මෙම නඩුවේ තුන්වැනි සැකකරු වන අදාළ බැංකුවේ ණය කළමනාකරු ලෙස කටයුතු කළ තැනැත්තාට රුපියල් ලක්ෂ 30 දක්වා ණය අනුමත කළ හැකි වෙනවා. එම නිසා අදාළ සැකකරු රුපියල් ලක්ෂ 29, 28 වැනි ආකාරයේ රුපියල් ලක්ෂ 30 ට අඩුවෙන් ණය අනුමත කර තිබෙනවා.

නමුත් 03 වන සැකකරුට අදාළ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ සහයෝගයක් නොමැතිව මෙම වංචාවන් කළ නොහැකියි. එම නිසා අදාළ රාජ්‍ය බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය සිටින පිරිසක් ගැනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරනවා. එම පුද්ගලයන් කුමන තරාතිරමක රැකියාව කළත් වරදක් අනාවරණය වන්නේ නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා.

රටේ මිනිසුන්ගේ රුපියල් ලක්ෂ 1800 ක් මෙහෙම හොරකම් කරන්න ඉඩ දෙන්න බැහැ. මෙම සිද්ධිය පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පවත්වන විට දැන් ගොඩක් අය කලබල වෙලා තියෙනවා.

මෙම නඩුවේ 04 වැනි සැකකාරිය වන හානිකා ප්‍රියදර්ශනී නමැත්තිය විසින් ජාතික හැඳුනුම්පත් 02 ක් සකස් කර තිබෙනවා. එම සැකකාරිය ක්‍රිබ් එකට යෑම නිසා වෙනත් ජාතික හැඳුනුම්පතක් සකස්කර ණය අයැදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. සමහරු කූට ලේඛන සකස් කරලා. ඒවා භාවිත කරලා රටිනුත් පැනලා ගිහිල්ලා තියෙනවා.

මෙම නඩුවෙ 02 වැනි සැකකරු වන ජයසූරිය මුදියන්සේලාගේ ධර්මකීර්ති නමැත්තා කටාර් රාජ්‍යයේ සිට ලංකාවට ඒමේදී අත්අඩංගුවට ගත්තා. නඩුවේ 05 වැනි සැකකරු වන රාජරත්නම් නිරෝෂන් නමැත්තා කටාර් රාජ්‍යය වෙත යෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනම් නියෝග ගෙන තිබූ නිසා එලෙස අත්අඩංගුවට ගත්තා. ඔවුන් ණය ගැනීම සඳහා කූට ලේඛන සකස් කර තිබෙනවා.

මෙහෙම රටේ මිනිසුන්ගේ සල්ලි සමග සෙල්ලම් කරන්න ඉඩ දෙන්න බැහැ. එම නිසා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඔවුන් සියලු දෙනා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටිනවා.”

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි, තරිඳු වික්‍රමනායක ඇතුළු නීතිඥවරුන් තම සේවාදායකයන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

සැකකරුවන් 05 දෙනා ලබන මස 13 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය, එදිනට සැකකරුවන් සම්බන්ධයෙන් අනාවරණ වී ඇති සාක්ෂි පිළිබඳ සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

කැලණියට මිලියන 230ක සංවර්ධන වැඩසටහන්….

ගම්පහ දිස්ත්‍රික්කයේ, කැලණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද 31.07.2025 දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතගේ සභාපතිත්වයෙන් යුතුව කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී රැස්වුනා. එහිදී 2025 වර්ෂයට අදාලව කැලණිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කැලණිය ප්‍රාදේශීය සභාව, පෑලියගොඩ නගර සභාව මගින් රුපියල් මිලියන 230ක වියදමින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති 102ක් පිළිබන්දව ප්‍රගතිය සාකච්ඡා කළා.
එමෙන්ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටළු සහ ඒ සඳහා විසඳුම් සොයා බලා අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් ලබාදෙන ලදි. ප්‍රදේශයයේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම හා පොදු ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන්නට විය. මත් ද්‍රව්‍ය උවදුර මැඩලීම, ගංවතුර පාලනය, කිරිබත්ගොඩ නගරයේ අධික වාහන තදබදය වැනි කරුණු පිළිබන්දව ද අවධානය යොමු කරන්නට විය.
කැලණිය ප්‍රාදේශීය ලේකම්තුමිය, කැලණිය, කිරිබත්ගොඩ, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරු, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, පෑලියගොඩ නගර සභාවේ සභාපතිතුමන්, ප්‍රාදේශීය මහජන නියෝජිතයන්, සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිළධාරී මහත්ම මහත්මීන් මෙම අවස්තාවට එක්වසිටියා.

සැකකරුවෙකු පළායාමේ සිදුවීමට පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්……

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බවය.

අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රත්නපුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබුණි.

පොලිස් සිර මැදිරියේ සිටි සැකකරු ඊයේ (30) දිනයේ වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා ඇති අතර සිරමැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති බව වාර්තා ‍වේ.

අදාළ සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පසුගියදා පානදුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු පළා යාම සම්බන්ධයෙන් එම අවස්ථාවේ රත්නපුර මූලස්ථාන පොලීසියේ කාර්යය භාර නිලධාරීවරයාගේ සහ පොලිස් සිරමැදිරිය භාරව සිටි නිලධාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා සඳහන් කළේය.

උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා ගැන ගොනුකළ නඩුව විභාගයට…..

තුරු දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේදී මහව සහ අනුරාධපුරය අතර දුම්රිය ස්ථානවලට ප්‍රවේශ වීමට ආබාධ සහිත පුද්ගලයින්ට පහසුකම් සලසා නොමැති බවට චෝදනා කරමින් අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට දින නියම කර තිබේ.

ඒ අනුව නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 18 දින ප්‍රකාශයට පත්කරන බව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා නියෝග කළේය.

ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය විසින් ගොනුකර ඇති අදාල නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ප‍්‍රවාහන මහමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, දුම්රිය සාමාන්‍යාධිකරිවරයා,  උතුරු පළාත සහ අනුරාධපුර භාර ඉංජිනේරු අධිකාරිවරයා යන අය නම්කර ඇති බව සදහන් වේ.

ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමගාමීව මහව සිට අනුරාධපුරය දක්වා අතර ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේ දී ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරමින් මෙම නඩුව ගොනුකර ඇත.

රෝහිතගේ දියණියට ඇප හිමිවෙයි…..

මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධනට ඇප හිමිව තිබේ.

ඇය අද (31) පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.

නීති විරෝධි ලෙස ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඇය ඊයේ (30) වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත භාර වී තිබුණි.

එහිදී ඇයගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රොෂෙල් අබේගුණවර්ධනගේ සැමියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

කොස්ගොඩදී වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වෙයි…..

අද උදෑසන හයට පමණ කොස්ගොඩ දූවෙ මෝදර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇත.එම පුද්ගලයා නිවසේ  නිදා සිටියදී පැමිණි පුද්ගලයකු මෙම වැඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ දූව මෝදර  ප්‍රදේශයෙක් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක හිමිකරුවකුවන විසි හතර හැවිරිදි අරුන් මෙන්ඩිස් නමැති අවිවාහක පුද්ගලයෙකි.යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙරළ දෙසින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස්  ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරු පැදියක් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අතුරුවැල්ල පලම අසල දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.මේ සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අම්බලන්ගොඩ අනුරාධ.