මිනුවන්ගොඩ ‘පස් දිලීප’ ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්…..

මිනුවන්ගොඩ, පත්අඩුවන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර අද (13) දහවල් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පැවසීය.

පොලීසිය පවසන්නේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ ‘පස් දිලීප’ යන පුද්ගලයා ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

ව්‍යාජ ලබුබු බෝනික්කන්ගෙන් දරුවන්ට බරපතළ අවදානමක්….

ව්‍යාජ ලබුබු බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක් ඇති කළ හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ළමයින්ට බරපතළ අවදානමක් ඇති කළ හැකි මෙම ව්‍යාජ ලබුබු බෝනික්කන් විකිණීමේ යෙදෙන වෙළෙදුන්, වෙ‍ෙළඳ ප්‍රමිති ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

විදෙස් වෙළෙඳ ප්‍රමිති නිලධාරීන් පවසා ඇත්තේ, චීන නිෂ්පාදිත සෙල්ලම් බඩු සඳහා ඇති ජනප්‍රියතාවය ඉහළ යාම, ව්‍යාජ නිෂ්පාදකයින්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති බවය.

ඔවුන් ව්‍යාජ ලොම් සහිත බෝනික්කන් සඳහා වෙන් කළ හැකි කුඩා කොටස් එකතු කිරීම හේතුවෙන් මෙලෙස හුස්ම හිරවීමට ඇති අවදානම ඇතිව තිබෙන බව නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

ගෙවුණු සතිය තුළ මෙම ව්‍යාජ බෝනික්කන් සම්බන්ධයෙන් ලද තොරතුරු මත දේශීය වෙ‍ෙළඳුන්ගෙන් බෝනික්කන් 100ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ.

මහජන දැනුවත්භාවය වර්ධනය වන විට මෙම අත්අඩංගුවට ගැනීම් සැලකිය යුතු ලෙස වැඩි වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙමාපියන් මෙන්ම දරුවන් රැකබලා ගනු ලබන්නන් මෙම බෝනික්කන් මිලදී ගැනීමේදී වගකිව යුතු තැන්වලින් පමණක් ලබාගන්නා ලෙසට කොවෙන්ට්‍රි නගර සභාවේ නියෝජ්‍ය නායක අබ්දුල් සලාම් ඛාන් ප්‍රකාශ කර තිබේ.

ව්‍යාජ බෝනික්කන් සැලකිය යුතු ලෙස අඩු මිලකට අලෙවි වන බවත්, ඒ සඳහා  නිවැරදි QR කේත නොමැති බවත් නිලධාරීන් සොයාගෙන ඇත.

ඝාතනය වූ හිටපු ප්‍රා.ස. මන්ත්‍රීගේ දේහය නිවසට – සැකකරුවන් අධිකරණයට….

මීගොඩ ආටිගල පාර ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු ඝාතනයට ලක්කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අද (13) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර ඝාතනයට ලක්වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ දේහය ඊයේ (12) රාත්‍රී පාදුක්ක වටරැක සෝමරතන මාවතේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන විත් ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සිකුරාදා සිදුකිරීමට නියමිතය.

ඊයේ දහවල් 1.10ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රී’ නම් 46 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණි.

ඔහු හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභිකයෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කර හිටපු මන්ත්‍රීවරයා ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අයෙකි.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලීසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර තිබුණි.

එසේම ඝාතනය වූ තැනැත්තා ‘ගගන’ නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බව ද, ඔහු ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නැමැත්තාගේ නම භාවිත කරමින් කප්පම් ලබාගැනීමේ සිදුවීම්වලට සම්බන්ධ වී ඇති බැවින් ඊට පළිගැනීමක් ලෙස ‘බස් ලලිත්’ නැමැත්තා මෙම ඝාතනය සිදුකර ඇති බවටත් පොලීසිය සැක පළකරයි.

කෙසේ වෙතත් වෙඩි තැබීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලීසිය මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීමක් කර තිබූ අතර එහිදි තලංගම, පාලම්තුන හංදිය ප්‍රදේශයේදී වෙඩික්කරු පැමිණි මෝටර් රථය සහ එහි රියදුරුද, වෙඩිතැබීමට භාවිත කළ බවට සැකකෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවිය ද තලංගම පොලිස් භාරයට ගෙන තිබුණි.

අනතුරුව අදාළ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් ලබාගත් තොරතුරු අනුව වෙඩික්කරු සහ තවත් අයෙකු ද ඊයේ පස්වරුවේ තලංගම, පාලම්තුන හංදිය අසලදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලීමට නියමිත බව වාර්තා වේ.

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් හෙට විශේෂ සාකච්චාවක්….

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (14) දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කළේය.

පසුගිය සතියේදී ද හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් ආණ්ඩුවට ඝෘජුව අභියෝග කිරීමේ අරමුණින් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව උපයෝගී කර නොගන්නා අතර විපක්ෂයේ එකමුතුවක් සකස් කිරීම පමණක් මෙහි අරමුණ බව විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කළේය.

පොලිස්පතිට ඍජුවම ගැටලු කියන්න නව වට්ස්ඇප් අංකයක්…..

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ.

මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම වට්ස්ඇප් අංක හඳුන්වා දී ඇත.

ඒ අනුව 071 – 8598888 යන නව වට්ස්ඇප් අංකය අද (13) සිට ක්‍රියාත්මක වේ.

මේ හරහා පොලිස්පතිවරයා වෙත ඍජුවම කෙටි පණිවුඩයක් ලබාදීම, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමු කිරීම සඳහා පමණක් භාවිත කළ හැකි අතර ඇමතුම් ලබාගැනීමට හැකියාවක් නොමැති බව පොලීසිය දැනුම් දෙයි.

එමෙන්ම පොලිස් නිලධාරීන්ට ද මෙම අංකය ඔස්සේ තම ගැටලු හා තොරතුරු සම්බන්ධයෙන් දැනුම් දීමේ හැකියාව පවතී.

කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද සංකේත වර්ජනයක….

කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේ, අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය.

ඒ අනුව අද උදෑසන 8 සිට මෙම සංකේත වර්ජනය ආරම්භ වීමට නියමිතය.

සුදුසුකම් සහිත ඖෂධවේදීන් තම සේවය සපයමින් සිටින අතරතුර සේවා අවශ්‍යතාවය නොමැති ඖෂධ සංයෝජකවරයෙක් මෙලෙස අනුයුක්ත කර ඇති අතර, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව අවස්ථා දෙකකදී දැනුම් දී ඇතැයිද අජිත් තිලකරත්න මහතා පවසයි.

නමුත් බලධාරීන් එම දැනුම්දීම නොසලකා හැර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඒ මහතා සඳහන් කළේය.

රට සිහින මවා මුදල් වංචා කළ විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට…..

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.

අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී 2023 වසරේ සිට තමන්ව රවටමින් අවස්ථා කිහිපයකදී මුදල් ලබා ගත් බවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලිකර තිබේ.

විදේශ රැකියා ඒජන්සි සමාගම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර අත්අඩංගුවට පත්වන විට සැකකරු එම සමාගමේ පරිගණක අංශයේ සහකාර කළමනාකරු වශයෙන් සේවය කරමින් සිට ඇති බව සඳහන්ය.

සැකකරු අද (13) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයව තිබේ.

නිවසක් අසල පඳුරක් යට සඟවා තිබූ උණ්ඩ 45ක් සොයාගනී…..

වැලිපැන්න පොලිස් වසමේ ළිඳමුල්ලගේවත්ත, තොටුපල පාර මීගම ප්‍රදේශයේ නිවසක් අසල පඳුරක් යට තිබී පිස්තෝල අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ තොගයක් හමුවී තිබේ.

ඒ ආසන්නයේ ක්‍රීඩා කරමින් සිටි දරුවන් පිරිසක් මෙම උණ්ඩ තොගය දැක තිබෙන අතර පසුව වැඩිහිටියෙකු දැනුවත් කිරීමෙන් පසු පොලීසිට දැනුම්දී ඇත.

මෙලෙස ජීව උණ්ඩ 45ක් පමණ තිබී සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කලවාන අම්බලම්හේන දොලෙහි නාදුනන මල සිරුරක්….

කලවාන මතුගම ප්‍රධාන මාර්ගයේ අම්බලමහේන ප්‍රදේශයේ අම්බලමහේන දොළෙහි තිබි නාදුනන මළසිරුරක් අද (12) සොයා ගත් බව පොලිසිය පැවසීය .

මළසිරුරේ පහල කොටස පෝර උරයක බහා තිබුණු බවත් මෙම පුද්ගලයා ඝාතනය කර මල සිරුර පෝර උරයක බාහා මෙම ස්ථානයට දින තුනකට පමණ පෙර ගෙනවිත් දමා ඇති බවට සැක කරන බව පොලිසිය පැවසිය. මියගිය පුද්ගලයා හදුනා ගැනිමට බැරි අයුරින් ඉදීමිමට ලක්ව ශරිරයේ පැහය වෙනස් වී ඇති බව පොලිසිය පැවසිය. පොලිසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමක් මත පොලිසිය මෙම සිරුර සොයා ගත් බව පොලිසිය පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් කලවාන වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් සී ගුණතිලක , පොලිස් කොස්තාපල් (42035) අජිත්, ඇතුලු පොලිස් නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

ගයාන් කුඩාගම – රත්නපුර

රාජ්‍ය සේවයට 62,000ක් කඩිනමින් බඳවා ගන්න කැබිනට් අනුමැතිය….

ආණ්ඩුව නූතනත්වයට ගෙන ඒම තම අපේක්ෂාව බව ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එලෙස නූතනත්වයට පත්කිරීමට දැනටමත් රාජ්‍ය සේවකයින් 62,000කට ආසන්න පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවය.

“අපේ ආණ්ඩුව රැකියා සපයන මධ්‍යස්ථානයක් නොමේ. අපේ ආණ්ඩුව රැකියා උත්පාදනය කරන මධ්‍යස්ථානයක්. එහෙත් අපේ රාජ්‍ය සේවය රැකියා උද්පාදනයකට සමත්වන ආර්ථිකයක් නිර්මාණය කිරීමට, සමාජ සංස්ථාවක් නිර්මාණය කිරීමට සමත් වන ආණ්ඩුවක් අපට අවශ්‍යයි. අද අපේ ආණ්ඩුව ගත්තොත් සුන්බුන් ගොඩක එකතුවක්. අපේ ආණ්ඩුව නූතනත්වයට ගේනවා. ඒ සඳහා දැනටමත් අපි 62,000කට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමතය ලබාදී තිබෙනවා.” 

“අපි බල්ක් පිටින් බඳවා ගන්නේ නෑ. ලක්ෂය, එක හමාරය බඳවා ගන්නේ නෑ. හැබැයි රාජ්‍ය සේවය පවත්වාගෙන යෑමට අවශ්‍ය රාජ්‍ය දේහය පුරා පැතිරුණු 62,000ක් හඳුනාගෙන තියෙනවා. අපි උපදෙස් දුන්නා මේ 62,000 හැකි ඉක්මනින් රාජ්‍ය සේවයට බඳවා ගන්න කියලා. හැබැයි රැකියා ප්‍රශ්නය එතැනින් විසඳෙනවා ද ? එතැනින් විසඳෙන්නේ නෑ. හැබැයි මේ ආණ්ඩුව, ආණ්ඩු ක්‍රියාවලිය හරහා රැකියා උත්පාදනය වන එළියේ ආර්ථිකයක් හදන්න ඕනේ. අපි ඒකට සැලසුම් හදලා තියෙනවා. සංචාරක කර්මාන්තයට අපි අපේක්ෂා කරනවා මිලියන 2.5ක සංචාරකයින් පැමිණේවි කියලා. අපේ අපේක්ෂාව 2030 වෙද්දි මිලියන 4ක සංචාරක කර්මාන්තයක්. ඒ කියන්නේ ලක්ෂ 40ක් එයි කියලා සැලසුම් කරා. අපේ ආර්ථිකය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 4කට ආසන්නයි. අපේ අපේක්ෂාව 2030 වෙද්දි සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 8ක් උපයන කර්මාන්තයක් බවට පත්කරන්න. සංචාරක කර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් එළියේ ගොඩනැගෙනවා. ඒ තුළින් රැකියා උත්පාදනය වෙනවා. ඒක තමා රජයේ සැලසුම.”