අස්වැසුම අගෝස්තු මස දීමනාව හෙට ගිණුම්වලට…..

2025 අගෝස්තු මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (15) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

රු.11,275,973,750.00 (එකොලොස් බිලියන දෙසිය හැත්තෑපස් මිලියන නවලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය පනහයි) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,421,745ගේ ගිණුම්වලට බැරකිරීමට නියමිතය.

ඒ අනුව අදාල ප්‍රතිලාභීන්ට හෙට සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකිය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ රක්ෂිත බන්ධනාගාර ගත කරයි…..

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.

සැකකරු ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකු නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03 ක් විවෘතකර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන් ගෙන්, පොලීසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පාතාලයට සහාය දුන් දේශපාලනඥයින් හඳුනාගෙන ඇති බව පොලිස්පති කියයි….

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.

37 වැනි පොලිස්පතිවරයා ලෙස ධුරයේ වැඩ ආරම්භ කරමින් ඔහු අද (14) මේ බව පැවසීය.

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයේ අලුත්වැඩියාවක්….

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදු කෙරේ.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල (Roof Terrace) මත තිබෙන පස් තට්ටුව ඉවත්කොට අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.

එමෙන්ම වැහි පිහිලි (Roof Gutters), තඹ දොර (Copper Door), පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය (Parliament Medical Center), වැසිකිළි පද්ධතිය (Washrooms) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගරයේ (Members Dressing Room) අලුත්වැඩියා කටයුතු මෙලෙස  සිදුකිරීමට නියමිතය.

මෙයට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ සුළු නඩත්තු කටයුතු සම්බන්ධිකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින්  සිදු කළද මෙම මහා පරිමාණ අලුත්වැඩියා කටයුතු  ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්  සිදු කරනු ලබයි.

පොලිස් ලොක්කෙක් අල්ලස් දැලේ…..

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ඒ මහතාව මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මීගොඩ නිවසක් ඉදිරිපිට අහසට වෙඩි….

මීගොඩ, මුතුහේනවත්ත නඳුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ (13) රාත්‍රී 10ට පමණ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා පලා ගොස් තිබේ.

මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ යෙදූ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් එක් වෙඩිල්ලක් පමණක් තබා ඇති අතර,උණ්ඩය සහ උණ්ඩ කොපුව නිවස ඉදිරිපිට වැටී තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.

වෙඩි තැබීමෙන් පසු මුතුහේනවත්ත මාර්ගය දෙසටම යතුරු පැදිය පලා ගොස් ඇති අතර මීගොඩ පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

හංවැල්ලේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු ඒලියට එයි…..

හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ (13) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාඳුනන් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබු පුද්ගලයා 55 හැවිරිදි තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අසල්වාසීන් මෙලෙස අදහස් පළ කළේය.

“බුදු අම්මෝ කියලා කෑ ගහනවා ඇහුවා. සද්දෙට දොර ඇරගෙන ගියා මම. අපි මුකුත් දැක්කේ නෑ. මල්ලි පුතාව බදාගෙන ඉන්නවා. ඊට පස්සේ ත්‍රීවිල් එක්ක නග්ගලා ඉස්පිරිතාලේට යැව්වා…

මම නිදාගෙන හිටියේ. ජනේලෙ ගාවින් අපේ ගෙදරට තියෙනවා වගේ ඇහුණේ. වෙඩි හඬවල් තුනක් ඇහුණා. මම පුතාව අරන් ඇදෙන් බිමට ආවා. මම පුතාව බිම නිදිකරවලා එයාව කවර් කරගත්තා. අපි නිදාගෙන නේ හිටියේ. කෑ ගහන සද්දේ ඇහුණා. මම එකපාරට නැගිට්ටේ නෑ. පුතාව කවර් කරගෙන ඇවිත් තාත්තාගේ කාමරේට දැම්මා. කෑ ගහන සද්දේ විතරයි අපිට ඇහුණේ.”

බේරුවලින් මුහුදු ගිය ධීවරයෙක් බෝට්ටුව තුළදීම මියයයි…..

බේරුවලින් මුහුදු රැකියාවට ගිය බහුදින යාත්‍රාවක රැකියාව කරමින් සිටි ධීවරයෙකු ඈත දියඹේ දී ඇතිව තිබෙන අසනීප තත්වයකින් හේතුවෙන් මියගොස් ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බේරුවල, සුමංගල මාවත පදිංචි (31) හැවිරිදි ඩබ්ලිව් සුමිත් ප්‍රභාත් කුමාර නැමති ධීවරයෙකි.

(7/22) මීට දින (21) කට ඉහතදී බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පස්දෙනකුන් යුත් කණ්ඩායමක් “මංජු මල්ලි “නැමති බහුදින ධීවර යාත්‍රාවෙන් දියබට ගොස් ඇති අතර මීට දින (03) කට පෙර එක් ධීවරයකු මිය ගොස් ඇත මියගිය ධීවරයා රාත්‍රී කෑම ගැනීමෙන් අනතුරුව නිදාගෙන ඇත. පසුදා අළුයම ස්කීපර් වරයා ධීවරයින් අවදි කිරීමට යාමේදී ධීවරයා නාහය සහා කට ප්‍රදේශයෙන් රුධිරය හා සෙම වහනය වී තිබී ඇති බවත් සිරුරු සීතල වී තිබී ඇති බව දැක සෙසු ධීවරයන්ටද මෙය පවසා ඇත.
අනතුරුව ධීවරයින් විසින් බේරුවල ධීවර වරායත් මියගිය පුද්ගලයාගේ නිවසටත් දැනුම් දීම් සිදු කර ඇත.ධීවරයින් විසින් දින (03) ක් සිරුර අයිස් පෙට්ටි තුල බහා බහුදින යාත්‍රාව ගොඩබිම වෙත ගමන් ආරම්භ කර ඊයේ(11) රාත්‍රී 8.30ට පමණ බේරුවල යාන්ත්‍රික ධීවර තොටුපොල වෙත පැමිණ තිබුණි. ධීවරයා මියගොස් ඇත්තේ මුහුදු සැතපුම් 150 ක දුරකින් බව පොලිසිය පවසයි.

මියගිය ධීවරයා විවාහයෙන් 7-11 වයස් වල දරුවන් දෙදෙනෙකු සිටීයි.

කළුතර අපරාධ පරීක්ෂණාගාර නිලධාරී පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර කළුතර මහේස්ත්‍රාත්තුමිය විසින් ස්ථානය පරීක්ෂණය සිදු කරන ලද අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාගොඩ රෝහල වෙත රැගෙන යන ලද.

රාජ්‍ය සේවයටත් AI එයි – දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු මාලාවක්‍….

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් සියලුම අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් සඳහා පැවැත්වෙන කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළු මාලාව අගෝස්තු 15,16 සහ 23 යන දිනයන්හි අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

‘AI for Transforming Public Service’ යන මැයෙන් පැවැත්වෙන මෙම වැඩමුළු මාලාව, රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් අරමුණු කර ගනිමින් පැවත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මෙහි පළමු වැඩසටහන පසුගිය දා ජනාධිපති කාර්යාලයීය මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් පැවැත්වුණු අතර දෙවන වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ තෙවන වැඩසටහන මුදල් අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් පැවැත්විණි.

සෙසු සියලු අමාත්‍යාංශවල මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් ඉදිරි වැඩමුළු මාලාව සංවිධානය කර තිබෙන අතර ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසේන, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරු එහි සම්පත් දායකයන් ලෙස එක්වෙති.

බන්ධනාගාර රෝහලේ හිටපු නි. අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රිමාන්ඩ්

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේව නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.