උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ආරම්භ කෙරේ….

උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම අතර සහයෝගීතා වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක ය.

යාපනය, මුලතිව් සහ මන්නාරම, උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට රජය සැලසුම් කර තිබේ. මේ යටතේ 2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීම අපේක්ෂා කෙරෙන අතර, 2025 සිට 2027 වර්ෂය දක්වා වන වසර 03 ඇතුළත එය අක්කර 40,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

නිෂ්පාදන ඒකකයේ කටයුතු ආරම්භ කරමින් බීජ පොල් පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමරන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් යන මහත්වරුද, පොල් පර්යේෂණ ආයතනයේ සහ හලාවත වැවිලි සමාගමේ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

‍මේ අතර පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ඇති ප්‍රදේශයේ පොල් සංවර්ධන අධිකාරිය මගින් පවත්වන පොල් ආශ්‍රිත ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපතිවරයා එක් විය.

විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල මංතීරුවක් අවහිරයි…

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක් මංතීරුවක් අවහිර වී ඇතැයි වාර්ථා වෙයිඑලෙස අවහිර වී ඇත්තේ, ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට වූ මංතීරුවයි.

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක…..

රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් අද (02) දිනයේ රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යංශය මීට පෙර එකඟතාව පළකර තිබුණ ද එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

එමනිසා අද උදෑසන 08 සිට හෙට උදෑසන 08 දක්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රත්නපුර ශික්ෂණ රෝහලේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

රෝහල තුළ හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙසම පවත්වාගෙන යනු ලබන අතර දෛනික ප්‍රතිකාර සේවාවවන් සියල්ල අඩාල වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

 

ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් දැනුම්දීමක්…

අධිකරණවල ගොඩගැසී පවතින නඩු භාණ්ඩ මේ වසරේ දෙසැම්බර් 31වන දිනට පෙර නිෂ්කාශනය කළයුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

සියලුම දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන් වෙත මෙම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ.

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම පසුගිය දිනවල සිදුවූ අතර ඒවා කඩිනමින් නිෂ්කාශනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන්ට දැනුම් දී තිබේ.

අධිකරණවල පරිපාලනමය වගකීම පැවරී ඇති දිසා විනිසුරුවරු මහෙස්ත්‍රාත්වරු, මහාධිකරණ විනිශ්චයකාරවරුන් සහ අධිකරණවල සේවය කරනු ලබන අතිරේක දිසා විනිසුරුවරුන්  මෙන්ම අතිරේක දිසා විනිසුරුවරුන් තමාගේ අධිකරණයේ පවතින නඩු භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ සෘජු වගකීමට යටත් වන බව එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.

එම නිෂ්කාශනය කටයුතු පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානීය නිෂ්කාශනයක් මගින් සොයාබැලීමට නියමිත අතර මාසිකව ප්‍රගති වාර්තාවක් යොමුකරන ලෙස ද සියලු විනිසුරුවරුන් වෙත අවධාරණය කර ඇති බව සඳහන් වේ.

නඩු භාණ්ඩ පිළිබඳව නිවැරදි වාර්තා සැකසීම සහ නඩු භාණ්ඩ නිෂ්කාශනය කිරීම සියලු අධිකරණවල සමස්ත කාර්ය මණ්ඩලයේ පුද්ගලික සහ සාමූහික වගකීමක් වන අතර පවරණ රාජකාරී ඉටු නොකරන කාර්ය මණ්ඩලයේ සේවකයින් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇත.

2025 වසරේ පළමු මාස 07 දී අල්ලස් ගත් 49ක් අත්අඩංගුවට….

මේ වසරේ පළමු මාස 07 තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ කාලසීමාව තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා වෙත පැමිණිලි 3,937ක් ලැබී ඇති අතර එම පැමිණිලිවලින් වැටලීම් 72ක් සිදුකර ඉන් 39ක් සාර්ථක කර ගැනීමට හැකිවී ඇති බවය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් වන අතර පොලිස් නිළධාරීන් 17 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අධිකරණ අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ලංකා ගමනා ගමන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යන රාජ්‍ය ආයතනවලින් ද සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

ඊට අමතරව මේ වසරේ පළමු මාස 7 තුළ සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් 39දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ආයතන ප්‍රධානීන්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව සඳහන් කළේය.

ඊට අමතරව ගතවූ කාලය තුළ පුද්ගලයින් 27 දෙනෙකු අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණ මගින් වරදකරුවන් කර ඇති බව ද සඳහන් වේ.

ඉන්දික මංජුල සිල්වා මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ අභිනව මහ දිසාපතිවරයා වශයෙන් වැඩ භාර ගනියි….

ශ්රී ලංකා පරිපාලන සේවයේ වසර 22 ක අත්දැකීම් සපිරි ජ්යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන වයි.ඉන්දික මංජුල සිල්වා මහතා පුත්තලම දිස්ත්රික්කයේ අභිනව මහ දිසාපතිවරයා වශයෙන් 2025/09/01 වන දින සුබ මොහොතින් වැඩ භාර ගනු ලැබීය.
කැලණිය විශ්ව විද්යාලයේ මානව සම්පත් කලමනාකරණය පිළිබඳ උපාධිධාරියකු වන වයි.ඉන්දික මංජුල සිල්වා මහතා 2003/09/01 වර්ෂයේදී පරිපාලන සේවයට පිවිස ඇති අතර මෙම තනතුරට පත්වීමට පෙර,
• පරිපාලන සේවා පුහුණුව – SLIDA -2003/09/01
• සහකාර ප්රාදේශීය ලේකම් – නොච්චියාගම – 2004/09/01
• ප්රාදේශීය ලේකම් – නොච්චියාගම – 2007/04/03
• ප්රාදේශීය ලේකම් – කැබතිගොල්ලෑව
• ප්රාදේශීය ලේකම් – මීරිගම – 2012/11/12
• කලමනාකරණ අධ්යක්ෂ – මුදල් ආමාත්යංශය 2021/07/20
• නියෝජ්ය රේගු අධ්යක්ෂ – ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2021/07/21 -2024/07/21
• රේගු අධ්යක්ෂ – BIA -2024
• අධ්යක්ෂ – රජයේ කර්මාන්ත ශාලාව – 2024/07/22 – 2024/12/04
• අතිරේක ලේකම් – කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන ආමාත්යංශය (කර්මාන්ත සංවර්ධන) 2024/09/06 – 2025/08/31
වැනි ආයතනවල සේවය කළ පරිපාලන සේවයේ වසර 22 අත්දැකීම් ඇති ශ්රී ලංකා පරිපාලන විශේෂ ශ්රේණියේ නිළධාරියෙකි. පුත්තලම දිස්ත්රික් ලේකම් වයි.ඉන්දික මංජුල සිල්වා මහතා පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී සිය තනතුරේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවයට පුත්තලම අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) පුබුදිකා.එස්.බන්ඩාර මහත්මිය, අතිරේක දිස්ත්රික් ලේකම් (ඉඩම්) චතුරක ජයසිංහ මහතා, සහකාර දිස්ත්රික් ලේකම් නිමේෂා.එස්.ජයපද්ම මහත්මිය ඇතුළු දිස්ත්රික් ලේකම් කාර්යාලයීය මාණ්ඩලික නිලධාරීන්, කාර්යාලයීය නිලධාරීන් ඇතුලු රාජ්ය නිලධාරීන් රැසක් සහභාගී විය.
කුරුණෑගල – බිමල් රුහුණගේ

 

ලබන වසරේ දී රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු Online ක්‍රමයට – ජනපති…

ලබන වසර වන විට ජනතාව රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු කටයුතු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ  සිදු කර ගැනීමට හැකි පහසුකම ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වූ ඩිජිටල්කරණය මගින් මෙතෙක් කොළඹට සීමා වූ සියලු පරිපාලන කටයුතු ඈත පිටිසර ගම්මාන දක්වා විමධ්‍යගත කරමින් රජයෙන් ඉටු කර ගත යුතු කාර්ය ඉතා සමීපව ඉටු කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දෙන බවද ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (01) එක් වෙමිනි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය.

මෙතෙක් යාපනය, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ජනතාවට ආගමන හා විගමන සේවා පහසුකම් ලබා ගැනීමට ඉතා දිගු දුරක් ගෙවමින් උතුරු පළාතේ පිහිටි එකම ප්‍රාදේශීය කාර්යාලය වූ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත යාමට සිදු ව තිබිණි. උතුරු පළාතෙන් ඉදිරිපත් වන විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත්‍ සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින්, ඒ සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරිණි.

යාපනය ජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තු සේවා සැපයීම ආරම්භ කිරීම සංකේතවත් කරමින් ගමන් බලපත්‍ර 03ක් නිකුත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අනතුරුව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින් සමඟ හමුවකට එක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ජනතා අපේක්ෂා ඉටු කිරීමට නම් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් එක් ව වැඩ කළ යුතු බවයි.

තමන් වෙත පැවරී ඇති බලය ජනතා සුබසෙත උදෙසා යොදවන රාජ්‍ය නිලධාරින් උපරිමයෙන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන අතරම, එම බලය මුදල් වෙනුවෙන් යොදවන රාජ්‍ය නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අවධාරණය කළ ජනාධිපතිවරයා, අද වන විට මෙරට සමස්ත රාජ්‍ය සේවකයන්ට රට වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීමට අවස්ථාව ලැබී ඇති බව සඳහන් කළේය.

රට ගොඩනැඟීමට නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බවත්, ලොව දියුණු වූ සෑම රටකම දියුණුව පිටුපස ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ අතර, යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් (e-library)  ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද (01)  පෙරවරුවේ ආරම්භ කෙරිණි.

ඒ අනුව යාපනය මහජන පුස්තකාලය සඳහා  jaffna.dlp.gov.lk වෙබ් අඩවිය හඳුන්වා දීම මෙහිදී සිදු කෙරුණු අතර මේ ව්‍යාපෘතිය මගින් යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

යාපනයේ ජනතාවගේ අභිමානයේ සංකේතයක් වු යාපනය මහජන පුස්තකාලය ආසියාවේ විශාලතම පොත් එකතුවකින් යුත් පුස්තකාලයක් වන අතර පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම දෙස් විදෙස් පර්යේෂකයන් ඇතුළු විශාල පිරිසක් දෛනිකව එය පරිශීලනය කරති.

යාපනය මහජන පුස්තකාලය සඳහා ඒකාබද්ධ පුස්තකාල කළමනාකරණ පද්ධතියක් සහ ස්මාර්ට් කාඩ් ප්‍රවේශ පහසුකමක් හඳුන්වා දීම සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා සහායක තාක්ෂණය ඇතුළත් විශේෂ ඒකකයක් හඳුන්වාදීම ද මෙහිදී සිදු විය.

මෙම ව්‍යාපෘතිය සඳහා 2025අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100කි.

ඊ-පුස්තකාල වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළ ජනාධිපතිවරයා එහි කියවීමේ ශාලාව සහ පොත් බැහැර දෙන අංශයේ නිරික්ෂණ චාරිකාවකද නිරත වෙමින් කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහක නිරත විය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, යාපනය නාගරික මහ කොමසාරිස්, යාපනය පුස්තකාලාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉකුත් රජය සමයේ පොස්පේට් අඩු මිලට විකිණීමට එරෙහිව ගොනුකළ පෙත්සමක් විභාගයට අවසර…..

ඉකුත් රජය සමයේ එප්පාවල පොස්පේට් නිධියෙන් ලබා ගන්නා පොස්පේට් තොග සම්මත මිල ගණන්වලට වඩා අඩු මිල ගණන්වලට තමන්ට හිතවත් සමාගම් කිහිපයකට අපනයනය කිරීම සඳහා නිකුත් කිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) අවසර ලබා දුන්නේය.

පරිසරය යුක්ති කේන්ද්‍රය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු තිස් දෙදෙනෙකු නම් කර තිබුණි.

මෙම පෙත්සම අද ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2000 වසරේ දී තිබෙන නියෝගයකට පටහැනි ලෙස ලංකා පොස්පේට් සමාගම විසින් පොස්පේට් තොග ලබාගැනීම සිදුකරන බව සඳහන් කළේය.

එමෙන්ම ලෝක වෙළෙඳපොළ් පොස්පේට් මෙට්‍රික් ටොන් එකක් සඳහා නියමිත මිලට වඩා ඉතාම අඩු මිලකට පොස්පේට් තොග තමන්ට හිතවත් සමාගම් කිපයකට අපනයනය කිරීම සඳහා ලබාදීමට වගඋත්තරකරුවන් කටයුතු කළ බවත් ඔහු චෝදනා කළේය.

මේ තුළින් රජයටත්, මහජනතාවටත් විශාල ආර්ථිකමය පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු චෝදනා කළේය.

මෙම ක්‍රියාවලියේදී විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ චාමර සම්පත් දසනායක හිටපු අමාත්‍යවරයා පොස්පේට් නිකුත් කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කරන ලෙස භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් සිදුකර තිබෙන බවට තොරතුරු හෙළිවී ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ‍ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම මාර්තු මසට 09 වනදා විභාගයට ගැනීමටද දින නියම කළේය.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා ගම්මන්පිලගෙන් පෙත්සමක්….

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි….

අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

පොලීසිය පවසන්නේ,  විදේශ රටක රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් පස්දෙනෙකු විසින් රක්වාන පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිලිවලට අනුව මෙම නිවේදනය නිකුත් කර ඇති බවය.

මෙම සැකකාරිය මේ වන විට පදිංචි ලිපිනය හැර ගොස් සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සැකකාරියයගේ දළුගොඩ ආරච්චිලාගේ හර්ෂණි ප්‍රියන්තිකා වන අතර ඇය 40 හැවිරිදි කන්දගම, පොතුපිටිය පාර, රක්වාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකතන අංක –

ස්ථානාධිපති රක්වාන – 071 – 8591394
ස්ථානාධිපති අපරාධ අංශය – 071 – 8593808