එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට…..

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වූ අතර ඒ හේතුවෙන් මේ දිනවල එළවළු මිලද සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතියි.

උඩරට එළවළුවලට සාපේක්ෂව පහතරට එළවළු මිල සැලකිය යුතු ලෙස දෛනිකව ඉහළ යන බවක් දැකගත හැකි බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල දර්ශනයට අනුව ඊයේ වනවිට පිටකොටුව, දඹුල්ල මෙන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක් රුපියල් 600ත් 800ත් අතර සිල්ලර මිලකටත් තක්කාලි කිලෝවක් රුපියල් 500ත් 600ත් අතර සිල්ලර මිලකටත් පතෝල කිලෝවක් රුපියල් 600ත් 700ත් අතර සිල්ලර මිලකටත් අමු මිරිස් කිලෝවක් රුපියල් 1100ත් 1200ත් අතර සිල්ලර මිලකටත් අලෙවි වී තිබුණි.

එමෙන්ම වම්බටු කිලෝවක් රුපියල් 550ත් 800ත් අතර සිල්ලර මිලකට අලෙවි වී ඇති අතර කැරට් සහ ගෝවා කිලෝවක් රුපියල් 300ත් 500ත් අතර සිල්ලර මිල ගණන්වල පවතින බව වාර්තා වේ.

ගල් පෙරළීමක් හේතුවෙන් හල්දුම්මුල්ලේ පවුල් හයක් ඉවත් කෙරේ…..

ගල් පෙරළීයෑම හේතුවෙන් හල්දුම්මුල්ල පොලිස් වසමට අයත් මාලදොල පින්නලන්ද කොටසේ පවුල් හයකට අයත් සාමාජිකයින් එකොළොස් දෙනෙකු අද (20) උදෑසන එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

හල්දුම්මුල්ල මාලාදොළ පින්නලන්ද ගම්මානයට ඉහළින් පිහිටි කඳු යායේ තිබූ විශාල ගලක් පහළට පෙරළීයාම නිසා මෙම පිරිස ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගත් බව පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කළේ එම පිරිස මේ වනවිට ඥාතීන්ගේ නිවාසවල රැදී සිටින බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැමිණ නිරීක්ෂණය කරන තුරු සිය නිවාස වෙත නොඑන ලෙස උපදෙස් ලබා දුන් බවත් ය.

උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්….

ඉදිරියේ උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ මේ සඳහා අමතර පොලිස් නිලධාරීන් රාශියක්ද රාජකාරි සඳහා යොදවන බවය.

ඒ අනුව ඉදිරි උත්සව සමයේදී ආගමික ස්ථාන සහ විවිධ ආගමික කටයුතුවල නිරතවන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය කටයුතු කරන බවත් මේ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි නිලධාරීන් ද යෙදවීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම මෙම සියලු ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කර ගන්නා බවත් ඒ අනුව උත්සව සමය ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා,

“සියලුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරු සහ ස්ථානාධිපතිවරු ඒ ඒ පොලිස් බලප්‍රදේශයන් හී පිහිටා තිබෙන සියලුම ආගමික ස්ථාන නායකයින් හමුවී ඉදිරි කාලයේදී පවත්වන්නා වූ සියලුම ආගමික වැඩසටහන් ආරක්ෂාව සැලසීම සඳහා ක්‍රියාකරනු ඇති. 

මේ උත්සව සමයේදී ආගමික ස්ථානවලට යන සහ විවිධ ආගමික කටයුතුවල නිරතවන මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබත් මේ සඳහා අවධානයෙන් සිට යම් සැකකටයුතු පුද්ගලයෙකු සහ සැකකටයුතු කණ්ඩායමක් හෝ සැකකටයුතු යම් දේපළක් පිළබඳව යම් චකිතයක්, සැකයක් ඇති වේ නම් ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට මේ සම්බන්ධව දැනුම් දෙන්න පුළුවන්.

මේ සියලු ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කරගනිමින් මේ උත්සව සමය ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ඔබ ආසන්නයේ රැඳී සිටිනවා සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරියන් රාශියක්, ඒ වගේම බුද්ධි නිලධාරීන් රාශියක් මේ උත්සව සමයේ ඔබේ ආරක්ෂාව සඳහා යොදවා සිටින අතර ශ්‍රී ලංකා පොලීසිය අමතර නිලධාරීන් බස්නාහිර පළාතේ 2,500කට වඩා අමතර පිරිසක් මේ වැඩපිළිවෙළට දායකත්වය ලබා දෙනවා.”

‘රටම එකට‘ මෙහෙයුමෙන් පුද්ගලයින් 846ක් අත්අඩංගුවට…

විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ මෙහෙයුම යටතේ ගතවු දිනයේ පුද්ගලයින් 846දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

හෙරොයින්, අයිස්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 10දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා රැදවුම් නියෝග ලබා ගෙන ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු 16දෙනෙකු පුනුරුත්ථාපනයට යොමු කර ඇති බව ද පොලිසිය පැවසුවේය.

Rebuilding Sri Lanka අරමුදලට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් රු. ලක්ෂ 06ක පරිත්‍යාගයක්…..

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන සියලුම නිලධාරීන්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමෙන් රුපියල් ලක්ෂ 06ක මුදලක් “Rebuilding Sri Lanka” අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ.

එමෙන්ම එම බන්ධනාගාර රැඳවියන් ද සිය දින දෙකක දිවා ආහාර වේල සඳහා වෙන්වූ වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇත.

එම ද්‍රව්‍යමය සහ මුදල් ආධාර පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා වෙත නිල වශයෙන් භාර දීම අද (20) එම බන්ධනාගාර පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සඳරුවන් පී. බදුගේ, අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරී සමන්ත මහානාම, අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය, හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධානී යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

රුපියල් 25,000ක මූලික දීමනාව 69.56%කට ලබා දී අවසන්….

දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මෙන්ම නිවාස යථාවත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56%ක ප්‍රමාණයකට බෙදා හැර අවසන් බව ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ  සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ඒ අනුව මේ වන විට ගෙවීමට ඇති සුදුසු නිවාස සංඛයාව අතුරින් ආපදාවට පත්වූ නිවාස 642,375 න් 469,457ක් ලෙස ගණනය වී ඇති බවත් මේ වන විට එම නිවාස අතුරින් නිවාස 299,513කට මේ වන විටත් ගෙවා අවසන් කළ බවය.

එමෙන්ම අද උදෑසන වන විට තවත් නිවාස 169,944කට ගෙවීමට තිබූ බවත් මේ සඳහා රජය විසින් රුපියල් බිලියන 7,487ක වැය බරක් දරා ඇති බවය.

එමෙන්ම මේ වන විට කඩිනම් සහන සඳහා රජය විසින් රුපියල් මිලිය 4,197ක් වියදම් කර ඇති බවත් මේ වන දේශීය සහ විදේශීය වශයෙන් විශාල ආධාර ප්‍රමාණයක් ලැබෙමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම ආධාර අතරට දේශීය මෙන්ම විදේශීය ආධාරද ඇතුළත් බවත් දේශීය ආධාර සෘජුවම ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සම්බන්ධීකරණය ඇතුව බෙදා හරින බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ විදේශීය ආධාර නිෂ්කාශනයෙන් පසු ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ඔරුගොඩවත්ත ගබඩාවේ සිට අවශ්‍යතාවට අනුව දිස්ත්‍රික් ලේකම්වරු හරහා අදාළ දිස්ත්‍රික්කය තුළ සිටින ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත බෙදා දීමට පියවර ගෙන ඇති බවත්ය.

මෙම විදේශීය ආධාර අතරට විවිධ රටවල්වලින් ආහාර, උපකරණ, ඖෂධ, ඇතුළු භාණ්ඩ රැසක් ලැබී ඇති බවත් එම ආධාර නිසි යාන්ත්‍රණයක් බෙදා හැරීම් සිදුවන බවද ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ  සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා,

“මෙම විදේශීය ආධාර අතරට ආහාර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, ඊශ්‍රායලය, මාලදිවයින, පාකිස්ථානය, ඕමානය, රුසියාව, තුර්කිය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අපිට ටොන් 2,125ක් ලබා දීලා තියෙනවා විදේශීය ආධාර වශයෙන්. මෙම ආධාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල 20ක් තුළ මේ වන විට ටොන් 1,247ක් බෙදා හැර අවසන්. ඉතිරි ප්‍රමාණය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉල්ලීම් ලැබෙන අනුපිළිවෙළ මත බෙදා හැරීම් කරනවා. 

මීට අමතරව ප්‍රධාන උපකරණ චීනය, ස්විස්ටර්ලන්තය, ජපානය, ඊශ්‍රායලය, පකිස්ථානය, රුසියාව, ලෝක ආහාර වැඩසටහන මගින් අපිට ලැබිලා තියෙනවා අයිතම 270ක් මේවාවලින් 130ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා බෙදා දී අවසන්. ඒ වගේම සිවිල් ඉංජිනේරු භාණ්ඩ විශේෂයෙන්ම පාලම් ඉන්දියාවෙන් ලැබුණා ටොන් 55ක් මෙම ටොන් 55ම පාලම් අපි මාර්ග සංවර්ධන අධිකාරිය වෙත මේ වන විට මුදා හැරලා තියෙනවා. 

ඒ වගේම ඖෂධ ද්‍රව්‍ය ඉන්දියාව, මියෙන්මාරය, බංග්ලාදේශය, ඊශ්‍රායලය සහ පකිස්ථානය කියන රටවල්වලින් ටොන් 26.5ක් ලැබිලා තියෙනවා මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට විදිමත්ව භාර දී අවසන්. 

විවිධ කූඩාරම් වර්ග චීනය, පකිස්ථානය, රුසියාව සහ ලෝක ආහාර වැඩසටහනෙන් ලැබිලා තියෙනවා. අයිතම වශයෙන් 13,048ක්. ඒකෙන් මේ වන විට 3,150ක් බෙදා හැරලා අවසන්. 

ආපදාවට පෙර චීන ආධාර යටතේ ලැබුණ මේ වගේ භාණ්ඩ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත බෙදා හැරලා පෙර සූදානම් වෙලා තිබුණේ. විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල 17ක් තුළ මේ භාණ්ඩ බෙදා හැරලා තියෙනවා. 

ඒ වගේම නිවාසවල භාවිත කරන උපකරණ චීනය, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලෝක ආහාර වැඩසටහන මගින් අයිතම 5206ක් අතුරින් 3274ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 18කට බෙදා හැරලා තියෙනවා. ඒ වගේම රෙදිපිළි ප්‍රංශයෙන් ඉන්දියාවෙන්, මාලදිවයින, කැනඩාව, ඕස්ට්‍රේලියාව, කටාර් යන රටවල්වලින් ටොන් 21ක පමණ ප්‍රමාණයක්. මෙයින් ටොන් 8ක් පමණ බෙදා හැරලා අවසන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 12කට. 

වෙනත් විවිධ ද්‍රව්‍ය ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, පාකිස්ථානය වෙතින් ටොන් 4ක් පමණ ලැබිලා තියෙනවා මෙයින් ටොන් .4ක් බෙදා හැරලා අවසන්.”

මතභේදයක් ඇති කළ ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ගැන තවත් හෙළිදරව්වක්……

මතභේදයට තුඩු දී ඇති ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ලබාදුන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගීන් කිහිපදෙනෙකුට ද සංකූලතා මතුවී ඇතැයි තොරතුරු ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (19) අනාවරණ කළේය.

එම සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් පැවසුවේ අදාළ එන්නත මෙරටට ගෙන්වීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට පැවරෙන වගකීමෙන් කිසිලෙසකින්වත් ඔවුන්ට නිදහස් විය නොහැකි බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවියටම අනුව මෙම වසරේ දී පමණක් මෙවැනි කොලිටි ෆේලියර්ස් පර්යේෂණාත්මකව තහවුරු වුණු අවස්ථා අනූවකට ආසන්න ප්‍රමානයක් ඇති බවය.

ඔන්ඩැන්සෙට්‍රෝන් නැමති ඖෂධය තුළ බැක්ටීරියාවක් අන්තර්ගත වීම ඉන් ආසන්නතම සිදුවීම වන බවද වෛද්‍යවරයා පැවසීය.

එමෙන්ම අදාළ සමාගමේ තවත් ඖෂධ නමයක් මේ වෙනකොට අත්හිටුවා ඇති බවත් එය බරපතළ කාරණයක් වන බවත් ඔහු මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා

”හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ අදාළ සමාගමෙන් දිගින් දිගටම මෙහෙම ආනයනය කරන ඖෂධ සම්බන්ධයෙන් පැමිණිලි එනකොට මේ ගැන ගත්තු තීන්දු තීරණ මොනවද? තැන් තැන්වල දේශපාලඥයින්ගේ, සහෝදර සහෝදරියන්ගේ නම් ගෑවෙනවා. ඖෂධ මාෆියාව ගැන කතා කරනකොට මේක මේ අර වගේ හැමතැනම තමන්ගේ අඩු විහිදගෙන ඉන්න ක්ෂේත්‍රයක්. ඒක නෑ කියන්න බෑ. සමහරු මේක ඇතුළට එන්නේ අර මීයක් කඩන්නේ අත ලෙවකන්න බලාගෙන නෙමෙයි. දැන් මේ මොහොතේදීත් අපි දකින්නේ අර ඉතිහාසය පුරාම අවුරුදු හැත්තෑ හයක් පුරා සිද්ධ වෙච්ච දේ. මේ හැත්තෑ හත්වෙනි අවුරුද්දෙත් ආයි ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට එතනදි කවුරුහරි කියනවා නම් මේක අහවල් නිලධාරියා තමයි මේකට වගකියන්න ඕනේ. එහෙම මේවයින් මිදිලා යන්න බැහැ.”

කඩිනම් මූල්‍ය පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට IMF වෙතින් යහපත් ප්‍රතිචාර…..

කඩිනම් මූල්‍ය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිය එකඟතාවය පළ කර තිබේ.

ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස් වූ අතර එහිදී මෙසේ අදාළ මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී ඇත.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය.

ඒ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය අවසන් කර ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණ ද, මෙම කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා IMF මෙහෙයුම් කණ්ඩායමක් 2026 මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි…..

පවතින වැසි තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් මේ වනවිට වාන් දමමින් තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගනය, නාච්චිදූව සහ අංගමුව යන ජලාශවල වාන්දොරටු විවෘතව ඇති බව වාර්තා වේ.

පොළොන්නරුව මොරගහකන්ද ජලාශයේ වාන්දොරටු පහෙන් එකක් ඊයේ රාත්‍රීයේ විවෘත කෙරිණි.

ඉන් තත්පරයට ඝන අඩි 1500ක ජල ධාරිතාවක් අඹන්ගඟට මුදාහැරෙන බව සඳහන්.

මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගල්ල, වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ යන ජලාශ ද වාන් දමමින් පවතියි.

අම්පාර, කොණ්ඩුවටුවාන වැව වාන් දැමීම නිසා අම්පාර – ඉඟිණියාගල මාර්ගය ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ…..

මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව මෙම නිවේදනය හෙට (20) පස්වරු 5.30 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.

මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඊයේ (18) නිවේදනය කර තිබුණි.

ඒ අනුව කින්නියා, මුතුර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශවල සිටින පිරිසට විශේෂයෙන්ම අවදානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම මඩකලපුව – පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රාජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශය ද ගංවතුරින් යටවීමේ අවදානමක්ද පවතින බව සඳහන් වේ.

එබැවින්, ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවතී රාජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ද, එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව වාසය කරන මහජනතාවගෙන් ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු වන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.