ධුරයෙන් ඉවත්ව යන මෙරට නෙදර්ලන්ත තානාපතිනිය සහ අගමැතිනිය අතර හමුවක්

නෙදර්ලන්ත රජයේ මෙරට තානාපති ලෙස කටයුතු කළ Bonnie Harbach මහත්මිය සිය සේවා කාලය අවසන් කර මෙරටින් පිටව යාමට ප්‍රථම ජුලි 28දින අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.

ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය මෙහිදී යොමු වු අතර ලංකාවේ මෙතෙක් පැවති සාමකාමී මැතිවරණ ත්‍රිත්වය සම්බන්ධයෙන් සතුටට පත් වන බවත්, වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල අගය කරන බවත් තානාපතිනිය මෙහිදි පැවසුවාය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳවත්, අභියෝග ජය ගැනීම සඳහා නෙදර්ලන්ත රජය සහයෝගය ලබා දෙන බවත් තානාපතිනිය මෙහිදී අවධාරණය කළාය.

නෙදර්ලන්ත තානාපතිනිය ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් සහය පිලිබඳව සතුටු වන බවත්, ඉදිරියටත් නෙදර්ලන්තයේ සහය ශ්‍රි ලංකාවට ලබා දීම වෙනුවෙන් කටයුතු කරන ලෙසත්, ඉදිරි කටයුතු වෙනුවෙන් සුභපැතුම් එක් කරන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා සිටියා ය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක නාමල් පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂිකා තිවංකා අතුරලිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

හැටන් සිට වික්ටර්න් වත්තට යන පාර පාලමක් ගිලා බැහැලා අවුරුද්දයි අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් තවමත් විසඳුම් නෑ මහජනතාවගෙන් මැසිවිලි .

හැටන් නගරයේ සිට වික්ට‍ර්න් වත්ත දක්වා ගමන් කරන මාර්ගය පාලමක් ගිලා බැහැලා මාස දහයක් ගතවූ නමුත් එය පිළිසකර කර දීමට අඹගමුව ප්‍රාදේශීය සභාව තව වනතුරුත් කටයුතු නොකිරීම තුළින් කොටස් තුනකින් යුතු වික්ටර්න් වත්ත ප්‍රදේශයේ පවුල්  පවුල් 600ක අයත් පාසල් දරුවන් වැඩිහිටියන් සහ රෝගීන් දැඩි අපහසුතාවයට පත්වන බව ප්‍රදේශවාසීන් මැසිවිලි නගති .

දැනට මාස දහයකට ප්‍රථම ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් හැටන් නගරයේ සිට වික්ටර්න් වත්ත දක්වා වූ කිලෝමීටර පහළොවක පමණ දුරකින් යුතු  මාර්ගයේ 12 වන සැතපුම පසු කරන ස්ථානයේ පාලම මෙලෙස ගිලා බෑමක් සිදු වී ඇත ,

ප්‍රදේශවාසීන්ගේ ගමනාගමන අවශ්‍යතාවයන් සඳහා ප්‍රදේශවාසීන් විසින්ම දැව කොටන් පස් බෑග් යොදා මෙම පාලම පිළිසකර කර තාවකාලික අන්දමින් භාවිතා කරනු ලැබුවද නැවතත් පසුගිය සති කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාවෙන් එම මාර්ගය  යතුරුපැදියක් හැරෙන්නට වෙන වාහනයක් ගමන් කිරීමට නොහැකි අන්දමින් කිලා බැස ඇති තත්වයක් දක්නට ලැබෙ ,

මෙම තත්ත්වය හේතුවෙන් පොදු සේවා බස් රථයෙන් බැස කිලෝමීටර් දෙකකට අධික පයින් ගමන් කිරීමට ප්‍රදේශවාසීන්ට සිදුවී ඇති අත‍ර මෙම තත්වය හේතුවෙන් ගැබිණි මව්වරුන් පාසල් දුවා දරුවන් සහ රෝගීන් දැඩි අපහසුතාවයට පත්වන බව ප්‍රදේශවාසීන් පැවසීය ,

වැඩිදුර අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් මෙසේද කිය ,

එම මාර්ගය භාවිතා කරන වික්ටර්න් දෙමළ විද්‍යාලය සහ ගනේෂා දෙමළ විද්‍යාලයේ දුවා දරුවන් සහ ගුරුවරුන්ද දැඩි අපහසුතාවයට පත්වෙලා ඉන්නේ මේ මාස දහයක කාලය පුරා ,

බස් එකෙන් බැහැලා අපිට කිලෝ මීටර් දෙකකට වැඩිය පයින් යන්න වෙලා තියෙන්නේ ,

එහෙම පයින් යන්න බැරි නිසා ත්‍රීරෝද රථයක් කුලියට ගත්තත් සාමාන්‍ය ගානට වඩා වැඩි ගාණක් තමයි අය කරන්නේ මේ අපහසුතාවය දන්න නිසා ,

ඒ අයත් කරන්නේ බොරදියේ මාළු බානවා වගේ වැඩක් ,

මේ මාර්ගය පාලනය වන්නේ අඹගමුව ප්‍රාදේශීය සභාව අරහා නමුත් මෙම ගැටළුවට මාස දහයක් ගත වෙලත් තව වනතුරුත් විසඳුම් ලබා දෙන්න කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නැහැ ,

අපි වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගය පිළිබඳව හා මෙම මාර්ගය භාවිතා කරන ප්‍රදේශවාසීන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන හැකි විගසින් මෙම මාර්ගයේ යථා තත්ත්වයට පත් කර දෙන ලෙසයි

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව කාම්බෝජයේ හිටපු නායක Hun Sen අමතා ඇය සිය තායි හමුදා අණ දෙන නිලධාරියෙකු විවේචනය කිරීමක් සිදුකර ඇති අතර, මෙම සිදුවීමත් සමඟ එරට විරෝධතා ද ආරම්භ වී තිබුණු බවයි පැවසෙන්නේ.

ඇයව සේවයෙන් පහ කිරීම සඳහා පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර, එය මේ වන විට එරට අධිකරණයේ සලකා බලමින් පවතිනවා.

එම කාලය අතරතුර ඇයගේ සේවය අත්හිටුවීමට අධිකරණ විනිසුරු මඩුල්ල 7-2 ක් ලෙස ඡන්දය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර තායි නියෝජ්‍ය අගමැති Suriya Juangroongruangkit රටේ වැඩබලන නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ පත් කිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, අද (30) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් උසස් නිලතල පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී අදාළ අනුමැතිය හිමි වී ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

රුපියල් මිලියන 50 ඉක්ම වූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබුණු සහන කාලය අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි‍.

2015 මාර්තු 31 වැනිදාට පෙර බැංකු සමග සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් අදාළ සහනය හිමිවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියේ.

එමෙන්ම, රුපියල් මිලියන 25 – 50 අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදුන් සහන කාලය, ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ‍.

ට්‍රම්ප් විසින් කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවයි

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත්, ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් එළැඹෙන සඳුදා සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

කැනඩාව විසින් අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්දක් පනවන බවට නිවේදනය කර ඇති බවත්, එය අමෙරිකාවට සෘජු හා පැහැදිළි ප්‍රහාරයක් වන බවත් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම වසර ගණනාවක් පුරාවට කැනඩාව විසින් කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු අය කරගෙන ඇති බවත්, කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදී කැනඩාව සමග වෙළඳ සාකච්ඡා අවසන් කරන බවද, ඉදිරි දින 07 තුළ අමෙරිකා එක්සත් ජනපදය සමග ව්‍යාපාර කිරීමට ඔවුන් ගෙවන තීරුබදු සම්බන්ධව කැනඩාව දැනුවත් කරන බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

news images

ශානි අබේසේකර CID අධ්‍යක්ෂ ධුරයට පත්කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වී තිබෙනවා.

එම තනතුර සඳහා ඔහුගේ නම යෝජනා වී තිබුණු අතර, ඒ සඳහා වන පොලිස් කොමිසමේ අනුමැතිය ලැබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවට වන පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා – මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම අහෝසි කරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසනවා.

ඒ අනුව, රජය සමග මෙම පනත සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කරන ලෙසට සිය සංචාරය අතරතුර රජයෙන් ඉල්ලා සිටි බවයි මෙරට සංචාරය අවසන් කරමින් ඊයේ (26) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එසේම සමලිංගික සබඳතා අපරාධයක් නොවන බවට යෝජනා කර පවතින පනත් කෙටුම්පත ද ඉතා ඉක්මනින් සම්මත වනු ඇති බවට බලාපොරොත්තු වන බවත්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත අවලංගු කළ යුතු බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට ශ්‍රී ලංකික පුරවැසියන් වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව මෑත කාලීනව සිදු කරන ලද විමර්ශනවලදී Facebook, WhatsApp, Telegram, WeChat ආදි සමාජ මාධ්‍යජාලා හරහා මෙම අපරාධයන් සඳහා පුරවැසියන් වැඩි වශයෙන් ගොදුරුවෙන බවට හඳුනාගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ.

අපරාධකරුවන් විසින් මෙවැනි වංචාවන් සිදු කිරීම සඳහා ප්‍රධාන ක්‍රමවේද 02ක් භාවිත කරන බවත්, පළමු ක්‍රමය ලෙස මුලින්ම ඉහත දක්වා ඇති සමාජ ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර, යම් ව්‍යාපාරයකට සුළු මුදල් ආයෝජනයක් කරන ලෙසට දැනුම්දීමක් කරන බවයි සඳහන් වෙන්නේ.

එහිදී ක්‍රමයෙන් විශ්වාසය දිනාගෙන තවත් විශාල ආයෝජන අවස්ථා ඇති බව සඳහන් කර, විශාල මුදල් ප්‍රමාණයන් ආයෝජනය කරවීමට පෙළඹවීම මගින් මුදල් වංචා කිරීම සිදුකරන බව සඳහන්.

දෙවැනි ක්‍රමය ලෙස, ඉහත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි බවට දැන්වීම් පළකර, ඒ සඳහා සම්බන්ධ වන පුද්ගලයන්ගේ ගිණුම් අංකයන් ලබාගෙන, එම ගිණුම්වලට බැරවන මුදල් අපරාධකරුවන් විසින් සමාජ මාධ්‍ය ජාලා මඟින් දැනුම්දෙනු ලබන ගිණුම් වෙත හුවමාරු කරන ලෙසත්, ඒ සඳහා ප්‍රතිලාභයක් වශයෙන් ගිණුමට තැන්පත් වන මුදලින් කොමිස් මුදලක් ගිණුම් හිමිකරුවන්ට ලබාදීම සිදු කරන බවත් සඳහන් කර මුදල් වංචා කරන බවයි සඳහන් වෙන්නේ.

Facebook, WhatsApp, Telegram, WeChat ආදී සමාජ මාධ්‍යජාලා හරහා විවිධ පුද්ගලයින් නමින් පෙනී සිටින ගිණුම් හරහා ලබාදෙන දැන්වීම්, විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීම‍ට ලබාදෙන Link හරහා නොදන්නා සමාජ ජාල සමූහ වෙත පිවිසීම හා ඒවා මගින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු නොකරන ලෙසත්, තම පුද්ගලික බැංකු ගිණුම් විස්තර නොදන්නා වෙනත් පාර්ශව වෙත ලබා නොදෙන ලෙසත්, නොහඳුනන පුද්ගලයින්ගෙන් තම බැංකු ගිණුම් වෙත ‍ලැබෙන මුදල් තෙවැනි පාර්ශ්වවල උපදෙස් පරිදි ඔවුන් විසින් ලබාදෙන වෙනත් ගිණුම් වෙත හුවමාරු කිරීමක් සිදු නොකරන ලෙසයි පොලීසිය මහජනතාවට වැඩිදුරටත් දැනුම්‍දෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

වැලිගම වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරයි

වැලිගම වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වෙරළ සංරක්ෂණ අධිකාරිය හා පොලීසිය එක්වී අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම ඉදිකිරීම් ඉවත් කිරීමත් සමඟ එම ස්ථානයේ සිටි ව්‍යාපාරිකයින් ඇතුළු වෙළඳසැල් හිමියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ නමුත්, එම විරෝධතා මධ්‍යයේ එම වෙළඳසැල් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට පෙර හිරිකැටිය වෙරළ තීරයේද අනවසර ඉදිකිරීම් ඉවත් කළ බවත්, ඒ ආකාරයෙන්ම වැලිගම වෙරළ තීරයේද අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කළ බවත්, වෙරළ තීරය පොදු මහජනයාගේ භාවිතය සඳහා පැවතිය යුතු බවත්, මෙම වැඩපිළිවෙල වැලිගම වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සිදුකර ඇති අයගේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට සිදුකළ එකක් නොවන බවයි වෙරළ සංරක්ෂණ සහ වෙරළබඩ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් එහිදී පවසා සිටියේ.