හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ අද (13) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.
මෙහිදී එක් අයෙකුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර, ඔහු රෝහල්ගතකර තිබේ.
Latest News
හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ අද (13) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.
මෙහිදී එක් අයෙකුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර, ඔහු රෝහල්ගතකර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර ලැබ ඇත.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ භාර දෙන ලදී.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඉ(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද මෙම නව පත්වීම සඳහා ලබී ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසයට එක් වේ.
මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා වන්නේද නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාය.
2030 වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී මතුව ඇති අභියෝග සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති බවය.
ඒ අනුව මෙහිදී පසුගිය සභා වාරයේදී ගනු ලැබූ තීන්දු තීරණ සමාලෝචනය කිරීම, ඊට අදාළ යෝජනා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීම සිදුකර තිබේ.
අපනයන ක්ෂේත්‍රයේ දියුණුවට අදාළ අත්‍යවශ්‍ය කරුණු රැසක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීම, රේගු කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව ස්කෑන් යන්ත්‍රයක් ස්ථාපනය, ඖෂධ අපනයන කර්මාන්තය, කුකුළු මස් අපනයනය, තේ අපනයන සංවර්ධනය, කුළුබඩු අපනයනය, Export Hub සංකල්පය, ත්‍රිකුණාමල වරාය සංවර්ධනය, අපනයන ආශ්‍රිත ආයෝජන වර්ධනය, ඉලෙක්ට්‍රොනික අපනයන අංශයට අමුද්‍රව්‍ය සැපයීම, නව තීරු බදු ගිවිසුම්වලට අවතීර්ණ වීම සහ තීරු බදු පිළිබඳවද සාකච්ඡා වී තිබේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරුන්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, කර්මාන්ත අමාත්‍යාංයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්වී සිටියහ.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා’ නමැත්තා මීගොඩ ප්‍රදේශයේදී අද (12) වෙඩිතබා ඝාතනය කෙරුණි.
ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නමැත්තා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලීසිය සැක කරයි.
ඝාතනය සිදුවී සුළු වේලාවකට පසු වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගන්නට තලංගම පොලීසිය සමත්වූ අතර අපරාධයට යොදාගත් බව කියන ගිනිඅවිය ද පොලිස් භාරයට ගැනුණි.
මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී අද දහවල් 1:10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.
ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි අයෙක් ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.
යතුරුපැදිකරුට වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග ඔහු යතුරුපැදියෙන් බිමට පැන අසලවූ නිවසකට දිවගොස් තිබේ.
පසුව ඔහු එහි සිටි කාන්තාවකට තමන්ට වෙඩිවැදී ඇති බවත් කඩිනමින් තමා රෝහල්ගත කරන ලෙසත් පවසා ඒ අසලවූ ත්‍රීරෝද රථයකට නැඟීමත් සමග ඉන් ඇදවැටී ඇත.
ඒ සමග ඔහු සිය ජංගම දුරකථනයෙන් කිසිවෙකුට ඇමතුමක් ලබාගැනීමට උත්සාහ දරූවද එයද අසාර්ථක වී තිබේ.
අසල්වාසීන් සිද්ධිය පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දීමෙන් පසුව පොලීසිය පැමිණ කඩිනමින් තුවාලකරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
ඒ අතරතුරම පොලීසිය ක්ෂණික මාර්ග බාධක යොදා රථ වාහන පරීක්ෂා කිරීමක් සිදුකර තිබේ.
එහිදී තලංගම, පාලම්තුන හංදිය ප්‍රදේශයේදී සැකසහිත සුදු පැහැති මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ, එය අදාළ වෙඩික්කරු පැමිණි රථය බවටය.
ඒ අනුව මෝටර් රථයේ රියදුරු හා වෙඩිතැබීමට භාවිත කළ බවට සැකකෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවිය තලංගම පොලීසිය සිය භාරයට ගත්තේය.
කෙසේවෙතත් ඒ වනවිට වෙඩික්කරු මෝටර් රථයෙන් බැසගොස් ඇති බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත්වූ රියදුරාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත.
එම තොරතුරු අනුව වෙඩික්කරු හා තවත් අයෙකු පසුව පොලිසිය මගින් අද පස්වරුවේ තලංගම, පාලම්තුන හංදිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනය වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්‍රි’ 46 හැවිරිදි හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකි.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කර ඇති බව සඳහන් ය.
පාදුක්ක, වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර සිදුකළ අයෙක් බවද පොලිසිය සඳහන් කළේය.
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර ඇති බව වාර්තා වෙයි.
ඝාතනය වූ පුද්ගලයා ගගන නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බවද පොලීසිය පැවසීය.
ඝාතනයට ලක්වූ පුද්ගලයා ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නමැත්තාගේ නම භාවිත කරමින් විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවත් ඊට පළිගැනීමක් ලෙස බස් ලලිත් නමැත්තා මෙම ඝාතනය සිදුකර ඇති බවටත් පොලිසිය සැක පළ කරයි.
ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය හරහා සංසරණය වෙන පුවත අසත්‍ය බව හිටපු ජනාධිපතිනියගේ මාධ්‍ය ඒකකය පවසයි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු අනෙක් ජනාධිපතිවරුන් සිව්දෙනා සමග එක්වී ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ඇතැම් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණි.
කෙසේවෙතත් එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර එවැනි කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධ වී නොමැති බවද සඳහන් කරයි.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී අද (12) දහවල් 1:10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.
ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) රැස්වූ අවස්ථාවේදී ය.
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවෙකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කළේය.
සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
අදාළ නඩුව අද (12) මෝසමක් මාර්ගයෙන් කැඳවමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2012 වසරේ මැයි මස 19 වනදා “සී වූ ප්‍රයිවට් ලිමිටඩ්” නමැති කොරියානු සමාගමක් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත්කර ඒවා පිරිසිදු කර දේශීය වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අනුමැතිය ලබාදී තිබෙන බව සඳහන් කළාය.
මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් වෙත එම යෝජනාව ඉදිරිපත් කර ඊට අදාළ පාරිසරික වාර්තා ඇතුළු වාර්තාවන් කැඳවා අධ්‍යයනය කිරීමකින් අනතුරුව එවැනි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබාදීම සාමාන්‍ය පිළිවෙත වුවත් මෙම ව්‍යාපෘතිය සඳහා සැකකාර හිටපු අමාත්‍යවරයා සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙන් වාර්තාවක් පමණක් කැඳවා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බවත් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසුවාය.
එම ව්‍යාපෘතිය පැවරීමෙන් පසුව වැලි ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් කිසිවක් අදාළ කොරියානු සමාගම සතුව නොතිබූ අතර ඉන් අනතුරුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ “වැලිගොව්වා” නෞකාව ඇතුළු පහසුකම් එම සමාගම වෙත ලබාදීමට සිදුවූ බවත් ඇය කියා සිටියාය.
මේ හේතුවෙන් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262 කට අධික පාඩුවක් සිදුවී ඇති බවද ඇය අධිකරණය හමුවේ සඳහන් කළාය.
මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදී දැනුම්දීම් කර තිබුණත් සැකකාර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවේ පෙනී නොසිටි බව ඇය පැවසුවාය.
සැකකාර රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න ජනමාධ්‍යවලට විවිධ ප්‍රකාශ නිකුත් කරමින් විමර්ශන කටයුතුවලට බාධා සිදු කරන බවත් සැකකාර හිටපු අමාත්‍යවරයා විමර්ශන මගහරිමින් සිටින බවත් ඇය පෙන්වා දුන්නාය.
මෙම සැකකරු තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එම ඉල්ලීම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවත් ඇය සඳහන් කළාය.
ඉන් අනතුරුව එම නියෝගයට එරෙහිව සැකකාර රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඊට අදාළව නොතිසි පවා මේ දක්වා ලැබී නොමැති බවද ඇය සඳහන් කළාය.
මෙහිදී මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරිනිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් මහාධිකරණය මගින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේදැයි විමසුවේය.
ඊට පිළිතුරු දුන් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය එවැනි අතුරු නියෝගයක් නිකුත් කර නොමැති බව සඳහන් කළාය.
මෙම සැකකරු සිටින බවට සැකකරණ ස්ථාන පහක් පරීක්ෂාවට ලක් කළ බව සඳහන් කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකිවූ බවත් සැකකරුට එරෙහිව ඉදිරිපත් වී තිබෙන වරද සංඤය වරදක් වුවත් මොහු විමර්ශන මගහරිමින් විමර්ශනවලට බාධා කිරීම යන කරුණ සැලකිල්ලට ගෙන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරු ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඉන් අනතුරුව ඔහු එම නියෝගයට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම ප්‍රතිශෝධන පෙත්සම යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්ද අධිකරණ විසින් නිකුත් කර නැත.
එම තත්ත්වය යටතේ තමන්ට එරෙහිව විමර්ශනයක් සිදුවන බව දනිමින් මෙම සැකකරු විමර්ශන මග හරිමින් සිටින ආකාරය අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණුවලින් පෙනී යන බවත් මහෙස්ත්‍රාත්වරයා පැවසුවේය.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 63(1)අ වගන්තිය ප්‍රකාරව විමර්ශනවලට අවශ්‍ය කරන අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කර සිටියේය.
වගකීම් සහගත තරුණ නායකත්වයක් බිහිකළ යුතු බවත් කිසිසේත්ම පවුල් පරම්පරාවන්, ඥාතීන් බලය ආරක්ෂා කරගන්නා තරුණ නායකයින් බිහිවිය යුතු නැතැයි ද ජනාධිපතිවරයා පවසයි.
දේශපාලන අතකොළුවක් බවට පත්නොවී රටේ අනාගතය භාරගැනීමට සිටින නියමවරුන් බවට පත්කිරීම තරුණ සමුළුව මේ දක්වා පැමිණි ගමන්මගේ සනිටුහන්ව ඇතැයි ද ජාතික තරුණ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය.
“ඉතින් කලබලවීම පුදුමයක් නොවේ. සැබවින්ම අප අද මේ ඉටුකරනු ලබන්නේ තරුණයාට හිමිතැන සහ ඇයට හෝ ඔහුට අනාගතය කවරාකාරයෙන් නිර්මාණය විය යුතුද ? කවර වගකීම් දැරිය යුතුද යන වගකීම් සහගත තරුණ නායකත්වයන් බිහිකළ යුතුයි. කිසිසේත්ම පවුල් පරම්පරාවන්, ඥාතීන් දිගු කාලයක් බලය ආරක්ෂා කරගැනීම සඳහා වු කාර්යක කොටස්කරුවන් ලෙස නොවේ.”
රට භාරගැනීම සඳහා සුදානම් විය යුතු වන්නේ තම පාලනයෙන් පසුව රට භාරගැනීමට අවංකභාවය, හැකියාව සහ නිපුණතාවය ඇති තරුණයින් පිරිසක් බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
“අද අපි ජනාධිපතිධුර හොබනවා. අමාත්‍ය ධුර හොබවනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. හැබැයි අපි පුටුවේ වාඩිවෙද්දිම අපට අදහසක් තියෙනවා ඒකෙන් බැහැලා යන දිනයක් ගැන හිතේ තියාගෙන තමා පුටුවේ වාඩිවෙන්නේ. අපි පුටුවේ චිරාත් කාලයක් වැජඹීමේ අරමුණක් අපිට නෑ. අපි ඉතාම පැහැදිලි සද් වුවමනාවක් තියෙනවා. මේ රට ඉතාම විනාශකාරී කණ්ඩායමක් අතේ තිබුණා. ඒ කණ්ඩායම අතින් දේශපාලන බලය අපේ අතට හුවමාරු කරගෙන තියෙනවා. ඒ බලය නුදුරු කාලයේදී ඔබට භාරදීමේ අපේක්ෂාවෙන් තමා අපි මේ පුටුවේ අසුන්ගෙන තියෙන්නේ. අපි කිසිසේත්ම මේ පුටුවේ මල්ටිබෝන්ඩ් වගේ ඇලවිලා ඉන්නේ නෑ. අපි සුදානම් කළ යුත්තේ රට භාරගැනීමට හැකියාව, නිපුණතාවය, අවංකභාවය, හෘදසාක්ෂිය තියෙන නව තරුණ පරම්පරාවක් නිර්මාණය කළ යුතුයි. අපෙන් පසුව මේ රට භාරගැනීමට අවශ්‍ය පරම්පරාව අපි හැදිය යුතුයි.”
නව දැනුම සොයා යා හැකි දැනුමේ ඇති වෙන නව පිම්මට වේගයෙන් අනුගත වන නව තරුණ පරපුරක් නිර්මාණය කළ යුතුව ඇති අතර, ඔවුන්ට රටේ අනාගතය භාරදිය යුතුයි යන තිර අධිෂ්ඨානය පවතින බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
පොදු සමාජය පිළිබඳ සහකම්පනයක් ඇති තරුණයන් මේ මොහොතේ අවශ්‍ය බව ද පැවසු ජනාධිපතිවරයා, රට ඉදිරියට ගෙන යෑම සඳහා මෙය අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇති අතර, ඒ වෙනුවෙන් මෙම තරුණ ව්‍යාපාරයට වැඩි වගකීමක් ඇති බව ද කියා සිටියේය.
යුක්තිගරුක මිනිසෙක් බවට තරුණයින් පත්විය යුතු බවත්, යුක්තිය වෙනුවෙන් හඬ නැගීමට පෙර තරුණයින් යුක්තිගරුක තරුණයෙක් බවට පත්විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය භාරදීමට සුදුසුකම් ඇති නව තරුණ ව්‍යාපාරයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා සුදුස්සන් වන ලෙසත් ජාතික තරුණ සමුළුව අමතමින් පැමිණ සිටි තරුණයින්ට ජනාධිපතිවරයා ආරාධනා කර සිටියේය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.
එහි වග උත්තර කරු ලෙස නීතිපතිවරයා නම්කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමිවී තිබෙන හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් මෙම පනත් කෙටුම්පත ඉකුත් 07 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ බවය.
යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවත් මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇත.
ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් හෝ කිහිපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් තවත් චෝදනාවක් එල්ල කර තිබේ.
සමස්තයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බව පෙත්සම්කරු චෝදනා කර සිටී.
යෝජිත පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 සහ 12(1) ව්‍යවස්ථාවන්හි සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන බව ඔහු චෝදනා කළේය.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නිගමනයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.