අපරාධ නැවැත්වීමට පොලීසියෙන් විධිමත් වැඩපිළි‍වෙළක්…..

පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා පවතින ක්‍රමවේදයට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (17) මහනුවරට පැමිණ මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී පොලිස්පතිවරයා පැවසුවේ මෙම අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන්ද සහාය ලබා ගනිමින් කටයුතු කරන බවය.

එමෙන්ම ඇතැම් පාතාල ක්‍රියාවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යම් යම් දේශපාලන ආශිර්වාද මෙන්ම පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේද සහාය ලැබී ඇති බවද පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.

තවද නීතිය ස්ථාපිත කිරීමේදි කිසිදු දේශපාලන බලපෑමක් ලැබී නැතැයිද ලැබී ඇති දේශපාලන පරිසරය ඉතා හොඳ බවත් පැවසූ පොලිස්පතිවරයා මෙහිදී පැවසුවේ යම් කිසි අපරාධයක් සඟවා තැබීමට හෝ නොසළකා හැරීමට කිසිදු අවස්ථාවක තමාගෙන් නියෝග නොලැබෙන බවය.

“වෙඩි තැබීම් ගත්තොත් ඒ සම්බන්ධව අපි විමර්ශනය කරලා සැකකරුවන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම අපි මීට වඩා විදිමත් වැඩපිළිවෙළක් ඉදිරියට කරමින් පවතිනවා. ඒ සඳහා අවශ්‍ය අනෙකුත් ආයතන විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගෙන, මහජනතාවගේ සහාය ලබාගෙන සැලසුමකින් කරන්න වැඩපිළිවෙළක් තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම අද ඊයේ ඇතිවූවක් නෙමේ, ඒ වගේම පාතාල ජීවිත හානි කිරීම් අද ඊයේ ඇතිවූවක් නෙමෙයි. යම් යම් දේශපාලන ආශිර්වාද ලැබිලා තිබුණා, පොලීසියේ සහ නිලධාරීන්ගේ සහාය ලැබිලා තිබුණා, ත්‍රිවිධ හමුදාවේ පුද්ගලයින් ඒ සඳහා පාවිච්චි කරලා තිබුණා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මේකට පාවිච්චි කරලා තිබුණා. ඉතිං මේවාවල මෙහෙයුම් කරන්නේ නිවට නියාලු පිරිසක් විදේශගතවෙලා. මේවාට අපි ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධවෙලා වැඩකටයුතු කරමින් පවතිනවා.”

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ…

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17)  දින සිට අවලංගු කිරීමට තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා පියවර ගෙන ඇත.

ඉංජිනේරු හිඟය ගැන විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශයක්….

පසුගිය වසර කිහිපයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගෙන් සියයට 20ක් පමණ රට හැරගොස් ඇති බව එම මණ්ඩලය පවසයි.

ඒ අනුව පසුගිය අවුරුදු තුනක කාලය තුළ ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙකු එලෙස රට හැරගොස් ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසයි.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය ඇතුළු රටවල්වල රැකියා අවස්ථා සඳහා ඔවුන් මෙලෙස පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

සංඛ්‍යා දත්තවලට අනුව මෙලෙස රට හැරගොස් ඇති සංඛ්‍යාව ලංකා විදුලිබල මණ්‌ඩලයේ  සම්පූර්ණ ඉංජිනේරුවන්ගෙන් සියයට 20කි.

ඔවුන්ගෙන් සියයට 85ක් විදුලි ඉංජිනේරුවන් වන අතර තවත් සියයට 8ක් යාන්ත්‍රික ඉංජිනේරුවන් වන අතර සියයට 7ක් සිවිල් ඉංජිනේරුවන් ද වන බව සඳහන්ය.

මේ අතර විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසන්නේ, අභ්‍යන්තර ඉංජිනේරුවන් සිටියදී නව ඉංජිනේරුවන් 60 දෙනෙකු බඳවාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු කරන බවය.

ඒ අනුව එම බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝණය වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තැපැල් සේවකයින් හෙට වර්ජනයට සැරසෙයි

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් හෙට (17) පස්වරු 4.00 සිට සේවයෙන් ඉවත්වී වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

තැපැල් නිලධාරීන්ගේ අතිකාල ගෙවීම්, පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇගිලි සළකුණු යන්ත්‍රයේ පැමිණිමේ හා පිටවීම සටහන් කළ යුතු බවට ලබා දී ඇති උපදෙස්වලට විරෝධය පළ කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 19ක් ඉදිරිපත් කරමින් ඔවුන් මෙම වර්ජන ක්‍රියාවලිය ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව හෙට පස්වරු 4.00ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් මෙම වර්ජය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා පිහිටි තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළේය.

මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා තැපැල් කාර්යාලයට අයත් උප තැපැල් කාර්යාල 3,354ක උප තැපැල් ස්ථානාධිපතිවරු  සහභාගී නොවන බව  තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

ඒ අනුව එම කාර්යාලවල සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුවන බැවින් මහජනතාවට එමගින් සේවාවන් ලබා ගත හැකි බවය.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් සිදුකරනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් තැපැල් භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ප්‍රමාදයට ලක්විය හැකි බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු එළැඹෙන 17 වෙනිදා…..

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට නියමිතව තිබේ.

පවුලේ ඥාතීන් සඳහන් කළේ, අද (15) රාත්‍රියේ සිට මහියාවේ පිහිටි ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර ඇති බවය.

ඒ අනුව අනිද්දා පස්වරු 5ට මහනුවර, නිත්තවෙල පවුලේ සුසාන භූමියේ දී ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

දැඩි ලෙස රෝගාතුරව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද පෙරවරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.

මියයන විට ඒ මහතා 57 වන වියේ පසුවුණි.

නව පොලිස්පති ජනපති හමුවෙයි….

නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර පොලිස්පතිවරයා ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගන්වා තිබේ.

නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා වන අතර, මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයාද වේ.

නිධන් හෑරු DIG බිරිඳ ඇතුළු 8ක් රිමාන්ඩ්….

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වැනිදා තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව එම ස්ථානයට ගිය පොලිසිය මෙලෙස කාන්තාවක් ඇතුළු 8ක් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් බදුල්ල, මාලිගාතැන්න, පදවි ශ්‍රීපුර, ගිරාඳුරුකෝට්ටේ, වරකාපොල හා අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඇය කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක් බවය.

සිය නිවසට ආරක්ෂාවක් කරගැනීම සඳහා තමන් මෙම ස්ථානයට පැමිණි බව ඇය ප්‍රකාශ කර තිබුණි.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර කපුමහතෙකු ද සිටින බවය.

සැකකරුවන් ඊයේ (14) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි…..

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය.

මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.

නව පොලිස්පති වැඩ භාරගනී…..

නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

ඒ පොලිස් මූලස්ථානයේ දීය.

මෙහිදී සභාව අමතමින් නව පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ, තමාට අට ලෝ දහම හොඳින් හුරු පුරුදු බවත්, පොලීසියේ ගෞරවය හා ප්‍රෞඩත්වය රැකගැනීම වෙනුවෙන් කළ හැකි සෑම දේම තමා සිය රාජකාරිය තුළ ඉටු කරන බවත්ය.

පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බව ද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

විනයානුකූල පොලීසියක් සකස් කිරීම තම එකම අභිප්‍රාය බවත් එය තමා ඉහළින්ම සලකන බවත් පැවසු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තමාව පොලිස්පති ධුරයට පත්කළ සියලුදෙනාට ස්තූතිය පළ කරන බවත් කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කරනු ලැබීය.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) පස්වරුවේ භාරදුනි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඉ (ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද මෙම නව පත්වීම සඳහා ලැබී තිබුණි.

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසයට එක්වුණි.

මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත්වූ පළමු පොලිස්පතිවරයා වන්නේද නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන බරපතළ ගැටලු ඇති බව අමෙරිකාව කියයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

2024 වර්ෂයේ ලොව පුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳව වාර්තාව නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබේ.

මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරින් හඳුනාගෙන ඔවුන් වගවීමට ලක්කිරීම ශ්‍රී ලංකා රජය ගෙන ඇත්තේ අවම උත්සාහයක් බව එම වාර්තාවේ දැක්වේ.

පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීම, රක්ෂිත බන්ධනාගාර ගත කළ ඝාතනය, මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර, ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම ආදිය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාව මඟින් කනස්සල්ල පළ කර තිබේ.

2022 වර්ෂයේ අරගලයෙන් පසු පැවති මැතිවරණවලින් විශිෂ්ට ලෙස බලය ලබාගත් වත්මන් රජය, සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව ගෙන ඇත්තේ අවම ක්‍රියාමාර්ග බව එම වාර්තාවේ දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ගනිමින් අත්අඩංගුවට ගැනීම්, කාන්තාවන් බලහත්කාරයෙන් වඳ සැත්කම්වලට භාජනය කිරීම්, සම්බන්ධයෙන් ද එම වාර්තාව මඟින් චෝදනා එල්ල කර තිබේ.

2024 වර්ෂය තුළ වෙඩි තැබීම් 103ක් සිදුව ඇති බව ද පොලිස් අත්අඩංගුවේ දී මරණ 7ක් සිදුව ඇති බව ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් 2024 වර්ෂය තුළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ කිසිඳු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් යුද්ධයෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ගේ චෝදනා විමර්ශනය කිරීමේ සුළු ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.