පෑලියගොඩ පුද්ගල ඝාතනය ගැන තවත් තොරතුරු …..

පෑලියගොඩ මාළු වෙළෙඳසැලේ සේවකයෙකු පෑලියගොඩදී අද (19) වෙඩි තබා ඝාතනය කර තිබුණි.

වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ තැනැත්තා පමණක් නොව මහමඟ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ද මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තුවාල ලැබීය.

පෑලියගොඩ, ඥාණරතන මාවත ප්‍රදේශයේදී අද උදෑසන 9:30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකු ඉලක්ක කර T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා අද දහවල් ජීවිතක්ෂයට පත් විය.

අනෙක් පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් ඝාතනය වූ පුද්ගලයා අයියප්පන් ප්‍රභූ නම් 40 හැවිරිදි අයෙකි.

ඔහු පෑලියගොඩ මාළු වෙළඳසැලේ සේවය අවසන් කර නිවස බලා පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වී තිබුණි.

ඝාතනය වූ පුද්ගලයා මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වැල්ලේ සාරංග නම් අපරාධකරුගෙන් එල්ල වූ මරණ තර්ජන හමුවේ ඔහු පෑලියගොඩට පැමිණ සිට ඇති බව පොලීසිය පැවසීය.

මොහු ඝාතනය කරන බවට වැල්ලේ සාරංග මරණ තර්ජන කර ඇත්තේ, සාරංගගේ සහෝදරයා ඝාතනය කිරීමට මෙම පුද්ගලයා උත්සාහ කර ඇති බවට චෝදනා එල්ලවීමත් සමග බව පොලිසිය පවසයි.

ඝාතනය වූ තැනැත්තා පූකුඩුකන්නා නම් අපරාධකරුගේ සමීපතමයෙක් බවද පොලීසිය සඳහන් කරයි.

පලනි රිමෝෂන් හා කංජිපානි ඉම්රාන් නමැති අපරාධකරුවන් ද මෙම ඝාතනයට සහාය දී ඇතැයි පොලීසිය සැක පළ කරයි.
.

සාකච්ඡාවෙන් පසුවත් තැපැල් වර්ජනය අඛණ්ඩව

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව සාර්ථක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති අද (19) පස්වරුවේ පැවසීය.

ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ගමගේ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තැපැල් වෘත්තීය සමිති මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් ඉකුත් 17 වනදා සිට තැපැල් වෘත්තීය සමිති මෙලෙස වර්ජනයක නිතර වෙයි.

මේ හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබේ.

අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තැපැල් හා විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ. ජී. සී. නිරෝෂන මහතා සඳහන් කළේ,

“ඇමතිතුමා එක්ක අපිට වහාම සාකච්ඡාවක් ලබාදෙන්න. ඒ සාකච්ඡාවෙන් අනතුරුව අපි ලෑස්තියි අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කරන්න. එතෙක් අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මකයි.”

ශෂීන්ද්‍ර රාජපක්ෂ නැවතත් රිමාන්ඩ්….

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8,850,000/-ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ  පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

හිටපු බන්ධනාගාර වෛද්‍ය හේමන්ත රණසිංහ තවදුරටත් රිමාන්ඩ්….

2024 වසරේ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනජිත් හේමන්ත රණසිංහ මහතා ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසම සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගයක් නිකුත් කළාය.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර සඳහා රඳවා සිටි රඳවියකු ප්‍රතිකාර අවසන් වීමෙන් පසුව බූස්ස බන්ධනාගාරයට නොයවා රෝහලේ රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ඉල්ලා, ඉන් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට සැකපිට මෙම වෛද්‍යවරයා අල්ලස් කොමිසම විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය…

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (18) සිය සහතිකය සටහන් කළේය.

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත අගෝස්තු මස 06 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව, මෙම ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇත.

බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීමට විධිවිධාන සැලැස්වීම මෙම පනතේ අරමුණ වේ.

මෙම පනත මඟින් “ජාතික විදුලිබල උපදේශක සභාව” වෙනුවට “බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය” සකස් කිරීමට විධිවිධාන සලසයි.

එමෙන්ම, “තොග විදුලිබල වෙළෙඳපොළ” යන්න “ජාතික විදුලිබල වෙළෙඳපොළ” ලෙස වෙනස් කර ඇති අතර, කාර්යක්ෂම සහ පිරිමැසුම්දායක විදුලිබල සැපයුමක් අඛණ්ඩව පවත්වාගෙන යාම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ පුනර්ජණනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම මෙම පනතේ ප්‍රධාන අරමුණු වේ.

බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්….

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා හරිත සංවිධාන නියෝජනය කරමින් සංක චන්දිම අබේවර්ධන විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

බලශක්ති අමාත්‍යවරයා විසින් පොහොර සංස්ථාවේ සේවය කරන අවදියේදී සිදුකරන ලද දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවකින් රජයට පාඩු කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

එමෙන්ම අමාත්‍යවරයා අමාත්‍ය ධුරය දැරීමේදී ගත් යම් යම් තීරණ හේතුවෙන් රජයට පාඩුවක් සිදුකර ඇතැයිද මේ සම්බන්ධවද විමර්ශනය කරන ලෙස ඉල්ලා හරිත සංවිධානය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

පැමිණිල්ල ගොනු කළ සංක චන්දිම මහතා පැවසුවේ සියලු සිදුවීම්වල ලිපි ලේඛණ අල්ලස් කොමිසම වෙත භාර දුන් බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයා සම්බන්ධව තීරණයක් ගත යුතු බැවින් වහාම ඔහු අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරිය යුතු බවත්ය‍.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංක චන්දිම අබේවර්ධන මහතා,

“මේ අන්ත දූෂිතයෙකුට අමාත්‍යධුරයක් දුන්නාම මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ නැද්ද? ඒ ප්‍රශ්නවලට ජනාධිපතිවරයාට වගකීමක් නැද්ද?, ජනාධිපතිවරයා වහාම මේ සම්බන්ධව පියවර අරගෙන මේ දූෂිත ගනුදෙනු සියල්ල අහෝසි කරලා දාන්න ඕනේ සහ ඔහුව ධුරයෙන් පහ කරන්න ඕනේ”

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනතට එරෙහිව තවත් පෙත්සම් දෙකක්….

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා වන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබේ.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හරින්ද්‍රරත්න බානගල සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රේමසිරි විජේසේකර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති අද දෙරණ වාර්තාකරු පැවසීය.

එහි වග උත්තර කරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවය.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් වූ කීපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බව සඳහන් කළ පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 වන ව්‍යවස්ථාවන් සහ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නියෝගයක්  නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින්ද ඉකුත් දා පෙතසමක් ගොනු කළේය.

තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු…..

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) වරෙන්තු නිකුත් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබීය.

මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම විමර්ශනය සම්බන්ධයෙන් පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය.

උතුරු – නැගෙනහිර හර්තාලය ගැන රජයේ මතය…

රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මුලතිව් ශිවනගර්හි පිහිටි ඉවත්කිරීමට නියමිත 12 වැනි සිංහ රෙජිමේන්තුවට අයත් කඳවුරට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම හර්තාල් ව්‍යපාරය හෙට (18) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“මේ ගැන පරීක්ෂණ පවත්වමින් තිබෙනවා. දැනටමත් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට භාර දී තිබෙන්නේ. 

මේ සිදුවීමේ කරුණු විකෘතිකරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරේ හා නැගෙනහිර ජනතාව අතර කැලඹීමක් හදන්න උත්සාහ දරන බවක් පේනවා.

ඒ නිසා රටේ ජනතාව කරුණු අවබෝධ කරගෙන සාමකාමීව හැසිරෙන්න”.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ….

ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වූ ගාලු කුමාරි දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය ඊයේ (16) දින පස්වරු 5.30ට පමණ ගිංතොට දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්විය.

පිලී පැනීමෙන් දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් 250කට ආසන්න ප්‍රමාණයක් සහ දුම්රිය පීලිවලටද දැඩි හානි සිදුවිය.

දුම්රිය පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

හානියට පත්වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ රාත්‍රියේම නැවත ආරම්භ කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

ඒ අනුව අද (17) පෙරවරු 11.00ට පමණ එක් මංතීරුවක් දුම්රිය ධාවනය සඳහා විවෘත කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පීලි පැනීමෙන් හානියට පත්වූ දුම්රිය මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කර හැකි ඉක්මනින් දුම්රිය ධාවනය සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බවය.