හිටපු ජනපති රනිල් අත්අඩංගුවට…..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දා ය‍.

අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

එවැනි පසුබිමක එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර පෙරවරු 9යට පමණ ඔහු එම ස්ථානයට පැමිණියේය.

සමාජ මාධ්‍ය වල අසත්‍ය ප්‍රචාර වලට හිටපු ජනපති මහින්දගෙන් ප්‍රතිචාර…..

සමාජ මාධ්‍ය වල සිදු කරනවා කියන අසත්‍ය ප්‍රචාර පිලිබදව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා විශේෂ ප්‍රකාශක් නිකුත් කරයි…

වැව් බැඳි රටේ ලෙංගතු මිනිසුන්ගේ කෘතවේදීත්වය අසීමිතව වින්දෙමි. මහින්ද රාජපක්ෂට ජනතාවගේ ආදරය මිස අන් කිසිවක් අවශ්‍ය නැත. ග්‍රාමීයව හැදී වැඩුණු අපට මෙම පුරුදු හුරුය. අප අස්වැනේ මුල් කොටස පූජා කරන්නේ බුදුන්ට, දෙවියන්ටය. අසල්වැසියන් අතරේද තම මුල් අස්වැන්නෙන් කොටසක් බෙදා ගන්නේ සුහදතාව වර්ධනය කර ගැනීමටය. ගෙවත්තේ ඇති ගසේ එලදාවෙන් කොටසක් හිතවතුන් සමඟ බෙදා ගන්නේ ද ලෙංගතුකම නිසාය. අතීත ශ්‍රේෂ්ඨ රාජධානියක ගෞරවනීය කෘෂි ජනතාවගේ සමීපතමයෙක් වීමට ලැබීම මට මහත් ගෞරවයකි. ජනතා නායකයෙක් ලෙස ජනතාවගේ ආදරය තරම් වටිනා වෙනත් දෙයක් නැත. ලෙංගතු මිනිසත්කමින් පොහොසත් එම ජනතාව සෙනෙහසින් සිහිපත් කරමි. සැමදා සවියක් වූ අපේ ස්වාමීන් වහන්සේලාව ද ගෞරව පූර්වකව සිහිපත් කරමි.

මේ රටේ වැඩිහිටි පරම්පරාව වන අපට ටයර් පිළිස්සුණු ගඳත්, බෝම්බ බියත් අමතක කළ නොහැක. ටයර් සෑයවල් දැවෙද්දී තරුණ දරුවන් වෙනුවෙන්, මවුපියන් වෙනුවෙන්, ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මම සටන් කර ඇත්තෙමි. බෝම්බ දුමාරය නැගෙද්දී ත්‍රස්තවාදය අවසන් කිරීමට නායකත්වය දුන්නෙමි. යුද්ධය අවසන් කිරීම පිළිබඳ මා තුළ ඇති එකම පසුතැවීම නම් මෙයටත් පෙර ත්‍රස්තවාදය අවසන් කිරීමට නොහැකි වීම පමණි.

උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය හේතුවෙන් බොහෝ පීඩාවට පත්වූහ. මායිම් ගම්මාන වල වැසියන් ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදීන් නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කළහ. බොහෝ ගම් වැසියන් ගම් බිම් අතැර දමා යාමට සූදානම් වෙද්දී අපේ ගමේ ස්වාමින් වහන්සේලා ගමින් ගමට වැඩම කරමින් ගම්වල රැඳී සිටීමට ගම්වැසියන් ධෛර්යමත් කළහ. ගම්බිම්වලට ප්‍රහාර එල්ල කරද්දී ජනතාව පන්සලට ගෙන ගොස් ආරක්ෂා කර ගත්හ. හමුදා නිල දරුවන් ද, ස්වාමීන් වහන්සේලා ද පන්සල ආරක්ෂා කළහ. මායිම් ගම්මානවල බොහෝ ජනතාව රැය පහන් කළේ පන්සලේ හෝ හමුදා කඳවුරු තුළය.

නොච්චියාගම, මැදවච්චිය, හොරොව්පතාන වැනි ගම් රැසක් නියෝජනය කරමින් අද මා හමුවීමට පැමිණි ඇතැම් තැනැත්තන්ට ඇතේද මෙවැනි අත්දැකීම්ය. මේ පිරිස අතර කිසිදා මට අමතක නොවන මුහුණක් ද මම දුටුවෙමි. කැබිතිගොල්ලෑව ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත් තම දරුවාගේ සිරුර මට පෙන්වමින් කෑ ගසා හැඩූ ඒ තාත්තා මම දුටුවෙමි. යුද්ධය අවසන් වී බොහෝ කාලයක් ගතව ඇත. ප්‍රියන්ත මහතා සිනහවෙන් සිටිය ද තම දරුවා අහිමිවීමේ වේදනා පියෙකුට අමතක කළ නොහැකි බව මම දනිමි. මෙවන් දෙමාපියන් තව කොතරම් ප්‍රමාණයක් සිටීදැයි මා දන්නේ නැත. ත්‍රස්තවාදයේ වේදනාත්මක මතක බර දරාගෙන තවමත් විඳවමින් ජීවත්වන පිරිසක් මේ රටේ සිටිනා බව මම හොඳින් දනිමි. එහෙත්, ඔවුන්ට ද මට ද ඇත්තේ එක සැනසීමකි. ඒ යලි කිසි දිනක එවන් වේදනාවකට මුහුණ දීමට මේ රටේ මව්වරුන්ට හෝ පියවරුන්ට සිදු නොවන බවට ඇති විශ්වාසයයි. මේ රටේ දරුවන්ගේ ජීවිත උදුර ගැනීමට යලි කිසිවෙකුට නොහැකිය. යුද්ධය සැබවින්ම දුටු අප පරම්පරාව ත්‍රස්තවාදයේ වේදනාත්මක බර දරාගෙන දිනක සමු ගනු ඇත. සුරක්ෂිත මාතෘ භූමියක් පමණක් ඉතිරිවනු ඇත. දේශපාලකයා ඊළඟ මැතිවරණය අරමුණු කර ගනු ලබද්දී මාතෘ භූමියට ආදරය කරන ජනතා නායකයෙක් ලෙසත් පියෙකු ලෙසත් මා අරමුණු කර ගත්තේ මේ රටේ ඊළඟ පරම්පරාවයි. රණවිරු දරුවනුත්, ඔබත්, මමත් එක්ව තැනූ ඒකීය මෙන්ම නිදහස් මාතෘ භූමියක අපේ දරුවන් සැමදා සුරක්ෂිතය.

දේශබන්දු 27 දක්වා රිමාන්ඩ්….

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් මෙම නියෝගය නිකුත් කර ලැබීය.

හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන ඇතුළු විත්තිකරුවන්ට අධිචෝදනා…..

2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජතල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර අද (21) කොළඹ මහාධිකරණය හමුවේ භාරදෙනු ලැබීය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 01 වනදා කැඳවීමට ද නියම වුණි.

2014 වසරේ දෙසැම්බර් මස 26 වනදා ජනවාරි මස 26 වනදා අතර කාලසීමාව තුළ  ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින්  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110/- ක මුදලක් අනීතික ලෙස වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එවක ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශනය යාපා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව චෝදනා 05ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

බස්නාහිර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෝ වර්ජනයේ – තැපෑල සිව්වන දිනටත්

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝතික ක්‍රියාකලාපයන්ට එරෙහිව බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද (21) දිනයේ සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

අදාළ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයන්ට විරෝධය පල කරමින් ඊයේ (20) දිනයේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

සිය ඉල්ලීම්වලට බලධාරින්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බව චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

මේ අතර තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ.

ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් පසුගිය 17 වන දින මධ්‍යම රාත්‍රී සිට තැපැල් වෘත්තීය සමිති දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල වැඩවර්ජනය ආරම්භ කරනු ලැබීය.

වර්ජනය හේතුවෙන් තැපෑල මඟින් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව ද දැඩි අසීරුතාවට පත්වුණි.

කෙසේවෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තැපැල් පරිපාලනයෙන් ඊයේ (20) දිනයේ ද සාකච්ඡාවක් ලබානොදීම හේතුවෙන් අද දිනයේත් වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු අද අධිකරණයට….

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (21) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මිරිහානේ පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් පෞද්ගලික නිවසේ දී ඊයේ (20) දිනයේ දී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

2022 වසරේ මැයි 9 වන දින ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහි සැකකරුවෙකු ලෙස නම්කර තිබීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්ය.

සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට….

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරිමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසීය පැවසීය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට….

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඒ මහතා ඇප ඉල්ලුම් පත්‍රයයක්ද ගොනුකර තිබුණි.

කෙසේ වෙතත් අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප විය.

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහි අල්ලස් නඩුවට අධිකරණයෙන් නියෝගයක්….

රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකිරීම තුළින් දූෂණය නැමති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධිචෝදනා පත්‍රයට සංශෝධන කිහිපයක් එක්කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අධිකරණය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නේය.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විසින් මෙම අධිචෝදනා පත්‍රය හා සම්බන්ධ ලේඛන ඇතුළත් සංයුක්ත තැටියක් විත්තියේ නීතිඥවරුන්ට ලබා දුන්නේය.

ඒ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ලේඛන මුද්‍රිත පිටපත් වශයෙන් ලබා දෙන්නේ නම් එය ඉතා වැදගත් බව සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය ප්‍රකාශ කළේ, මෙම නඩුකරයට අදාළව ඇමුණුම් වශයෙන් ලේඛන රාශියක් ඉදිරිපත් වී ඇති නිසා ඒවා සංයුක්ත තැටියක් වශයෙන් ලබාදීමට කටයුතු කළ බවය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනරජයට සිදුවන අපහසුව සැලකිල්ලට ගෙන මෙම සංයුක්ත තැටිය භාරගැනීමට සූදානම් බවත් යම් ලේඛනයක් සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුනොත් එහි පිටපත් ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

එවිට විනිසුරුවරයා ද අල්ලස් කොමිසමට දැනුම් දුන්නේ විත්තිය විසින් යම් කිසි ලේඛනයක් ඉල්ලා සිටියහොත් එය පිටපත් වශයෙන් ලබාදීමට කටයුතු කරන ලෙසය.

ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට එල්ල කර තිබෙන අධිචෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.

එහිදී විනිසුරුවරයා සඳහන් කළේ, එම මූලික විරෝධා නඩු විභාගය ආරම්භ කරන අවස්ථාවේදී ඉදිරිපත් කරන ලෙසය.

ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස අධිකරණය විසින් නියම කළේය.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර FCIDයට…….

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතාට අද (20) දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම්දී තිබුණි.