ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය ගැන අමරපුර මහා නිකායෙන් නිවේදනයක්….

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් පොලීසිය විසින් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානාහිමි විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මෙම විහාරස්ථානය 1951 වසරේ සිට පවත්වාගෙන එන ලබන විහාරස්ථානයක් වන අතර, එය බෞ.කො./විහා දේ / 15/15/009 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ ලියාපදිංචි කරන ලද විහාරස්ථානයක් බව අදාළ ලිපියේ සඳහන් වේ.‍

ඒ අනුව 2014 වර්ෂයේ දී මෙම විහාරස්ථානය පිහිටි ඉඩමට එවක ජනාධිපතිවරයා විසින් දීමනා පත්‍රයක් මඟින් හිමිකම් තහවුරු කර ඇති බව ද අදාළ ලිපියේ දැක්වේ.

කරුණු එසේ තිබියදීත්, ඒ හිමිකම් දීමනා ප්‍රදානයන් හා රජයේ ලියාපදිංචිව ඇති මෙම විහාරස්ථානයට හා භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති තර්ජන අභියෝග මහා සංඝරත්නයේ සේම බෞද්ධ ජනතාවගේ ද සිත් තැවුලට හේතු වී ඇති බව ද ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

විශේෂයෙන්ම ඊයේ (16) දින සිදු වූ සිද්ධීන් පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින බව ද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමියන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.

විහාර භූමියේ බුදුපිළිම ඉවත් කිරීමට හා භික්ෂූන් වහන්සේලාට පහරදීමට පොලීසිය කටයුතු කළේ, කවරෙකුගේ වුවමනාවන් වෙනුවෙන් දැයි ප්‍රශ්න සහගත බවද එම පහරදීම හේතුවෙන් විහාරාධිපති හිමියන්ට රොහල් ගත වෙන්න සිදු වී ඇති අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ද අදාළ ලිපියේ තවදුරටත් සඳහන් වේ.

පොලීසියේ එම අනීතික හැසිරීම තරයේ හෙළා දකින අතර, ජනාධිපතිවරයාගේ අවධානය මේ පිළිබඳව කඩිනමින් යොමුකොට දැනට කඩා ඉවත් කිරීමට යෝජනා කර ඇති ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙසත් විහාර භූමියේ, විහාරස්ථානයේ හා භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ අංශ දැනුවත් කොට කඩිනම් පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සටහන්ව තිබේ.

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමත් සමඟ ඊයේ රාත්‍රියේ එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණි.

කෙසේවෙතත් අද දහවල් පොලීසිය විසින්ම බුද්ධ ප්‍රතිමාව යළි වැඩම කර, පැවති ස්ථානයේම තැන්පත් කිරීමට පියවර ගත්තේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, බුද්ධ ප්‍රතිමාවට හානි සිදුවනු ඇති බවට ලද තොරතුරක් හේතුවෙන් එහි ආරක්ෂාව සහතික කිරීමට පොලීසිය අදාළ ක්‍රියාමාර්ගය ගත් බවය.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය 1951 වසරේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බෞද්ධ විහාරස්ථානයකි.

එහි පවත්වාගෙන ගිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ අතර යළි එහි කටයුතු ආරම්භ කිරීමට විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංසතිස්ස හිමියන් සහ දායක පිරිස් තීරණය කර තිබුණි.

ඊයේ උදෑසන ඊට අදාළව මුල්ගල තැබීම සිදුකර පස්වරුව වන විට එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමටද පිරිස කටයුතු කර තිබුණේ ඒ අනුවය.

නමුත් මෙම ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පැමිණ ස්වාමීන් වහන්සේ දැනුවත් කර තිබුණි.

මෙවැනි පසුබිමක එම භූමියේ තැන්පත් කෙරුණු බුද්ධ ප්‍රතිමාව ඉවත්කිරීමට පොලිසිය ඊයේ රාත්‍රියේ කටයුතු කර තිබේ.

ඒ හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට එහිදී එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේය.

සිද්ධියෙන් තුවාල ලද බව පවසමින් විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේ නමක් පසුව රෝහල්ගත වුණි.

මේ අතර සිද්ධිය වූ ස්ථානයට අද පැමිණි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමන මහතාට එහි සිටි පිරිසගෙන් විරෝධය එල්ලවුණි.

දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්….

දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (17) ප.ව. 7:00 සිට හෙට (18) ප.ව. 7:00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය.

ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
හල්දුම්මුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:
අරණායක

ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

බදුල්ල දිස්ත්‍රික්කය:
බණ්ඩාරවෙල
හපුතලේ

කළුතර දිස්ත්‍රික්කය:
වලල්ලාවිට

මහනුවර දිස්ත්‍රික්කය:
ගඟවට කෝරළය
උඩුනුවර
උඩපලාත
තුම්පනේ
පාතහේවාහැට
⁠උඩුදුම්බර
ගඟ ඉහළ කෝරළය
⁠පස්බාගෙ කෝරළය
⁠යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
රඹුක්කන
⁠මාවනැල්ල
දැරණියගල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
මාවතගම
⁠මල්ලවපිටිය

මොනරාගල දිස්ත්‍රික්කය:
බිබළ

නුවරඑළිය දිස්ත්‍රික්කය:
අඹගමුව
හගුරන්කෙත
වලපනේ
නෝර්වුඩ්
කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:
කිරිඇල්ල
⁠බලන්ගොඩ
කලවාන
කොලොන්න
රත්නපුර

GMOA වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණයක්…..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇත.

එම සංගමය පැවසුවේ මේ සම්බන්ධව රජයේ පාර්ශ්වයන් දැනුවත් කළ බවත් මීට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට සිය සංගමය පියවර ගත් බවය.

ඒ අනුව හෙට සිට උදෑසන 8 සිට දිවයින පුරා පිහිටි රෝහල්වල මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1115ක් අත්අඩංගුවට…..

විෂ ‍මත්ද්‍රව්‍ය මුලිනුපා දැමීමේ “රටම එකට“ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (15) සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 1000කට අදික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ වැටලීම් 1131ක් සිදුකර ඇති අතර එහිදි සැකකරුවන් 1115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 531ක් ද, අයිස් ග්‍රෑම් 754ක්, ගංජා කිලෝ 08යි ග්‍රෑම් 953ක්, මත්පෙති 249ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙ ඇත.

එමෙන්ම සැකකරුවන් 31 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර තවත් 63දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමුකර ඇති බව පොලීසිය පැවසුවේය.

තුසිත හල්ලොලුව අධිකරණයට භාරවෙන්න එයි….

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාරවීමට පැමිණ තිබේ.

ඒ මහතාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් ඊයේ (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

ඒ නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තුසිත හල්ලොලුව නම් කර සිටීම හේතුවෙනි.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර තුසිත හල්ලොලුව මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහුට වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය කටයුතු කළේය.

හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා ගැන අලුත්ම කතාව…..

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් විදුහල්පති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය අද (14) නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ පසුගිය (5) වන දින අත්අඩංගුවට ගෙන තිබුණි.

එම විදුහල්පති සම්බන්ධයෙන්  නිවේදනයේ දැක්වෙන්නේ, මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නිලධාරියා ‘විදුහල්පති’ ලෙස ඉස්මතු කර දැක්වුව ද ඔහු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරයකු නොවන බවය.

ඒ අනුව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරනු ලබන්නේ ඔහු ශ්‍රී ලංකා ගුරුසේවයේ නිලධාරියකු බව මේ වනවිට සනාථ වී ඇති බවත් ඔහු රාජකාරි ආවරණය කරන්නෙකු බවත් ය.

‘විදුහල්පති’ යනුවෙන් හැඳින්විය හැක්කේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරි නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් බවද අදාළ නිවේදනයේ සඳහන්ය.

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වැඩිදුර සඳහන් කරන්නේ විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරි නිලධාරීන් නොවන අයෙකු එලෙස ‘විදුහල්පති’ නාමය භාවිතා කිරීම විදුහල්පති සේවයට කරන අසාධාරණයක් බවයි.

තවද, එම අදාල නිවේදනයේ සඳහන් වන්නේ එම නිලධාරියා සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරනවිට
“ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියෙකු” ලෙස හඳුන්වන ලෙසයි.

නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් වැඩ භාරගනී…..

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන රසික පීරිස් මහතා නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස අද (14) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

1998 මාර්තු 2වනදා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත්වීම් ලැබූ ඒ මහතා, එම වසරේම සැප්තැම්බර් 15වනදා මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස සේවයට එක්ව තිබේ.

එතැන් සිට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හා අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස එම දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අඛණ්ඩව අවුරුදු 27ක් සේවය කළ ජ්‍යෙෂ්ඨතම මාණ්ඩලික නිලධාරියෙක්ය.

හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාට වයස අවුරුදු හැට සම්පූර්ණවීම මත පසුගිය 13වනදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම ධුරය මේ දක්වා පුරප්පාඩුව තිබුණි.

ආණ්ඩු විරෝධී රැළියේ අරමුණ රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා දීමයි – නාමල් රාජපක්ෂ….

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම  අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නාමල් රාජපක්ෂ වැඩිදුරටත්  පැවසූවේ, විපක්ෂයේ විවිධ පක්ෂ රැසක් දැනටමත් මෙම සාකච්ඡාවලට එක්ව ඇති බවය.

අතීතයේදී සාකච්ඡා පැවතියේ පොදුජන පෙරමුණ තුළ පමණක් වූ අතර මේ වනවිට අප විපක්ෂයේ  සියලු පක්ෂ සමග සාකච්ඡා කරන බවද නාමල් රාජපක්ෂ පැවසීය.

තවද, එම රැලිය ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බල කිරීම අරමුණු කරගත් බවත්, “රජයේ ප්‍රතිපත්ති නිසා බලපෑමට ලක්වූ බොහෝ දෙනාත් මෙම රැලියට එක්වනු ඇතැයි නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ රැසක් රැලියට එක්වීමට එකඟ වී ඇති අතර, තවත් පක්ෂවල සහභාගීත්වය ඔවුන්ගේ අභ්‍යන්තර සාකච්ඡා නිමා වූ පසු තීරණය කරනු ඇති බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

තුසිත හල්ලොලුවට වරෙන්තු…..

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (13) වරෙන්තු නිකුත් කර තිබේ.

නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තුසිත හල්ලොලුව නම් කර සිටි.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර තුසිත හල්ලොලුව මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඒ අනුව මෙම වරෙන්තුව නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

හිටපු අමාත්‍ය ප්‍රසන්නගේ නඩුවේ සම්පූර්ණ කතාව……

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් දූෂණ චෝදනා මත අද (12) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාව ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේය.

එහිදී සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරුණු අතර, විදෙස් ගමන් තහනමක් ද පැනවීය.

හිටපු අමාත්‍යවරයාට චෝදනාව එල්ලව ඇත්තේ ඔහු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය දරමින් සිටියදී වූ සිද්ධියක් සම්බන්ධයෙන්ය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන 04හි සේවකයන් සඳහා වන සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන අන්දමට “මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස්” නමැති තැරැව්කාර සමාගමක් පත්කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් රුපියල් ලක්ෂ 47කට අධික කොමිස් මුදලක් ගෙවීම හරහා එම සමාගමට අයුතු වාසියක් සැලැස්වීම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයුතු පාඩුවක් සිදුකිරීම තුළ දූෂණය නමැති වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනුකර ඇත.

ඒ අනුව අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට අද දහවල් ඉදිරිපත් කළේය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි අබේසිංහ මහතා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

“ස්වාමිනි සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා සෘජු වෛද්‍ය රක්ෂණ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබාගැනීමට හැකිව තිබියදී, මෙම තැරැව්කාර සමාගම ඊට මැදිහත් කරගැනීම හරහා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නොගෙවිය යුතු රුපියල් 47 ලක්ෂ 50,828ක් කොමිස් මුදලක් ලෙස එම සමාගමට ගෙවා තිබෙනවා. 

මෙයින් එම සමාගමට අයුතු වාසියක් සිදුවුණා සේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පාඩුවක් සිදුව තිබෙනවා. එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් වූ ප්‍රසම්පාදනයේ තැරැව්කාර සමාගමක් දක්වා නොතිබුණත් මෙම සැකකරු තමයි සංචාරක අධිකාරියේ සභාපතිට සහ අධ්‍යක්ෂ ජනරාල්ට එය තැරැව්කාර සමාගමක් ලෙස නම්කරලා කොමිස් මුදල ගෙවන්නැයි බලපෑම් කරලා තියෙන්නේ. 

එම සමාගමේ අයිතිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම මුදල තවත් ගිණුම් 05කට බැරකර ඇති බව අනාවරණය වුණා. එම ගිණුම් අයිති කාටද කියලා විමර්ශන කරන්න ඕනේ. 

විමර්ශනයට අදාළව සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා අල්ලස් කොමිසමට කැඳවා ප්‍රකාශ සටහන් කරගත්තාට පසු මෙම සැකකරු ඔවුන්ට දුරකථනයෙන් අමතා බලපෑම් කර තිබෙනවා. 

එබැවින් සාක්ෂිකරුවන්ට බලපෑම් නොවන පිණිස සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.” 

අනතුරුව සැකකාර හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, කොවිඩ් වසංගතය සමයේ විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගන්න කියලා ඔවුන්ගේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටියා. හෝටල්වලින්, පෞද්ගලික ආයතනවලින් ඒ සඳහා අනුග්‍රහය ඉල්ලුවත් කිසිවෙක් ඊට ඉදිරිපත් වුණේ නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිව්වේ පහසුමිලට ගුවන් යානයක් දෙන්නම් නමුත් වියදම රජය දරන්න කියලා. 

පසුව මේ සැකකාර අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට උපදෙස් දුන්නා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අදාළ මුදල් තැරැව්කාර සමාගමට මුදාහරින්න කියලා. එම මුදල්වලිනුයි ස්වාමිනි කොවිඩ් සමයේ කුවේට්හි සිටී ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන් දිවයිනට රැගෙන ආවේ. 

ඔය කියන විදිහට මේ සැකකරු තැරැව්කාර සමාගම පෞද්ගලිකව නම් කරලා නැහැ. විවෘත සාකච්ඡාවකදියි එය සිදුකරලා තියෙන්නේ. අපි සූදානම් නඩු විභාගයට මුහුණදෙන්න. මේ හදන්නේ 21 වැනිදාට පෙර ප්‍රසන්න රණතුංගව රිමාන්ඩ් කරන්න.”

මෙහිදී සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, මේ සැකකරුට ශල්‍යකර්මයක් සිදුකර තිබීම හේතුවෙන් ඔහුට සාමාන්‍ය පරිදි ආහාර ලබාගන්න බැහැ. ඔහුට පැය හතරෙන්, හතරට කුඩා ආහාරයක් ලබාගත යුතුයි. ඊට විශේෂ ප්‍රෝටීන් මිශ්‍ර කිරීමක්ද කළ යුතුයි. නැතිනම් ඔහුගේ ජීවිතය අවදානමකට ලක්වෙනවා. 

එබැවින් ඔහුට ඇප ලබාදීමේදී මේ කරුණුත් සලකා බලන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සිය නියෝගය ප්‍රකාශයට පත්කළේය.

“මේ අවස්ථාවේ සිදුකළ යුතුවන්නේ නඩුවේ කරුණු පිළිබඳ නොව සැකකරුගේ ඇප අයැදුම පිළිබඳ සලකා බැලීම. අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ එන දූෂණය නම් වරද මෙම අධිකරණයට ඇප ලබාදිය හැකි වරදක්. 

අල්ලස් කොමිසම මේ සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බව වාචිකව කිව්වාට, ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවේ සඳහන් කර නැහැ. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අදාළ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ අරගෙනත් නැහැ. 2022 වර්ෂයේ සිට මේ දක්වා විමර්ශනයට අදාළව සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවටත් කරුණු අනාවරණය වෙලා නැහැ”.