යෝෂිතගේ නඩුව ගැන අධිකරණයෙන් දැනුම්දීමක්….

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය, එළැඹෙන 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (8) දැනුම්දුන්නේය.

අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව දැන්වීය.

එහිදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මැන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ පළමුවන ‘කුමන්ත්‍රණය’ නමැති චෝදනාවෙන් විත්තිකාරියක වශයෙන් නම්කර සිටි ඩේසි ෆොරස්ට් මේ වන විට නිදහස් කර ඇති නිසා තම සේවා දායකයාට එරෙහිව එම චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කළේය.

ඒ අනුව සිය සේවාදායකයාට එරෙහිව කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බව ජනාධිපති නීතිඥවරයා සිය මූලික විරෝධතාවලින් සඳහන් කර ඇත.

එම මූලික විරෝධතාවලට අදාළ ලේඛන ද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට භාරදී තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුවේ දෙවන විත්තිකාර ඩේසි ෆොරස්ට් නමැත්තිය නඩුවෙන් මුදාහරිනු ලැබුවේ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා බව පැවසීය.

එම තත්ත්වය විත්තිය විසින් සඳහන් කරන කරුණට අදාළ නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම්දී ඇත.

කෙසේ වෙතත් මෙම මූලික විරෝධතාව පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුව ලබන සඳුදා කැඳවන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා තිබේ.

ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුව ලබන සඳුදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා, ඊට අදාළ විත්තියේ ස්ථාවරය අඟහරුවාදා ඉදිරිපත් කරන ලෙසත් නියම කළේය.

ඉන් අනතුරුව  මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන 14 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා පැවසීය.

පිටිගල සහ තිස්සමහාරාමයේදී පුද්ගල ඝාතන දෙකක්…..

ප්‍රදේශ දෙකකදී සිදු වූ පුද්ගල ඝාතනවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පිටිගල, හොරංගල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 60 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය.

දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර එහිදි තුවාල ලැබු සැකකරු අත්අඩංගුවට ගෙන ඇල්පිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම තිස්සමහාරාම, ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක් තුළ දී ද කාන්තාවක් ඝාතනය කර ඇත.

අදාළ කාන්තාවගේ සිරුරේ කැපුම් තුවාල නිරීක්ෂණය වී ඇති අතර ඝාතනය සිදු කළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ 88 හැවිරිදි ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

චෙම්මනි සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 260කට අදාළ අස්ථි කොටස් හමුවෙයි……

චෙම්මනි – සිත්තුපත්ති සමූහ මිනීවළේ මේ දක්වා සිදුකළ කැණීම් කටයුතුවලින් මිනිස් අස්ථි කොටස් 260ක් සොයාගෙන තිබේ.

ඉන් සිරුරු 256කට අයත් අස්ථි කොටස් ගොඩගෙන ඇති බව සඳහන්ය.

තෙවන අදිරයරේ 11 වන දිනයේ කැණීම් කටයුතු අද (08) සිදු කෙරුණු අතර එහිදී තවත් සිරුරු තුනකට අයත් අස්ථි කොටස් සොයා ගත් අතර ඉන් සිරුරු දෙකක් ගොඩගෙන ඇති බව සඳහන්ය.

තෙවන අදියරේ කැණීම් කටයුතුවලදී අද (08) දින දක්වා මිනිස් අස්ථි කොටස් 17ක් සොයාගෙන තිබේ.

වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට…..

වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටිමින් මූල්‍ය වංචාවන් සිදුකළ වියට්නාම් ජාතික සැකකරුවන් හා සැකකාරියන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර විදෙස් ජාතික සැකකරුවන් 41 දෙනෙකු හා සැකකාරියන් 33 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

ඊයේ (06) සවස කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හා සැකාරියන් අවුරුදු 19 ත් 39 ත් අතර වයස්වල පසුවන පිරිසක්වන අතර කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර තවත් විදෙස් ජාතික සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටිමින් මූල්‍ය වංචාවන් සිදුකළ වරදට ගන්දර, තළල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී මෙම පිරිස ඊයේ (06) සවස මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් සංචාරක වීසා මගින් ව්‍යාපාර සිදුකිරීම හා තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි ලඟ තබාගැනීම ද සිදුකර ඇති බවය.

සැකකරුවන් හා සැකකාරිය අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන තායිවාන් හා චීන ජාතිකයින් වේ.

ගන්දර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

වෙළෙඳ සැලට පැන්න කාන්තා කොල්ල කල්ලිය……

ව්‍යාපාරික ස්ථානයකට තියුණු ආයුධ සහ යකඩ පොලු රැගෙන ඇතුළු වූ කාන්තාවන් හය දෙනකු ඇතුළු දස දෙනෙකුගෙන් යුත් කොල්ලකරුවන් පිරිසක් සේවකයින්ට පහරදී රුපියල් 13 ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි දෙහිවල පොලීසිය සඳහන් කරයි.

ඉකුත් 04 වෙනි දින සවස 06.30ට පමණ ව්‍යාපාරික ස්ථානය වෙත නාඳුනන පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් රූපවාහිනි යන්ත්‍රයක් මිලදී ගැනීමට බව පවසා ඇතුළු වී ඒ සඳහා රුපියල් 45,000/=ක මුදලක් අයකැමි වෙත ලබා දී ඇතැයි පොලීසිය පැවසීය.

ඔවුන් වෙත රූපවාහිනි යන්ත්‍රය ලබාදීමට එය පරීක්ෂා කරමින් සිටියදී ප්‍රමාද වන බව පවසා එහි සේවකයින් සමග බහින්බස්වීමක් ඇති කරගෙන ලබාදුන් මුදල් ආපසු ලබාගෙන පිටව ගොස් මද වෙලාවකට පසු එම කාන්තාව සහ පිරිමි පුද්ගලයා තවත් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් කිහිපදෙනෙකු සමග වෙළෙඳ සැලට ඇතුළු වී එහි සිටි සේවකයන්ට පහරදී බෑගයක දමා තිබූ රුපියල් 1,309,000/= ක මුදල කොල්ලකා පලා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කොල්ලකරුවන් පිරිස නැවත පා ගමනින්ම දුම්රිය පාර ඔස්සේ පලා ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට අල්ලස් කොමිසමෙන් නැවතත් නඩු පවරයි…..

2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්වම ග්‍රීක බැඳුම්කර මිලදීගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් යළිත් වරක් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ඒ මීට පෙර අධිකරණය විසින් පනවා තිබූ, මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කිරීමේ කොන්දේසිය කඩකිරීම හේතුවෙන් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේය.

රුපියල් මිලියන 100 තැන්පත් කිරීමේ කොන්දේසියට යටත්ව නඩුව ඉල්ලා අස්කරගැනීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබුණද, එම එකඟතාව පරිදි නියමිත කාලය තුළ අදාළ මුදල තැන්පත් කරමින් කොන්දේසිය සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන්, මෙලෙස යළිත් වරක් මහාධිකරණය හමුවේ නීතිමය පියවර ගෙන තිබුණි.

වසර තුනක් තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,000ක්…..

ගතවූ වසර තුන තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 12,000ක් පමණ ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

2023, 2024 සහ 2025 වසරවල ලැබී ඇති එම පැමිණිලිවලින් 2,300ක් පමණ විසඳා ඇති බව ආනන්ද විජේපාල මහතා කියා සිටියේය.

2023 වසරේදී කාන්තාවන්ට එරෙහිව සයිබර් අපරාධ 4103ක් ලැබී ඇති අතර ඉන් 753ක් විසඳා ඇත.

තවත් පැමිණිලි 3348ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සහ නඩු පැවරීම් සිදු කෙරේ.

2024 වසරේදී ලැබුණු පැමිණිලි 3159 අතුරින් 982ක් විසඳා ඇති බව ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය‍.

එහිදී තවත් පැමිණිලි 2177ක් පිළිබඳව විමර්ශන සහ නඩු පැවරීම් සිදු කරමින් පවතින බව ද හෙතෙම පැවසීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, 2025 වසරේදී කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 4742ක් ලැබී ඇති බවය.

ඉන් 572ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 4170ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සහ නඩු පැවරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් ප්‍රතාශ කළේය.

දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට වැසේ……

පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන්, දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (08) වසා තැබීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව  දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස  වසා දමෙනු ඇත.

අදාළ පාසල්වල සිසුන් සහ ගුරුවරුන් අතර රෝග ව්‍යාප්තිය ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස හා දරුවන්ට රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.

ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි……

වැලිසර අතරමැදි කඳවුරෙන් පලාවිත් අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී මූල්‍ය ජාවාරම්වල යෙදුණු විදෙස් ජාතිකයන් 30 දෙනෙකු පොලීසිය විසින් අද (7) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් බොරලැස්ගමුව 10 කණුව ප්‍රදේශයේ කුලියට ගත් ගොඩනැගිල්ලක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.

සැකකාර විදේශීය ජාතිකයන් අතර චීන ජාතික තරුණියන් දෙදෙනෙක් ඇතුළු 21ක්, වියට්නාම් තරුණියක් ඇතුළු 9ක් සිටින බව පොලිසිය පැවසීය.

එම සැකකරුවන් සමග පරිගණක 10, ඇපල් වර්ගයේ ජංගම දුරකථන 29ක්, අන්තර්ජාල පහසුකම් ලබාගන්නා උපාංග ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙවැනිම ආකාරයේ වරදකට ඉකුත් අප්‍රේල් 2වැනිදා විදෙස් ජාතිකයන් 152ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් අතර මෙම සැකකරුවන් සහ සැකකාරියන් ඇතුළු 30දෙනාද සිට තිබේ.

කෙසේ නමුත් ඔවුන් අධිකරණ නියෝග මත වැලිසර අතරමැදි කඳවුරේ රඳවා සිටියදී පලාගොස් සිටියදී මෙලෙස යළි අත්අඩංගුවට පත්ව ඇත.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

ඔවුන් බොරලැස්ගමුව ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලය රුපියල් ලක්ෂ 15ක මාසික කුලී පදනම මත ලබාගෙන මෙම ජාවාරමේ නිරතව සිටි බව මූලික විමර්ශනවලදී අනාවරණය ඇත

භාෂා පරිවර්තයකු යොදා සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී මීට දින කිහිපයකට ඉහතදී මෙම ස්ථානයට පැමිණි බවට තොරතුරු හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් කිසිදු විදෙස් ජාතිකයෙකුට වීසා හෝ ගුවන්ගමන් බලපත්‍ර නොතිබූ බව පොලිසිය පැවසීය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

කපිල චන්ද්‍රෙස්නට ඇප දෙන්න ආ ව්‍යාජ ඥාතීන් දෙදෙනා රිමාන්ඩ්……

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීම සඳහා ඔහුගේ ඥාතීන් ලෙස පෙනීසිටි පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඇප කොන්දේසිවලට අනුව කපිල චන්ද්‍රෙස්න මහතාගේ ඥාතීන් තිදෙනෙකු විසින් ශරීර ඇප ලබාදිය යුතු වූ අතර,ඒ අනුව ඥාතීන් ලෙස පෙනීසිටීම සඳහා සැකකරුවන් රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩකිරීම හේතුවෙන් කපිල චන්ද්‍රෙස්න මහතා යළි  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම  ඉකුත් 5වැනිදා  නියෝග කළේය.

ඒ අනුව ඊයේ අදාළ ඇප මුදල් තැන්පත් කිරීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු අධිකරණයට පැමිණ තිබුණි.

ඉන් ඇපකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් සැකයක්  ඇතිවීම හේතුවෙන් අධිකරණ කාර්ය මණ්ඩලය සිදුකළ පැමිණිල්ලකට අනුව ඔවුන් දෙදෙනා කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණි.

එහිදී ඔවුන් අනාවරණය කර ඇත්තේ තමන් කපිල චන්ද්‍රසේන මහතාව නාඳුනන බවත්, රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ බවය.

සැකකරුවන්ට නිශ්චිත රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන සැකකරුවන් දෙදෙනා ලබන 13 වැනිදා දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.

එමෙන්ම ඇප තැබීම සඳහා මොවුන් ග්‍රාම නිලධාරි සහතික ලබා ගැනීම පිළිබඳ විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

මේ අතර ඇප මත මුදාහැර සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.

ඒ ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩකිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම සිදුකල ඉල්ලීමක් සලකා බලමින්ය.