ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීම සඳහා ඔහුගේ ඥාතීන් ලෙස පෙනීසිටි පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඇප කොන්දේසිවලට අනුව කපිල චන්ද්‍රෙස්න මහතාගේ ඥාතීන් තිදෙනෙකු විසින් ශරීර ඇප ලබාදිය යුතු වූ අතර,ඒ අනුව ඥාතීන් ලෙස පෙනීසිටීම සඳහා සැකකරුවන් රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩකිරීම හේතුවෙන් කපිල චන්ද්‍රෙස්න මහතා යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම ඉකුත් 5වැනිදා නියෝග කළේය.
ඒ අනුව ඊයේ අදාළ ඇප මුදල් තැන්පත් කිරීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු අධිකරණයට පැමිණ තිබුණි.
ඉන් ඇපකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් සැකයක් ඇතිවීම හේතුවෙන් අධිකරණ කාර්ය මණ්ඩලය සිදුකළ පැමිණිල්ලකට අනුව ඔවුන් දෙදෙනා කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණි.
එහිදී ඔවුන් අනාවරණය කර ඇත්තේ තමන් කපිල චන්ද්‍රසේන මහතාව නාඳුනන බවත්, රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ බවය.
සැකකරුවන්ට නිශ්චිත රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඒ අනුව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන සැකකරුවන් දෙදෙනා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.
එමෙන්ම ඇප තැබීම සඳහා මොවුන් ග්‍රාම නිලධාරි සහතික ලබා ගැනීම පිළිබඳ විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.
මේ අතර ඇප මත මුදාහැර සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.
ඒ ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩකිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම සිදුකල ඉල්ලීමක් සලකා බලමින්ය.

