කරන්දෙනිය තල්ගහවත්තේදී පුද්ගල ඝාතනයක්…

කරන්දෙනිය පොලිස් වසමේ තල්ගහවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී පුද්ගලයකුට පොල්ලකින්් පහර දී ඝාතනය කර ඇත.
පෝය(ඊයේ) දින රාත්‍රියේ තල්ගහවත්ත ප්‍රදේශයේ තම නිවසේ මියගිය අය මිතුරන් තිදෙනෙකු සමග මත්පැන් සාදයක් පවත්වා ඇත. රාත්‍රී 10 වනතෙක් ඔවුන් මත්පැන් සාදය පවත්වා ඇති අතර ඉන්පසුව තම මිතුරන් ඔවුන්ගේ නිවෙස් වලට ඇරළවීම සඳහා තම මාමණ්ඩියගෙන් ත්‍රී රෝද රථය ඉල්ලා සිටි අවස්ථාවේ බීමත්ව සිටි නිසා මියගිය අයගේ මාමණ්ඩිය ඔහුට ත්‍රිරෝද රථය ලබාදීමට අකමැති වූ නිසා ඔවුන් අතර බහින් බස් වීමක් සිදුවී ඇත.එය දුරදිග යාම නිසා නිසා සැකකරු පොල්ලක් නිවසේ ජනේලයට පහරදී සිය බිරිඳට ද පහර දීමට තැත් කළ විට මාමණ්ඩිය එය වැළැක්වීමට උත්සාහ දරා ඇත.නමුත් මියගිය අය දරුණු ලෙස හැසිරීම නිසා පසුව ඔහුට මාමන්ඩිය විසින් මිරිස් ගසා පොලු පහරක් දී ඇත.මේ අවස්ථාවේදී දැඩි බීමතින් සිටි මියගිය අය පොලු පහර වැදීමෙන් එතනම මියගොස් ඇත.ඉන්පසුව එම මියගිය අයගේ මාමණ්ඩිය කරන්දෙනිය පොලිසියට බාර වී ඇත.මේ සිද්ධිය සම්බන්ධව ඇල්පිටිය සෝකෝ අංශයේ නිලධාරීන් පැමිණ පරීක්‍ෂණකටයුතු සිදු කරන ලදී.මෙසේ මිය ගොස් ඇත්තේ එක්දරු පියකු වන තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි මොරගොඩ තුෂාර සම්පත් නැමැති අයෙකි.මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ තල් ගහවත්ත ප්‍රදේශයේපදිංචි හේවා හකුරු විජයතිලක නමැති 58 හැවිරිදි අයෙකි.සිද්ධිය සම්බන්ධව කරන්දෙනිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අම්බලන්ගොඩ – අනුරාධ ප්‍රියදර්ශන

නීතිවිරෝධීව විදෙස් ගමන් බලපත්‍ර රැසක් ලඟ තබා ගෙන සිටි දෙදෙනෙකු කොටුවෙයි…..

ගණේමුල්ල පොලිස් වසමේ හොරගොල්ල ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් සිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගණේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමකින් අනතුරු මෙම සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 51ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය අවුරුදු 62ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ගණේමුල්ල පොලීසිය විසින් සිදුකරති.

පුද්ගලයෙකුට මරු කැඳවූ ආරවුල….

හොරණ – කැබැල්ලගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 66ක් වන කැබැල්ලවත්ත, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා අසල්වැසි නිවසක මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම නිවසේ පදිංචි පුද්ගලයා විසින් ආයුධයකින් පහර දී ඔහුව ඝාතනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

 ගල්පාත – චන්දන පෙරේරා

පානදුර අලුබෝමුල්ලේ වෙඩිතැබීමක්….

පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (6) පෙරවරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ මිලිමීටර 9 වර්ගයේ පිත්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ කාන්තාවක් එහි සිට ඇත.

ඇය වෙඩි ප්‍රහාරයෙන් බේරී පලායාමේ දී වෙළෙඳසැලේ තිබූ ශීතකරණයකට වෙඩි වැදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසියට විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඊට අමතරව පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ ද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මීගමුවේ වෙඩිතැබීමක්….

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (6) අලුයම 1.38ට පමණ මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට වෙඩිතබා පලාගොස් තිබේ.

කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමෙන් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බව සඳහන්.

මුදල් ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්තේ වෙඩිතැබීම් 02ක්….

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කර සිටියේ මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපල කරයි.

මේ අතර මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (6) අලුයම 1.40ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

අයිස් මත්ද්‍රව්‍ය හදන්න ගන්නා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් මිද්දෙණියෙන් සොයාගනී……

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට පැවසෙන අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000කට ආසන්න තොගයක් මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සොයාගෙන තිබේ.

ඒ අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලියෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් මේ වනවිටත් එම ස්ථානයේ විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්….

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්‍ෂානි නමැත්තිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට අද (04) ඉදිරිපත් කර තිබේ.

ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

මාළිගාවත්තේ වෙඩිතැබීමේ තවත් කතාවක් එලියට එයි…..

මාළිගාවත්ත ප්‍රදේශයේදී අද (3) දහවල් සිදුවූ වෙඩිතැබීම අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන්ගෙන් පළිගැනීම සඳහා සිදුකරන ලද්දක් බවට සැකකරන බව පොලීසිය පවසයි.

අද පෙරුවරු 11.20ට පමණ මාළිගාවත්ත පොලීසියට මීටර 100ක පමණ දුරින් පිහිටි ත්‍රිරෝද රථ අමතර කොටස් වෙළෙඳසැලකදී වෙඩිතැබීමක් සිදුව තිබුණි.

වෙඩික්කරු ටී-56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකළ අතර, ඔහුගේ ඉලක්කය වූ වෙළෙඳසැලේ අයකැමිවරයා පරිගණකයක තිරයකට මුවාවී වෙඩි ප්‍රහාරයෙන් බේරී ඇත.

කෙසේ වෙතත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ, වෙඩි ප්‍රහාරයෙන් අදාළ වෙළෙඳසැලේ අයකැමිවරයාගේ අතකට තුවාල සිදුව ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.

ඔහු වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්ය.

පොලීසිය සැකපලකරන්නේ අදාළ වෙළෙඳසැලේ හිමිකරු කංජිපානි ඉම්රාන් නම් අපරාධකරුගේ යහළුවෙක් බවයි.

ඒ අනුව කංජිපානි ඉම්රාන්ගෙන් පළිගැනීමේ අරමුණින් මෙම වෙඩිප්‍රහාරය එල්ල කරන්නට ඇති බව පොලීසිය පවසයි.

මාළිගාවත්තේ වෙඩිතැබීමේ CCTV දර්ශන මාධ්‍ය වලට නිකුත් වෙයි….

මාළිගාවත්ත, ජුම්මා හංදිය ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ CCTV දර්ශන පෙළක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.

අද (03) උදෑසන ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදාගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර ඉන් එක් අයෙකු තුවාල කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථ අමතර කොටස් අලෙවි සැලක සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුකර තිබේ.

එහිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙම වෙඩි තැබීමත් සමග වසරේ ගත වු කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 93ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් 54 දෙනෙකු තුවාල ලබා තිබේ.