උඩුදුම්බර ඛේදවාචකය – දෙදිනකට පෙර පියාත් ලියුකේමියාවෙන් මිය ගිහින්….

ලියුකේමියාවෙන් මියගිය සිය සැමියාගේ දේහය නිවසේ තිබියදීම සිය දරු තිදෙනා සමඟ වස පානය කළ කාන්තාවක් පිළිබඳ ඛේදනීය පුවතක් උඩුදුම්බර ප්‍රදේශයෙන් වාර්තා වුණි.

සිද්ධියෙන් එම කාන්තාව මිය ගොස් ඇති අතර දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේය.

“මැරෙන්න එපා ඇස් අරින්න…ඇස් අරින්න” මේ හද කම්පා කළ වචන කිහිපයකි.

කෙළිදෙලෙන්, සහෝදරකමින් මේ මොහොතේ උඩුදුම්බර ප්‍රාදේශීය රෝහලේ ඇඳක් උඩට වී සිටින මෙම දරුවන් තිදෙනා බලා සිටින්නේ, විසක් ශරීරගත වී ඇත්දැයි යන සැකයෙනි.

මේ දරුවන්ගේ මව ඊයේ (18) රාත්‍රියේ කිරි සමඟ වස මුසුකර දරුවන්ට පානයට කරන්නට දී ඇතත් වෙනදා මෙන් නොව එහි වූ තිත්ත රස නිසා දරුවන් කිරි කෝප්ප ප්‍රතික්ෂේප කර තිබුණි.

දරුවන් තිදෙනා එය ප්‍රතික්ෂේප කළත් මව ඒ සියල්ල පානය කිරීමෙන් පසු රෝගී වී තිබුණි.

පසුව අසල්වැසියන් විසින් දරුවන් සහ මව කඩිනමින් රෝහල් ගතකර ඇති අතර, ඒ වනවිටත් මව මෙළොව හැරගොස් තිබුණි.

රෝහල් බලධාරීන් පවසන පරිදි දරුවන්ට කිසිදු ගැටලුවක් නොමැති බව අනාවරණය වී තිබේ.

“කොප්පෙක තිබුණේ හැන්දෙන් මට පෙව්වේ. මල්ලිලා හිටියේ නිදාගෙන. මාත් නිදාගෙන හිටියේ. අම්මා ඇහැරෙව්වා. කිරි දුන්නේ. මම කටින් එළියට දැම්මා කිරි නෙමෙයි කියලා. කිරිවලට මොනවද දාලා. තිත්ත රසක් ආවා. මම කිව්වා මේවා කිරි නෙමෙයි කියලා. ඊට පස්සේ අම්මා ඒක බිව්වා. ඊට පස්සේ අම්මා ඇඳට වැටුණා.”

කොහොම වුණත් මල්වන් මේ දරුවන් පිටුපස ඇති කතාව බොහොම අවාසනාවන්ත එකකි.

මේ දරුවන් තිදෙනාම ලියුකේමියා රෝගයෙන් පෙළෙන අතර, මීට දෙදිනකට පෙර දරුවන්ගේ පියා මිය යන්නේත් ලියුකේමියා රෝගයෙනි.

පියාගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතය.

එවන් පසුබිමකයි 34 හැවිරිදි මව සිය දරු තිදෙනාටත් වස දී වස පානය කර තිබුණේ.

“පවුලේ ඥාතීන් පවසන්නේ, අපිට මේ දරුවා රැකගන්න පුළුවන්. කන්න බොන්න දෙන්න පුළුවන් සෙනෙහස දෙන්න බෑ. දෙමව්පියෝ දෙන්නා අසීමිතව මේ දරුවන්ට ආදරේ කළා. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දරුවන් වෙනුවෙන් යම් මෙහෙවරක් කරලා දෙන්න කියලා.”

ප්‍රශ්නය කුමක් වුවත්,දැනෙන පීඩනය කුමක් වුවත් විසඳුම ජීවිතය අත්හැරීම ද?

තමාගේ පමණක් නොව තවත් කෙනෙකුගේ ජීවිතයට හානි කරන්නට කිසිවකුටත් ඇති අයිතිය කුමක්ද?

මේ පිළිබඳ අදහස් දක්වන  මනෝ වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා විජයබණ්ඩාර,

“අපි කාටත් ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණදෙන්න සිද්ධවෙනවා. ඒ ප්‍රශ්න එක්ක ජීවිතේ කඩාවැටීම්, කලකිරීම් ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපිට ජීවත් වුණා ඇති, මැරුණා නම් හොඳයි වගේ සිතුවිලි එන්න පුළුවන්. එහෙම සිතුවිලි නැවත නැවත එනවා නම් එය කිසිවිටෙකවත් සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. එයින් ඇඟවෙන්නේ ඔබට උදව් අවශ්‍ය බවයි. ඔබට උදව් ගන්න විවිධ ක්‍රම තියෙනවා. ඔබේ පවුලේ වෛද්‍යවරයාට කතා කරන එක, කුඩා දරුවන් ඉන්නවා නම් පවුල් සෞඛ්‍ය සේවිකාවකට කතා කරන්න. කවුරුත් නැත්නම් ඔබට 1926ට කතා කරන්න මානසික සෞඛ්‍ය උපකාරක සේවයට. පැය 24ම ක්‍රියාත්මකයි. ඔබට උදව් ගන්න පුළුවන් තැනක් අපි හොයලා දෙන්නම්.”

මේ අතර අම්මාත් තාත්තාත් නැතිව තනිවුණු මේ පැටවුන් තිදෙනාගේ ජීවිතය රැකගන්නට ඥාතීන්ට දැන් දැඩි සටනක් ඇරඹීමට සිදුව තිබේ.

මල් කැකුළු තුනක් වැනි මේ දරුවන්ගේ ප්‍රතිකාර නිසි ලෙස සිදුකොට ඔවුන් රැකබලාගන්නට අත දෙන්නට ඔබ කැමතියි නම් මේ ඒ සඳහා අවස්ථාවයි.

වැඩි විස්තර – 0759356506

මාධ්‍යවේදියාගෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට මිලියන 750ක හරස් එන්තරවාසියක්….

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ රුපියල් කෝටි 30ට අධික අයථා වත්කම් පිළිබඳ විශේෂ හෙළිදරව්වවක් සිදුකළ මාධ්‍යවේදී බිමල් රුහුණගේ හට වැරැදි තොරතුරු ඉදිරිපත් කරමින් ද්වේෂ සහගත ලෙස කටයුතු කළ බවට මිලියන 500ක වන්දියක් ඉල්ලා යොමුකළ එන්තරවාසියකට මිලියන 750ක හරස් එන්තරවාසියක් යොමුකිරීමට ) මාධ්‍යවේදි බිමල් රුහුණගේ ඔහුගේ නීතිීඥයකු ලවා අද (18) කටයුතු කළා.

අදාළ හරස් එන්තරවාසියෙන් පෙන්වා දෙන්නේ මාධ්‍යවේදී බිමල් රුහුණගේ විසින් කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සියල්ල ගවේශනාත්මක මාධ්‍යවේදියෙක් ලෙස හෙළිකරගන්නා කරුණු මත පදනම්ව ඔහු ඔහුගේ වෘත්තිය මත කටයුතු කරමින් සිදු කර ඇති බවයි.

එබැවින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්ස්රි ජයලත් බිමල් රුහුණගේ හට මේ සිද්ධියට නඩු පැවරුවහොත් රුපියල් මිලියන750ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීමට කටයුතු කරන බවද මාධ්‍යවේදී බිමල් රුහුණගේ විසින් යොමු කරන ලද හරස් එන්තරවාසිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

WhatsApp Image 2025-09-18 at 16.07.06_c7deaca2

දඹුල්ලේ සතිපොළේ කඩකාමරයක් ගිනිගෙන දැවෙයි….

ඹුල්ල මහනගර සභාවට අයත් දඹුල්ල සතිපොළ භූමියේ කඩ කාමරයක් තුළ අද (18) අලුයම ගින්නක් හට ගෙන තිබුණි.

දඹුල්ල නගර සභාවේ සේවකයෙකු අලුයම සේවයට වාර්තා කරන අවස්ථාවේ දී ගින්න දැක වහාම ගිනිනිවන ඒකකය දැනුවත් කිරීමෙන් පසුව ගින්න මැඩපැවැත්වීමට හැකිව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න හටගත් කඩ කාමරය තුළ දඹුල්ල මහනගර සභාව මඟින් පොලිතින් තොග ගබඩාකොට තිබුණු බව ද එම සියලූම පොලිතින් සහ අනෙකුත් ද්‍රව්‍ය විනාශ වී තිබී ඇති බවට ද වාර්තාවේ සඳහන්ය.

දඹුල්ල නගර සභාවේ නගරාධිපති වසන්ත කේ. රාජමන්ත්‍රී මහතා පවසා ඇත්තේ, ගින්න පැතිර ගියේ නම් දඹුල්ල සතිපොළ භූමියේ යාබඳව විශාල කඩ කාමර ප්‍රමාණයක් සහ එහි පදිංචිකරුවන්ද අනතුරකට ලක්වීමේ අවදානමක් පැවති බවයි.

තණමල්විල පාසල් දරුවන්ට රට දුම්වැටි විකිණූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට….

තණමල්විල ප්‍රදේශයේ පාසල් සිසුන්ට විදේශයේ සිට ආනයනය කළ දුම්වැටි විකුණු බවට සැකපිට ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ රසයෙන් යුක්ත මෙම දුම්වැටි අදාළ ව්‍යාපාරිකයා විසින් විකිණීමට පාසල් සිසුවෙකුට ලබාදී ඇති බව ද අනාවරණය වී ඇත.

එක් දුම්වැටියක් රුපියල් 100ක මුදලකට එම සිසුවාට ලබා දී ඇති අතර, අදාළ පාසල් සිසුවා එම දුම්වැටි රු 200ක මුදලකට පාසලේ දී විකුණා තිබේ.

පාසලේම සිසුවෙකු විසින් විදුහල්පතිවරයාට සිදුකළ දැනුම්දීමකන් අනතුරුව දුම්වැටි විකුණන සිසුවා ගෙන්වා පරීක්ෂා කොට ඇති අතර, එහිදී සිසුවා සන්තකයේ තිබී විදේශිය දුම්වැටි දෙකක් හමුවී ඇත.

පසුව තණමල්විල පොලිස් පරීක්ෂකවරයාට කළ දැනුම්දීමකින් අනතුරුව අදාළ ව්‍යාපාරික ස්ථානය වටලා ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ දුම්වැටි 690ක් හා දුම්වැටි විකුණා උපයාගත් රුපියල් 3,60000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

කජ්ජා ඝාතනය ගැන බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර….

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන දෙදෙනා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (17)ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව අනුර විදානගමගේ හෙවත් කජ්ජා හා දරුදෙදෙනා ඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් බැකෝ සමන් සහ තැඹිලි ළහිරු දෙසැම්බර් 02 වැනිදා දක්වා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ, “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” ඇතුළු 05 දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආවේය.

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු අධිකරණයට රැගෙන එයි….

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාව රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය දා දැනුම් දී තිබුණි.

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනෙකු පසුගිය දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වුණි.

ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක නිවසක් හම්බන්තොට මයුරපුරෙන් හමුවේ…..

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක් හම්බන්තොට මයුරපුර ප්‍රදේශයෙන් සොයා ගැනීමට කළුතර දිසා අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ.

මෙම නිවස පිළිබඳ අනාවරණය වී ඇත්තේ කුඩු නිලංගගේ සමීපතමයෙකු වන ඇඹිලිපිටිය සුරංග නැමැත්තා කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු කළ හෙළිදරව්වකට අනුවය.

වැල්ලවාය කිරියගොල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සම්පත් බණ්ඩාර නම් අයෙකු පිළිබඳ ඔහු හෙළිකර තිබූ අතර පානදුර අරුක්ගොඩදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන මයුරපුර නිවස පිළිබඳ සැකකරු හෙළිකර ඇති අතර එහි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අවස්ථාවේ තමන් එහි රැඳී සිටි බවත් සැකකරු පොලීසියට පවසා තිබේ.

ඉරාන ජාතිකයන් තිදෙනෙක් මෙම නිවසේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවත් පසුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 14ක් පමණ කෙහෙල්බද්දර පද්මේගේ පාර්ශ්වයට විකුණු බවත් සැකකරු පවසා ඇතැයි වාර්තා වේ.

එම ඉරාන ජාතිකයන් තිදෙනා මේ වනවිට රටින් පලාගොස් ඇතැයි ද සැකකරු පවසා ඇත.

නිවස පරික්ෂා කළ අවස්ථාවේ එහි තීබි අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නේ යැයි සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හමුවී ඇති බව පොලිසිය පැවසුවේය.

එහි එක් කාමරයක් විද්‍යාගාරයක් සේ සකස් කර තිබී ඇති අතර එහි තීබි සොයාගත් ද්‍රව්‍ය අතරට මත්ද්‍රව්‍ය සැකසීමට භාවිත කළැයි සැකකෙරෙන සුදු යකඩ කල්දේරම් 04ක්, ප්ලාස්ටික් බකට් 06ක් සහ තවත් භාණ්ඩ කිහිපයක් ද අයත් වේ.

නිපදවූ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර එය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ නමට ලියාපදිංචි කර ඇති බවත් එය මීට පෙරද පොලිස් නිලධාරියෙක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් භාරයට ගෙන පසුව මුදාහැරුණු මෝටර් රථයක් බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් ක්‍රියාත්මකය.

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මිද්දෙණිය ප්‍රදේශයෙන් පසුගිය සැප්තැම්බර් 06 වනදා සොයා ගැනුණි.

එහි සාම්පල පරික්ෂා කළ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේ ලබාගත් සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ඇතැයි තහවුරු වූ බවය.

රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට….

රුපියල් මිලියන 85ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 8.542ක් නීති විරෝධීව රැගෙන යාමට උත්සාහ කළ  ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද (13) දින උදෑසන 09.45 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානය පැමිණෙන තෙක් ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී රැදී සිටි තිබේ.

එහිදී ඔහුගේ ගමන් මලු ශ්‍රී ලංකන් ගුවන් සේවා නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂාවකට ලක් කිරීමේ දී එහි සැක කටයුතු යමක් ඇති බව දර්ශනය වීමත් සමග ඒ අසළ සේවයේ නිරත වී සිටි
“රැන්ඩි”  නැමති පොලිස් නිල සුනඛයා එම ගමන් මල්ල ඉව කර එහි මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට සංඥා කර ඇත.

ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී , ඔහුගේ ගමන් මල්ල තුළ පැකැට් 16 ලෙස සකස් කර ඇසුරුම් කළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 542 ක් සගවා ගෙන තිබියදී  සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය හෙට (14) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට නියමිතය.

T81 ගිනිඅවියක් සමග බැකෝ සමන්ගේ සමීපතමයෙක් අත්අඩංගුවට….

මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නමැත්තාගේ සමීපතමයෙකු ගිනිඅවියක් සමග ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.

සැකකරු සන්තකයේ තිබී T81 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිලඇඳුමක් සොයාගෙන තිබේ.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි කරගත් තොරතුරුවලට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

හරක් කටාව නඩු විභාගය අවසන් වන තුරු රැඳවුම් භාරයේ තැබීමට නියෝග….

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයකට අනුව නඩු විභාගය අවසන් වන තෙක් රඳවා ගැනීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (08) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා දැනුම්දී තිබුණේ, මෙම විත්තිකරුට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමට කටයුතු කරන ලෙසය.

එහෙත් මෙම සැකකරුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඔහු රැඳවුම් භාරයේ රඳවා ගැනීමට ආරක්ෂක ලේකම්වරයා තීරණය කර ඇති බවත් රජයේ නීතිඥවරයා අද නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට දැනුම් දුන්නේය.

එම දැනුම්දීම සම්බන්ධයෙන් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා දැඩි විරෝධය පළකර සිටියේය.

සිය සේවාදායකයා වසර දෙකකට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටි බව පෙන්වා දුන් නීතිඥවරයා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතව තිබියදී යළි නඩු අවසන් වන තෙක් රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට පියවර ගැනීම යුක්ති සහගත නොවන බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව විත්තිකරු තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ තවදුරටත් රඳවා ගැනීමට නියමිත බවත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

මෙම නඩු විභාගය සඳහා විත්තිකාර නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සූම් තාක්ෂණික අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර වැඩිදුර නඩු විභාගය ලබන 24 වන දා දක්වා කල්තැබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින සෙසු විත්තිකරුවන් හතර දෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.