ගල්කිස්ස සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ඇප….

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ ඊට අදාළ නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

එහිදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත 2ක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

මෙහිදී පොලීසිය විසින් අදාළ සිද්ධිය වූ අවස්ථාවේදී නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අසභ්‍ය වචනයෙන් පොලිස් කොස්තාපල්වරයාට බැණ වැදීම සම්බන්ධයෙන් තවත් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

තවදුරටත් කරුණු වාර්තා කරමින් පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේ මේ වන තුරු නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් වීමක් හෝ පොලීසියට ප්‍රකාශ ලබා දීමක්ද සිදු කර නොමැති බවත්ය.

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීමක්…..

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව ඒ මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත.

පසුගියදා ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ෂනයකට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ඒ අනුව සිදු කෙරෙන මූලික විමර්ශනවලට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකළ බව පොලීසිය සඳහන් කළේය.

මෙරටදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වෙනුවෙන් ඉන්දියාවේදී විරෝධතාවක්….

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමේෂ්වරන් හී විරෝධතාවක් පවත්වා තිබේ.

ඊයේ (11) පැවැති මෙම විරෝධතාව සඳහා ධීවරයින් මෙන්ම අත්අඩංගුවට ගත් ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය 08 වන දින ඩෙල්ෆ් මුහුදු තීරයේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවට නීති විරෝධීව ඇතුළුව ධීවර කටයුතු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ධීවරයින් 30 දෙනෙකු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධිය පාදක කරගනිමින් මෙම විරෝධතාව පවත්වා ඇති අතර විරෝධතාවය අතරතුර අදහස් දක්වමින් තමිල්නාඩු මෝටර් බෝට්ටු සංගමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක යේසුරාජා පවසා ඇත්තේ මෙරට නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම් ඉහළ යාමක් පෙන්නුම් කරන බවය.

ඒ අනුව මෙරට බන්ධනාගාරගතව ඇති ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස් කරන ලෙසත් ඉන්දීය ධීවරයින්ට නිදහසේ ධීවර කටයුතු කිරීමේ අවස්ථාව සලසා දෙන ලෙසත් මෙරට නාවික හමුදාවට බල කරමින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමටද ඔවුන් කටයුතු කරන බවත් එහිදී ඔහු පවසා ඇත.

ඒ සඳහා රාමේශ්වරම් හී සියලුම ධීවර පවුල් ධීවර යාත්‍රා මගින් කච්චතිව්හී නවාතැන් ගෙන විරෝධතාවක් පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා වූ දිනය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත් විරෝධතාවයට එක්වෙමින් ඔහු පැවසීය.

තවද ධීවර ගැටලුවට ස්ථීර විසඳුමක් සෙවීම සඳහා මධ්‍යම රජය ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කළ යුතු බවත් අගමැතිවරයාට අවශ්‍ය නම් ධීවර ගැටලුවට ස්ථීර විසඳුමක් සොයා ගත හැකි වනු ඇති බැවින් මේ සඳහා ඉන්දීය රජය වහාම මැදිහත් විය යුතු බවත් ඔහු විරෝධතාවට එක්වෙමින් වැඩිදුරටත් පැවසීය.

‍ආචාරධර්ම උල්ලංඝනය කළ නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසිකරයි….

නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මහනුවරප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නීතිඥ භාවය අහෝසිකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

විශ්‍රාමිකමේජර් ඩබ්ලිව්. එස්.එල්.එස්. පලිපාන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් බව  අධිකරණ වාර්තාකරු පැවසීය.

2006 වසරේ මාර්තු මස පළමු වනදා සහ 2007 වසරේපෙබරවාරි මස 15 වන දා  නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා තමන් විසින් වගඋත්තරකාර නීතිඥවරයාව පත් කරගෙන තිබූ අතර එම සේවාව වෙනුවෙන්රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලූ ඔහුට අත්තිකාරම් වශයෙන් රුපියල් 50,000 මුදලක් ලබාදුන් බව පෙත්සම්කරු සඳහන් කර තිබේ.

කෙසේවෙතත් පොරොන්දු වූ පරිදි වගඋත්තරකාරනීතිඥවරයා සිය සේවාව ඉටු නොකිරීම හේතුවෙන් තමන් විසින් ලබාදුන් ලේඛන හා මුදල්ආපසු ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකළ ද ඒවා භාරදීම නීතිඥවරයාපැහැර හැරීම හේතුවෙන් 2008 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ පෙත්සමක් ගොනුකිරීමට පෙත්සම්කරු කටයුතු කර තිබුණි.

ඒ අනුව අදාළ නඩුව දීර්ඝලෙස විභාගකිරීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතාපැවසුවේ මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකරු නීතිඥ වෘත්තීයේ ගෞරවයට දැඩි හානියක් සිදු කර ඇති බවය.

නීතිය ක්‍රියාත්මක කිරීම යනුපුද්ගලික වාසි තකා සූරාකෑමට ඇති වරප්‍රසාදයක් නොවන අතර නීතිඥ වෘත්තිය හුදෙක්  වෘත්තියක් නොව ගෞරවනීය මහජන විශ්වාසයක් බව විනිසුරුවරයා සඳහන් කළේය.

චෝදනාවට වරදකරු වූ නම් එම නීතිඥවරයාගේ නම නීතීඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝග කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්…..

හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 39 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන “තොටළඟ කන්නා” නමැත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන වහාම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඊයේ (11) නියෝගයක් නිකුත් කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ  විනිසුරු මංජුල තිලකරන්න මහතා මෙම තීන්දුව ලබා දුන්නේය.

2014  වසරේ දෙසැම්බර් මස 26 වන දා ඇළකන්ද ප්‍රදේශයේදී  හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 39.99ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කනපති ගනේෂ් හෙවත් තොටළඟ කන්නා නමැත්තාට එරෙහිව නිතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි.

නඩු විභාගය පැවති අවස්ථාවේදී ඇප ලබා සිටි විත්තිකරු අධිකරණය මගහැර පලා යාම හේතුවෙන් එම විත්තිකරු නොමැතිව නඩු විභාගය පැවැත්විණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බව සඳහන් කළේය.

ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා මෙහිදී නියෝග කළේය.

අතුරුදන් වූ එක් සිසුවෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි….

මහනුවර, තැන්නේකුඹුර පාලම ආසන්නයෙන් අතුරුදන් වූ බවට පැවසූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මෘත ශරීරය මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබේ.

දරුවාගේ මෘත ශරීරය මහවැලි ගඟේ හාරගම ප්‍රදේශයේ පාවෙමින් තිබිය දී අද (10) පෙරවරුවේ සොයාගෙන ඇත.

එලෙස මෘත ශරීරය හමුව ඇත්තේ,  රවිචන්ද්‍රන් ජෙගදිස් නැමති 14 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවාගේය.

ඊයේ (09) දිනයේ දී පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වුණි.

මෙලෙස අතුරුදන්ව සිටියේ මහනුවර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබමින් සිටි තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි 09වන වසරේ සහ 08 වන වසරේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි රවිචන්ද්‍රන් ජෙගදිස් සහ එම්.මිලාන් නැමැති සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා ඊයේ පස්වරුවේ නිවෙස්වලින් පිටව ගොස් ඇත්තේ සුරතල් මසුන් මිලදී ගැනීමට දිගන ප්‍රදේශයට යන බව පවසමිනි.

මේ අතර,  ඊයේ (08) පස්වරුවේ මෙම සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස ගල්තලාවක සිටි බව එම ප්‍රදේශයේ ධීවරයෙකු පොලීසියට පවසා ඇත.

මෙම ධීවරයා සිසුන් දෙදෙනාට ගඟට නොබසින ලෙසට අවවාද සිදුකළත් ඔවුන් ධීවරයාට පවසා ඇත්තේ තමන්ට පිහිනීමට හැකි බවය.

නමුත් පසුව බලන විට වර්ෂාවත් සමඟ ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ බවත් සිසුන් දෙදෙනා එම ගල්තලාවේ නොසිටි බැවින් ඔවුන් ගඟෙන් එගොඩ වන්නට ඇති බව තමන් සිතූ බවත් ධීවරයා පොලීසියට වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම තවත් කිහිපදෙනෙකු ද මෙම සිසුන් දෙදෙනා මහවැලි ගඟට බැස සිටිනවා දුටු බව පොලීසියට පවසා ඇත.

නමුත් අතුරුදන්ව සිටින ජෙගදීස් සිසුවාගේ මව පවසා ඇත්තේ තම පුතුට පිහිනීමට නොහැකි බවත් කිසිවිටෙකත් සිය පුතු මහවැලි ගඟට දිය නෑමට නොයන බවත්ය.

මේ අතර, අතුදන්ව සිටින සිසුන් දෙදෙනාගේ යහලුවෙකුගේ පියෙකු පොලීසියට පවසා ඇත්තේ, මෙම සිසුන් දෙදෙනා සිය පුතුටද මහවැලි ගඟේ දිය නෑමට ආරාධනා කළ නමුත් ඔහු ඔවුන් සමඟ නොගිය බවය.

මහනුවර මූලස්ථාන පොලීසිය සහ බලගොල්ල පොලීසිය එක්ව අතුරුදන්ව සිටින සිසුන් සෙවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්ම කළ අතර, නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක්ද යොදවා මහවැලි ගඟේ සෙවීමේ කටයුතු සිදුකළේය

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ්ගේ මස්සිනා ආයුධ සමග මාට්ටු…

විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව පැවසෙන ‘මහේෂ් බංඩාර’ ගේ මස්සිනා අවි හා තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්‍ෂ (බුද්ධි/විශේෂ මෙහෙයුම්) පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ මඟපෙන්වීම හා අධීක්ෂණයෙන් සිදුකළ මෙහෙයුමක දී මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊයේ (09) පන්නල පොලිස් වසමේ මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ අදාළ වැටලීම සිදුකර ඇත.

එහි දී පහත සඳහන් අවි ආයුධ සමඟ වයස අවුරුදු 46ක් වන මාකඳුර, ගෝනවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩ :-

1) විදේශිය රටක නිශ්පාදිත රිපිටර් වර්ගයේ අවි 01 යි.
2 )විදේශීය නිශ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවි 01 යි.
3) පිස්තෝල අවිය සදහා යොදන පතුරම් ගැබ් 01 යි.
4)9mm වර්ගයේ උණ්ඩ 07 යි.
5) බෝර 12 වර්ගයේ උණ්ඩ 09 යි.
6) කඩු 01 යි.
7) මුදල් රුපියල් 1,100 යි.
8) 791432553V දරණ ජාතික හැදුනම්පත සමග මුදල් පසුම්බි 01 යි.

විදෙස් කතුන්ගෙන් බලෙන් මුදල් ගත් ත්‍රීවිල් රියදුරන් දෙදෙනා අත්අඩංගුවට….

සංචාරයන් සඳහා මෙරටට පැමිණි විදේශීය කාන්තාවන් දෙදෙනකුගෙන් ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් බලෙන් ලබාගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40 හා 48 වයස්වල පසු වූ ඉඹුල්ගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්ය.

ඔවුන් දෙදෙනා සංචාරයන් සඳහා දිවයිනට පැමිණි බ්‍රසීල හා බෙල්ජියම් ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් රුපියල් 10,000ක් හා රුපියල් 30,000ක් ලෙස අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් ලබාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිස් සංචාරක කොට්ඨාසයට ලද පැමිණිලි 2ක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර රියදුරන් කුරුඳුවත්ත හා කොල්ලුපිටිය පොලිස් ස්ථාන වෙත වැඩිදුර විමර්ශන සඳහා ඉදිරිපත් කර ඇත.

දේශබන්දුට එරෙහි නඩුවක් කල්යයි…..

වැලිගම W15 හෝටලය ⁣අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකාබැලීමට දෙසැම්බර් 17වනදා දින නියම කර ඇත.

එම නඩුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (10) කැඳවනු ලැබීය.

නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

අභිරහස් ලෙස මියගිය මල සිරුරක්‌ මතුගම,පාන්තිය මාර්ගය අසල කානුවක…..

අභිරහස් ලෙස මියගිය මල සිරුරක්‌ මතුගම,පාන්තිය, ශ්‍රී සාරානන්ද මාවත මාර්ගය ආසන්නයේ පිහිටි කානුවක තිබී හමුවී ඇතැයි මතුගම පොලිසිය පවසයි.

මෙසේ මරණයයට පත්ව ඇත්තේ (21) හැවිරිදි අනගිපුර, සාරානන්ද මාවත , ප්‍රදේශයේ පදිංචි උමේෂ් පැතුම් නැමති අවිවාහක පුද්ගලයෙකි.

අද(9) දින 119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු දුරකථන ඇමතුමක් මත මල සිරුර සොයාගෙන ඇත.මුහුණ ප්‍රදේශය සහා අත් ජලයට දියවී ගොස් තිබේ.දින කිහිපයක් තිස්සේ ප්‍රදේශයේ දුගදක් හමමින් තිබී ඇති අතර එම ආසන්නයේ පිහිටි නිවසෙහි තරුණයෙකු විසින් අද උදැසන අවට සෝදිසි කිරිමේදී මෙම මල සිරුර හමුවී ඇත.

මියගිය පුද්ගලයාට මතුගම අධිකරණයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු කිහිපයක් ද ඇති අතර මෙම මරණය ඝාතනයක් ද යන්න පරීක්ෂණ ආරම්භ කර ඇත

සිරුරේ වම් අත ආසන්නයේ කිසියම් කැපුම් සහිත තුවාලයක් දක්නට ලැබෙන අතර කළු ඩෙනිස් කොට කලිසමක් පැලද ඇත.

මතුගම වැඩබලන මහේස්ත්‍රාත් කපිල වෛද්‍යතිලක මහතා විසින් ස්ථානීය පරීක්ෂණ සුදු කල අතර කළුතර අපරාධ පරීක්ෂණාගාලා නැතිකාරීන් පැමිණ පරීක්ෂණාරම්භ කර ඇත

සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා නාගොඩ ශික්‍ෂණ රෝහල
වෙත රැගෙන යන ලදී.

මතුගම පොලිසිය ස්ථානාධිපති ප්‍ර.පො.පරීක්ෂක ෂුෂ්ප ජයතිලක
ප්‍රධානත්වයෙන් පරීක්ෂණ මෙහෙයවයි.

කළුතර ගල්පාත – චන්දන පෙරේරා