බැකෝ සමන්ගේ බිරිඳ ඇතුළු සමීපතමයින්ගේ බැංකු ගිණුම් 13ක් ගැන අනාවරණයක්…..

රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී, විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙම දැනුම්දීම සිදු කළාය.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රිමාන්ඩ් භාරයේ පසුවන ෂාධිකා ලක්ෂානී නමැත්තිය දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය පනතේ 54 වන වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ  අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් අතිවිශාල මුදලක් උපයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළාය.

මෙම සැකකාරියගේ සහෝදරිය වන ලක්ෂානි දේශාංජලී නමැත්තියගේ බැංකු ගිණුම් දෙකක 2024 වසරේ රුපියල් ලක්ෂ 563ක මුදලක් සහ 2025 වසරේ රුපියල් ලක්ෂ 202ක් මුදලක් සංසරණය වී ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි ද ඇය පැවසුවාය.

මෙම සැකකාරියගේ පියා වන පත්තිනිගේ සුනිල් ශාන්ත නමැත්තාගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 211ක් මුදලක් සංසරණය වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෘත්තියෙන් ගඩොල් කපන්නෙකු වන මෙම පුද්ගලයාගේ බැංකු ගිණුමේ මෙතරම් විශාල මුදලක් සංසරණය වූයේ කෙසේදැයි බරපතළ සැකයක් මතුවන බවත් සඳහන් කළාය.

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා මෙම මුදල් සංසරණය වන්නට ඇතැයි සැකකරන පොලීසිය එම මුදල් තැන්පත් කළ පුද්ගලයින් හා ඒ හා සම්බන්ධ ජාලය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පෙන්වා දුන්නාය.

මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තහවුරු කෙරෙන ප්‍රකාශ තුනක් මේ වනවිට පොලීසිය විසින් සටහන් කරගෙන ඇති බවත් පසුගිය කාලයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ හෙරෝයින් මත්කුඩු කිලෝ 38කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ හමුවේ විභාග වන නඩුවේ රිමාන්ඩ් භාරයේ පසුවන විත්තිකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ දැනුම් දීම මත මෙම සැකකාරියට සහ ඇයගේ සමීපතමයින්ගේ බැංකු ගිණුම් 13ක් මහාධිකරණ නියෝග මත තහනම් කර ඇතැයි සදහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඒ අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් 05ක් ඇතුළත් වන බවත් සඳහන් කළාය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් මතු කරමින්, මෙම සැකකාරියට අයත් විදේශීය බැංකු ගිණුම් පිළිබඳ විමර්ශන සිදුකර තිබේදැයි විමසුවේය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම සැකකාරිය සතු විදේශීය බැංකු ගිණුම් හතරක් ඩුබායි රාජ්‍යයේ පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම බැංකු ගිණුම්වල අංක මේ දක්වා සොයාගෙන නොමැති බවත් අධිකරණයට දැනුම් දුන්නාය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ” ඔබ බැංකු ගිණුම් 13ක් තහනම් කළ බව සඳහන් කළා. එහෙත් අද පොලීසිය ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ සඳහන් කර තිබෙනනේ බැංකු ගිණුම් 06ක් පමණයි. ඇයි එහෙම වුණේ?” යනුවෙන් විමසුවේය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ” ස්වාමීනි…එම බැංකු ගිණුම් 13 පිළිබඳ විස්තර වැඩිදුර වාර්තාවට ඇතුළත් කරන ලෙස අපි පොලීසියට උපදෙස් ලබා දුන්නා” යනුවෙන් කියා සිටියාය.

එහිදී මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් කියා සිටියේ “බැංකු ගිණුම් 13ක් තහනම් කළා නම් ඒක වාර්තාවට ඇතුළත් කළ යුතුව තිබුණා. මොකද ඒක වැදගත් කාරණයක් ” යනුවෙනි.

මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන සිදුකරන බැවින් මෙම සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉන් අනතුරුව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දැයි සොයා බලා සාක්ෂි සම්පිණ්ඩනයක් ඉදිරිපත් කරන ලෙස ඉකුත් නඩු දිනයේ අධිකරණය නියෝග කළත් අද දින පොලීසිය විසින් එවැනි සාක්ෂි කිසිවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළේය.

ඒ අනුව සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් එම නීතිඥවරයා පෙන්වා දුන්නා.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය පනත යටතේ නොව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් වූ කරුණු සලකා බලා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බවය.

මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳව විමර්ශන සිදුකර මීළඟ නඩු දිනයේ අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එතෙක් සැකකාරිය ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළේය.

ප්‍රබල අපරාධකරුවන්ගේ සිරමැදිරිවල තිබී ජංගම දුරකථන 29ක් හසුවෙයි….

දරුණුගනයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A,C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබේ.

මෙම ජංගම දුරකථන හමුව ඇත්තේ බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව අද (09) සිදුකළ පරීක්ෂා කිරීමකදීය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අදාළ දුරකථන සොයාගත් වාට්ටුවල ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින බවයි.

එමෙන්ම මරණ දඬුවම නියමව සිටින “දෙමටගොඩ චමින්ද” රඳවා සිටින සිරමැදිරියේ තිබී ද ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “වෙලේ සුදා”ගේ සිරමැදිරියේ හා “මිදිගම රුවන් “ගේ සිරමැදිරියේ තිබී ජංගම දුරකථන හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

යුරෝපා රැකියා සිහින පෙන්වූ තවත් ජාවාරමක්…..

යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ජාවාරම සඳහා සෘජුව සම්බන්ධ වූ, විදේශ රැකියා අංශයේ වසර ගණනක පළපුරුද්දක් ඇති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මාවනැල්ලේදී හා කඩවත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී බව සඳහන්වේ.

කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් ලෙස කටයුතු කරමින් මීගමුව ප්‍රදේශයේ වසර එක හමාරක කාලයක් පමණ පවත්වාගෙන ගිය FC International ආයතනය මගින් හංගේරියාව, නෙදර්ලන්තය හා ෆින්ලන්තය වැනි රටවල සාත්තු සේවා අංශයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් අය කර ඇති අතර, මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිලි 20ක් ලැබී ඇත.

එහිදී විමර්ශන නිළධාරීන් විසින් සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ අදාළ රැකියා නියෝජිතායතනයට හංගේරියා රටට පමණක් රැකියා ඇණවුම් ලැබී ඇති නමුත් ඒ අතරට සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා නොමැති බවය.

අදාළ රැකියා නියෝජිතායතනයේ හිමිකාරිය, ඇයගේ සැමියා හා අදාළ ආයතනයේ මුදල් භාරව කටයුතු කළ කළමනාකරු මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසු විමර්ශන නිළධාරීන් මගහරිමින් සැඟවී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හෙට (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එමෙන්ම, විමර්ශන නිළධාරීන් මගහැර සැඟව සිටින පුද්ගලයින්ට විදේශ ගමන් තහනමක් පැනවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

මෙම වංචාවට හසුවූ තවත් පුද්ගලයින්ගෙන් තවදුරටත් කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතින අතර,  ඊට අදාළව ද මේ වන විට විමර්ශන සිදුකරමින් පවතී.

එසේම අදාළ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය අත්හිටුවීමටද මෙවන විට පියවර ගෙන තිබේ.

වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් 011 288 2228 අංකය ඔස්සේ කාර්යාංශ විශේෂ විමර්ශන අංශය යටතේ ස්ථාපිත පොලිස් ඒකකයට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජුලම්පිටිය අමරේගේ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ….

මිනීමැරිමේ චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජී. ජී. අමරසිරි හෙවත් ‘ජුලම්පිටිය අමරේ’ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ ඇපෑල විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (07) නිෂ්ප්‍රභ කළේය.

ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් ප්‍රකාශිත මරණීය දණ්ඩනය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුට තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණි.

විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යක් ශරීරගත වී දරුවන් 7ක් රෝහලට….

දඹුල්ල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගැවීමෙන් පාසල් සිසු සිසුවියන් හත්දෙනෙකු රෝහල්ගත කර තිබේ.

රෝහල්ගත කළ සිසුන් අතර පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන්ව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

දඹුල්ල සහකාර පොලිස් අධිකාරි එම්. එස්. කේ. වික්‍රමනායක මහතා සහ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සිද්ධිය වාර්තා වීමත් සමඟ සිසු දරු දැරියන් පිළිබඳව සොයා බැලීම සඳහා රෝහලට ගොස් තිබුණි.

සහකාර ‍පොලිස් අධිකාරියේ එම්. එස්. කේ  වික්‍රමනායක මහතා සඳහන් කළේ,  විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් මෙසේ රෝහල්ගත කොට තිබෙන බවත් විදුහලේ විද්‍යාගාරය පසුගිය නිවාඩු දින කිහිපයේ රිලවුන් කඩා එහි තිබූ භාණ්ඩ ඇද දමා තිබුණු බවය.

ඒ අනුව එහි විසිරී තිබුණු රතු පැහැගැන්වූ ද්‍රව්‍යයක් මෙම දරුවන් මිරිස් කුඩු යැයි සිතා දිව මත ගා රස බලා ඇති බවය.

කෙසේ වෙතත් සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ, දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සිසුන්ගේ මුඛයට ගෑවී ඇත්තේ යකඩ හඳුනාගැනීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් බවය.

මේ වනවිට දරුවන් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉදිරි විමර්ශන සිදුකෙරේ.

සැකපිට අත්අඩංගුවට ගත් අපරාධකරුවෙක් රිමාන්ඩ්…

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

තලංගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 200ක් සමග තලවතුගොඩ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු 36 හැවිරිදි තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු දැනට විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පවත්වන පුද්ගලයෙකු බවට ද සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෝදර ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීම, හෙරොයින් සන්තකයේ තබාගැනීම සහ පුද්ගලයෙකු පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු පවතින බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු ගම්පහ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධයේ යතුරු පැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති අතර ගම්පහ ප්‍රදේශයේ තවත් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන දෙකකට තැත් කිරීමේ අපරාධවල යතුරු පැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බවට ද අනාවරණය වී තිබේ.

ඊට අමතරව වැලිවේරිය ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයේ යතුරු පැදියේ පැදිකරු ලෙස ද මොහු කටයුතු කර ඇති බව සඳහන්ය.

සැකකරු සතුව තිබී අපරාධ සඳහා යොදාගත් බවට සැකකෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරු පැදියක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

දෙමටගොඩ පාළු නිවසක තිබී ආයුධ කිහිපයක් සොයා ගනී….

දෙමටගොඩ බේස් ලයින්පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබී ආයුධ කිහිපයක් සොයා ගැනීමට බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබේ.

එහි තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යොදන දේශිය නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව උණ්ඩ දෙකක් සහ ටී 56  මැගසිනයක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

බොරැල්ල වනාත ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් වන වනාතමුල්ලේ දුමින්ද සහ චතුගේ පාර්ශ්ව අතර පවතින ගැටුම්කාරි තත්ත්වය මත කිසියම් තැනැත්තෙක් ඝාතනය කිරීමට මෙම ආයුධ සඟවා සිටින්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී මීට පෙරද මෙම කණ්ඩායම් අතර ඝාතන කිහිපයක්ම සිදු ව තිබේ.

දෙහිවල වෙඩිතැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට….

දෙහිවල, දුම්රියපොළ අසලදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමට සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජුලි 18 වනදා දෙහිවල දුම්රියපොළ අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකෙරුණි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කල විමර්ශනයකින් අනතුරුව අදාළ වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කළ සැකකරු අතුඅඩංගුවට ගෙන තිබේ.

එහිදි සැකකරු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, කඩු 05ක් සහ කිනිස්සක් සොයාගෙන ඇති අතර, ඔහු 34  හැවිරිදි ගල්කිස්ස සීවලි පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

නිවාස කොල්ල කෑ අම්මයි පුතයි කොටුවෙයි….

නිවාසවලට සේවිකාවන් සපයන ආයතනයක සේවය කරමින් සිය පුතු සමගින් එක්ව එම නිවාස මංකොල්ලකෑමේ ජාවාරමක නිතරව සිටි මව්-පුතු දෙපළක් බෙම්මුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ කාන්තාව කලක සිට තම පුතු මෙහෙයවන කොල්ල කණ්ඩායමක් යොදවා නිවාස මංකොල්ලකෑමේ ජාවාරමේ නිරත වී තිබේ.

අවසන්වරට ඔවුන් බෙම්මුල්ල ප්‍රදේශයේ නිවසක සිදුකළ කොල්ලයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරව හසුකරගැනීමට පොලීසියට හැකිව ඇත.

මෙම කාන්තාව මීගමුවේ පිහිටි නිවාසවලට සේවිකාවන් සපයන ආයතනයක සේවය කර ඇති අතර, ඒ හරහා බෙම්මුල්ලේ නිවසේ ගෘහ සේවයට පැමිණ තිබේ.

පසුව සිය පුතු මෙහෙයවනු කොල්ලකල්ලිය හා එක්ව රාත්‍රී කාරයේදී නිවැසියන් බැඳදමා රුපියල් ලක්ෂ 15කට අධික  ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් ඇත.

අත්අඩංගුවට ගත් මව්-පුතු දෙපළ හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් ඇතුළු කොල්ලකල්ලිය පැය 24ක් ගතවීමට පෙර අත්අඩංගුවට ගැනීමට බෙම්මුල්ල පොලීසිය සමත්විය.

එහිදී ඔවුන් සතුව තිබී සොරකම්කරන ලද ස්වර්ණාභරන, හෙරොයින් ග්‍රෑම් 3ක් සිය භාරයට ගෙන ඇත.

මෙම කොල්ලකල්ලිය දිවයින පුරා කොල්ලත් කෑම් 10ක් පමණ සිදුකර ඇති බවට හෙළි වී ඇති අතර, අදාළ කාන්තාවගේ පුත්‍රයා සංඝයා වහන්සේ නමක් අපවත් කිරීමක් සම්බන්ධවද චෝදනා ලබා අධිකරණයෙන් ඇපමත මුදාහැර සිටින පුද්ගලයෙක් බවද හෙළි වී තිබේ.

සැකකරුවන් ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගුරුවරයෙක් ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන….

ගුරු නේවාසිකාගාරයක් තුළ ගුරුවරයෙකු ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති ශෝචනීය පුවතක් කිලිනොච්චිය, තිරුවයියාරු ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ (02) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබුණි.

මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කිලිනොච්චි මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ඥාතීන්ට භාරදීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කිලිනොච්චි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.