හෙද හෙදියන් 2,847කට ඔක්තෝබරයේ පත්වීම්…..

මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී හෙද හෙදියන් 2,847 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ හෙද විදුහලේ 2021 කණ්ඩායමේ සිසු හෙද හෙදියන් සඳහා හිස්වැසුම් පැලදවීම සහ සේවයට කැපවීම සංකේතවත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.

එම උත්සවය අද (25) පෙරවරුවේ අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්විණි.

එමෙන්ම 2028 මාර්තු මාසයේදී 1,949 දෙනෙකුටත්, අගෝස්තු මාසයේදී 2,920 දෙනෙකුටත් හෙද පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

2030 වසර වන විට හෙද සේවාව සඳහා 13,600 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර, එම ඉලක්කයෙන් 50%ක් මෙම වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

හෙද සේවාවට ඇතුළත් වන සියලුදෙනාගේ වැටුප් වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන හෙද විදුහල් සංවර්ධනය කිරීමටද කටයුතු කරන බවද ඔහු පැවසීය.

හෙද විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග මේ වන විට සැලසුම් කරමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමේදී හෙද සේවාව ඉතා වැදගත් බවත්, එය ගෞරවනීය වෘත්තියක් බවත් ඔහු අවධාරණය කළේය.

මෙම උත්සවයේදී පළමු වසරේ ප්‍රායෝගික පරීක්ෂණයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු හෙද හෙදියන්ට සම්මාන ද ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා, හෙද අධ්‍යක්ෂවරුන්, හෙද සභාවේ සභාපති, කොළඹ හෙද විදුහලේ විදුහල්පති ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්, සිසු හෙද හෙදියන් සහ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.

හෂිෂ් කිලෝ 36ක් සමඟ කැනේඩියානු තරුණියක් අත්අඩංගුවට…..

රුපියල් මිලියන 352කට අධික වටිනාකමකින් යුත් හෂිෂ් කිලෝග්‍රෑම් 36ක් සමඟ 18 හැවිරිදි කැනේඩියානු තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් එම තරුණියක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

සැකකාරිය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට ඩුබායි හරහා එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 648 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඇය මෙරටට පැමිණ ඇත්තේ රාත්‍රී 10.40ට පමණ බව වාර්තා වේ.

ඇයගේ ලිගමන් මලු දෙක පරීක්ෂා කිරීමේදී ඒවා තුළ සඟවා තිබූ හෂිෂ් කිලෝග්‍රෑම් 35.265ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 352.65ක් පමණ වන බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක ඒකකය මූලික විමර්ශන සිදුකරමින් පවතින අතර, වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා සැකකාරිය සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

ග්‍රාම නිලධාරීන් සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වෙයි – 30 වෙනිදා ලෙඩ නිවාඩු……

ග්‍රාම නිලධාරීන් අද (24) සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් එළඹෙන 30 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකටද යොමුවන බවය.

වසර ගණනාවක් තිස්සේ ග්‍රාම නිලධාරීන් ඉල්ලා සිටින ගමන් වියදම් සඳහා ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සහ දීමනා ලබාදීමට බලධාරීන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බවද වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.

බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්……

අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ.

බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බසය පාලනයෙන් ගිලිහී යෑමෙන් අද (24) උදෑසන 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

කොළඹ කොටුව සිට අම්පාර බලා ධාවනයේ යෙදුණු මෙම බස් රථය අනතුරට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය අඹගහ හන්දිය ප්‍රදේශයේදීය.

බස් රථයට විශාල හානි සිදුවී ඇති අතර බස් රථයේ රියදුරු කඩිනමින් රෝහල්ගත කර ඇති අතර, ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට…..

වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ පා.ම. ෆයිසර් මුස්තාෆා මහතා විසින් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව ෆයිසර් මුස්තාෆා මහතා විසින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදී ඇත.

දරුවන් සමාජ මාධ්‍ය වේදිකාවෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම මෙම පනතේ මූලික පරමාර්ථය වේ.

මෙම පනත මගින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකාවෙත ප්‍රවේශ වීම වැළැක්වීමට විෂය භාර අමාත්‍යවරයාට එනම්, ළමා කටයුතු අමාත්‍යවරයාට නියෝග පැනවීමට බලය ලැබේ.

එමෙන්ම දරුවෙකුට දිනකට සමාජ මාධ්‍ය භාවිත කළ හැකි කාලය සීමා කිරීමට හෝ භාවිත කළ හැකි නිශ්චිත වේලාවන් නියම කිරීමට මෙමගින් අවස්ථාව උදාවේ.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත්කිරීමට යෝජිතය.

පනතේ සිංහල සහ දෙමළ පිටපත් අතර යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සිංහල පිටපතේ අන්තර්ගතය බලපැවැත්වෙන බව ද එහි සඳහන්ය.

දැරණියගල පොලිසිය හා තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන විමර්ශනයක්……

දැරණියගල පොලීසිය හා තරුණයින් පිරිසක් අතර පසුගියදා ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බවත්, ඊට අදාළ සියලු පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතා මතු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙම සිදුවීමේදී පොලිසිය පාර්ශවයෙන් යම් වැරැද්දක් සිදුව ඇත්නම් ඔවුන්ට එරෙහිවද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

එමෙන්ම අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

ලද නිර්නාමික පෙත්සමකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට වූ තොරතුරක් මත අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පසුගිය ජුනි 19වැනිදා දැරණියගල නූරි පාරේ පිහිටි නිවසක් වැටලීමට ගොස් තිබුණි.

එහිදී මත්ද්‍රව්‍ය ද සමඟින් අදාළ නිවසේ සිටි තරුණයන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ නමුත් එම අවස්ථාවේදී තමන් සතුව මත්ද්‍රව්‍ය නොමැති බව පවසමින් තරුණයන් පොලිසියට චෝදනා එල්ල කර ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකු මුදාහරින ලෙස බලකරමින් එහි සිටි පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරියෙකුට තර්ජනය කර තිබේ.

එහිදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පොලිස් නිලධාරියා විසින් සැකකරුවෙකුගේ මාංචු ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, ඉන් අනතුරුව පිරිස එකතු වී පොලිස් නිලධාරීන්ට පන්න පන්නා පහරදී ඇති බව වාර්තා විය.

පසුව පොලිස් නිලධාරියෙකුගේ මුදල් පසුම්බියක් තුළ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ඇති බව පවසමින් තරුණයෙකු ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති අතර, පසුව එම මුදල් පසුම්බිය දැරණියගල පොලිසියට භාරදී තිබේ.

එහිදී පහරදුන් පිරිස විසින් පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන්වද මුදාගෙන තිබුණි.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව්දෙනා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේ නමුත් පොලිස් රාජකාරීයට බාධා කිරීමේ චෝදනාව යටතේ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ……

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්විම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

රාජ්‍ය නිලධරයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම මූලික කරගෙන 2026.06.22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමට පසුගියදා කටයුතු කර තිබිණි.

කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතා සහ එහි සෙසු සාමාජිකයන් වන විනිසුරු (විශ්‍රාමික) කේ. කේ. ඒ. වී. ස්වර්ණාධිපති, එන්.බී.එම්. රණතුංග, වෛද්‍ය ආර්.ඩබ්. ජයන්ත, ආචාර්ය ජී.එම්. මුදිත් සුජීව, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) බී.ජේ. ප්‍රනාන්දු, ඒ.එල්. මොහොමඩ් මුක්තාර්, එස්.ටී.බී. රත්නායක, ඒ.ඩබ්. ලාල් චන්ද්‍ර වීරකෝන්, ජී.ඒ.පී. පත්මනාත, කේ. සරත් ලාල් පෙරේරා සහ කොමිෂන් සභාවේ ලේකම් ඩී. එම්.සී. නාලක දිසානායක යන මහත්ම මහත්මීහු ඊට අදාළ පත්වීම් ලිපි අද මෙලෙස ලබාගෙන ති

තිල්අඩියේ බිහිසුණු අනතුරක් – 5ක් රෝහලට……

පුත්තලම – තිල්අඩිය ප්‍රදේශයේදී අද (24) සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අනුරාධපුරයේ වන්දනාවේ ගොස් ආපසු මීගමුව බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්, මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයකද ගැටී අනතුරුව අසල තිබූ ගොඩනැගිල්ලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක විසින් වන අතර, එහි 7 දෙනෙකු ගමන් කර තිබේ.

වෑන් රථය මීගමුව දෙසට ධාවනය වෙමින් තිබියදී, තිල්අඩිය ප්‍රදේශයේදී එකවරම මෝටර් රථයක් මාර්ගය හරහා අනෙක් දිශාවට ධාවනය කර ඇත.

එම මෝටර් රථයේ ගැටීම වැළැක්වීමට වෑන් රථය පදවාගෙන ආ කාන්තාව උත්සාහ කර තිබේ.

එහිදී පාලවිය දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටුණු වෑන් රථය, පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබූ ගොඩනැගිල්ලක වැදී නැවතී ඇත.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කළ දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථයේ සිටි තිදෙනෙකි.

වෑන් රථය ගොඩනැගිල්ලේ ගැටෙන අවස්ථාවේදී ඒ තුළ කාන්තාවන් පිරිසක් සිට ඇති අතර, ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස මේ වසර අවසන් වීමට පෙර නිම කරන්නැයි උපදෙස්……

ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට මලෛගම් ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති නිවාස 4,700ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

මෙම නිවාස ව්‍යාපෘතියේ කටයුතු සැලසුම් සහගතව සහ කඩිනමින් අවසන් කිරීම සඳහා එහිදී ආයතන කිහිපයකටම විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරිණි.

මෙම නිවාස වැඩපිළිවෙළ යටතේ නිවාස ලබාදීම ප්‍රධාන කොටස් දෙකක් යටතේ සිදු කෙරේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් ආපදා අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගත් ස්ථානවල වෙසෙන පවුල් වෙත නිවාස 2,026ක් ලබා දීමට නියමිතය.

ඉතිරි නිවාස සංඛ්‍යාව හඳුනාගත් වතුකරයේ වැඩකරන ජනතාව වෙනුවෙන් වෙන් කෙරේ.

ඒ අනුව, ප්‍රාදේශීය වැවිලි සමාගම් 22ක්, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනවසම සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතුවල පදිංචි මලෛගම් ජනතාව වෙනුවෙන් මෙම නිවාස හිමි වනු ඇත.

මෙම නිවාස ව්‍යාපෘතිය ද්විපාර්ශ්වික මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන අතර එක් නිවසක් වෙනුවෙන් වැය කෙරෙන මුදල මෙසේය.

ඉන්දීය රජයේ දායකත්වය  – රුපියල් ලක්ෂ 28ක්

ශ්‍රී ලංකා රජයේ දායකත්වය – රුපියල් ලක්ෂ 4ක්

එහිදී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අවධාරණය කළේ නිවාස ව්‍යාපෘතියේ සියලු කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කළ යුතු බවය.

නිවාස ඉදිකිරීමට යෝජිත ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සුදුසු ඉඩම් හඳුනා ගැනීමට අදාළ වාර්තා කඩිනමින් ලබා දිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, නිවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

ජනතාවට බෙදා නොදුන් දිට්වා ආපදා සහන කාමරවල කුණුවෙලා…….

‘දිට්වා’ ආපදාවලට ලක්වූ ජනතාව වෙත බෙදා හැරීම සඳහා වෙන්කර තිබූ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය තොගයක් බෙදා නොහැර, ගම්පොළ උඩුපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළම කල් ඉකුත් වී විනාශ වී තිබේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිදුකළ නිරීක්ෂණයකදී ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන්ට දැකගැනීමට හැකිවී ඇත්තේ, එහි කාමර තුනක් පුරා මෙලෙස ජනතාවට ලබා නොදුන් වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබෙන අයුරුය.

එම නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙලෙස ගොඩගසා ඇති වියළි ආහාර ද්‍රව්‍ය බොහොමයක් මේ වන විටත් පරිභෝජනයට ගත නොහැකි පරිදි කල් ඉකුත්වී ඇති බවය.