උත්සව සමයේ අවධානය යොමු කළ යුතු කරණු ගැන GMOA දැනුවත් කිරීමක්…..

දිවයින පුරා පිහිටි සියලුම රෝහල් පැය 24 පුරාම සිය සේවාවන් ලබා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා පැවසුවේ අවුරුදු කාලය තුළ තමන්ගේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

විශේෂයෙන්ම ගිනිකෙළි ආශ්‍රිත ක්‍රියාකාරකම්වලදී දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසත් කුඩා දරුවන් සම්බන්ධයෙන් ද අවධානයෙන් පසුවන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.

ජනවාරි මාසයේ දී මෙම ගිනිකෙළි ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අනතුරුවල යම් අඩුවීමක් දක්නට ලැබුණ අතර එය මෙම උත්සව සමය තුළ ද අපේක්ෂා කරන බව  වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

එමෙන්ම උත්සව සමය තුළ රිය අනතුරුවල වර්ධනයක් දැකගත හැකි අතර තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ලෙස සැලකිළිමත් වෙන ලෙසද මෙහිදී වෛද්‍යවරයා දැනුම් දී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා

”ඒ වගේම අධික වේගයෙන් යන්න එපා… අධික වේගය මාරයා වෙත ඔබ ළං කරයි…ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතා කර කිසිම හේතුවක් මත වාහන ගෙනියන්න එපා…අධික වෙහෙස නිදිමත මේ අනතුරුවලට තවත් හේතුවක් මේ නිසා මේ පිළිබඳ අවධානය යොමු කර ගමන් බිමන් යන්න… ඒ වගේම මේ අවුරුදු සමය තුළ පිරිසුදු ආහාර පමණක් ආහාරයට ගන්න.. අපි වෙළඳුන්ටත් උපදෙස් දෙනවා අපිරිසිදු ආහාර අලෙවි කරන්න එපා.. ආහාර සැකසීමේ දී ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා ගන්න.. වියළි කාලගුණය සමඟ පානීය ජලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.. මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කරන්න.. පිරිසුදු ජලය පමණක් භාවිතා කරන්න.. හැකිතාක් උණු කර නිවාගත් ජලය පානය කරන්න.. දීර්ඝ කාලීන රෝගවලට ප්‍රතිකාර ගන්න පුද්ගලයෙක් නම් ඖෂධ ගන්න අමතක කරන්න එපා. මේ අවුරුදු සමය තුළ පැණි රස ආහාර වැඩිපුර ගන්නවා ඒ වගේම පරිභෝජන රටාව වෙනස් වෙනවා.. ඒ නිසා දීර්ඝ කාලීන ලෙඩ රෝග තියන අය ඒ කියන්නේ දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු රෝග තියන අය බෙහෙත් බොන්න.. මොකද උත්සව සමය අවසන් වූ පසු රෝහලට එන ප්‍රමාණය වැඩිවෙනවා.. මේ නිසා ආහාර රටාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න”

තරුණයෙකුට දිවි අහිමි කරමින් කළුතර දී මාරක අනතුරක්…..

කළුතර බණ්ඩාරගම මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බණ්ඩාරගම දෙසට ධාවන වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පසුපැදිකරු මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් වන වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොරොන්තුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක්……

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සදහන් කළේ අද (13) සහ හෙට (14) යන දෙදින තුළ එම අවස්ථාව ලබාදී ඇති බවය.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව සියලු බන්ධනාගාරවලට අදාළව මෙම විශේෂ අවස්ථාව ලබා දී තිබේ.

රැදවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හෝ රස කැවිලි පාර්සලයක් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැදවියෙකුට ප්‍රමානවත් පරිදි ලබාදීමට අවසර ලබා දී ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සදහන් කළේය.

හන්තාන කටුසු කොන්ද ප්‍රදේශයේ අතරමං වූ පුද්ගලයකු බේරා ගනී…..

හන්තාන කඳු පන්තියේ “කටුසු කොන්ද” තරණය කිරීමට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකු බේරාගැනීමට යුද හමුදාව සමත්ව තිබේ.

අද (13) පෙරවරුවේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් ඔහු බේරගත් බව යුද හමුදාව සඳහන් කළේය.

මෙම මෙහෙයුම සඳහා යුද හමුදාවේ 111 වන පාබල බලසේනාවට අයත් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්  එක්වූහ.

මහනුවර පොලීසිය වෙතින් ලද තොරතුරකට අනුව ඊයේ (12) පස්වරු 06:40 ට පමණ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ සෙබළුන් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම දුෂ්කර ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරන ලදී.

දැඩි අන්ධකාරය හා මීදුම් සහිත පරිසරය මධ්‍යයේ රාත්‍රී කාලය පුරාම සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කළ බව යුද හමුදාව සඳහන් කරයි.

ඒ අනුව, අද (13) පෙරවරු 07:45 ට පමණ අතුරුදන්ව සිටි පුද්ගලයා නිරුපද්‍රිතව සොයා ගැනීමට යුද හමුදා භට පිරිස් සමත් වූහ.

තුෂාර උපුල්දෙණියගේ මානව හිමිකම් කඩවෙලා – මානව හිමිකම් කොමිසම…..

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට ගැනීම හා වැඩතහනම් කිරීම නිසි නීතිමය පටිපාටිය තුළ සිදුකර නොමැති බවත්, ඒ හේතුවෙන් ඔහුගේ මානව හිමිකම් කඩවී ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබේ.

ඒ උපුල්දෙණිය මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනය අවසන් කරමිනි.

ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම හා වැඩ තහනම් කිරීම තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇති බවට එම කොමිසම නිගමනය කර ඇත.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට චෝදනා එල්ලවූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ ජනාධිපති කාර්යාලය සිදුකළ පැමිණිල්ලක් මතය.

ඒ අනුව අතරතුර ඔහුගේ වැඩ තහනම් කිරීමට 2025 වසරේ ජුනි 09 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේ විමර්ශන අපක්ෂපාතීව සිදුකළ යුතු බව පවසමිනි.

සිදුකළ විමර්ශනයට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා 2025 වසරේ ජුනි 10 වැනිදා අත්අඩංගුවට ගැනෙන අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු පසුව ඇපමත මුදාහැරිණි.

මෙම සිදුවීමේදී උපුල්දෙණිය මහතාගේ මානව හිමිකම් කඩ වූ බව පවසමින් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඒ අනුව ඔවුන් සිදුකළ විමර්ශනයේදී නිරීක්ෂණය කර ඇත්තේ වින්දිතයා අත්අඩංගුවට ගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවැරදිව හා ප්‍රමාණාත්මකව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර නොමැති බවත් මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වේ.

එහිදී ඔවුන් වින්දිතයාගේ ප්‍රකාශ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකර නොමැති බවද නිරීක්ෂණය වී ඇතැයි සඳහන්.

එසේම, අධීකරණ අමාත්‍යාංශ ලේකම්වරයා උපුල්දෙණිය මහතාගේ වැඩතහනම් කිරීමට ඉදිරිපත් කරන ලද පත්‍රිකාව තුළ වින්දිතයා සබැඳිව සහ සිදුවීම පිළිබඳ කරුණු ප්‍රමාණවත්ව සහ නිසිලෙස ඉදිරිපත් කර නොමැති බවද මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර තිබේ.

වින්දිතයා දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, ඔහුගේ බලතල නිලධාරීන් වෙත අභිනියෝජනය හෙවත් බලතල පවරා තිබියදී ඔහුගේ වැඩතහනම් කිරීම ප්‍රශ්න සහගත බවද මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා නීතියේ දක්වා ඇති කාර්ය පටිපාටිය අනුව අත්අඩංගුවට ගැනීම සහ වැඩතහනම් කිරීම සිදුකර නොමැති බව කොමිසමේ නිරීක්ෂණය වේ.

එබැවින් වින්දිත උපුල්දෙණිය මහතා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව මානව හිමිකම් කොමිසම නිගමනය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යස්ථාව වන, නීතිය පසිඳලීම, නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතු බවට වන වගන්තිය සහ, 13 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව අත්තනෝමතිකව සිරභාරයට ගැනීම හා දඬුවම් කිරීම යන කරුණුවලට අදාළව මෙම උල්ලංඝනය සිදුවී ඇති බව සඳහන්.

එවන් පසුබිමක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාකලාපය පරීක්ෂා කර සුදුසු පියවර ගත යුතු බවය.

එසේම, වින්දිතයාගේ වැඩතහනම් කිරීමේ ක්‍රියාවලියෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් සියලු කරුණු සලකා අමාත්‍යාංශ ලේකම්වරයා උපුල්දෙණිය මහතා සම්බන්ධව සුදුසු පියවර ගත යුතු බවත්, ඒ පිළිබඳ මානව හිමිකම් කොමිසම දැනුම්වත් කළ යුතු බවත් දන්වා ඇත.

2026 අප්‍රේල් 30 වැනිදාට පෙර මෙම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇත.

කාන්තාවකට පහර දුන් යුක්‍රේන ජාතික කාන්තාව අත්අඩංගුවට….

ගල්කිස්ස ප්‍රදේශයේ දී යුක්‍රේන ජාතික කාන්තාවක් විසින් ශ්‍රී ලාංකික කාන්තාවකට පහර දී තිබේ.

එම ගැටුම සමතයකට පත්කිරීමට පැමිණි පොලිස් නිලධාරියෙකුට ද අදාළ යුක්‍රේන ජාතික කාන්තාව විසින් පහර දී ඇත.

යුක්‍රේන ජාතික 37 හැවිරිදි කාන්තාව කලත්‍ර වීසා මත වසර 18ක් තිස්සේ රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පහරදීම, පොලිස් රාජකරියට බාධා කිරීම සහ සොරකම් කිරීම යන චෝදනා මත එම කාන්තාව අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ බවය.

බණ්ඩාරවෙල පාසලක විද්‍යාගාරයේ සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවිය කියන සංවේදී කතාව….

පසුගිය මාර්තු 23 වෙනිදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ බීකරයක් පිපිරීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලැබූ බවට වාර්තා විය. එය පිපිරීමක් නොව ගිනි ගැනීමක් බවත් ඉන් එක් සිසුවියක් බරපතළ තුවාල ලැබූ බවත් තවත් සිසුවියක් සුළු තුවාල ලබා ඇති බවත් සඳහන් වේ. එහිදී බරපතළ තුවාල ලැබූ සිසුවිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

විද්‍යා විෂය භාර ගුරුවරිය විසින් ශාක පත්‍ර තුළ පිෂ්ඨය තිබේදැයි පරීක්ෂා කිරීමට සිසුන්ට ඉගැන්වීමට සැලැසුම් කර සිටියාය. ශාක පත්‍ර එතිල් ඇල්කොහොල් දැමූ පරීක්ෂණ නාලයක දමා ජලය දැමූ බීකරයක බහා ස්ප්‍රීතු ලාම්පුවක් ආධාරයෙන් රත් කිරීමට පියවර ගෙන ඇත.

ලාම්පුවේ තිරයට ගෑවෙන මට්ටමට පමණක් ස්ප්‍රීතු තිබීම හේතුවෙන් එහි දැල්ල භාගයට පත්තුවෙමින් තිබී ඇත.  අදාළ ගුරුවරිය කතුරක් ආධාරයෙන් ලාම්පු තිරය එළියට ඇද ලාම්පුවට ස්ප්‍රීතු පිරවීමට කටයුතු කර තිබේ. එම අවස්ථාව වනවිටත් තිරය පත්තුවෙමින් තිබීම නිසා එය ඉතා සුළු වේලාවක් තුළ ගිනිගෙන තිබේ.‍ ඉන් බියට පත් වූ ගුරුවරිය ස්ප්‍රීතු අඩංගු කෑන් එක තුවාල ලබා රෝහල් ගතව සිටි සිසුවිය සිටි දෙසට විසි කර තිබේ.

ඒ සමඟම සුදු පාට දුමක් මතුවී ඇති බැවින් ඉන් අනතුරුව ගිනි ගැනීමක් සිදු වනු ඇතැයි බියට පත් වූ මෙම සිසුවිය නැගිට දිව යාමට උත්සහ කළ ද ඇයගේ පාදය සිරවී තිබී ඇත. කෙසේ හෝ පාදය ඉන් මුදාගෙන විද්‍යාගාරයෙන් පිටතට පැමිණෙන විට තමන්ගේ පාසල් නිලඇඳුමේ කොලරය ගිනි ගැනීමට ලක්ව ඇති බවට ඇයට අවබෝධ විය. ඇය උදව් ඉල්ලා කෑගැසුවාය. ඇයට කිසිදු පිහිටක් හිමි වූයේ නැත. ඒ අසළ තිබූ බුද්ද ගස අසලට දිව ගිය ඇය එහි වූ දල්ලක් කඩාගෙන ගින්න නිවීමට ඇය උත්සහා කළාය.

මෙම සිද්ධිය දුටු ගුරුවරියක් විසින් අදාළ සිසුවියගේ නිල ඇඳුම ඉරා දමා තිබුණේ, ඇයගේ මුළු සිරුරම ගිනි ගැනීම වැළැක්වීමේ අරමුණෙන්ය. ඉතිහාසය විෂය භාර ගුරුවරියගේ සාරි පොටට ආවරණයවී සිටි සිසුවියව තවත් ගුරුවරියක් විසින් මේස රෙද්දකින් ආවරණය කර තිබේ.

මේ සිද්ධියෙන් තවත් සිසුවියක් තුවාල ලබා ඇති බවට ද අදාළ ගුරුවරිය දැනගනු ලබන්නේ බණ්ඩාරවෙල රෝහලට යන අතරවාරයේදීය. දෙවන සිසුවියට ඉතා සුළු තුවාල සිදුව තිබූ බවට සඳහන් වේ.

මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අදාළ සිසුවියව බදුල්ල රෝහලට මාරු කර යවා ඇත. මෙම මූලික ප්‍රතිකාර කිරීමට පෙර සිසුවියගේ තුවාල ඡායාරූප ගැනීමක් සිදු කළ යුතු වූවත් බණ්ඩාරවෙල රෝහල විසින් එය මඟහැර ඇති බවට තුවාල ලැබූ දැරිවියගේ මව චෝදනා කරයි.  සිසුවියගේ ප්‍රතිකාර සඳහා යන සියලු වියදම් තමන් විසින් දරන බව ඇය ප්‍රකාශ කර ඇතත්, මේ වනවිට ඇය පොරොන්දු ඉටු නොකරන බවට ද දැරිවියගේ මව චෝදනා කරයි.

බදුල්ල රෝහලෙන් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එම සිසුවිය කොළඹ ජාතික රෝහල වෙත වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා මාරු කර යැවිණි. මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඇයගේ මුහුණ, බෙල්ල සහ අත්වල ගැඹුරු තුවාල පවතියි. එම තුවාල සඳහා තවත් සැත්කමක් කිරීමට නියමිතව තිබුණ ද මේ වනවිට ඇය ඩෙංගු රෝගයට ‌ගොදුරුවී සිටියි. ඒ අනුව පිළිස්සුම් තුවාලවලට ගනු ලබන ප්‍රතිකාරවලට අමතරව ඇයට ඩෙංගු රෝගය සඳහා ද ප්‍රතිකාර ලබාගැනීමට සිදුව ඇත. ‌ඩෙංගු රෝගයෙන් සුවය ලැබූ පසුව පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇත.

අවුරුදු සතියේ අනතුරුවල ඉහළ යාමක්…

අලුත් අවුරුදු සතිය තුළ අනතුරු හේතුවෙන් රෝහල් ගත වීමේ ඉහළ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

එහි බෝ නෙවෙන රෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සදහන් කළේ මේ වන විට අනතුරු හේතුවෙන් පුද්ගලයින් 29,000ක් පමණ රෝහල් ගතව ප්‍රථිකාර ලබන බවය.

සෑම වසරකම ලක්ෂ 13ක පමණ පිරිසක් අනතුරු හේතුවෙන් රෝගල්ගතව ප්‍රතිකාර ලබන අතර එහිදී වැඩි ප්‍රමාණයක් රෝහල්ගත වන්නේ මෙම අලුත් අවුරුදු කාලසීමාවේ වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වු ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා,

”බස්නාහිර පළාතට සාපේක්ෂව අනෙක් පළාත්වල අනතුරු සිදු වීම බහුල වශයෙන් දකින්න පුලුවන්… වැඩිපුරම රෝහල්ගත වෙන්නේ මහාමාර්ග අනතුරු නිසා.. ඊට පස්සේ වැටීම්, සතුන් සපාකෑම්, හා පහර වැදීම් නිසා සිදුවන අනතුරු නිසත් රෝගල්ගත වෙන ප්‍රමාණය වැඩී.. කොහොම වුණත් ගිනිකෙළි නිසා සිදුවන අනතුරුවල සාපේක්ෂව අඩුවීමක් තියෙනවා.. අපි හැමෝම උනන්දු විය යුතුයි මේ අනතුරු වළක්වා ගන්න”

මාතර සමූපකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති අත්අඩංගුවට…..

මාතර දිස්ත්‍රික් සමූපකාර ග්‍රාමීය බැංකු සංගමයේ රුපියල් මිලියන 300ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සීමාසහිත මාතර දිස්ත්‍රික් සමූපාකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති චමින්ද ප්‍රසන්න ගුණසේකර නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙහි නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

පොලිසිය පැවසුවේ අදාළ සැකකරු සමූපකාර නීතිරීති උල්ලංඝනය කරමින් වෙනත් ව්‍යාපෘති සඳහා මුදල් යෙදවූවා යැයි පවසා එම මුදල් ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදවා ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (10) උදෑසන ඉදිරිපත් කරනු ලැබීය.

සීමාවාසික වෛද්‍ය පත්කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් ගැන තීරණය මැයි 08…..

මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීමට අවසර දෙනවාද, නැත්ද? යන නියෝගය මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු දෙදෙනෙකු විසින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අද (10) මෙම නියෝගය නිකුත් කර ඇත.