රුපියල යළි සෙලවෙයි…..

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (11) යළි සුළු වෙනස්වීමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 327.6794ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 337.8279ක් වශයෙනි.

ඊයේ (10) දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 324.66ක් ලෙස පැවති අතර, එහි විකිණුම් මිල සඳහන් වූයේ රුපියල් 335.39ක් ලෙසය.

ඒ අනුව ශ්‍රී ලංකා රුපියල සුළු පහත වැටීමක් සිදුව ඇති බව සඳහන් වෙයි.

රුපියලට එල්ලවන පීඩනය අඩු කරන හැටි ගැන පැහැදිලි කිරීමක්……

ශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.

ඔහු සඳහන් කළේ වෙළෙඳපොළ තත්ත්වයන්ට අනුකූලව ඉන්ධන මිල ගැලපීමට පියවර නොගතහොත් රුපියලට එල්ල වන පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බවය.

මැයි මස 21 සහ 22 දිනවල රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වී පසුව නැවත අධිප්‍රමාණය වීම සම්බන්ධයෙන් නිකුත් වූ නවතම දත්ත අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මැයි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 220කට ආසන්න මුදලක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව වෙළෙඳපොළේ තිබූ රුපියල් ප්‍රමාණයක් මහ බැංකුව වෙත නැවත ඇදී යාම රුපියලේ අධිප්‍රමාණයට යම් බලපෑමක් එල්ල කළ බවද ඔහුගේ අදහසයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ දේශීය වෙළෙඳපොළේ ඩොලර් ඉල්ලුමද ඉහළ යන බැවින්, ඉන්ධන මිල වෙළෙඳපොළට අනුව ගැලපීම වැදගත් බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම තෙවන පාර්ශවයක් අතට පත්ව ඇති ඩොලර් මිලියන 2.5ක මුදල නැවත අය කර ගැනීමට නොහැකි වුවහොත්, එම මූල්‍ය බර අවසානයේ ජනතාවට බදු මඟින් දැරීමට සිදුවිය හැකි බවද ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“රුපියලට එල්ලවන පීඩනය අඩු නම් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය කිරීම අනිවාර්යයි. මැයි මාසයේ 21 සහ 22 දිනවල රුපියල  සීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙලා නැවත අධිප්‍රමාණය වීම සම්බන්ධයෙන් දැන් නවතම දත්ත නිකුත්වෙලා තියෙනවා.  ඒ අනුව මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ මහ බැංකුව දල වශයෙන් අමෙරිකන් ඩොලර් මිලියන 220කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට විකුණලා තියෙනවා.  ඒ කියන්නේ ඩොලර් වෙළෙඳෙපොළට  නිකුත්කරලා වෙළෙඳපොළේ තිබුණු රුපියල් මහ බැංකුවට යළිත්වරක් අරගෙන තියෙනවා. ඉතින් ඒකත් යම් බලපෑමක් එල්ල කළා අනිවාර්යෙන්ම දැන් තිබෙන විදිහට රුපියල නැවතවරක් අධිප්‍රමාණය වෙන්න. ඉතින් අපි වෙළෙඳපොළට ගැලපෙන ආකාරයට අපේ තෙල්වල මිල ගැලපුවේ නැත්නම් දිගින්දිගටම ලෝක වෙළෙඳපොළේ තෙල්වල මිල ඉහළ යනවත් එක්කම අපේ වෙළෙඳපොළෙන් ඩොලර් සඳහා යන මිල ඉතාමත් අධික වෙනවා.” 

රුපියල යන්තම් නැගිටියි…..

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 324.66ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 335.39ක් වශයෙනි.

ඊයේ (09) අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 332.38ක් සහ රුපියල් 342.08ක් වශයෙනි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්…..

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවකයන් ගෙන්වීම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පමණක් සීමාකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ කුවේට් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ගෘහ සේවක අංශය නියාමනය කිරීම සඳහා නව නීති මාලාවක් හඳුන්වාදීමත් සමඟය.

මේ යටතේ ගෘහ සේවකයන් ගෙන්වීම රටවල් 10කට සීමා කර ඇති අතර, රටවල් 27ක් තහනම් කර ඇත.

සේවකයන් ගෙන්වීමට අවසර ඇති රටවල් 10

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, නේපාලය, දකුණු අප්‍රිකාව, බෙනින්, එරිට්‍රියාව සහ ඉතියෝපියාව යන රටවල් 9 කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම අවසර ලබා දී ඇති අතර සෙනගාලය යන රටින් සේවකයන් බඳවා ගැනීම පිරිමි අයට පමණක් සීමාකර තිබේ.

මේ අතර, කෙන්යාව, උගන්ඩාව, නයිජීරියාව, මැඩගස්කරය සහ භූතානය ඇතුළු රටවල් 27කින් ගෘහ සේවකයන් ගෙන්වීම තහනම් කර ඇත.

මෙයින් ඇතැම් රටවලින් තහනම් කර ඇත්තේ කාන්තා සේවිකාවන් පමණක් වන අතර පිරිමි සේවකයන් ගෙන්වීමට අවසර ඇත.

බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්……

දේශීයව ඇසුරුම් කළ හෝ බෝතල් කළ පානීය ජලය (PET බෝතල්) සඳහා නව උපරිම සිල්ලර මිල ගණන් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20 (5) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම අංක 96 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය (ගැසට් අංක: 2492/29) අද (10) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වේ.

මෙම නව නියෝගයට අනුව, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම, අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ ඉදිරිපත් කිරීම කිසිදු නිෂ්පාදකයෙකුට, ඇසුරුම්කරුවෙකුට, බෙදාහරින්නෙකුට හෝ වෙළෙන්දෙකුට සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

නව මිල පාලන නියෝගයත් සමඟ 2025 අප්‍රේල් 01 දිනැති අංක 2430/15 දරන ගැසට් පත්‍රයේ පළ කර තිබූ පැරණි මිල පාලන නියෝගය (අංක 93) අවලංගු වන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

නව ගැසට් නිවේදනයට අනුව උපරිම සිල්ලර මිල ගණන්

ජල බෝතලයේ ධාරිතාව  උපරිම සිල්ලර මිල
මි. ලීටර 500 සිට 999 දක්වා  රු. 80.00
ලීටර 1 සිට 1.499 දක්වා  රු. 120.00
ලීටර 1.5 සිට 1.999 දක්වා  රු. 150.00
ලීටර 2 සිට 2.499 දක්වා  රු. 180.00
ලීටර 5 සිට 6.999 දක්වා  රු. 400.00

මෙම නියෝග උල්ලංඝනය කරමින් වැඩි මිලට ජල බෝතල් අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් නිලධාරීන් විසින් දිවයින පුරා දැඩි සෝදිසි කිරීම් සහ වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දැක්වීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම නව ප්‍රතිපත්තිය ජුනි 01 දින සිට බලාත්මක වන බවය.

1999 වසරේදී ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් සකස් කර තිබුණු අතර එය 2023 වසරේදී සංශෝධනය කර තිබුණි.

කෙසේ නමුත් වර්තමානයේ පවතින සමාජ ආර්ථික පසුබිම වෙනුවෙන් නව ප්‍රවේශයක අවශ්‍යතාවය ඉස්මතු කරන බැවින් නව ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබුණි.

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පසුගිය පෙබරවාරි 09 වැනි දින ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ අතර ඒ අනුව නව ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට ආරම්භ කෙරුණි.

ඒ අනුව මෙම නව ප්‍රතිපත්තිය සම්පාදන කර ඇති අතර මේ තුළ දේශීය ඛනිජවල ආවේනික ගුණාත්මකභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ඛනිජ සම්පත් පිළිබඳව ශක්‍යතා අධ්‍යනය, අගය එකතු කරන ලද ඛනිජ සම්පත් හා පරිසරයේ තිරසාර කළමනාකරණය සහ ඛනිජ නිස්සාරණයට අදාළ ඉඩම් හිමිකම් ගැටලු යන කරුණු මෙම මෙහිදී කෙටුම්පත් කිරීමේදී සැලකිල්ලට ගෙන ඇත.

මෙම ප්‍රතිපත්තියේ මූලික අරමුණ වන්නේ මෙරට ඛනිජ ක්ෂේත්‍රය ශක්තිමත් කරන ප්‍රතිපත්තිමය මූලධර්ම පුළුල් ලෙස හඳුනා ගැනීම වේ.

එමෙන්ම මෙම මූලධර්ම භූමියේ ක්‍රියාත්මක කළ හැකි සැලසුම් සමග සම්බන්ධ කිරීම මගින් ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාවලියට මග පෙන්වන උපායමාර්ග හඳුන්වා දී ඇති අතර මෙම ප්‍රතිපත්ති රාමුව අදාළ ආයතන විසින් තම තමන්ගේ ක්ෂේත්‍රයන් හී සවිස්තරාත්මක ක්‍රියාකාරි සැලසුම් සකස් කිරීම සඳහා පදනමක් ලෙස භාවිත කිරීමත් සිදුවනු ඇත.

මෙම නව ප්‍රතිපත්තිය තුළින් ප්‍රතිපත්තිමය ඉලක්ක කිහිපයක් අපේක්ෂා කර ඇති අතර ඒ අනුව නිරන්තරයෙන් යාවාත්කාලීන වන ජාතික ඛනිජ සම්පත් ලේඛනයක් සකස් කිරීම, ඛනිජ සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම සහතික කිරීම, ජාතියට ප්‍රශස්ත ප්‍රතිලාභ ලැබෙන පරිදි අගය එකතු කළ ඛනිජ අපනයන සහ ඛනිජ පදනම් වූ නිෂ්පාදන සංවර්ධනය කිරීම, ආර්ථික සංවර්ධනය සඳහා ඛනිජ සම්පත් තිරසාර භාවිතය සහ පරිසර සංරක්ෂණය අතර සමතුලිතතාවය තහවුරු කිරීම, පර්යේෂණ හා සංවර්ධණ හා සංවර්ධන කටයුතු දිරිමත් කිරීම, ඛනිජ ක්ෂේත්‍රයේ යහපාලන මූලධර්මයන්ට අනුගත වීම සහ ආයෝජන හිතකාමී නියාමන රාමුවක් සැපයීම මගින් ඛනිජ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, ඛනිජ කර්මාන්තයට අදාළ ඉඩම් ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා පහසුකම් සැලසීම යන කරුණු වෙනුවෙන් අවධානය යොමුව ඇත.

එමෙන්ම මෙම ප්‍රතිපත්තියේ සඳහන් උපායමාර්ග, ප්‍රතිපත්තියේ මූලධර්ම ක්‍රියාත්මක කිරීම සඳහා පදනම ලෙස ක්‍රියා කරන බවත් ඒවා අදාළ පනත් මගින් ක්‍රියාත්මක කිරීමටද නියමිත අතර එම ක්‍රියාමාර්ග බලගැන්වීම සඳහා නියාමන ආයතන වෙත බලය පැවරීමද සිදු කෙරේ.

අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මට්ටම මත මහජනතාව ඇතුළු පාර්ශ්වකරුවන්ට විශේෂයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයට සෘජු බලපෑම් ඇතිවිය හැකි බවය.

එබැවින් අදාළ නියාමන ආයතන විසින් ඒකාබද්ධව පිළිගත හැකි රාමුවක් සකස් කිරීමෙන් අනතුරුව සවිස්තරාත්මක ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ග වැඩසටහන් සැලසුම් සහ අනෙකුත් නියාමන ලේඛන අවසන් කිරීම සඳහා පාර්ශ්වකරුවන් සමග උපදේශන ක්‍රියාවලියක් පැවැත්විය යුතු බවත් සඳහන් කර ඇත.

තවද ඛනිජ ක්ෂේත්‍රයට අදාළ විෂයභාර අමාත්‍යාංශය, ඛනිජ ප්‍රතිපත්තිය අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටුකරන නමුත් ඛනිජ ඛනිජ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන කිහිපයක් විවිධ අමාත්‍යාංශ යටතේ පවතින බැවින් අධීක්ණ මණ්ඩලය අදාළ අමාත්‍යාංශ නියෝජිතයින්ගෙන් සමන්විත විය යුතු බවත් මෙහි සඳහන් වේ.

ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……

ජුනි මාසයේ මුල් දින 7 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 27,043ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 11,216ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 42%ක් වේ.

එමෙන්ම, චීනයෙන් 1,496ක්, එක්සත් රාජධානියෙන් 1,938ක්  සහ ඔස්ට්‍රේලියාවෙන් 1,562ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට ජුනි 07 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,049,065ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 261,476ක්, රුසියාවෙන් 76,332ක් සහ එක්සත් රාජධානියෙන් 100,031ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි…..

ලංකා සතොස ආයතන විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (10) දිනයේ සිට මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම අඩුවන මිල ගණන් අතරට ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල්, පොන්නි සම්බා ඇතුළු ඇතුළු භාණ්ඩ වර්ග 18ක් පවතින බවද අමාත්‍යාංශය පැවසීය.

අමාත්‍යාංශය පැවසුවේ මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් උද්ගතව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය හමහුවේ මෙරට ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් රජයේ මැදිහත්වීම මත මෙම භාණ්ඩවල මිල අඩු කිරීමට තීරණය කළ බවය.

අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ….

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ “2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්  නිකුත් කර තිබේ.

මෙම නව රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන දිනයේ සිට බලපැවැත්වෙන අතර, මීට පෙර ක්‍රියාත්මක වූ 2024 සහ 2026 රීති සංශෝධනය කරමින් නව විධිවිධාන හඳුන්වා දී ඇත.

නව  රීති අනුව චක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට විදේශ මුදලින් ගෙවීම් කිරීම සම්බන්ධයෙන් ද  විධිවිධාන හඳුන්වා දී ඇති අතර, එම ආදායම්වලින් අවසරලත් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි මුදල ද එළැඹෙන මාසයේ 10 වැනි දිනට පෙර රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කර තිබේ.

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට COPFහි අනුමැතිය…..

2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමිවිය.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සහ ඩිජිටල් සම්බන්ධතාවය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් මෙම සංශෝධනය යෝජනා කර ඇත.

2026 අයවැය මඟින් මුලින්ම ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව, 2026 ජනවාරි 01 වන දින හෝ ඊට පසුව ඉදි කරන නව සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු නිදහසක් (තාවකාලික සහනයක්) ලබා දීම මෙහි ප්‍රධාන ප්‍රතිපාදනය වේ. මේ සබැඳි පනත් කෙටුම්පත 2026 අප්‍රේල් මස ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කර තිබිණි.

මීට අමතරව, 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත ද මෙහිදී අවධානයට ලක් විය.

වත්මන් බදු අනුපාතයන් නීත්‍යානුකූලව විධිමත් කිරීම, යාවත්කාලීන කිරීම සහ බදු පාලනය වඩාත් විනිවිදභාවයකින් සිදු කිරීම සම්බන්ධ සංශෝධන සඳහා කාරක සභාවේ අනුමැතිය හිමි වුවද, පාරිභෝගිකයන් විසින් පැහැර හරින ලද නොගෙවූ බිල්පත් මත පවතින බදු (Telecom Levy) සමාගම්වලට අඩු කර ගැනීමට අවසර දීමේ යෝජනාව කාරක සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

නියමිත කාලසීමාවක් තුළ ක්‍රියාකරුවන්ට එම බදු මුදල් අඩු කිරීමට අවසර දිය යුතු බවට නිලධාරීන් තර්ක කළ ද, සුළු ව්‍යාපාරිකයන්ට මෙවැනි සහන නොලැබෙන පසුබිමක, සීමිත විශාල සමාගම් පිරිසකට මෙම සහනය ලබා දීම අසාධාරණ බව කාරක සභාව අවධාරණය කළේය.

එක් ප්‍රධාන සමාගමක් 2022 වසරේ සිට මෙම බදු සහනය ඉල්ලා සිටින බවත්, එය සමස්ත වෙළෙඳපොළ සාධාරණත්වයට බාධාවක් විය හැකි බවත් පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා, පාරිභෝගිකයාගෙන් බදු අය කර ගැනීම සමාගම්වල වගකීමක් වන බැවින් ඔවුන්ගේ අපොහොසත් වීම රජයේ ආදායම අඩු කිරීමට හේතුවක් නොවිය යුතු බව අවධාරණය කළේය.

ඒ අනුව, මෙම ප්‍රතිපාදනය ඉදිරි දිනයකදී නැවත සලකා බැලීමට තීරණය විය.

මේ අතර, ශ්‍රී ලංකා රජයේ ලාංඡනය භාවිත කරමින් “Licensed” යනුවෙන් සඳහන් කර මාර්ගගත කැසිනෝ (Online Gambling) ප්‍රචාරණයන් සිදු කිරීම පිළිබඳව ද කාරක සභාවේ දැඩි අවධානය යොමු විය. මේ දක්වා කිසිදු මාර්ගගත සූදු ආයතනයකට බලපත්‍ර නිකුත් කර නොමැති බව නිලධාරීන් මෙහිදී තහවුරු කළ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලා කාරක සභාව දැනුවත් කරන ලෙස අදාළ ආයතන වෙත උපදෙස් දෙන ලදී.

තවත් ගැසට් නිවේදන හතරකට අනුමැතිය
මූල්‍ය, බදු සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිකුත් කර ඇති තවත් ගැසට් නිවේදන හතරකට අදාළ පහත නියෝග සඳහා ද කාරක සභාවේ අනුමැතිය හිමිවිය:

ආනයනික භාණ්ඩ වර්ගීකරණය හා බදු අය කිරීම විධිමත් කිරීම සඳහා වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද සහ නිෂ්පාදන බද්ද යටතේ නව ජාතික උපබෙදුම් (HS Codes) හඳුන්වා දීම.

දේශීය රෙදිපිළි කර්මාන්තයට සාධාරණ තරඟකාරී පරිසරයක් දීම වෙනුවෙන් ආනයනික රෙදිපිළි මත තිබූ සෙස් (Cess) බද්ද ඉවත් කර, 2026 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක වන පරිදි 18% ක එකතු කළ අගය මත බද්දක් (VAT) පැනවීම. (VAT සඳහා ලියාපදිංචි වී ඇති ආයතනවලට මෙම බදු මුදල Credit ලෙස නැවත ලබා ගත හැකි බැවින් ඔවුන්ට ඉන් සහනයක් සැලසේ).

ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම උදෙසා, ආපදා සහන ගෙවීම් රිසිට්පත් මුද්දර ගාස්තුවෙන් නිදහස් කිරීම.