2025දී වාහන ආනයනය ඉහළට – ඉතිහාසයේ තෙවැනි වැඩිම වියදම වාර්තා වෙයි…..

2025 වසර තුළ ශ්‍රී ලංකාවේ වාහන ආනයන වියදම ඉතිහාසයේ තුන්වන ඉහළම මට්ටමට ළඟා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2025 වාර්ෂික ආර්ථික විවරණයෙහි සඳහන් වේ.

මෝටර් රථ ආනයන සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කිරීමත් සමඟ, 2025 ජනවාරි මාසය වන විට පෞද්ගලික රථවාහන සඳහා පැවති සියලු සීමා ඉවත් කර තිබුණි.

එමෙන්ම, දිගුකාලීන සීමාකිරීම්වලින් පසුව ඇතිවිය හැකි ඉල්ලුම පාලනය කිරීම සඳහා රජය විසින් තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති පියවර කිහිපයක් ද හඳුන්වා දී තිබුණි.

කෙසේ වෙතත්, මෙම පියවර තිබියදීත් 2025 වසර තුළ වාහන ආනයනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, එය වසර ගණනාවක් පුරා සීමා කිරීම් හේතුවෙන් එකතු වූ ඉල්ලුම සහ ආර්ථික ක්‍රියාකාරකම්වල වැඩිදියුණු වීම පිළිබිඹු කරන බව සඳහන් වේ.

විශේෂයෙන් 2025 අප්‍රේල් මාසයෙන් පසු ආනයනවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබී ඇති අතර, පෞද්ගලික සහ වාණිජ වාහන යන කාණ්ඩ දෙකම එක්ව වාහන ආනයන වියදම එ.ජ. ඩොලර් බිලියන 2.04ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2015 වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 2.12 සහ 2018 වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 2.09ට පසු වාර්තා වූ තුන්වන ඉහළම වාර්ෂික වාහන ආනයන වියදම ලෙසද සැලකේ.

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 840,000 පනී…….

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 840,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ජනවාරි පළමු දින සිට අප්‍රේල් 22 දක්වා කාලය තුළ සංචාරකයින් 840,411ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 176,465ක් වේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර අප්‍රේල් මස පළමු දින සිට 22 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 99,777 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ පසුගිය මාසයන්ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවය.

2026දී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්…..

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පුරෝකථනය කර තිබේ.

මැද පෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික අර්බුද සහ ගෝලීය තෙල් වෙළඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි කාලයේ තෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

මහ බැංකුව පෙන්වා දෙන්නේ, ඉන්ධන ආනයන වියදම ශ්‍රී ලංකාවේ සමස්ත ආනයන වියදමේ විශාල කොටසක් වන අතර, පසුගිය වසර 10 තුළ සාමාන්‍යයෙන් මුළු ආනයන වලින් 20%කට ආසන්න ප්‍රමාණයක් ඒ සඳහා වැය වී ඇති බවයි.

කෙසේ වෙතත්, 2025 වසරේදී බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන පරිමාව ඉහළ ගියද, සමස්ත වියදම 2024 වසරේ එ.ජ. ඩොලර් බිලියන 4.4 සිට 2025 වසරේදී එ.ජ. ඩොලර් බිලියන 4ක් දක්වා අඩු වී ඇත. මෙයට ප්‍රධාන හේතුව වූයේ බොරතෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරු මිල අඩුවීමයි.

එමෙන්ම, ජාත්‍යන්තර වෙළඳපොළේ මිල වෙනස්වීම් අනුව බොරතෙල් බැරලයක සාමාන්‍ය ආනයන මිල 2024 වසරේදී එ.ජ. ඩොලර් 84.7 සිට 2025 වසරේදී එ.ජ. ඩොලර් 73.2 දක්වා පහත වැටී ඇති බවද සඳහන් වේ.

මේ අතර, දේශීය ඉන්ධන මිල ගණන් සඳහා පිරිවැය පිළිබිඹු කෙරෙන මිල සංශෝධන ක්‍රමවේදය 2025 වසර පුරා ක්‍රියාත්මක කර ඇති අතර, ඒ මඟින් ගෝලීය මිල විචලතා දේශීය වෙළඳපොළට සෘජුව පිළිබිඹු වීමට ඉඩ සලසා තිබේ.

ඒ අනුව, 2024 වසර අවසානයට සාපේක්ෂව 2025 අවසානය වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන පෙට්‍රල් 92, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පිළිවෙළින් රුපියල් 15, 9 සහ 8කින් පහළ ගොස් ඇත.

තවද, ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සමඟ 2025 වසර තුළ ඛනිජ තෙල් නිෂ්පාදිත අලෙවිය 7.4%කින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, මැදපෙරදිග යුද තත්ත්වයන් හේතුවෙන් ඇතිවූ භූ දේශපාලනික පීඩනයට ප්‍රතිචාර වශයෙන්, 2026 මාර්තු මාසයේදී සාමාන්‍ය මිලකරණ යාන්ත්‍රණයෙන් බැහැරව ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීමටද පියවර ගෙන ඇත.

ගාස්තු වැඩිකළත් පසුගිය වසරේ විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 38කට අධික පාඩුවක්……

විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකළද පසුගිය 2025 වසරේ විදුලිබල මණ්ඩලය අලාභ ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ 2025 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන්ව තිබේ.

මේ හේතුවෙන් පසුගිය 2025 වසර අවසානය වන විට විදුලිබල මණ්ඩලයේ සමස්ත අලාභය රුපියල් බිලියන 38.7ක් වාර්තා කර ඇති බව මහ බැංකුව මගින් නිකුත් කර ඇති මෙම වාර්තාවේ සඳහන්ව ඇත.

2024 වසරේ අවස්ථා කිහිපයකදීම විදුලි ගාස්තු අඩු කිරීමෙන් අනතුරුව 2025 වසරේ ජනවාරි මාසයේදී ද විදුලි ගාස්තු තවදුරටත් 20%ක සාමාන්‍ය අගයකින් අඩු කළ බවත් මෙම ගාස්තු අඩු කිරීම් සහ පළමු කාර්තුවේදී සාමාන්‍යයෙන් පවතින වියළි කාලගුණය මධ්‍යයේ තාප විදුලිබල උත්පාදනය සාපේක්ෂ වශයෙන් ඉහළ යෑම සමග උත්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් 2025 පළමු කාර්තුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ක්‍රියාකාරීත්වයට සැලකිය යුතු බලපෑමක්ද එල්ල කර තිබේ.

ඒ අනුව මෙම එකතුවූ මූල්‍ය අලාභය පියවා ගැනීමේ අරමුණින් 2025 වසරේ ජූනි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනය කරමින් ගාස්තු 15%කින් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති නමුත් එම ගාස්තු අලාභ පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුගිය වසරේ මෙම රුපියල් බිලියන 38.7ක අලාභය වාර්තා වී ඇති බව අදාළ වාර්තාව මගින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ.

මේ සමග පසුගිය 2024 වසර අවසානය වන විට රුපියල් බිලියන 174.3ක් වූ ලංකා විදුලිබල මණ්ඩලයේ කෙටිකාලීන ණය සහ වගකීම් පසුගිය 2025 වසර අවසානය වන විට රුපියල් බිලියන 206.2ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම කාලපරිච්ඡේදයේදී දිගුකාලීක වගකීම් රුපියල් බිලියන 409 සිට රුපියල් බිලියන 411.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව නිකුත් කර ඇති මෙම වාර්ශික විවරණ වාර්තාවේ සඳහන් කර ඇත.

මේ අතර දෙවන කාර්තුවේ විදුලි සැපයුමේ පිරිවැය සහ ඉදිරි ආදායම් පුරෝකථන සැලකිල්ලට ගනිමින් 2026 වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු තවදුරටත් 10.3%කින් ඉහළ දමමින් සංශෝධනයක් සිදු කිරීමටද පියවර ගෙන ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර පසුගිය 2025 වසරේ ආර්ථික කටයුතුවල සිදුවූ වර්ධනයත් සමග වසරේ විදුලි ඉල්ලුමද අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව සියලුම පාරිභෝගික කාණ්ඩ සඳහා සිදු කළ අලෙවියෙහි දක්නට ලැබුණු වර්ධනයත් සමග විදුලිබල අලෙවිය 2025 වසර තුළදී සමස්තයක් ලෙස 5.8%ක ඉහළ යෑමක් ද වාර්තා කර ඇතැයිද එහි සඳහන් වේ.

විශේෂයෙන්ම පාරිභෝගික කාණ්ඩවල විශාලතම කාණ්ඩය වන ගෘහස්ථ කාණ්ඩවල ඉල්ලුම දෙවන කාර්තුවේ සිට ශක්තිමත් වර්ධනයක් වාර්තා කර ඇති වුවත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් එල්ල වූ බාධා හේතුවෙන් වසර අවසානයේදී බොහොමයක් පාරිභෝගික කාණ්ඩවල විදුලිබල ඉල්ලුම තාවකාලිකව පහළ ගොස් ඇති බවත් සමස්ත විදුලි ඉල්ලුම පෙර වසරට වඩා ඉහළ මට්ටමක පැවතුණු බවත් අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදාහැරීම මැයි පළමුවෙනිදා සිට…..

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදා හැරීම ලබන මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ,  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් මෙය ක්‍රියාවට නංවන බවය.

සියලුම මෝටර් රථ හිමියන්ට සුමට, කඩදාසි රහිත සහ කාර්යක්ෂම අත්දැකීමක් සහතික කරමින් මෙම මුලපිරීම මෝටර් රථ රක්ෂණ පරිසර පද්ධතිය නවීකරණය කිරීම, ජාතික ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාම සහ මහජන ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සැලකිය යුතු පියවරක් මින් නියෝජනය කෙරේ.

එමෙන්ම ප්ලාස්ටික් කාඩ්පත් ප්‍රතිස්ථාපනය කිරීමෙන් එය රට පුරා පාරිසරික තිරසාරභාවයට ද දායකත්වය ලබා දෙන බව ද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රුපියලේ අගය තවත් පහළට – ඩොලරය රු. 317 පනී……

මෑත කාලයේ දී එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම රුපියල් අගය අද (24) දින වාර්තා වී තිබේ.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.  314.03ක් ලෙසත් විකුණුම් මිල රු. 321.87ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින සටහන්ව ඇත.

මේ අතර ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද රු. 317.17ක් ලෙසින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

විදේශ විනිමය වෙළඳපොළේ මෙම වෙනස්වීම් ගෝලීය ආර්ථික තත්ත්වයන්, ආනයන-අපනයන ක්‍රියාකාරකම් සහ දේශීය මුදල් ප්‍රවාහයන් මත පදනම්ව සිදුවන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හේතුවෙන් ආනයන වියදම්, ඉන්ධන මිල සහ දේශීය වෙළඳපොළ මිල ගණන් කෙරෙහිද බලපෑම් ඇතිවිය හැකි බව සඳහන් වේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්…..

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

සෑම සතියකට වරක්ම මෙම මිල පාරායන් මාධ්‍යවෙත පළකරන අතර, මෙම  සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වේ.

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
(2026 අප්‍රේල් 20 සිට අප්‍රේල් 26 දක්වා)

  1. තිරිගු පිටි – 158.00 – 176.00
  2. සුදු සීනි –   200.00 – 217.00
  3. පරිප්පු –   248.00 – 271.00
  4. අර්ථාපල් (ඉන්දියා) – 160.00 – 228.00
  5. අර්ථාපල් (පාකිස්තාන්) – 140.00 -177.00
  6. බී ලූනු (ඉන්දියා) – 145.00 – 189.00
  7. බී ලූනු (පාකිස්තාන)  – 112.00 – 140.00
  8. රතු ලූනු (ආනයනික)  – 280.00 – 332.00
  9. වියළි හාල්මැස්සන් (තායිලන්ත)  – 1054.00 – 1159.00
  10. වියළි මිරිස්  – 1046.00 – 1067.00
  11. බිත්තර (සුදු)  ඒකකයක් – 32.00 – 42.00
  12. බිත්තර (දුඹුරු) ඒකකයක් – 34.00 – 44.00
  13. ටින්මාළු (දේශීය) මැකරල් 425g  – 420.00 – 480.00
  14. ටින්මාළු (දේශීය) ලින්නා ජැක් මැකරල් 425g  – 450.00 – 560.00
  15. දේශීය කැකුළු සහල් (සුදු)  – 190.00 – 220.00
  16. දේශීය කැකුළු සහල් (රතු)  – 165.00 – 220.00
  17. දේශීය නාඩු සහල් (සුදු)  – 210.00 – 230.00
  18. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත – 1000.00 – 1207.00
  19. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g  – 990.00 – 1150.00

වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි……

නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ බව සඳහන් කෙරුණේ එම ආයතනයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී ය.

එමෙන්ම වාහන හිමිකරුගේ නම සඳහන් කරමින් ලියාපදිංචි අංක තහඩුවක් ලබාගැනීමේ ක්‍රමවේදය ද කඩිනමින් ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

“ඉස්සර පළාත ගහලා තිබුණා.. දැන් ඉවත් කරලා”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්  – ප්‍රියන්තා දිසානායක,

“යුද්ධය කාලයේ ඇතිවෙලා තිබුණු ප්‍රශ්න නිසා ඒ වාහනය කොහාට අයිති එකක්ද කියලා හඳුනගන්න Frequency ID එකකුත් එක්ක තමයි ඒක දාලා තිබුණේ. නමුත් ඒ Frequency ID එක රීඩ් කරන්න ඒ වෙනකොට පොලිසියේ රීඩස් තිබුණේ නැහැ. ඒ නිසා අයින් කරන්න තීරණය කළා. දැන් එහෙම අවශ්‍යතාවයක් නෑ කියලා තමයි කියන්නේ.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

“ඩඩ්ලි මහත්තයා මාත් එකක් තරහා වෙන එකක් නැහැ මේක කිව්වට. දැන් ඔය ඩඩ්ලි මහත්තයාගේ කාර් එක ගැන හැමෝම කතා වුණානේ. අපේ බැරිද අංක තහඩුවට ඩඩ්ලි කියලා නම ගහලම ගන්න.”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්  – ප්‍රියන්තා දිසානායක,

“පුළුවන් සර්. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඇත්තටම ඒ ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දෙන්න සැලසුම් කරගෙන යනවා. සිස්ටම් එක අප්ඩේට් කරපු ගමන් අපි ඒ වගේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකකට යන්න බලාපොරොත්තු වෙනවා.”

මේ වසරේ පළමු කාර්තුවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි……

මේ වසරේ පළමු කාර්තුව තුළදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 26.5කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය සඳහන් කළේ, 2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවය.

ඒ අනුව ජනවාරි මසදී ඩොලර් මිලියන 751ක් පෙබරවාරී මස ඩොලර් මිලියන 729ක් හා මාර්තු මසදී ඩොලර් මිලියන 815ක් ලැබී ඇත.

2025 වර්ෂයේ පළමු මස තුන තුළදී ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,815කි.

විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබීමේ ප්‍රමාණය මෙලෙස ඉහළ යාමට රාජය මුල්‍ය විශ්වාසය හා විනිවිදභාවය හා  නිත්‍යානුකූල මාර්ග ක්‍රමවේද ශ්‍රමිකයන් භාවිතා කිරිමට කාර්යාංශය විසින් උනන්දු කරවිම හේතුවී ඇති බව කාර්යාංශය සඳහන් කරයි.

මේ අතර මේ වසරේ ජනවාරි සිට මාර්තු අවසානය දක්වා ශ්‍රමිකයන් 62,145 දෙ‍ෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

2026දී ආර්ථික වර්ධනය ගැන පුරෝකථනයක්…..

2025 වසරේදී ශ්‍රී ලංකාව අත්කරගත් ආර්ථික වර්ධන වේගයට වඩා පහළ අගයක් 2026 වසරේදී වාර්තා විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

අද (22) පැවති “BIG FOCUS” වැඩසටහනේදී ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ, සංචාරක පැමිණීම 30%කින් පමණ පහළ ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, කාලගුණික හා දේශගුණික බලපෑම් හේතුවෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයද පීඩාවට පත්ව ඇති බවය.

එමෙන්ම කාර්මික අංශයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ අපනයන ක්ෂේත්‍රයට ඇතිව ඇති බාධා හේතුවෙන්, සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් දුර්වල වීමේ අවදානමක් පවතින බවද ඔහු අවධාරණය කළේය.

ගෝලීය ආර්ථික තත්ත්වයද මෙයට බලපාන බව පෙන්වා දුන් මහාචාර්යවරයා, International Monetary Fund (IMF) විසින් ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන පහළ දමා ඇති බව සඳහන් කළේය.

ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන දෙකම බලපාන අතර, ඉන්ධන, පොහොර සහ ඉලෙක්ට්‍රොනික උපාංග වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධ සැපයුම් ජාල බිඳවැටීම්ද ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

“2025 වසරේදී අත්කරගත් ආර්ථික වර්ධන වේගයට වාඩා පහළ අගයක් 2026 වසරේදී අත්කරගත හැකිවනු ඇති බව මම හිතන්නේ. සංචාකර පැමිණීම 30%කින් විතර බිඳවැටිලා කියලා සමර මූලාශ්‍ර කියනවා. අනික් පැත්තෙන් කෘෂි කර්මාන්තයට බධා එල්ල වෙමින් තියෙනවා කාලගුණික දේශගුණික තත්ත්වය උඩ. ඒ වගේම කාර්මාන්ත අංශයේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහින් තියෙනවා. අපනයන අංශයට යම් යම් බාධා එල්ල වෙලා තියෙනවා. මේ තියෙන වාතාවරණය උඩ ආර්ථික කටයුතුවල බිඳ වැටීමක් එහෙම නැත්නම් ආර්ථික කටයුතුවල යම් දුර්වලවීමක් සිදුවිය හැකියි.

ගෝලීය පුරෝකථන ගත්තත් IMFඑක ගෝලීය පුරෝකථනත් පහළ දාලා තියෙනවා. ගෝලීය ආර්ථික වර්ධන වේගය පහළ යනවා කියන්නේ අපේ අපනයනවලට අපේ අනෙකුත් ක්ෂේත්‍රවලට බලපෑම් ඇති වෙනවා. උදාහරණයක් ලෙස භාණ්ඩ හා සේවා කියන දෙපාර්ශවයටම. අනෙක් පැත්තෙන් සැපයුම් ජලා බිඳවැටෙනවා. උදාරණයක් ලෙස ඉන්ධන පොහොර අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග. සැපැයුම් ජාල බිඳවැටීම තුළින් කියවෙන්නෙත් නැවතවරක් අපේ මේ ආර්ථික වර්ධනයට අහිතකර බලපානවා කියලා.”
උපුටා ගැනීම – අද දෙරණ