2026 දී ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 7කින් අවප්‍රමාණය වෙයි…..

2026 වසරේදී ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුවට අනුව, පසුගිය සිකුරාදා (12) දින ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 341.36ක් ලෙස පැවතුණි.

2026 පෙබරවාරි අගභාගයේ සිට මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් හේතුවෙන් බාහිර අංශය කෙරෙහි එල්ල වූ බලපෑම් මෙලෙස රුපියල අවප්‍රමාණය වීමට හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දී ඇත.

මිලියන 04කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්…..

බදුගෙවන්නා හදුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය තවත් පුද්ගලයින් මිලියන 04ක පමණ පිරිසක් ලබාගෙන නොමැති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ වන විට පුද්ගලයින් මිලියන 13කට වැඩි පිරිසක් ටින් අංකය ලබාගෙන ඇති බවයි.

වයස අවුරුදු 18 සම්පූර්ණ වු සියලු පුද්ගලයින් ටින් අංකය ලබාගැනීම අනිවාර්යය කර ඇති අතර ඒ අනුව මෙරට පුද්ගයින් මිලියන 17ක පමණ පිරිසක් ටින් අංකය ලබා ගත යුතු වන බව සඳහන් වෙයි.

මේ අතර, 2026 අංක 11 දරන දේශීය අදායම් සංශෝධිත පනත් කෙටුම්පතට අනුව මේ වනවිට විවිධ කාර්යයන් සදහා ටින් අංකය අනිවාර්යය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව බැංකු ගිණුම් විවෘත කිරීම, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම සහ අලුත් කිරීම, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, සමාගම් කොටස් හුවමාරු කිරීම සහ ක්‍රෙඩිට් කාඩ් පත් ලබා ගැනීම ඇතුළු විවිධ ගණුදෙනු සදහා ටින් අංකය අනිවාර්යය කර තිබේ.

දේශිය අදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ, අදාල පනතට අනුව ටින් අංකය තවදුරටත් රහස්‍ය තොරතුරක් ලෙස නොසලකන බවයි.

කටුනායක ගුවන්තොටුපොළේ දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් නොවැම්බරයේ?

ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නැවතුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයේදී යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසා සිටියේ, ව්‍යාපෘතිය නැවත ආරම්භ කළ දින සිට මාස 30ක් ඇතුළත එය නිමා කිරීමට බලාපොරොත්තු වන බවය.

වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසෝමාටා අකියෝ මහතා අතර ඊයේ (12) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇත.

මෙම අවස්ථාවට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නියෝජිත කණ්ඩායමක්ද එක්ව තිබේ.

ව්‍යාපෘතියට අදාළ ණය මුදල සහ කොන්ත්‍රාත් වටිනාකම පිළිබඳ අනුමැතිය කඩිනම් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ අතර, එම පියවරයන් සම්පූර්ණ වීමෙන් අනතුරුව ලබන නොවැම්බර් මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මුලින්ම ආරම්භ වූයේ 2020 වසරේ දෙසැම්බර් මාසයේදීය. මේ සඳහා ජපන් රජය මඟින් යෙන් බිලියන 75ක ණය ආධාර ලබා දී තිබිණි.

කෙසේ නමුත් රටේ ඇති වූ ආර්ථික කඩා වැටීම හේතුවෙන් 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර විය.

2024 වර්ෂයේ අග භාගයේදී මේ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය යළි ආරම්භ කළ අතර, 2025 වසරේදී ලංසු කැඳවීම් අවසන් කර මේ වනවිට අදාළ කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ අවසන් අදියරට පැමිණ ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා රජය, ජපන් රජය සහ JICA ආයතනය සමඟ සිදු කළ සාකච්ඡා වට කිහිපයකින් පසුව, වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වසනීයත්වය මත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය ණය ප්‍රතිපාදන ලබා දීමට ජපාන පාර්ශවය එකඟත්වය පළ කර තිබේ.

ව්‍යාපෘතියට අවශ්‍ය අදාළ ණය මුදල් ප්‍රමාණය පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ ඉක්මණින් සාකච්ඡා කර අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යවරයා මෙහිදී එකඟ වූ බවද නිවේදනයේ දැක්වේ.

එහිදී JICA නියෝජිත පිරිස යෝජනා කළේ පළමු පියවර ලෙස ණය මුදල ස්ථීර කර ණය ගිවිසුම් අත්සන් කිරීමත්, දෙවන පියවර ලෙස සාකච්ඡා කරගත් මිල මත කොන්ත්‍රාත්තුව පිරිනැමීමත් සිදු කළ යුතු බවයි.

මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් සහ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ වැඩබලන සභාපති ඩබ්.ඩබ්.එස්. මංගල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ ගුවන්සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ඉන්ධන සහනාධාරය ජුනි මාසයෙන් අවසන් – මිල වැඩිවීම ගැන මෙතෙක් තීරණයක් නෑ…..

ඉන්ධන සඳහා රජය ලබාදෙන සහනාධාර ජුනි මාසයෙන් අවසන් වන බව ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේය.

එහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඔවුන් සඳහන් කළේ ඉන්ධන මිල ගණන් වැඩිවීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.

ඉන්ධන පරිභෝජනය අඩුකිරීම රජයේ ඉලක්කය වන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ආදී තීන්දු තීරණවලට එළැඹුණු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැයි 13 වන දින පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීම හමුවේ මෙරට ඩීසල් ලීටරයක මිල රු 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

එහෙත් රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා රු 100ක මුදලක් වැය කරමින් රු 392ක මුදලකට ජනතාවට ලබාදීමට කටයුතු කිරීම තුළ ද සංස්ථාව පාඩු ලබමින් සිටින අතර, එය දීර්ඝ කාලීනව සිදුකළ නොහැකි බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජනපති සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති අතර හමුවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති BAI YINZHAN මහතා ඇතුළු නියෝජිතයන් අතර හමුවක් අද (13) පෙරවරුවේ  ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපතිවරයාගේ “සෘජු හා දැක්මක් සහිත නායකත්වය” හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට තමන්ට දැඩි විශ්වාසයක් ඇති වී තිබෙන බව චයිනා හාබර් සමාගමේ සභාපතිවරයා සඳහන් ක‌ළේය.

විශේෂයෙන්ම වරාය නගර විශේෂ ආර්ථික කලාපය සඳහා ලබා දී ඇති දිරිගැන්වීම් පිළිබඳව සිය කෘතඥතාව පළ කළ සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරභාවයට පත්ව තිබීමද අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රටේ ආර්ථික වර්ධනය සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) අත්‍යවශ්‍ය සාධකයක් බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය කැපවී සිටින බව ද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා මත රජය ප්‍රතිපත්තිමය ස්ථාවරභාවයකට පැමිණ තිබේ.

එම ස්ථාවරභාවය මත සිට ආයෝජකයන්ට හිතකර දිශාවකට කටයුතු කරන බව ද වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය.

රටට සුබදායක වන ආයෝජන සඳහා රජයෙන් ලබා දිය හැකි ඉහළම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බවත්, විශේෂයෙන්ම වරාය නගර කලාපය සංවර්ධිත ආර්ථික කලාපයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් ඒ මහතා කියාසිටියේය.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී චයිනා හාබර් ඉංජිනේරු සමාගම දැක්වූ සහායද මෙහිදී ජනාධිපතිවරයාගේ කෘතවේදී ඇගයීමට ලක් විය.

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී…..

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව,  මහ බැංකුව විසින් අද (12) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 341.36ක් ලෙස සටහන් වී ඇත.

ඊයේ (11) වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 327.67ක් ලෙස සටහන් විය.

එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 337.82ක් ලෙස ඊයේ ප්‍රකාශයට පත් කර ඇත.

අගය එකතු කිරීමකින් තොරව ඛනිජ සම්පත් රටින් පිටකිරීම තහනම්…..

වසර 27කට පසුව යාවත්කාලීන කළ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය මේ වනවිට බලාත්මක අතර, ඒ අනුව මින් ඉදිරියට අගය එකතු කිරීමකින් තොරව මෙරට ඛනිජ සම්පත් රටින් පිටකිරීම තහනම් වේ.

ඒ අනුව මෙරට ඛනිජ සම්පත් අගය එකතු කිරීමකින් තොරව මින් ඉදිරියට අමුද්‍රව්‍ය ලෙස රටින් පිට කිරීම තහනම් වන අතර, නව ප්‍රතිපත්තිය තුළ ගවේෂණය, කැනීම් කිරීම, සකස් කිරීම සහ අගය එකතු කිරීම යන සියල්ල නියාමනය කෙරෙනු ඇත.

යාවත්කාලීන කළ නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය බලාත්මක කිරීමේ සම්බන්ධයෙන් ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාද අදහස් දක්වා සිටියේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, මෙරට බොහෝ ඛනිජ සම්පත් අපනයන වෙළඳපොළට යොමුකර ඇත්තේ අමුද්‍රව්‍ය ලෙසට බවය. නමුත් ඉන් මෙරටට ලැබිය යුතු ඩොලර් වටිනාකම ජාතික ආර්ථිකයට එකතු වී නොමැති බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා,

”අපේ ඛනිජ සම්පත් සියල්ලම වගේ අපනයන වෙළඳපොළට ගිහිල්ලා තියෙන්නේ අමුද්‍රව්‍ය හැටියට. මේවායින් එකතු විය හැකි ඇත්ත ඩොලර් වටිනාකම රටේ ජාතික ආර්ථිකයට එකතු වුණේ නැහැ. අපි ටොන් එකක් ඩොලර් 2,000කට අපනයනය කරොත් උදාහරණෙකට ඛනිජ වර්ගයක එක කිලෝ එකක් ඩොලර් 20,000ක අගයකට වර්ධනය කරන්න පුළුවන් මට්ටමේ ඒවා තමයි අපි ඩොලර් 2000ක ආදායම ලබලා තියෙන්නේ. සර්කොන්, ගානට්, සිලිකන්, වාර්ස්, ටයිටේනියම් මේ ඕන දෙයක් එහෙම තමයි වෙලා තියෙන්නේ. දශක ගණනාවක් තිස්සේ යාවත්කාලීන නොවිච්ච ප්‍රතිපත්ති තත්ත්වයන් නිසා හුඟාක් වෙලාවට ගවේෂණ බලපත්‍රවලට විතරක් මේ ඛනිජ සම්පත් සීමා වෙලා තිබුණා. ගවේෂණය, කැණීම් කිරීම, සකස් කිරීම, අගය එකතු කිරීම ඒ කියන්නේ මේ ක්‍රියාවලිය නියාමනය කරන්න. මෙය දැන් කැබිනට් මණ්ඩලය අනුමත කරලා අවසානයි. ඒ වගේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ජූනි මාසෙ එකොළොස් වෙනිදා ඉඳලා නව ඛනිජ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගෙනවා. ”

ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගත කිරීමට හාන්ස්ගේ සභාපතීත්වයෙන් කමිටුවක්…..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙහි සෙසු සාමාජිකයන් ලෙස,
I.    ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා
II.    මුල්‍ය සහ ආයතනික උපායමාර්ග විශේෂඥ දේෂාල් ද මෙල් මහතා
III.    ගනුදෙනු සහ ආයෝජන බැංකුකරණය, ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කරගැනීම් විශේෂඥ දුමිත් ප්‍රනාන්දු මහතා සහ
IV.    මුදල් අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහුගේ නියෝජිතයෙකු,
V.    ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්/ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෙකු හෝ නියෝජිත
VI.    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා
VII.    ආයතනික, ගුවන් සේවා, මහජන නීතිය යන විෂයයන් පිළිබඳ විශේෂඥතාවක් ඇති නීති විශේෂඥයන්,
VIII.    ගුවන් සේවා කර්මාන්ත විශේෂඥයන් පත් කෙරෙනු ඇත. 

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව පුළුල් සාර්ව ආර්ථික පරිසරයේ දෘෂ්ටිකෝණයන් සැලකිල්ලට ගනිමින්, පුළුල් උපායමාර්ගික සමාලෝචනයක් සිදු කිරීම හදිසි ප්‍රමුඛතාවක් ලෙස රජය හඳුනාගෙන ඇත.

මෙම සමාලෝචනයේ ප්‍රධාන අරමුණ වන්නේ, රජය මත දිගුකාලීනව පැටවෙන මූල්‍ය බර අවම කරමින්, මුල්‍යමය වශයෙන් තිරසාර සහ වාණිජමය වශයෙන් කාර්යක්ෂම ජාතික ගුවන් සේවාවක් ස්ථාපිත කිරීමය.

ඒ අනුව, ගනුදෙනු උපදේශක ලෙස කටයුතු කරන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (International Finance Corporation – IFC) ආයතනය සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ කමිටුවක් පිහිටුවීම වඩාත් සුදුසු බව හඳුනාගෙන තිබේ.

I.    උපායමාර්ගික දෘෂ්ටිකෝණය සහ අනාගත ක්‍රියාමාර්ග පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් සහ ඇගයීමක් කිරීමත්,
II.    ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතා සහ විකල්ප ප්‍රතිව්‍යුහගත කිරීමේ ආකෘති පිළිබඳ නිර්දේශ ලබා දීමත්,
III.    නිශ්චිත උපායමාර්ගික විකල්ප ඇගයීමක් සහ රජයේ සමස්ත අරමුණු සමග සමානව ගැළපෙන වඩාත් සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ කිරීමත්,
IV.    ශ්‍රී ලංකා රජය විසින් තීරණය කරනු ලබන තෝරාගත් උපායමාර්ගය සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සඳහා අධීක්ෂණය, මාර්ගෝපදේශනය සහ සහාය ලබා දීමත් මෙම කමිටුවට පැවරී ඇත.  

මෙම කමිටුව උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පවතින කාලසීමාව තුළ හෝ ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන් විසුරුවා හරිනු ලබන තෙක් ක්‍රියාත්මක වනු ඇත.

වාහන සඳහා දැමූ සීමාවේ ප්‍රතිඵල ඇවිත්…..

සාමාන්‍ය තත්ත්වයක් යටතේ දිනකට ඩොලර් මිලියන 5.27ක වාහන ආනයනය කර තිබූ බවත් පැනවූ සීමා හේතුවෙන් එය දිනකට ඩොලර් මිලියන 3.9ක් දක්වා අඩු කරගැනීමට හැකිවූ බවත් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් වාහන සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිකර තිබූ බිය හේතුවෙන් වැඩිපුර වාහන ආනයනය කිරීම නිසා දිනකට ඩොලර් මිලියන 6.8 දක්වා වර්ධනයවූ අවස්ථාද තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත,

“මැදපෙරදිග යුදමය තත්ත්වයේ කම්පනය විවිධ අයුරින් අපේ ආර්ථිකය ඇතුළට ඇවිත් තියෙනවා. රටක් ලෙස ඊට මුහුණ දෙන්න නම් පොදුවේ ඊට මැදිහත් වෙන්න වෙනවා.”

“තෙල් ප්‍රශ්නය තමයි ප්‍රධාන වශයෙන් අපිට මුහුණ දෙන්න සිදුවුණේ. අපි ප්‍රාර්ථනා කරනවා ඒ තත්ත්වය ඉක්මණින් සමනය වෙයි කියලා.”

“නමුත් මේ තත්ත්වය අඛණ්ඩව ඉදිරිවයට ගියොත්..තවදුරටත් වර්ධනය වුණොත් රට ඇතුළේ එය කළමනාකරණය කරගැනීමට අවධානය යොමු කළ යුතුයි.”

“ඩොලරයට ඇතිවුණු බලපෑම නිසා භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්න බලපෑමක් ඇති කළා. මෙවැනි අර්බුදයන් කෙටි කාලයකදී සමනය වෙනවා. අපි යම් යම් උපායමාර්ග මේ අවස්ථාවේදී ගත්තා.”

“විදේශ විනිමය අනුපාතය වගේ තත්ත්වයකදී එය සමනය වෙන්න කෙටි කාලයක් යනවා. ඩොලරයට තියෙන ඉල්ලුම හා සැපයුම අනුව තමයි මෙය තීරණය වෙන්නේ.”

“අපි ගත්තු තීන්දු නිසා අපේ ආනයන මිල වැඩිවීමට බලපාපු අයිතම අතර වාහන ආනයනය ප්‍රමුඛ ස්ථානයක් ගත්තා. ඉන්ධන ඒ වගේමයි. නමුත් ඉන්ධන අපිට දැන් සීමා කරගන්න බැහැ.”

“අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කළා ඔබගේ පුද්ගලික වාහන ආනයනය යම්තාක් දුරකට අඩුකරන්න.. පාලනය කරන්න කියලා. එයට ක්‍රමවේදයක් ඇතුළත් කළා.”

“දැන් අපිට පෙනෙනවා යම් ආකාරයක එහි ප්‍රතිඵල ළඟාවෙමින් තිබෙනවා.”

“2025 වර්ෂය ගත්තාම මේ ආර්ථිකය පුළුල්වෙලා යනකොට වාහන ආනයනයට දවසකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 5.27ක ප්‍රමාණයක් වෙනුවෙන් වාහන ආනයනය කරලා තිබුණා.”

“අර්බුදකාරී තත්ත්වයේදීත් රට තුළ ඇති කරපු බය නිසාත් මිනිස්සු වැඩිපුර වාහන ආනයනය කරන්න ගිහින් එය දිනකට ඩොලර් මිලියන 6.8 දක්වා වර්ධනය වුණා.”

“නමුත් අපි ගත්තු ක්‍රියාමාර්ග නිසා ජුනි 10 වෙනකනම් නිවාඩු දින අතහැරලා දින 8ට වාහන ආනයනය සඳහා ගිය ප්‍රමාණය ඩොලර් මිලියන 31.72යි. දිනකට 3.9ක්.”

“එතනින් පෙන්නුම් කරන්නේ අපි අපේක්ෂා කළාටත් වඩා වාහන ආනයනය පහළ මට්ටමකට ගිහින් තිබෙන බව.” 

හෝමුස් වසා දැමීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් තවත් ඉහළට…..

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ, ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (11) දිනයේදී එක් බැරලයක මිල ඩොලර් 2 කට වඩා වැඩි ප්‍රමාණයකින් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ජාත්‍යන්තර දර්ශකයක් වන බ්‍රෙන්ට් තෙල් මිල 2.47% කින් (ඩොලර් 2.30 කින්) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 95.40 ක් ලෙස සටහන් ව ඇති අතර, අමෙරිකානු WTI තෙල් මිල 2.89% කින් (ඩොලර් 2.60 කින්) ඉහළ ගොස් බැරලයක් ඩොලර් 92.63 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉරාන ඒකාබද්ධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තෙල් නැව් සහ අනෙකුත් වාණිජ නෞකා ඇතුළු සියලුම යාත්‍රා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බවය.

එම සීමාව තරණය කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවටද ඔවුහු අනතුරු අඟවා තිබේ.

කෙසේ වෙතත්, අමෙරිකානු හමුදාව සිය X ගිණුම හරහා ප්‍රකාශ කළේ තවදුරටත් වාණිජ නෞකා ආරක්ෂිතව එම මුහුදු මාර්ගය හරහා ගමන් කරන බවය.

එමෙන්ම, අමෙරිකානු යුද නැව් වෙත ඉරානය විසින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළද, තම කිසිදු යුද නැවකට ප්‍රහාර එල්ල වී නොමැති බව අමෙරිකාව තහවුරු කළේය.

පසුගිය අප්‍රේල් මුලදී ඇති කරගත් බිඳෙනසුලු සටන් විරාමයකින් පසු නැවත වරක් මහා පරිමාණ යුද්ධයක පෙරනිමිති පෙන්වමින්, අමෙරිකානු හමුදාව ඉරානයේ ඉලක්ක කිහිපයකට ප්‍රහාර මාලාව දියත් කර තිබේ.