රේගුව විසින් රඳවාගෙන සිටින වාහන මුදාහැරීම ගැන අධිකරණයට දැනුම්දීමක්….

මෙරට දී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදාහැරීමට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා රේගුව අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබෙනමූලික අයිතිවාසිකම් පෙත්සම් 15ක් පමණ අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවීම සිදුවුණි.

එහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින මෙම නඩුකරවලට පාදකවන වාහන ආනයනකරුවන් විසින් සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මුදාහැරීමට හැකියාව තිබෙන බව දැනුම් දුන්නේය.

ඊට අමතරව ශ්‍රී ලංකා රේගුවට ගෙවිය යුතු අමතර ගාස්තු ගෙවීම් සිදුකිරීමෙන් අනතුරුව අදාළ වාහන ලියාපදිංචි කිරීමට අවසර හිමි වන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ගෙන්වන ලද වාහන අතීතයේදී ශ්‍රී ලංකා රේගුව විසින් මුදාහැර තිබෙන බවත් රේගුව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

එසේ මුදාහල වාහන පිළිබඳ ලැයිස්තුවක් කැඳවන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

මෙම වාහන මුදාගැනීමේදී ආනයනකරුවන් විසින් ගෙවිය යුතු සියයට 35ක අධිභාරය මෙම නඩුකරයෙන් පෙත්සම්කරුවන් සාර්ථක වුවහොත් යළි අයකර ගැනීමට හැකියාව තිබිය යුතු බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා තර්ක කළේය.

මෙහිදී තවත් පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ඉක්‍රම් මොහොමඩ් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකර සමතයට පත්කිරීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා ඉදිරි දිනයක කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

WTO ශ්‍රී ලංකාවේ 5වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය අරඹයි….

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) ඊයේ (15) ආරම්භ විය.

මෙම සැසිවාරය හෙට (17) දිනය දක්වා පැවැත්වෙන අතර වෙළෙඳ, තීරු බදු, සේවා සහ ආයෝජන ප්‍රතිපත්ති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ආර්ථික සංවර්ධන ඉලක්ක පිලිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමට ශ්‍රී ලංකාවට මෙහිදී අවස්ථාව ලැබිණි.

නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති, ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයින් ඉදිරියේ සමාලෝචනයට ලක් වීම ඉතාමත් වටිනා අවස්ථාවක් ලෙස දැක්විය හැකි අතර මෙය ශ්‍රී ලංකාව බහුපාර්ශ්වික වෙළෙඳ පද්ධතිය සමඟ නැවත සම්බන්ධ වීමේ තීරණාත්මක අවස්ථාවක් ලෙස සනිටුහන් කරයි.

එමෙන්ම මෙම ප්‍රතිපත්ති සමාලෝචනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නව රජය පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය ද වේ.

සැසිවාර දෙකක් යටතේ පැවැත්වෙන ප්‍රතිපත්ති සමාලෝචනය ආරම්භ කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සමාලෝචනයට ලක්වන රට විසින් සිදුකරන ආරම්භක ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, COVID-19 වසංගතය සහ 2022 ආර්ථික අර්බුදය ඇතුළුව මෑත වසරවලදී ශ්‍රී ලංකාව මුහුණ දුන් පෙර නොවූ විරූ අභියෝග අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඉස්මතු කරන ලද අතර ජනතාව විඳ දරාගත් දුෂ්කරතා මධ්‍යයේ, 2024 නොවැම්බර් මාසයේදී පැවති මැතිවරණය ජයග්‍රහණයෙන් පසුව නව රජයේ පාලනය යටතේ දියත් කරන ලද, රට නැවත ගොඩ නැගීමේ උපාය මාර්ග පිළිබඳව ද ලෝක වෙළෙඳ සංවිධානයේ සාමජිකයින් දැනුවත් කරන ලදි.

ඒ අනුව IMF සහාය ඇතිව සාර්ව ආර්ථික ස්ථායීකරණය, රාජ්‍ය වියදම් කළමනාකරණය, ණය තිරසරු භාවයේ නව්‍ය උත්සහයන්, වෙළෙඳ පරිපාලනය සහ ආයතනික ප්‍රතිසංස්කරණ තුළින් ලබා ගත් සාර්තකත්වය පිළිබඳව ද මෙහිදී පෙන්වා දෙන ලදි.

වෙළෙඳාම සහ ආයෝජන ශ්‍රී ලංකාවේ දිගුකාලීන පරිවර්තනයේ කේන්ද්‍රය බව අවධාරණය කළ අමාත්‍යවරයා “කුඩා ආනයන මත යැපෙන ආර්ථිකයක සිට ස්මාර්ට්, අපනයන නැඹුරු ආර්ථිකයක් දක්වා ගමන් කිරීමට අපට අවශ්‍යයි.” මේ සඳහා, රජය ජාතික තීරුබදු ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරමින්, ඩිජිටල්කරණය හරහා ශ්‍රී ලංකා රේගු කටයුතු නව්‍යකරණය කරමින්, ජාතික පොදු ප්‍රවේශයක් හඳුන්වා දෙමින් සහ නව ආයෝජන ප්‍රවර්ධන නීති සංවර්ධනය කරමින් සිටින බවද සඳහන් කරන ලදි.

APTA සහ SAFTA වැනි ගිවිසුම් හරහා නව වෙළෙඳ අවස්ථා ගවේෂණය කිරීමත් සිංගප්පූරුව, ඉන්දියාව, පකිස්ථානය සමඟ පවතින කලාපීය වෙළෙඳ ගිවිසුම් සම්බන්දයෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරන බවටත් තහවුරු කරන ලදි.

ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රතිපත්ති වල ධනාත්මක වර්ධනයන්, ගැටලු සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින් වෙළෙඳ හවුල්කරුවන්, කලාපීය හවුල්කරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ වෙළෙඳ ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන චීනය, ජපානය, සිංගප්පූරුව, නවසීලන්තය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 20කට අධික සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති ඉතා ප්‍රශංසනාත්මකව මෙහිදී අගය කිරීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව  WTO හි නීති සහ රෙගුලාසි සමඟ ඇති එකගතාව පිළිබඳව සහතික වූ අතර, ලෝක වෙළෙඳ සංවිධානය (WTO), එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය කවුන්සිලය (UNCTAD), ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය (ITC), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව ඇතුළු හවුල්කරුවන්ගේ සහයෝගය පිළිබඳව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කෘතඥතාවය පළ කරන ලදි. ලෝක වෙළෙඳ සංවිධානයෙහි (WTO) ගිවිසුම්වල අනුකූලතාව, විනිවිදභාවය සහ ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීමට රටක් ලෙස  ශ්‍රී ලංකා රජයේ ඇති සූදානම ද අමාත්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදි.

මෙම වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනයන් හි නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ඒ අනුව වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයෙ හි දෙවන සැසිවාරය 2025 හෙට පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකාව WTO සාමාජිකයින්ගේ සවිස්තරාත්මක ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇත.

මීට අමතරව ඔකතෝබර් අද (16) දින වෙළෙඳ අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ලෝක ආර්ථික කවුන්සිලයේ ප්‍රධානීන් ඇතුළු සාමාජිකයින් මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වරයා සමගින් ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

රන් මිල අහස උසට – කැරට් 24 ලක්ෂ 4ට ළංවෙයි….

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන්න විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

මෙරට රත්‍රං මිල පසුගිය බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව රුපියල් 60,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (16) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් රු 10,000කින් ඉහළ ගොස් ඇති අතර, නව මිල රු. 360,800කි.

පසුගිය බ්‍රහස්පතින්දා දින එම මිල ගණන් දැක්වුණේ රු. 305,300ක් ලෙසය.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 390,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩි මිලට පානීය ජලය විකිණූ වෙළෙඳුන්ට ගැසු දඩය මිලියන 25 ඉක්මවයි….

අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවිකළ වෙළෙඳුන්ට එරෙහිව සිදුකළ නඩු කටයුතුවලදී දඩ වශයෙන් රුපියල් මිලියන 25කට අධික මුදලක් දඩ වශයෙන් අයකරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පසුගිය අප්‍රේල් මස පළමු දින සිට සැප්තැම්බර් 30 දක්වා වු මාස 06ක කාලය තුළ සිදුකළ වැටලීම්වලින් මෙම දඩ මුදල් අයකරගෙන ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 306ක් සිදුකර ඇති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සිදුකර තිබේ.

ඒ අනුව ඉදිරියටත් අඛන්ඩව මෙම වැටලීම් සිදුකරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය

ලංකාවේ පාස්පෝට් එක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට

හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.

වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව රටවල් 41කට පමණක් වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.

අවසන් වරට ඉකුත් සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන ලද දර්ශකයේ ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ සිටියේය.

2024 වසරේ දී 96 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසර මුලදී 91 වන ස්ථානය දක්වා ස්ථාන 5ක් ඉදිරියට පැමිණ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබුණි.

ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි ගෞරවය තවමත් සිංගප්පූරුව සතුව ඇති අතර, එම ගමන්බලපත්‍රයට රටවල් 193කට වීසා රහිතව ගමන්කළ හැකිය.

දකුණු කොරියාව (190) එහි දෙවන ස්ථානයේ ද, ජපානය (190) තෙවන ස්ථානයේද පසුවේ.

අසල්වැසි ඉන්දියාව ද ස්ථාන 5කින් පහළට පැමිණ මේ වනවිට 85වන ස්ථානයේ රැඳී සිටියි. එම විදේශ ගමන්බලපත්‍රය යටතේ රටවල් 57කට වීසා රහිත ප්‍රවේශය ලබාගත හැකිය.

දකුණු ආසියානු රටවල් වන බංග්ලාදේශය මෙහි 100වන ස්ථානයේද, පාකිස්තානය 103වන ස්ථානයේද පසුවෙයි.

මෙහි අවසන් ස්ථානය එනම් 106වන ස්ථානයේ ඇෆ්ගනිස්තානය රැඳී සිටියි. එරට පුරවැසියන්ට රටවල් 24කට පමණක් වීසා රහිතව ගමන්කළ හැකිය.

කීරි සම්බා හිඟයට විසඳුමක් ලෙස පොන්නි සම්බා ගෙනෙයි….

2025-10-15 දින සිට 2025-11-15 දින දක්වා කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට නියමිතය.

ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මේ වනවිට දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කිරි සම්බා අලෙවි කිරීම පිළිබඳව අවධානය යොමු කර, එක් ආනයනකරුවකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව මෙම සහල් ආනයනය සිදුකිරීමට නියමිතය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 2,460,000ක් වෙයි.

එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය 10%කි. එනම් මෙට්‍රික්ටොන් 246,000ක් පමණ වෙයි.

සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 695ක්

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 695.7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් කර තිබේ.

එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 555.6ක් බවය.

ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 140.1ක ඉහළ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇත.

මේ අතර මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා විදෙස් ප්‍රේෂණ තුළින් මෙරටට ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5,811.7ක් බවද මහ බැංකුව පවසයි.

එය ගිය වසරේ එම කාලයට තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 4,843.8ක් වන අතර ඒ අනුව මෙම වසරේ එම කාලය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 967.9ක් ලෙස වර්ධනය වී තිබේ.

තවද සැප්තැම්බර් මාසයේ සංචාරක ආදායම ලෙස ඩොලර් මිලියන 182.9ක් උපයා ගෙන ඇතැයිද එම වාර්තාවේ සඳහන්ව තිබේ.

සංචාරක ආදායම ලෙස වසරේ පළමු වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 738.4ක් උපයාගෙන ඇතැයිද මහ බැංකු වාර්තාවේ සඳහන්ව ඇත.

බිත්තර මිල රුපියල් 10කින් පහළට?

බිත්තර මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නවොද් සම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ  මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ මාෆියාව නතර කිරීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහත දැමීමට තීරණය කළ බවය.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 18ක මිලකට සහ රතු බිත්තරයක් රුපියල් 20ක මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නවෝද් සම්පත් බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ වෙළෙඳපොළ හැසිරීම් තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව මෙලෙස එක් පුද්ගලයකුගේ වුවමනාව මත බිත්තර මිල පහත හෙළීම අවධානම් සහගත ක්‍රියාවක් බවය.

මේ අතර ඊයේ දිනයට යෙදී තිබුණු ලෝක බිත්තර දිනය වෙනුවෙන් පැවති වැඩසටහනකට එක් වෙමින් රුහුණු විශ්ව විද්‍යාලයේ පශු විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානී මහාචාර්ය ඉදුනිල් පතිරණ මහතා සඳහන් කළේ මෙරට බිත්තර නිෂ්පාදනයේ අතිරික්තය අපනයනය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බවය.

රන් මිල නැවතත් ඉහළට…..

මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 310,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (10) දිනයේ දී එය දැක්වුණේ රු. 305,300ක් ලෙසය.

මේ අතර ඊයේ (10) දිනයේ දී රු. 330,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 335,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

IMF 5වන සමාලෝචනයට එකඟත්වය….

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇත.

IMF විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 34‍7ක පමණ මූල්‍යකරණයක් හිමිවීමට නියමිතය.