රුපියල යළි නැගිටියි…..

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (15) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.34ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 336.58ක් වශයෙනි.

පසුගිය සිකුරාදා (12) දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස පැවති අතර, එහි විකිණුම් මිල සඳහන් වූයේ රුපියල් 341.36ක් ලෙසය.

රන් මිල ඉහළට…..

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,325ක් දක්වා ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව, අද උදෑසන 9.00ට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් 6,000කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද උදෑසන කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 360,600ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම, පසුගිය සෙනසුරදා (13) රුපියල් 386,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 392,000 දක්වා ඉහළ ගොස් ඇති බවද වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට – සමස්ත ආනයන වියදම ඉහළ යයි…..

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අංශයක් වන රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,624.7 ක් ලෙස සටහන් වී ඇති අතර, 2025 වසරේ එම කාලසීමාවේදී එය ඩොලර් මිලියන 1,751.8 ක් විය.

එමඟින් රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3 කින් පහළ ගොස් තිබේ.

මේ අතර, 2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එය 2025 වසරේ එම කාල සීමාවේ වාර්තා වූ ඩොලර් මිලියන 4,315.6 සිට ඩොලර් මිලියන 4,534.9 දක්වා වැඩි වී තිබේ.

එහෙත් එම කාලය තුළ ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, 2025 වසරේ ඩොලර් මිලියන 6,572.9 ක් වූ ආනයන වියදම 2026 වසරේදී ඩොලර් මිලියන 8,227.9 දක්වා ඉහළ ගොස් ඇත.

මෙය සියයට 25.2 ක වර්ධනයක් වන අතර, පාරිභෝගික භාණ්ඩ ආනයනය සියයට 32.8 කින්ද, අතරමැදි භාණ්ඩ ආනයනය සියයට 24.1 කින්ද, ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 19.8 කින්ද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, අපනයන වර්ධනයට වඩා ආනයන වියදම වේගයෙන් ඉහළ යාම හේතුවෙන් 2026 ජනවාරි – අප්‍රේල් කාලය තුළ මෙරට වෙළෙඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 3,693 දක්වා පුළුල් වී ඇත.

2026 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 5.1ක්…..

2026 වර්ෂයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, 2026 වසරේ පළමු කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කර තිබේ.

2025 වසරේ පළමු කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 3,476,664ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2026 වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 3,652,503ක් දක්වා ඉහළ ගොස් ඇත.

අදාළ කාලය තුළ ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන වන කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශ සියල්ලම ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබේ.

ඒ අනුව, කෘෂිකාර්මික ආර්ථික කටයුතු සියයට 1.1කින්, කර්මාන්ත අංශය සියයට 7.2කින් සහ සේවා අංශය සියයට 3.4කින් වර්ධනය වී ඇත.

වත්මන් ආණ්ඩුව ලබා ගත් විදෙස් ණය ඩොලර් මිලියන 1,850 පනී….

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු අමෙරිකානු ඩොලර් මිලියන 1,854කට අධික මුදලක් විදෙස් ණය ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සිදුකළ විමසීමට අනුව මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අනාවරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ සිට මේ වසරේ මැයි 05 වන දින දක්වා කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හැර අමෙරිකානු ඩොලර් මිලියන 1,854.77ක මුදලක් ණය වශයෙන් ලබා ගෙන තිබේ.

මෙම ණය මුදල් ලබාගෙන ඇත්තේ, ජනාධිපතිවරණයට පෙර ගිවිසුම් ගතවු ව්‍යාපෘති 18 කට අදාළව වන අතර එයට බහුපාර්ශ්වික ණය සහ ද්වීපාර්ශ්වික ණය ඇතුළත් වේ.

ජපානය, කොරියාව, සෞදි අරාබිය, නෙදර්ලන්තය සහ ඉන්දියාව යන රටවලින් මෙම ණය ලබාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර මේ වන විට ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 102.02ක මුදලක් ණය වශයෙන් ලබාගෙන ඇති බව ද මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

කෙසේවෙතත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, මේ වන විට රට තුළ ආර්ථික සංවර්ධනයක් ළඟා කරගැනීමට වත්මන් රජයට හැකි වී ඇති බවය.

මේ අතර මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ආකාරය තව ටික කාලයකින් දැක ගැනීමට හැකිවනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මේ වන විට රට වත්මන් ආණ්ඩුව සෑම ක්ෂේත්‍රයකින්ම සිරවී සිටින බවය.

පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ කෘෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර තිබේ.

2026 දී ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 7කින් අවප්‍රමාණය වෙයි…..

2026 වසරේදී ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුවට අනුව, පසුගිය සිකුරාදා (12) දින ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 341.36ක් ලෙස පැවතුණි.

2026 පෙබරවාරි අගභාගයේ සිට මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් හේතුවෙන් බාහිර අංශය කෙරෙහි එල්ල වූ බලපෑම් මෙලෙස රුපියල අවප්‍රමාණය වීමට හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දී ඇත.

මිලියන 04කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්…..

බදුගෙවන්නා හදුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය තවත් පුද්ගලයින් මිලියන 04ක පමණ පිරිසක් ලබාගෙන නොමැති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ වන විට පුද්ගලයින් මිලියන 13කට වැඩි පිරිසක් ටින් අංකය ලබාගෙන ඇති බවයි.

වයස අවුරුදු 18 සම්පූර්ණ වු සියලු පුද්ගලයින් ටින් අංකය ලබාගැනීම අනිවාර්යය කර ඇති අතර ඒ අනුව මෙරට පුද්ගයින් මිලියන 17ක පමණ පිරිසක් ටින් අංකය ලබා ගත යුතු වන බව සඳහන් වෙයි.

මේ අතර, 2026 අංක 11 දරන දේශීය අදායම් සංශෝධිත පනත් කෙටුම්පතට අනුව මේ වනවිට විවිධ කාර්යයන් සදහා ටින් අංකය අනිවාර්යය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව බැංකු ගිණුම් විවෘත කිරීම, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම සහ අලුත් කිරීම, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, සමාගම් කොටස් හුවමාරු කිරීම සහ ක්‍රෙඩිට් කාඩ් පත් ලබා ගැනීම ඇතුළු විවිධ ගණුදෙනු සදහා ටින් අංකය අනිවාර්යය කර තිබේ.

දේශිය අදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ, අදාල පනතට අනුව ටින් අංකය තවදුරටත් රහස්‍ය තොරතුරක් ලෙස නොසලකන බවයි.

කටුනායක ගුවන්තොටුපොළේ දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් නොවැම්බරයේ?

ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නැවතුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයේදී යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසා සිටියේ, ව්‍යාපෘතිය නැවත ආරම්භ කළ දින සිට මාස 30ක් ඇතුළත එය නිමා කිරීමට බලාපොරොත්තු වන බවය.

වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසෝමාටා අකියෝ මහතා අතර ඊයේ (12) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇත.

මෙම අවස්ථාවට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නියෝජිත කණ්ඩායමක්ද එක්ව තිබේ.

ව්‍යාපෘතියට අදාළ ණය මුදල සහ කොන්ත්‍රාත් වටිනාකම පිළිබඳ අනුමැතිය කඩිනම් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ අතර, එම පියවරයන් සම්පූර්ණ වීමෙන් අනතුරුව ලබන නොවැම්බර් මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මුලින්ම ආරම්භ වූයේ 2020 වසරේ දෙසැම්බර් මාසයේදීය. මේ සඳහා ජපන් රජය මඟින් යෙන් බිලියන 75ක ණය ආධාර ලබා දී තිබිණි.

කෙසේ නමුත් රටේ ඇති වූ ආර්ථික කඩා වැටීම හේතුවෙන් 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර විය.

2024 වර්ෂයේ අග භාගයේදී මේ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය යළි ආරම්භ කළ අතර, 2025 වසරේදී ලංසු කැඳවීම් අවසන් කර මේ වනවිට අදාළ කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ අවසන් අදියරට පැමිණ ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා රජය, ජපන් රජය සහ JICA ආයතනය සමඟ සිදු කළ සාකච්ඡා වට කිහිපයකින් පසුව, වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වසනීයත්වය මත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය ණය ප්‍රතිපාදන ලබා දීමට ජපාන පාර්ශවය එකඟත්වය පළ කර තිබේ.

ව්‍යාපෘතියට අවශ්‍ය අදාළ ණය මුදල් ප්‍රමාණය පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ ඉක්මණින් සාකච්ඡා කර අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යවරයා මෙහිදී එකඟ වූ බවද නිවේදනයේ දැක්වේ.

එහිදී JICA නියෝජිත පිරිස යෝජනා කළේ පළමු පියවර ලෙස ණය මුදල ස්ථීර කර ණය ගිවිසුම් අත්සන් කිරීමත්, දෙවන පියවර ලෙස සාකච්ඡා කරගත් මිල මත කොන්ත්‍රාත්තුව පිරිනැමීමත් සිදු කළ යුතු බවයි.

මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් සහ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ වැඩබලන සභාපති ඩබ්.ඩබ්.එස්. මංගල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ ගුවන්සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ඉන්ධන සහනාධාරය ජුනි මාසයෙන් අවසන් – මිල වැඩිවීම ගැන මෙතෙක් තීරණයක් නෑ…..

ඉන්ධන සඳහා රජය ලබාදෙන සහනාධාර ජුනි මාසයෙන් අවසන් වන බව ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේය.

එහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඔවුන් සඳහන් කළේ ඉන්ධන මිල ගණන් වැඩිවීම සම්බන්ධයෙන් රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.

ඉන්ධන පරිභෝජනය අඩුකිරීම රජයේ ඉලක්කය වන බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ආදී තීන්දු තීරණවලට එළැඹුණු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැයි 13 වන දින පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීම හමුවේ මෙරට ඩීසල් ලීටරයක මිල රු 720ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

එහෙත් රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා රු 100ක මුදලක් වැය කරමින් රු 392ක මුදලකට ජනතාවට ලබාදීමට කටයුතු කිරීම තුළ ද සංස්ථාව පාඩු ලබමින් සිටින අතර, එය දීර්ඝ කාලීනව සිදුකළ නොහැකි බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජනපති සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති අතර හමුවක්…..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති BAI YINZHAN මහතා ඇතුළු නියෝජිතයන් අතර හමුවක් අද (13) පෙරවරුවේ  ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපතිවරයාගේ “සෘජු හා දැක්මක් සහිත නායකත්වය” හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට තමන්ට දැඩි විශ්වාසයක් ඇති වී තිබෙන බව චයිනා හාබර් සමාගමේ සභාපතිවරයා සඳහන් ක‌ළේය.

විශේෂයෙන්ම වරාය නගර විශේෂ ආර්ථික කලාපය සඳහා ලබා දී ඇති දිරිගැන්වීම් පිළිබඳව සිය කෘතඥතාව පළ කළ සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරභාවයට පත්ව තිබීමද අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රටේ ආර්ථික වර්ධනය සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) අත්‍යවශ්‍ය සාධකයක් බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය කැපවී සිටින බව ද පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා මත රජය ප්‍රතිපත්තිමය ස්ථාවරභාවයකට පැමිණ තිබේ.

එම ස්ථාවරභාවය මත සිට ආයෝජකයන්ට හිතකර දිශාවකට කටයුතු කරන බව ද වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය.

රටට සුබදායක වන ආයෝජන සඳහා රජයෙන් ලබා දිය හැකි ඉහළම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බවත්, විශේෂයෙන්ම වරාය නගර කලාපය සංවර්ධිත ආර්ථික කලාපයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත් ඒ මහතා කියාසිටියේය.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී චයිනා හාබර් ඉංජිනේරු සමාගම දැක්වූ සහායද මෙහිදී ජනාධිපතිවරයාගේ කෘතවේදී ඇගයීමට ලක් විය.