අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්…..

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

සෑම සතියකට වරක්ම මෙම මිල පාරායන් මාධ්‍යවෙත පළකරන අතර, මෙම  සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වේ.

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
(2026 අප්‍රේල් 20 සිට අප්‍රේල් 26 දක්වා)

  1. තිරිගු පිටි – 158.00 – 176.00
  2. සුදු සීනි –   200.00 – 217.00
  3. පරිප්පු –   248.00 – 271.00
  4. අර්ථාපල් (ඉන්දියා) – 160.00 – 228.00
  5. අර්ථාපල් (පාකිස්තාන්) – 140.00 -177.00
  6. බී ලූනු (ඉන්දියා) – 145.00 – 189.00
  7. බී ලූනු (පාකිස්තාන)  – 112.00 – 140.00
  8. රතු ලූනු (ආනයනික)  – 280.00 – 332.00
  9. වියළි හාල්මැස්සන් (තායිලන්ත)  – 1054.00 – 1159.00
  10. වියළි මිරිස්  – 1046.00 – 1067.00
  11. බිත්තර (සුදු)  ඒකකයක් – 32.00 – 42.00
  12. බිත්තර (දුඹුරු) ඒකකයක් – 34.00 – 44.00
  13. ටින්මාළු (දේශීය) මැකරල් 425g  – 420.00 – 480.00
  14. ටින්මාළු (දේශීය) ලින්නා ජැක් මැකරල් 425g  – 450.00 – 560.00
  15. දේශීය කැකුළු සහල් (සුදු)  – 190.00 – 220.00
  16. දේශීය කැකුළු සහල් (රතු)  – 165.00 – 220.00
  17. දේශීය නාඩු සහල් (සුදු)  – 210.00 – 230.00
  18. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත – 1000.00 – 1207.00
  19. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g  – 990.00 – 1150.00

වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි……

නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ බව සඳහන් කෙරුණේ එම ආයතනයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී ය.

එමෙන්ම වාහන හිමිකරුගේ නම සඳහන් කරමින් ලියාපදිංචි අංක තහඩුවක් ලබාගැනීමේ ක්‍රමවේදය ද කඩිනමින් ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

“ඉස්සර පළාත ගහලා තිබුණා.. දැන් ඉවත් කරලා”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්  – ප්‍රියන්තා දිසානායක,

“යුද්ධය කාලයේ ඇතිවෙලා තිබුණු ප්‍රශ්න නිසා ඒ වාහනය කොහාට අයිති එකක්ද කියලා හඳුනගන්න Frequency ID එකකුත් එක්ක තමයි ඒක දාලා තිබුණේ. නමුත් ඒ Frequency ID එක රීඩ් කරන්න ඒ වෙනකොට පොලිසියේ රීඩස් තිබුණේ නැහැ. ඒ නිසා අයින් කරන්න තීරණය කළා. දැන් එහෙම අවශ්‍යතාවයක් නෑ කියලා තමයි කියන්නේ.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා,

“ඩඩ්ලි මහත්තයා මාත් එකක් තරහා වෙන එකක් නැහැ මේක කිව්වට. දැන් ඔය ඩඩ්ලි මහත්තයාගේ කාර් එක ගැන හැමෝම කතා වුණානේ. අපේ බැරිද අංක තහඩුවට ඩඩ්ලි කියලා නම ගහලම ගන්න.”

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්  – ප්‍රියන්තා දිසානායක,

“පුළුවන් සර්. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඇත්තටම ඒ ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දෙන්න සැලසුම් කරගෙන යනවා. සිස්ටම් එක අප්ඩේට් කරපු ගමන් අපි ඒ වගේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකකට යන්න බලාපොරොත්තු වෙනවා.”

මේ වසරේ පළමු කාර්තුවේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි……

මේ වසරේ පළමු කාර්තුව තුළදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 26.5කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය සඳහන් කළේ, 2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවය.

ඒ අනුව ජනවාරි මසදී ඩොලර් මිලියන 751ක් පෙබරවාරී මස ඩොලර් මිලියන 729ක් හා මාර්තු මසදී ඩොලර් මිලියන 815ක් ලැබී ඇත.

2025 වර්ෂයේ පළමු මස තුන තුළදී ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,815කි.

විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබීමේ ප්‍රමාණය මෙලෙස ඉහළ යාමට රාජය මුල්‍ය විශ්වාසය හා විනිවිදභාවය හා  නිත්‍යානුකූල මාර්ග ක්‍රමවේද ශ්‍රමිකයන් භාවිතා කිරිමට කාර්යාංශය විසින් උනන්දු කරවිම හේතුවී ඇති බව කාර්යාංශය සඳහන් කරයි.

මේ අතර මේ වසරේ ජනවාරි සිට මාර්තු අවසානය දක්වා ශ්‍රමිකයන් 62,145 දෙ‍ෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

2026දී ආර්ථික වර්ධනය ගැන පුරෝකථනයක්…..

2025 වසරේදී ශ්‍රී ලංකාව අත්කරගත් ආර්ථික වර්ධන වේගයට වඩා පහළ අගයක් 2026 වසරේදී වාර්තා විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

අද (22) පැවති “BIG FOCUS” වැඩසටහනේදී ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ, සංචාරක පැමිණීම 30%කින් පමණ පහළ ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, කාලගුණික හා දේශගුණික බලපෑම් හේතුවෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයද පීඩාවට පත්ව ඇති බවය.

එමෙන්ම කාර්මික අංශයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ අපනයන ක්ෂේත්‍රයට ඇතිව ඇති බාධා හේතුවෙන්, සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් දුර්වල වීමේ අවදානමක් පවතින බවද ඔහු අවධාරණය කළේය.

ගෝලීය ආර්ථික තත්ත්වයද මෙයට බලපාන බව පෙන්වා දුන් මහාචාර්යවරයා, International Monetary Fund (IMF) විසින් ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන පහළ දමා ඇති බව සඳහන් කළේය.

ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීම ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන දෙකම බලපාන අතර, ඉන්ධන, පොහොර සහ ඉලෙක්ට්‍රොනික උපාංග වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධ සැපයුම් ජාල බිඳවැටීම්ද ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

“2025 වසරේදී අත්කරගත් ආර්ථික වර්ධන වේගයට වාඩා පහළ අගයක් 2026 වසරේදී අත්කරගත හැකිවනු ඇති බව මම හිතන්නේ. සංචාකර පැමිණීම 30%කින් විතර බිඳවැටිලා කියලා සමර මූලාශ්‍ර කියනවා. අනික් පැත්තෙන් කෘෂි කර්මාන්තයට බධා එල්ල වෙමින් තියෙනවා කාලගුණික දේශගුණික තත්ත්වය උඩ. ඒ වගේම කාර්මාන්ත අංශයේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහින් තියෙනවා. අපනයන අංශයට යම් යම් බාධා එල්ල වෙලා තියෙනවා. මේ තියෙන වාතාවරණය උඩ ආර්ථික කටයුතුවල බිඳ වැටීමක් එහෙම නැත්නම් ආර්ථික කටයුතුවල යම් දුර්වලවීමක් සිදුවිය හැකියි.

ගෝලීය පුරෝකථන ගත්තත් IMFඑක ගෝලීය පුරෝකථනත් පහළ දාලා තියෙනවා. ගෝලීය ආර්ථික වර්ධන වේගය පහළ යනවා කියන්නේ අපේ අපනයනවලට අපේ අනෙකුත් ක්ෂේත්‍රවලට බලපෑම් ඇති වෙනවා. උදාහරණයක් ලෙස භාණ්ඩ හා සේවා කියන දෙපාර්ශවයටම. අනෙක් පැත්තෙන් සැපයුම් ජලා බිඳවැටෙනවා. උදාරණයක් ලෙස ඉන්ධන පොහොර අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග. සැපැයුම් ජාල බිඳවැටීම තුළින් කියවෙන්නෙත් නැවතවරක් අපේ මේ ආර්ථික වර්ධනයට අහිතකර බලපානවා කියලා.”
උපුටා ගැනීම – අද දෙරණ

ඩො.මි 2.5ක රජයේ මුදලක් අස්ථානගතවෙලාද ?

අමෙරිකානු ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, ණය පියවීමක් ලෙස මහා භාණ්ඩාගාරය විසින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් කිසියම් පරිගණක හැකර්වරයෙකුට ගොස් ඇති බව වාර්තා වී තිබේ.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

එහිදි පිලිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මෙම කරුණු සම්බන්ධයෙන් යම් ලිපියක් කතානායකවරයාට ඉදිරිපත් කර ඇති බවය.

ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකර, විමර්ශනයක් සිදුකරනවද නැද්ද යන්න කතානායකවරයා විසින් තීන්දුවක් ගනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රශ්නය – ඩො.මි 2.5ක රජයේ මුදලක් අස්ථානගතවෙලාද ? විශේෂ තොරතුරක් ලැබිලා තියෙනවා රජයේ මුදල් අස්ථානගත වීමක් සම්බන්ධයෙන්. ඒකට අනුව ශ්‍රී ලංකා රජය 2025 සැප්තැම්බර් මාසේ අග වනවිට ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, ණය පියවීමක් ලෙස ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් මහා භාණ්ඩාරය 2025 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල පියවලා තියෙනවා. 

හැබැයි මේ මුදල ගිහිල්ලා තියෙන්නේ අදාළ ණයකරුට නෙමෙයි. කිසියම් පරිගණක හැකර්වරයෙකුට. එතකොට මේ සම්බන්ධයෙන් දැන් මුදල් අමාත්‍යාංශයේ විදේශ විනිමය සම්පත් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කමිටුවකුත් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් හොයන්න.මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය වගේ රටේ ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් ආයතනයක මේ වගේ දෙයක් වුණේ කොහොමද? මේ සම්බන්ධයෙන් මුදල් යම් පාර්ශවයකට ගෙවන්න, මහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලැබුනද?

පිළිතුර – “මම හිතන්නේ ඔබ කතා කරන්නේ ඔය ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා, කතානායකතුමාට ඉදිරිපත් කරපු ලිපිය පදනම් කරගෙන වෙන්නට ඕනේ. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරයි. දැනට මේ ගැන තොරතුරු අපිට වාර්තා වෙලා නැහැ. මේ ලිපිය පමණයි මේකට පදනම් වෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඉතාම ඉක්මනට මුදල් අමාත්‍යාංශය කරුණු පැහැදිලි කිරීමක් කරයි.”

ප්‍රශ්නය- මේ වෙනකොටත් මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් සහ පරිගණක ක්‍රියාකරුවෙක් සහ තවත් කෙනෙක් වැඩතහනම් කරලා තියෙනවා. මෛත්‍රී ගුණරත්න මහතා ඉල්ලලා තියෙනවා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් හරහා මේ සම්බන්ධව විමර්ශනයක් කරන්න කියලා. ඉල්ලීමක් කරලා තියෙනවා කථානායකවරයාගෙන්. මේ ඉල්ලීමට මොකක්ද රජයේ ප්‍රතිචාරය?

පිළිතුර – “මේ පිළිබඳ කරුණු හොයලා බලලා තමයි කතානායකවරයා තීන්දුව ගන්නේ. ඉතින් කතානායකවරයා තමයි ඒකට උත්තර දෙන්න ඕනේ.
පාර්ලිමේන්තුව හැටියට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවද නැද්ද කියන එක. තවමත් තිබෙන්නේ මේ ලිපිය පමණයි මගේ අතේ. මේ පිළිබඳ වැඩි විස්තර මගේ ළඟ නැහැ.

ශ්‍රී ලංකාවට දැවැන්ත ඖෂධ හිඟයක අවදානමක් – ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය…..

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ සැපයුම බරපතළ අනතුරකට ලක්ව ඇති බවත්, එය වළක්වා ගැනීමට වහාම ප්‍රායෝගික පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ගෝලීය සහ දේශීය ආර්ථික සාධක රැසක් හේතුවෙන් ඖෂධ සැපයුම් දාමය මත එල්ල වී ඇති පීඩනය තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව එම මණ්ඩලය අවධාරණය කරයි.

ඉන්ධන මිල 38% කින් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 40% කට වඩා ඉහළ ගොස් ඇති බැවින් ඖෂධ අමුද්‍රව්‍යවල ගෝලීය මිල ඇතැම් අවස්ථාවල 70% දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයන පිරිවැය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ආනයන බලපත්‍ර අලුත් කිරීමේ ප්‍රමාදය සහ මිල සමාලෝචන ක්‍රියාවලියේ පවතින ගැටලු හේතුවෙන් ඖෂධ නියමිත වේලාවට වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බව සඳහන් වේ.

මෙය හුදෙක් කර්මාන්තයට පමණක් සීමා වූ ගැටලුවක් නොව ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බව මණ්ඩලය පවසයි.

වහාම පියවර නොගතහොත්, රජයේ සහ පෞද්ගලික රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර වනු ඇති අතර රෝගීන්ට අත්‍යවශ්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම හෝ අඩාල වීම සිදුවනු ඇති බව සඳහන් වේ.

ඖෂධ සැපයුම ස්ථාවර කිරීම සඳහා SLCPI පහත පියවර වහාම ගන්නා ලෙස යෝජනා කර තිබේ.

ආනයන බලපත්‍ර ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් වහා විසඳීම.

පිරිවැය ඉහළ යාමට සාපේක්ෂව විනිවිදභාවයකින් යුත් මිල සමාලෝචන ක්‍රමවේදයක් සකස් කිරීම.

සැපයුම් දාමයේ අඛණ්ඩතාව රැක ගැනීම සඳහා නියාමකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එක්ව කටයුතු කිරීම.

“අද පවතින මෙම පීඩනය හෙට ජාතික ඖෂධ හිඟයකට හැරෙන්නට පෙර, සියලුම අදාළ පාර්ශව මෙම ගැටලුව උපරිම හදිසිතාවයකින් සලකා බැලිය යුතුයි,” යනුවෙන් SLCPI සිය නිවේදනය මගින් අවසන් වශයෙන් අවධාරණය කර සිටී.

අප්‍රේල් ගෙවුණු දින 19ට සංචාරකයින් 88,211ක් මෙරටට ඇවිත්……

අප්‍රේල් මාසයේ මුල් දින 19 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 88,211ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 25,634ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 29%ක් වේ.

එමෙන්ම, රුසියාවෙන් 4,682ක්, ජර්මනියෙන් 4,030ක්, එක්සත් රාජධානියෙන් 7,672ක්, චීනයෙන් 6,333ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 7,351ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට අප්‍රේල් 19 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 828,845ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 172,907ක්, රුසියාවෙන් 70,600ක් සහ එක්සත් රාජධානියෙන් 86,092ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

අවුරුදු සමයේ මාකුඹුරින් සේවා සපයා ගත් මගීන් සංඛ්‍යාව 155,000 ඉක්මවයි…..

අවුරුදු සමය නිමිත්තෙන් මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා මගීන් එක්ලක්ෂ පනස් පන්දහකට ආසන්න ප්‍රමාණයක් සිය සේවා සපයා ගෙන තිබේ.

මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ කලමණාකාර සහකාර නිමල් වෙත්තසිංහ මහතා පැවසුවේ පසුගිය 8 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා මෙම මගීන් සංඛ්‍යාව සිය ප්‍රවාහන අවශ්‍යතා මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ලබා ගෙන ඇති බවය.

මේ සඳහා 2,600කට අධික බස් රථ ප්‍රමාණයක් මාකුඹුර මගී පර්යන්තයෙන් මගීන්ගේ ගමන් පහසුව සඳහා යොදවා ඇති බවත් පැවසූ ඒ මහතා ඒ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ලංගම, බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය එක්ම මෙම බස් රථ මගීන්ගේ ගමන් පහසුව සඳහා යොදවා ඇති බවත් සඳහන් කළේය.

එමෙන්ම මේ දක්වා ගමන්ගත් කාලසටහන්වල වෙනසක් ඇති කරමින් පසුගිය දින කිහිපය තුළ බස් රථ ධාවනය කළ බවත් පැවසූ ඒ මහතා හෙට (21) දිනයේ සිට සාමාන්‍ය කාලසටහන් අනුව බස් රථ ධාවනයට පියවර ගන්නා බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මෙරට රන් පවුම යළි ලක්ෂ 4 පනී……

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

අද (20) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර්  4,829  දක්වා ඉහළ ‍ගොස් ඇත.

ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද (20) උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 2,000ක් බව සඳහන්ය.

ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 370,000ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 400,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 402,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 පනී……

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් ලක්ෂ 8කට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ජනවාරි පළමු දින සිට අප්‍රේල් 15 දක්වා කාලය තුළ සංචාරකයින් 809,595ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 167,095ක් වේ.

එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර අප්‍රේල් මස පළමු දින සිට 15 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 68,961 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ පසුගිය මාසයන්ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවය.