ඩො.මි 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම ගැන පරීක්ෂණ විධිමත් ලෙස ක්‍රියාත්මකයි…..

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විධිමත්ව හා අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ, කොළඹ වාණිජ මහාධිකරණයට කරුණු වාර්තා කිරීමේ සිට පාර්ලිමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන සමග එක්වෙමින් වඩාත් විනිවිදභාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාත්මක බවය.

“2026 මාර්තු 23 වෙනිදා මෙය දැනගත් වහාම අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන්න කමිටුවක් පත් කළා. ඒ වගේම පසුදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පරීක්ෂණ කරන්න කියලා ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. 

2026 අප්‍රේල් පළමුවෙනිදා ශ්‍රී ලංකා මහබැංකුවේ තියෙන මූල්‍ය බුද්ධි ඒකකයට මේ සිද්ධිය ගැන වාර්තා කරනවා. අභ්‍යන්තර කමිටු වාර්තාව 2026 අප්‍රේල් 10 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර ලේකම්වරයාට ලබා දෙනවා. 

එය අධ්‍යයනය කරන අප්‍රේල්  17 වෙනිදා බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවෙත් නිලධාරින් දෙදෙනා බැගින් හතර දෙනෙක්ගේ වැඩ තහනම් කිරීමට ලක් කරනවා. ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් විදිහට මේ සිද්ධියේ බී වාර්තාව කොළඹ වාණිජ මහාධිකරණයට ඉදිරිපත් කරන බව අපිට දැනගන්නට ලැබෙනවා. 

ඊට පස්සේ මේ පිළිබඳව රාජ්‍ය මූල්‍ය පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටුවට වාර්තා වුණේ නැහැ කියලා සහ වාර්තාවක් ඉල්ලා සිටියා. භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මාසයක් ඇතුළත ඒ වාර්තාව ලබා දෙන බව දැනුම්දුන්නා. 

ඒ අනුව ඒ වාර්තාව ලබා දෙනවා මැයි  මාසයේ පස්වෙනිදා. ඊට පස්සේ මැයි හයවෙනිදා අලුත්ම තත්ත්වය පිළිබඳව විගණකාධිපතිවරයාටත් වාර්තාව ලබා දෙනවා අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරන්න. මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගණනාවක් අරන් තිබෙනවා. 

ඉදිරියටත් අපිට කුමක්ද කළ යුතු වන්නේ පිළිබඳව තීරණය කරන්න, මේවා ආවරණය කරගන්න පුළුවන් ද.? කවුද වැරදිකරු වෙන්නේ.? 

මොනවාද සිද්ධ වෙලා තියෙන්නේ, කියන එක ගැන අවසානය ළඟා කරගන්න දේශීය මට්ටමේ පරීක්ෂණත්, අදාළ ආයතනවල මැදිහත්වීමේ තොරතුරු එක්රැස් කිරීමත් ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන කරන පරීක්ෂණවලත් ප්‍රතිඵලය එනකම් ඉන්න වෙනවා. මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙවෙයි.” 

අමෙරිකාව විසින් යෝජනා කර ඇති බද්ද මඟහරවා ගැනීමට කම්කරු හා රේගු ක්‍රියාමාර්ග ශක්තිමත් කරයි…..

අමෙරිකාව විසින් යෝජනා කර ඇති සියයට 12.5ක නව වෙළෙඳ බද්ද මඟහරවා ගැනීම සඳහා රජය පවතින කම්කරු හා රේගු ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

රොයිටස් පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කළ ආනයනික භාණ්ඩ හඳුනාගැනීම සඳහා රේගු පරීක්ෂණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව පියවර ගන්නා බවද මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන අතර, ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයන සඳහා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න වටිනාකමක වෙළෙඳාමක් සිදු කෙරේ.

යෝජිත නව අමෙරිකානු බදු ක්‍රමය යටතේ රටවල් 60කට පමණ සියයට 12.5 දක්වා බදු පැනවීමට යෝජනා වී ඇති අතර, ශ්‍රී ලංකාවද එම ලැයිස්තුවට ඇතුළත් බව වාර්තා වේ.

එම බදු අනුපාතය බංග්ලාදේශය සහ පාකිස්තානයට යෝජිත සියයට 10ක බද්දට වඩා ඉහළ අගයකි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක් උපයා ඇති අතර, එම ක්ෂේත්‍රයේ සේවකයන් ලක්ෂ 3කට ආසන්න පිරිසක් සේවයේ නිරතව සිටිති.

අමෙරිකානු බලධාරීන් විසින් මතුකර ඇති බලහත්කාර ශ්‍රමය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා රේගු පරීක්ෂණ ක්‍රමවේද වැඩිදියුණු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර සේවා පරිසරයක වැඩ කිරීමේ අයිතිය තහවුරු කරන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) C190 සම්මුතිය ක්‍රියාත්මක කිරීමටද ශ්‍රී ලංකාව කටයුතු කරන බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) සමඟ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වෙන නමුත්, එහි නිලධාරීන් හමුවීම සඳහා මේ වන විට අමෙරිකාවට සංචාරය කිරීමට සැලසුමක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජුනි 03 වනදා  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබුණි.

බලහත්කාර ශ්‍රමය (Forced Labor) භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහ එමගින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, කැනඩාව, මෙක්සිකෝව, පකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 45ක් සඳහා සියයට 12.5ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇත.

ජුනි 03 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබුණි.

බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහ එමගින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කැනඩාව, මෙක්සිකෝව, පාකිස්තානය, බංග්ලාදේශය සහ මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක් සඳහා සියයට 12.5ක අතිරේක බද්දක් යෝජනා කර තිබේ.

2026 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ…….

2026 අයවැය යෝජනා අනුව අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති සහ විශේෂ ප්‍රතිපත්තිමය අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම සාකච්ඡාව ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සහ ඒවා විසඳීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ආරක්ෂක, මුදල් හා ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන, වරාය හා සිවිල් ගුවන් සේවා ඇතුළු අමාත්‍යාංශ රැසක් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කරන ලදී.

එමෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා, කාන්තා හා ළමා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම්, මහජන ආරක්ෂක, තරුණ කටයුතු හා ක්‍රීඩා, පරිසර, නිවාස හා ජලසම්පාදන යන අමාත්‍යාංශ යටතේ ඇති ව්‍යාපෘති පිළිබඳවද අවධානය යොමු විය.

මතුව ඇති ගැටලු විසඳීම සඳහා අදාළ සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, ව්‍යාපෘති කඩිනමින් අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීම සියලු දෙනාගේ වගකීමක් බව අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේ සහ අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්, මුදල් කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවට වැඩිම මුදලක් එවන ලාංකිකයන් සිටින රටවල්……

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතරින් මෙරටට වැඩිම විදේශ විනිමයක් එවනු ලබන්නේ කුවේට් රාජ්‍යයේ සේවය කරන ලාංකිකයන් විසින් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහන සමග සම්බන්ධ වෙමින් එම කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පසුගිය වසර කිහිපයක දත්ත විශ්ලේෂණය කරමින් මේ බව අනාවරණය කළේය.

වසරකට ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් රැකියා සඳහා විදෙස්ගත වේ.

එම පිරිසෙන් 30%ක් පමණ, එනම් 80,000කට ආසන්න සංඛ්‍යාවක් තෝරාගන්නේ කුවේට් රාජ්‍යය බව සභාපතිවරයා පැවසීය.

පසුගිය 2025 වසරේදී පමණක් කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයන් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 893ක මුදලක් මෙරටට එවා ඇත.

ශ්‍රී ලංකාවට දෙවැනියට වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන්නේ කටාර් රාජ්‍යයෙන් වන අතර, තෙවැනියට වැඩිම මුදල් ප්‍රමාණයක් එවනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසිනි.

මීට අමතරව සෞදි අරාබිය සහ අමෙරිකා එක්සත් ජනපදය ද මෙරටට වැඩිම වශයෙන් මුදල් එවනු ලබන ශ්‍රී ලාංකිකයන් වෙසෙන රටවල් අතර වන බව සභාපතිවරයා පැවසීය.

තවද, ඉතාලිය, බ්‍රිතාන්‍යය, මාලදිවයින, ඔස්ට්‍රේලියාව සහ ඊශ්‍රායලය ද ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලබා දෙන ලාංකිකයන් සිටින සෙසු ප්‍රමුඛ රටවල් වේ.

කොළඹ වරාය සංවර්ධනයට ලෝක බැංකු සහාය ගැන සාකච්ඡාවක්…..

ලෝක බැංකු සමූහයේ දේශීය කළමනාකරු ගෙවෝගර් සාගර්සයාන් මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් අද පෙරවරුවේ අමාත්‍යවරයා හමුවී ඇති අතර, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ඊට එක්ව සිටියහ.

මෙහිදී ප්‍රධාන වශයෙන් කොළඹ වරායේ සංවර්ධනය සඳහා නව මූල්‍ය ආකෘති, පෞද්ගලික අංශයේ සහභාගීත්වය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

කොළඹ වරායේ සංවර්ධනය සම්බන්ධයෙන් රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව ලෝක බැංකු නියෝජිතයින් විමසා ඇති අතර, වරාය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව එක්ව අධ්‍යයනයක් සිදුකරමින් පවතින බවද දැනුම් දී ඇත.

නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙනම ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමුව ඇති අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම වරාය සංවර්ධන ක්‍රියාවලියේදී සේවක අයිතිවාසිකම් සහ වෘත්තීය සමිති සමඟ එකඟතාවයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.

මැදපෙරදිග යුද්ධය නිසා ගෝලිය අවධානය කොළඹ වරාය වෙත යොමු වී ඇති බවත්, ඒ ගැන ඉතා සැළකිළිමත් වී කටයුතු කරන ලෙස ලෝකබැංකු නියෝජිත පිරිස ඉල්ලා සිටි බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

මෙහිදී ඔවුන් බංගලාදේශයේ වරාය සංවර්ධන අත්දැකීම් ගැන උදාහරණ ගෙන එමින් චිතගොං වරාය අධිකාරිය ලැබූ සාර්ථකත්වය ද අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට පැහැදිළි කළහ.

එම සාර්ථකත්වයට චිතගොං වරාය අධිකාරිය, සිංගප්පූරු, ඩුබායි, ජෙඩා වැනි වරාය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වය ද ලබා ගත් ආකාරය සුවිශේෂී බව සඳහන් කළහ.

මේ අතර ශ්‍රීලන්කන් ගුවන්සේවය සහ මෙරට ගුවන්සේවා ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීම් පිළිබඳවද සාකච්ඡා වී ඇත. මෙම කරුණු සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව (IFC) සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව සඳහන් විය.

මැදපෙරදිග පවතින අර්බුද හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම ගුවන්සේවා කර්මාන්තයට බලපා ඇති ආකාරය පිළිබඳවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

රජය ඉදිරියේදී වරාය හා ගුවන්සේවා ක්ෂේත්‍ර සඳහා වැදගත් ප්‍රතිපත්තිමය හා ආයතනික තීරණ කිහිපයක් ගැනීමට සූදානම් බවත්, එම තීරණ නිවැරදි මූල්‍ය ආකෘති, රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාව සහ විනිවිදභාවය මත සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අදින් වසරකට පෙර පැවැති අගයටම…..

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) වන විට පසුගිය වසරේ ජුනි 19 වැනිදා පැවති මට්ටමට සමාන අගයකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

මේ වන විට ලෝක වෙළෙඳපොළ දත්ත අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.83ක් ලෙස සටහන් ව ඇති අතර එය 3.85%කින් පහළ ගොස් තිබේ.

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.64ක් ලෙස සටහන් වූ අතර, එය 3.66% අඩුවී ඇත.

මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.02ක් ලෙස සටහන් වී ඇති අතර එයද ඩොලර් 3.29කින් (4.43%) පහත වැටී තිබේ.

ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකරයි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2026 ජූනි 18 වනදා (හෙට) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකිය.

ලංකා සතොස ආයතනය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි..

0087 (සංශෝධිත) ලංකා සතොස අත්_යවශ්_ය ආහාර ද්_රව්_ය කිහිපයක මිල අඩුකරයි_page-0002

බොරතෙල් බැරලයක මිල ඩොලර් 80න් පහළට…..

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) අමෙරිකානු ඩොලර් 80 සීමාවට වඩා පහළ අගයක් ගෙන ඇති බව විදෙස් වර්තා පවසයි.

ඒ අනුව WTI ඉන්ධන බැරලයක මිල අද දැක්වුණේ අමෙරිකානු ඩොලර් 76.28 ආසන්න අගයකි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 79.13 ලෙසය.

මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල  ඩොලර් 71.81ක් දක්වා 7.02%%කින් පහළ ගොස් ඇත.

මැදපෙරදිග යුද්ධය ආරම්භ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මිල ගණන් පැවතියේ ඩොලර් 68 ත් 70 ත් අතර පරාසයකයි.

අපනයන ආදායම් රුපියල් බවට පරිවර්තනය කිරීමේ කාලය අඩු කිරීම ගැන COPF අවධානයට…..

අපනයනකරුවන්ට ලැබෙන විදේශ විනිමය ආදායම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව කෙටි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

එහිදී මහ බැංකු නිලධාරීන් සඳහන් කර ඇත්තේ විනිමය අනුපාතිකයේ සහ විදේශ විනිමය වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය මෙන්ම විදේශ විනිමය ද්‍රවශීලතා හිඟය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

මෙම තීරණය විනිමය අනුපාතිකයේ අස්ථාවරත්වය පාලනය කිරීම සහ විදේශ විනිමය සැපයුම වැඩිදියුණු කිරීම සඳහා ගත් කෙටිකාලීන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක් බවත්, වෙළෙඳපොළ තත්ත්වයන් ස්ථාවර වූ පසු එය ලිහිල් කරන බවත් මහ බැංකු නිලධාරීන් පැවසූහ.

කෙසේ වෙතත්, මෙම පියවර හේතුවෙන් වෙළෙඳපොළ විශ්වාසය අඩුවීම සහ විදේශ විනිමය වෙළෙඳපොළේ අස්ථාවරත්වය වැඩිවීමේ අවදානමක් ඇති විය හැකි බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 ජුනි 09 දින නිකුත් කළ අංක 2492/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ “2026 අංක 2 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” සඳහාද කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.

නව රීති අනුව, ඕනෑම මාසයකදී අපනයන ආදායම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා භාණ්ඩ අපනයනකරුවන් එම මුදල් අවසර ලද ගෙවීම් සඳහා පමණක් භාවිත කළ යුතු අතර, ඉතිරි මුදල එළඹෙන මාසයේ 10 වන දිනට පෙර හෝ එදින ශ්‍රී ලංකා රුපියල් බවට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතු වේ.

මීට පෙර 2024 වසරේ හඳුන්වා දුන් රෙගුලාසි අනුව ලබා දී තිබූ මාස 3ක කාල සීමාව මෙලෙස එළඹෙන මාසයේ 10 වන දින දක්වා අඩු කර තිබේ.

ඉන්ධන මිල ගැන ඉඟියක්…..

වර්තමානයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ ගියද, එම මිල ගණන් අනුව මෙරට පවතින ඉන්ධන මිල පහළ දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

රටේ ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

ඔහු පැවසුවේ වර්තමානයේ මෙරට තුළ පරිභෝජනය කරමින් පවතින්නේ මීට පෙර ඉහළ මිලකට මිල දී ගත් ඉන්ධන බැවින්, එම මිල ගණන් යටතේ ආනයනය කළ ඉන්ධන තොග අවසන් වන තුරු මෙරට තුළ ඉන්ධන මිල පහත දැමීමට හැකියාවක් නොමැති බවය.

කෙසේ වෙතත් වැඩි මිල ගණන්වලට ආනයනය කළ ඉන්ධන පරිභෝජනය කර අවසන් වූ පසු, මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

තෙල් සංස්ථාව අවසන් වරට ඇණවුම් කළ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අනුව ඉදිරියේදී මිල අඩු කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේදැයි කළ විමසීමට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

“අපිට ඉදිරියේදී එන්න තියෙන්නේ කලින් මාසවල ගත්ත ඒවා. ඒ අනුව තමයි මිල තීරණය වෙන්නේ. ඉදිරියට පරිභෝජනය කරන්න තියෙන්නේ අපි වැඩි මිලට ගත්ත ඒවා ටික. අඩු මිලේ ඒවා ඉදිරියේදී තමයි අපිට ලබාගන්න වෙන්නේ. ඒකට යම් කාල පමාවක් යාවි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මිල අඩු වේවි කියලා. ඒ අනුව, මේ දැන් ලබා දී තිබෙන සහනය අපිට අයින් නොකර මේ මිලේම පවත්වා ගැනීම හෝ මිල අඩු කිරීම ඉදිරියේදී සලකා බලනවා.”