මැයි මාසයේ ඉන්ධන මිල ගැන රජයෙන් අනාවැකියක්….

මැද පෙරදිග යුදමය තත්ත්වය වර්ධනය වුවහොත් මැයි මාසයේදී දරාගත නොහැකි මට්ටමකින් ඉන්ධන මිල ඉහළ යා හැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාරිභෝජනය ස්වෙච්ඡාවෙන් සීමා කරගන්නා ලෙසය.

ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ අදහස් පළ කළේය.

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුකළ ද ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම සහ නෞකා සඳහා වන ආරක්ෂක ගාස්තු ඉහළ යාම හේතුවෙන් මේ වන විට මෙරට ඉන්ධන මිලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවය.

“වෙන විදිය ගැන අපි කාටවත් පුරෝකථනය කරන්න බෑ. නමුත් ළඟ ළඟ මිල වැඩිවීම් කරන්න රජයේ බලාපොරොත්තුවක් නෑ. බලාපොරොත්තු වෙනවා යම් ප්‍රමාණයකට සමනය වේවි කියලා. එය තමා සුබදායි බලාපොරොත්තුව එහෙම නොවුණොත් මැයි මාසයේ පළමු දිනට යෙදෙන මිල වැඩිවීමේ දී දරාගත නොහැකි මිල වැඩිවීමක් කරන්න සිදුවේවි.”

IOC ඉන්ධන වර්ග කිහිපයක මිල යළිත් ඉහළට…

අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා  IOC සමාගම ඉන්ධන වර්ග කිහිපයක මිල යළි තවදුරටත් ඉහළ නංවා තිබේ.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 572ක් දක්වාද ඉහළ දමා තිබේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 487ක් දක්වාද ඉහළ නැංවීමටද පියවර ගෙන ඇති අතර එමෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල 398කි.

මේ අතර Xtra Green Diese මිල රුපියල් 588ක්ද, XtraMile Diesel මිල 551ක්, මෙන්ම XtraPremium පෙට්‍රල් මිල 465ක් ලෙසද ඉහළ දැමීමට ලංකා IOC සමාගම පියවර ගෙන තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් කෘෂි ක්ෂේත්‍රයටත් දැඩි බලපෑම්….

ඉන්ධන මිල ඉහළ දැමීම කෘෂි ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ගොවි සංගම් පෙන්වා දෙයි.

කැප්පෙටිපොළ එළවළු වෙළෙඳුන් පවසන්නේ එළවළු තොග ප්‍රවාහනය සඳහා වැය වෙන මුදල ඉහළ ගොස් ඇති බවය.

එබැවින් ඇතැම්විට ඉදිරියේ දී උඩරට එළවළු වෙළෙදාම සම්පුර්ණයෙන්ම අඩපන විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර සහල් නිෂ්පාදකයන් පවසන්නේ සහල් මිලද ඉදිරියේදී ඉහළ දැමීමට සිදුවන බවය.

සහල් නිෂ්පාදනයේ දී මෙන්ම ප්‍රවාහනයේදී ද ඉන්ධන මිල ඉහළ යාම දැඩි ලෙස බලපෑම් ඇති කරන බව ඔවුන් පවසයි.

එබැවින් ඉදිරියේදී සහල් කිලෝවක මිල ද රුපියල් 10කට වැඩි මිලකින් ඉහළ දැමීමට සිදුවන බව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට එකඟතා…..

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටය ඊයේ (20) කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

මේ සඳහා අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා සහ බ්‍රසීලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් ලේකම්, තානාපති සුසන් ක්ලිබෑන්ක් එක්ව ඇත.

මෙහිදී එළැඹෙන 2030 වන විට ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

තවද පරිණාමය වෙමින් පවතින ගෝලීය ආර්ථික වෙනස්වීම්වලට ප්‍රතිචාර ලෙස සම්බන්ධතා පුළුල් කිරීමේ වැදගත්කමද මෙහිදී දෙපාර්ශ්වය විසින් අවධාරණය කරනු ලැබීය.

සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍රවල අපේක්ෂිත අවබෝධතා ගිවිසුම් සහ ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමේ වැදගත්කම හඳනා ගනිමින් ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීම, මිනිස් ජාවාරම සහ ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මැඩපවැත්වීම, සාම්ප්‍රධායික සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව පිළිබඳ ප්‍රධාන නීතිමය මෙවලම් අවසන් කිරීමට ඇති කැපවීම පාර්ශ්වයන් ප්‍රකාශ කළහ.

තාක්ෂණික සහයෝගීතා රාමුව යටතේ කිරි පශු සම්පත් ව්‍යාපෘතිය සහ උක් ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත් බ්‍රසීල සහයෝගීතා ඒජන්සියේ සහාය ඇතිව නුරුදු අනාගතයේදී ඒ සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දෙපාර්ශ්වය සතුට පළ කළහ.

දින 3ක් තුළ මෙරට රත්‍රං මිල සීඝ්‍රයෙන් පහළට…..

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලේ සීඝ්‍ර පහළ යෑමක් හේතුවෙන් මෙරට රන් වෙළෙඳපොළ තුළ ද දින තුනක් ඇතුළත සැලකිය යුතු මිල අඩුවීමක් වාර්තා වී තිබේ.

ඒ අනුව බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ අද (21) යන දිනවලදී සමස්තයක් ලෙස රන් මිල රුපියල් 29,000කින් පමණ පහළ ගොස් ඇත.

පෙරේදා 19 දින රන්මිල රුපියල් 13,000කින් පහළ ගොස් ඇති අතර, ඊයේ (20) රුපියල් 6,000කින් සහ අද දින තවත් රුපියල් 10,000කින් අඩුවී තිබේ.

මෙම අඩුවීමට ප්‍රධාන හේතුව ලෙස ලෝක රත්‍රං මිල ඩොලර් 5,000 සීමාවෙන් පහළට වැටීම බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයට ඇති බලපෑම්, ආයෝජන ක්‍රියාකාරකම් අඩාල වීම සහ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමද රත්‍රං මිල පහළ යාමට බලපා ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය තාවකාලික එකක් වන අතර, තෙල් මිල ස්ථාවර වූ පසු රත්‍රං මිල නැවත ඉහළ යාමේ හැකියාවක් පවතින බවය.

මාර්තු ගෙවුණු දින 18ට සංචාරකයින් 109,410ක් මෙරටට ඇවිත්….

මාර්තු මාසයේ මුල් දින 18 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 109,410ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 27,613ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 25%ක් වේ.

එමෙන්ම, රුසියාවෙන් 9,562ක්, ජර්මනියෙන් 8,258ක්, එක්සත් රාජධානියෙන් 10,111ක්, චීනයෙන් 9,100ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 6,114ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට මාර්තු 18 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 666,065ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 127,353ක්, රුසියාවෙන් 59,795ක් සහ එක්සත් රාජධානියෙන් 70,439ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට….

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව මෝටර් රථය සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා ඉහළ යනු ඇත.

ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට ලීටර් 20 දක්වා ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

වෑන් රථ සඳහා මීට පෙර සතියකට ලීටර් 40ක් ලබා දුන්න ද එම ප්‍රමාණය ලීටර් 50 දක්වා ඉහළ දැමීමට පියවරගෙන තිබේ.

යතුරුපැදි සඳහා ලබා දුන් ලීටර් 5ක ඉන්ධන කෝටාව ලීටර් 8 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

බස් රථ සඳහා ලබා දුන් ලීටර් 60ක ඉන්ධන ප්‍රමාණය ලීටර් 100 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඉඩම් වාහනය සඳහා මීට පෙර ලබා දුන් ලීටර් 25ක ඉන්ධන ප්‍රමාණය නව සංශෝධනයට අනුව ඉහළ දමා ඇත්තේ ලීටර් 40 දක්වාය.

කෙසේවෙතත් ලොරි රථ සඳහා ලබා දුන් ලීටර් 200ක ප්‍රමාණය සහ විශේෂ කාර්ය වාහනය සඳහා ලබා දුන් ලීටර් 40ක ප්‍රමාණය සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කරයි

සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට….

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 443ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 455කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් ලෙස දැක්වෙයි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 255ක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ – මයුර නෙත්තිකුමාරගේ….

හෙට සහ අනිද්දා දිනවලත් බෙදුම්කරුවන්ට ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාව කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ හෙට සහ අනිද්දා දිනවල පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

සෙනසුරාදා දිනයේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසා තැබෙන බවට මේ වන විට පුවතක් සංසරණය වන අතර එයට පාදක වී ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව සෑම මසකම එක් සෙනසුරාදා දිනයක් ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසා තැබීම වන බව ද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් පවතින මෙම තත්ත්වය විශේෂ අවශ්‍යතාවයක් වීම සහ මෙම සෙනසුරාදා රාත්‍රියේ දී QR කේතය නැවත සැකසීම සිදුවන බැවින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව විවෘතව පවතින බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

එමෙන්ම මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කර සිටියේ යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඉරිදා දිනයේ වුවද තෙල් බෙදා දීමේ කට‍යුතු සිදු කළ හැකි අතර එහි කිසිදු ගැටලුවක් නොමැති බවය.

මේ අතර තොග පර්යන්ත සමාගම ද සෙනසුරාදා දිනයේ තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ හේතුවෙන් පාරිභෝගිකයින්ට අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් හෙට සහ අනිද්දා දිනවල පිරවුම්හල් වසා තැබීම සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් හෝ තීරණක් ගෙන නොමැති බවත් කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්….

එළැඹෙන උත්සව සමයේ දී භාණ්ඩ වර්ග 100ක් සඳහා සතොසින් වට්ටම් ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද (20) පෙරවරුවේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා පැවසුවේ, වෙළෙඳපොළේ පවතින පාලන මිලටත් වඩා අඩුවෙන් ලංකා සතොසින් සහල් මිලදීගැනීමට හැකි බවය.

සතොසින් වට්ටම් ලැබෙන ආහාර ද්‍රව්‍ය කිහිපයක කිලෝවක මිල ගණන්

සුදු නාඩු – රු. 217
සුදු කැකුළු – රු. 203
පාන් පිටි – රු.  254
හාල්මැස්සෝ – රු. 1,050
පරිප්පු – රු. 264
බී ලූනු – රු. 150 – 160 අතර

මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, සෑම භාණ්ඩයකටම සීමාවක් තිබෙන බවය. ඒ අනුව මෙම සහනය පාරිභෝගිකයන්ට මිස ව්‍යාපාරිකයින්ට නොලැබෙන බවයි.

මේ අතර සතොසින් රු. 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්නා පුද්ගලයන්ට ත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක්ද හඳුන්වා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

“රු. 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්න සෑම කෙනෙක්ටම කූපන් පතක් ලැබෙනවා ලොතරැයි දිනුම් ඇඳීමකට. 

එනිසා සතොසට ආවොත් කාර් එකෙන් නැත්නම් බයිසිකලෙන් යන්න පුළුවන්. රු. 2500කට වැඩියෙන් භාණ්ඩ ගන්න, වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න” යැයි පැවසීය.