2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු……

2025 වර්ෂයට අදාළව ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් එකී ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය මාර්තු 31 වැනි දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු නිලධාරීන් විසින් අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන සභාවට භාර දීම සඳහා ආයතන ප්‍රධානියා වෙත භාරදිය යුතු අවසාන දිනය පසුගිය ජුනි මස 30 වැනි දින වන බවය.

කෙසේ නමුත් මේ මස 31 දින වන විටත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානියා වෙත භාර දීමට අපොහොසත් වන නිලධාරීන් හට 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 90 වැනි වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව පවසයි.

2025.06.30 දින සිට 2025.08.31 දින දක්වා භාරදෙනු ලබන ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව දඩ අය කිරීමක් සිදුකරන බවත් ඒ අනුව මෙතෙක් තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන් සිටී නම් හැකි ඉක්මනින් එම ප්‍රකාශ තම ආයතන ප්‍රධානියාට භාරදී තමන්ට නියම විය හැකි පරිපාලන දඩ මුදල අවම කර ගැනීමට කටයුතු කරන ලෙසද එම කොමිසම නිවේදනය කර තිබේ.

එමෙන්ම තවදුරටත් ජුනි පස 30 දිනට පසුව ඉදිරිපත් කරන වත්කම් සහ බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානී විසින් භාරගත යුතු බවත් යම් හෙයකින් ආයතන ප්‍රධානීන් විසින් එසේ භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත දන්වා සිටින ලෙසත් එම කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර ඇත.

City of Dreams Sri Lanka සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වෙයි

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන City of Dreams Sri Lanka සමාරම්භක අවස්ථාව සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.

මෙම අති උත්කර්ෂවත් අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර, Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ යන මහත්වරුන්, දෙපාර්ශවය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්, වත්මන් හා හිටපු රජයේ නිලධාරීන් මෙන්ම ව්‍යාපාරික නායකයින් ඇතුළුව දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

මේ අතර අගෝස්තු 2 වන දින රාත්‍රිය නිමාවට පත් වූයේ සුපිරි ඉන්දීය නළු රිතික් රෝෂන්ගේ රංගනයෙන් වර්ණවත් කරමින් මෙරට සුවහසක් ජනතාවට අද්විතීය මෙන්ම අමතක නොවන ජාත්‍යන්තර තලයේ විනෝදාස්වාද අත්දැකීමක් ද ලබා දෙමිනි.

ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක්

ඇමරිකානු ඩොලර් බිලියන 1.2 කට අධික වටිනාකමින් යුතු මෙම සුවිශේෂී ව්‍යාපෘතිය දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය මෙන්ම පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙස සැලකෙයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති City of Dreams Sri Lanka මගින් ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සිතියමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අරමුණු කරයි.

City of Dreams Sri Lanka, Cinnamon Life හි කාමර 687 ක් සහ Nüwa සන්නාමය යටතේ අධි සුඛෝපභෝගී කාමර 113 ක් ඇතුළුව කාමර හා සුඛෝපභෝගී කාමර 800 කින් සමන්විත වෙයි. තවද මෙහි පාරිභෝගිකයින්ට උසස් තත්වයේ සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම සඳහා Shoppes නමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉහළ පෙළේ සිල්ලර සන්නාමවලින් සමන්විත සුඛෝපභෝගී වෙළඳ සංකීර්ණයක් ද ඇත.

මීට අමතරව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා පාලන ක්‍රමවේදයන්ට අනුකූලව මෙල්කෝ විසින් මෙහෙයවනු ලබන සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ හා විනෝදාස්වාද කලාපයක් තුලින් දෙස් විදෙස් සංචාරකයින් වෙත අසමසම සේවාවක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. එමෙන්ම විශේෂ උත්සව, රැස්වීම්, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශනයන් පැවැත්වීම සඳහා වන MICE කාණ්ඩයේ සියලු පහසුකම්වලින්ද එය සමන්විත වේ.

තවද City of Dreams Sri Lanka දෙස් විදෙස් අමුත්තන් හට ලොව සුපතල සූපවේදීන් විසින් නිර්මාණය කරනු ලබන අද්විතීය හා ප්‍රණීත ආහාර හා පාන වර්ග රැසක් පිරිනමනු ලබන අතර ප්‍රසංග, සංස්කෘතික උත්සව සහ සුවිශේෂී සංදර්ශන සඳහා වෙන් වූ විශේෂ ස්ථාන ද එයට ඇතුළත් වේ. City of Dreams Sri Lanka හි සෑම අංශයක්ම තිරසාරභාවය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, උසස් පරිසර හිතකාමී තාක්ෂණයන් භාවිතා කරමින් සහ ශ්‍රී ලංකාව කෙරෙහි දිගුකාලීන ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සහාය වෙමින් නිර්මාණය කර තිබීම විශේෂයෙන් කැපී පෙනේ.

2024/2025 ආදායම් වාර්තා ලබා දීමට තිබූ PIN අංකයේ කාලය දීර්ඝ කෙරේ

024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් නිකුත් කර ඇති පුද්ගලික හඳුනාගැනීම් අංකය (PIN) වලංගු කාලය දීර්ඝ කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව එහි වලංගු කාලය එළැඹෙන නොවැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

 01

ජූලි මාසයේ සංචාරක පැමිණීම ලක්ෂ 2 ඉක්මවයි……

ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයින් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවය.

මෙය  පසුගිය වසරේ ජූලි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ජූලි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 37,128ක් පැමිණ ඇති අතර එය 18.5% කි.

තවද, එක්සත් රාජධානියෙන් 23,475ක්, නෙදර්ලන්තයෙන් 15,556 ක්, චීනයෙන් 12,982ක් සහ ප්‍රංශ ජාතිකයින් 11,059ක් ද ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ජුලි 31 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,368,288කි.

ඒ අතරින් සංචාරකයින් 279,122ක් ඉන්දියාවෙන්, 131,377ක් රුසියාවෙන් සහ 115,470ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ පහසුකම එළැඹෙන වසරේ සිට…..

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්  (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ( Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  සේවාව ක්‍රියාත්මක කිරීම පිණිස පියවර කිහිපයක් ගෙන ඇති බවය.

ඒ අනුව පළමුව කොමිෂන් සභාව විසින් දුරකථන ක්‍රියාකරු සමාගම්  සමඟ සාකච්ඡා පවත්වා දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කර තිබේ.

2021  වසරේ දී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ සඳහා ලබා ගෙන ඇත.

පසුව විදුලි සංදේශ ක්‍රියාකරුවන් සමඟ සාකච්ඡා කර සුදුසු තාක්ෂණික ආකෘතිය තීරණය කරන ලද අතර  දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  සේවාව ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය කිරීම පිණිස සියලුම ස්ථාවර සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් ලංකා  නම්බර් පෝර්ටබිලිටි සර්විසස් (ගැරන්ටි‍) ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපනය කර තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්  දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය  ඒ අනුව මෙම සමාගම වෙත ප්‍රදානය කර ඇත.

දුරකතන ක්‍රියාකරු සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් සකස් කරන ලද දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ  රීති සහ මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී තිබේ.

දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සහ දුරකතන ක්‍රියාකරු සමාගම්වල ජාල වැඩිදියුණු කිරීම අවසන් වූ පසු දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

ඉන් අනතුරුව,  දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව සැපයීම ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම සේවාව ක්‍රියාත්මක කිරීමේ කටයුතු සූදානම් වූ පසු, ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව  විසින් ඒ් සම්බන්ධයෙන්  මහජනතාව දැනුවත් කරන බවද එම කොමිෂන් සභාව පවසයි.

ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්……

ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරනවා හා සමානවම බැංකු හා මූල්‍ය ආයතන ඊට අදාළ යටිතල පහසුකම් ගමේ සිටින ජනතාව දක්වාම රැගෙන යා යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

දඹුල්ලේ පැවති උත්සවයක් අමතමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහබැංකුව සංවිධාන කරන ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධන වැඩසටහනක් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ පැවැත් වුණි.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ඩිජිටල් ගනුදෙනුවලදී විශේෂයෙන් අපේ රටේ ගෙවීම් සහ පියවීම් සඳහා විශාල වශයෙන් අවශ්‍ය කරන යටිතල පහසුකම් කාලයක් තිස්සේ සම්පූර්ණ කරලා තියෙනවා. Online Banking, QR code එක පාවිච්චි කරලා ගෙවන ඒවා රජයේ ගෙවීම්වලටත් රජය විසින් දැන් GovPay කියලා එකකින් යම්කිසි රජයේ සේවාවන්වලට ගෙවන්න පහසුකම් හදලා තියෙනවා. බදු ගෙවීමට පුළුවන් ඒ ආකාරයට. පහසුකම් තියෙනවා. නමුත් අපි දකින්නේ භාවිතය ඉතාම අඩුයි. විශේෂයෙන් බස්නාහිර පළාතෙන් පිටතට යනකොට අපි දකිනවා විශාල වශයෙන් තවමත් මුදල් විශේෂයෙන් නෝට්ටු සහ කාසි භාවිතයට තමයි හුඟදෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ. ඒක තමයි පහසු විදිහට දකින්නේ. නමුත් ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බැලුවොත් ව්‍යාපාරයක් කරන කෙනෙක්ට සහ පාරිභෝගිකයා පැත්තෙන් ගත්තොත් හැමෝටම මේ මුදල් පරිහරණය ඇත්ත වශයෙන්ම අමතර කාලයක් මුදලක් වැය වෙන කාරණයක් හිතලා බැලුවොත්. විශේෂයෙන් බැංකු පද්ධතිය සහ මූල්‍ය ආයතන ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරන ආයතනවලට තියෙනවා විශේෂ කාර්යයභාර්යක් මේ වගේ තැන්වලට ඇවිත් ප්‍රවර්ධනය කරනවාට අමතරව මේක යන්න ඕන ගමටම. එහෙම ගියොත් විතරයි මේ ගැන විශ්වාසයක් ඇතිවෙන්නේ. මේකේ අනිසි බියක් තියෙනවා මේ බදුවලට අහුවෙයි කියලා. එහෙම එකක් නැහැ බදුවලට අහුවෙනවා නම් සල්ලිවලින් ගනුදෙනු කළත් බදුවලට අහුවෙනවා නම් අහුවෙනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ.”

වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂිකව අධික දඩ මුදලක් පැනවීමට සැරසෙයි….

මෙරට වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි සඳහා වාර්ෂික දඩ මුදලක් අය කිරීමට නීති සකස්කරමින් පවතින බව වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ දිවයින පුරා මෙවැනි අනවසර ඉදිකිරීම් 2500 කට අධික ප්‍රමාණයක් පවතින බවට හඳුනාගෙන ඇති බවය.

“පසුගිය වසර 10ක් හෝ 15ක් තුළ විශාල වශයෙන් වෙරළ කලාප තුළ අනවසර ඉදිකිරීම් සිදුකරලා තියෙනවා. අපි සමහර ඒවා කඩා දමනවා. ඇතැම් ඒවාට වාර්ෂිකව ඉතා වැඩි දඩයකට යටත් කරනවා. මේ අවිධිමත්භාවය විධිමත් භාවයට පත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු කරනවා.”

මෙරට වාණිජ ප්‍රවාහනය පරිවර්තනයට ලක් කිරීමට, සොෆ්ට්ලොජික් සහ ATUL ඔටෝ එකතුවෙන් නවීන ත්‍රිරෝද රථ පෙළක්….

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Softlogic Holdings PLC), ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන ත්‍රිරෝද රථ නිෂ්පාදකයෙකු වන ATUL ඔටෝ ලිමිටඩ් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹෙමින්, ශ්‍රී ලංකාවේ වාණිජ ප්‍රවාහන ක්ෂේත්‍රය නව මානයකට ගෙන ඒමට සූදානම් වේ. මෙම හවුල්කාරිත්වය හරහා, නවීනතම ත්‍රිරෝද රථ පෙළක් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙනු ඇත.

වසර 60කට වැඩි අත්දැකීම් ඇති, රටවල් 24කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව ඇති ATUL Auto සන්නාමය, විවිධ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් කර ඇති කල්පවත්නා, ඉන්ධන කාර්යක්ෂම සහ නඩත්තු කිරීමට පහසු ත්‍රිරෝද රථ නිෂ්පාදනය සඳහා කීර්තියක් උසුලයි. මෙම හවුල්කාරිත්වය හරහා, සොෆ්ට්ලොජික් සමාගම දේශීය වෙළඳපල අවශ්‍යතාවලට ගැලපෙන ප්‍රධාන ත්‍රිරෝද රථ මාදිලි තුනක් දියත් කරනු ඇත: එනම්, පෙට්‍රල් මගින් ක්‍රියාත්මක වන, ආකර්ෂණීය සහ අයවැය හිතකාමී මගී රථයක් වන Atul RIK; ඩීසල් මගින් ක්‍රියාත්මක වන, වාණිජ ප්‍රවාහනයට සුදුසු ඉඩකඩ සහිත මාදිලියක් වන Atul GEM Paxx; සහ භාණ්ඩ බෙදාහැරීම්, කෘෂිකාර්මික සහ සැපයුම් කළමනාකරණ (logistics) යෙදවුම් සඳහා නිපදවා ඇති, ශක්තිමත්, අධික බර රැගෙන යා හැකි Atul GEM Cargo මාදිලියයි.

මෙම සහයෝගීතාව ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වන මොහොතකය. විශේෂයෙන්ම, වර්තමානයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සහ අවසාන සැතපුම් සම්බන්ධතාවය (last-mile connectivity) වෙනුවෙන්, මිල දැරිය හැකි, විශ්වාසනීය සහ ඉන්ධන කාර්යක්ෂම ප්‍රවාහන විසඳුම් සඳහා වූ ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඉන්ධන මිල ඉහළ යාම සහ පවතින යටිතල පහසුකම් අභියෝග හමුවේ, අඩු නඩත්තු පිරිවැයක් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත වාහන සඳහා වෙළෙඳපොළේ ප්‍රමුඛතාවය වර්ධනය වී ඇත. සරල යාන්ත්‍රික පද්ධති, වායු සිසිලන එන්ජින් සහ අධි බලැති චැසියක් සහිත ATUL වාහන පෙළ, අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද විශ්වාසනීය කාර්ය සාධනයක් සහ අඩු මෙහෙයුම් පිරිවැයක් ලබා දීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

ATUL ඔටෝ ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂ නීරාජ් චන්ද්‍ර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවට ATUL වාහන හඳුන්වා දීම සඳහා සොෆ්ට්ලොජික් වැනි ගෞරවනීය හා ඉදිරිගාමී ව්‍යාපාරික සමූහයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම අපට මහත් අභිමානයක්. ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයේ පුළුල් විශේෂඥ දැනුමක් ඇති ආයතනයක් ලෙස, අපි ඉදිරිපස සහ පසුපස එන්ජින් වින්‍යාසයන් දෙකෙන්ම පෙට්‍රල්, ඩීසල්, LPG සහ විදුලි මාදිලි පිරිනමන්නෙමු. පුද්ගලයන් සහ ව්‍යාපාර එක සේ බලගන්වමින්, ආර්ථික වර්ධනයට සහ ප්‍රවාහන පහසුකම් වර්ධනයට දායක වන විශ්වාසදායක සහ දැරිය හැකි මිලකින් යුතු විසඳුම් සැපයීම අපගේ මෙහෙවරයි.” යනුවෙන් පැවසීය.

පාරිභෝගිකයින්ට බාධාවකින් තොර අත්දැකීමක් සහතික කිරීම පිණිස, ATUL දැනටමත් සිය තාක්ෂණික විශේෂඥයින් කොළඹට යොදවා ඇති අතර, වාහන ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අමතර කොටස් වල ස්ථාවර සැපයුමක් ද ස්ථාපිත කර ඇත. “ගුණාත්මක නිෂ්පාදන ලබා දීමට පමණක් නොව, ආරම්භයේ සිටම ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලයක් ස්ථාපිත කිරීමට ද අපි කැපවී සිටිමු,” යනුවෙන් චන්ද්‍ර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම හවුල්කාරිත්වය යටතේ හඳුන්වා දෙන සියලු වාහන සඳහා මාස 24ක හෝ කිලෝමීටර් 25,000ක පුළුල් වගකීමක් හිමිවන අතර, දිවයින පුරා විහිදී ඇති සොෆ්ට්ලොජික් හි පුළුල් අලෙවියෙන් පසු සේවා ජාලය හරහා අඛණ්ඩ සහාය හිමිවනු ඇත.

සොෆ්ට්ලොජික් හි මෝටර් රථ අංශයේ (Automotive Sector) ප්‍රධාන විධායක නිලධාරී, බිෂ්රි ෆාරුක් මහතා අවධාරණය කළේ, “මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවට නව්‍ය සහ තිරසාර ප්‍රවාහන විසඳුම් ගෙන ඒමේ අපගේ උපායමාර්ගයේ ප්‍රධාන සන්ධිස්ථානයකි. ATUL රථ පෙළ, ප්‍රායෝගිකත්වය සහ විශ්වසනීයත්වය මනාව සමතුලිත කරමින්, මගී සහ භාණ්ඩ ප්‍රවාහන අංශ දෙකම සඳහා අතිවිශිෂ්ට වටිනාකමක් ලබා දෙයි.” යනුවෙනි.

ATUL හි එකම බලයලත් බෙදාහරින්නා වන සොෆ්ට්ලොජික්, ශ්‍රී ලංකාව තුළ ATUL හි ව්‍යාප්තිය මෙහෙයවීමට සූදානමින් සිටින අතර, ඒ සඳහා, ක්ෂණික වාහන ලබා ගැනීමේ හැකියාව සහ පූර්ණ සේවා යටිතල පහසුකම් දැනටමත් ස්ථාපිත කර ඇත. සොෆ්ට්ලොජික්-ATUL හවුල්කාරිත්වය, ඩීසල් මගී සහ භාණ්ඩ අංශවල ප්‍රමුඛයා වීමේ උසස් සැලසුම් සමඟින්, සියලු දෙනාටම පහසුවෙන් ළඟා විය හැකි, ප්‍රායෝගික ප්‍රවාහන විසඳුම් සඳහා සැලකිය යුතු ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර, මෙය දිවයිනේ ආර්ථික සංවර්ධනයට මෙන්ම ප්‍රවාහන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ද අතිශය වැදගත් දායකත්වයක් සපයනු ඇත.

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම ගතික සහ ප්‍රගතිශීලී විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරවලින් එකක් වන අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), සෞඛ්‍ය සේවා, සිල්ලර වෙළඳාම, මූල්‍ය සේවා, මෝටර් රථ සහ සංචාරක කටයුතු යන ප්‍රධාන අංශ හයෙහිම වෙළඳපල ප්‍රමුඛත්වය දරයි. ශ්‍රී ලංකාව, ඩුබායි සහ ඕස්ට්‍රේලියාව පුරා සේවකයින් 11,000 කට අධික ශ්‍රම බලකායක් සමඟින් ක්‍රියාත්මක වන මෙම සමූහය, උපායමාර්ගික ආයෝජන සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාම සමඟ ඇති ගෝලීය හවුල්කාරිත්වයන් හරහා දිගුකාලීන වටිනාකමක් ජනනය කිරීමේ හැකියාව වෙනුවෙන් පුළුල් ලෙස පිළිගැනේ.

 

IMG-20250801-WA0004 IMG-20250801-WA0005 IMG-20250801-WA0006 IMG-20250801-WA0007 IMG-20250801-WA0008 IMG-20250801-WA0009

වසරේ මේ දක්වා කාලය තුළ විදේශ රැකියා පැමිණිලි 2620ක්…..

මෙම වසරේ ජනවාරි සිට ජුලි මාසය දක්වා ගෙවුණු මාස 7 තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1994කට අධික මුදලක් යළි අයකර දීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීති නීතීඥ නෙළුම් සමරසේකර මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් හා කාර්‌යාංශයට ලැබුණු පැමිණිලි මත මෙම නඩු පැවරීම් සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය මාස 7 තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු ප්‍රමාණය 567ක් වන අතර, එම කාලය තුළ විවිධ පැමිණිලි 2620ක් කාර්යාංශයට ලැබී ඇත.

එමෙන්ම මෙම කාලය තුළ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදු කරන ලද වැටලීම් ප්‍රමාණය 05ක් වන අතර, ඊට නීති විරෝධි ක්‍රියාවල යෙදුණු එක් බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිතායතනයක්ද අයත් වේ.

මෙම කාලය තුළදී වංචනිකයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල පුද්ගලයින් 07ක්ද ඊට අයත් වේ.

මේ අතර, 2024 වර්ෂය තුළදී රුපියල් ලක්ෂ 1825කට අධික මුදලක් විදේශ රැකියා වින්දිතයින්ට යළි අය කර දීමට කාර්යාංශය සමත්වී ඇති අතර, පසුගිය වර්ෂයේදී විදේශ රැකියා ආශ්‍රිත පැමිණිලි 4658ක් කාර්යාංශය වෙත ලැබී තිබේ.

ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, රැමේනියාව හා මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම් සිදුවන බැවින් කාර්යාංශයෙන් විමසීම් නොකර එවැනි වංචාකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින ලෙස කාර්යාංශය මහජනතාවට දැනුම් දී ඇත.

පසුගිය කාලයේදී වංචනිකව එලෙස මුදල් ලබාගත් පුද්ගලයින් වෙතොත් එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු කාර්යාංශයේ 1989 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද  විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.

ජපානය, කොරියාව ඇතුළු රටවල් රැසකට ශ්‍රි ලාංකිකයින්ට රැකියා අවස්ථා…..

ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

එසේම නව රජය පත්වීමත් සමග විවිධ ක්ෂේත්‍රවලට දේශපාලනමය මැදිහත්වීමක් සිදුනොවන නිසා පැහැදීමට ලක්වූ දියුණු රටවල් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට නව රැකියා අවස්ථා විවර කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නව කාර්යාල පරිශ්‍රයක ස්ථාපිත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට බත්තරමුල්ලේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නාරාහෙන්පිට, මෙහෙවර පියස කාර්යාලයේ පවත්වාගෙන ගිය අතර, විගමණික ප්‍රජාවට සිදුවන අපහසුතා සලකා බලා එම අංශ බත්තරමුල්ල, ප්‍රධාන කාර්යාලය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක ස්ථාපිත කරන ලදී.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

“මේ නව ගොඩනැගිල්ල ප්‍රධාන කාර්යාලය ආසන්නයේ එකම ගොඩනැගිල්ලක පිහිටුවලා තිබෙනවා. විශේෂයෙන්ම විගමණික ශ්‍රමිකයින්ට ගැටළු රැසක් ඇතිවුණා ප්‍රධාන කාර්යාලයට බොහෝ දුරකින් මේ නාරාහෙන්පිට ප්‍රදේශයේ මේ අංශ පිහිටා තිබීම නිසා. ඒ විතරක් නෙවෙයි සේවකයින්ගෙන් පැත්තෙන් ගත්තත් ප්‍රවාහන පහසුකම් සපයාගැනීමේදී ගැටළු රැසක් ඇතිවුණා බත්තරමුල්ලේ සිට නාරාහෙන්පිට මෙහෙවර පියස කාර්යාලය වෙත පැමිණීමේදී. ඒ ගැටළුවලට විසඳුමක් වශයෙන් මේ පියවර අපි ක්‍රියාත්මක කළා. ඒ හරහා විගමණික ශ්‍රමික ප්‍රජාවට කාර්යක්ෂම සේවාවක් මේ පරිශ්‍රය තුළදී ලබාගත හැකියි.

විදේශ රැකියා ක්ෂේත්‍රය ගත්තොත් කී දෙනෙක් ගියාද කියන කාරණය තමයි අපි හිතන්නේ. ආර්ථික අපහසුතාවලින් ජනතාව පීඩා විඳිනකොට ඊට විසඳුමක් වශයෙන් තමයි විදේශ රැකියා ක්ෂේත්‍රය විවෘත වුණේ. අපේ අපනයන ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය දියුණු වෙනකොට විදේශ රැකියා ක්ෂේත්‍රයේ ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. ලෝකයේ ශ්‍රම වෙළඳපොලට ගැලපෙන අයුරින් පුහුණු ශ්‍රමිකයින් විදේශ ගතකිරීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනටත් ඒ වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඊටත් එහා ගිය ක්‍රමානුකූල වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා.

විවිධ ආයතන, විවිධ රටවල්, විවිධ අමාත්‍යාංශ එක්ව පුළුල් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය විදිහට අපි සැලසුම් කර තිබෙනවා. අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහට දියුණුවුන විදේශ රැකියා ක්ෂේත්‍රය වෙනුවට ඉතාමත් ක්‍රමානුකූලව දියුණුවුන විදේශ රැකියා ක්ෂේත්‍රයක් ඇතිකිරීමයි අපේ බලාපොරොත්තුව.

අපි රජයක් විදිහට විදේශ රැකියා ලබාදීමට මැදිහත්වීම සිදුකරන්නේ ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය සමග පමණයි. මේ රටවල් තුන සමගම නව විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදුකරමින් පවතිනවා. පසුගිය දිනවල ජපානයේ විශේෂ නියෝජිතයින් රැසක්ම අපි සමග සාකච්ඡා කළා. එහිදී මේ රැකියාවන් ඉහළ නැංවීම පිළිබඳව ඉතාමත් සුභවාදී සාකච්ඡාවල නිරතවුණා. ඒ වගේම විෂයභාර අමාත්‍යතුමා මැලේසියාවේ සංචාරය කරන අතරතුර පුහුණු ශ්‍රමිකයින් මැලේසියානු රැකියා වෙළඳපොලට යොමුකිරිම පිළිබඳවත් අවධානය යොමුවුණා.

පසුගිය කාලයේ මෙම ක්ෂේත්‍රය දේශපාලනීකරණය කිරීමත් සමගම බොහෝ ගැටළු රැසක් ඇතිවුණා. නමුත් නිර්දේශපාලනීකරණය වීම හේතුවෙන් විනිවිදභාවයකින් යුතුව මේ කටයුතු සිදුකිරීමත් සමග බොහෝ දෙනා අපිත් එක්ක වැඩකරන්න කැමති වෙලා තිබෙනවා. ඒ වගේ ගුණාත්මක වැඩපිළිවෙලක් සමග මේ ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන්න අපි අපේක්ෂා කරනවා.

ඒ වගේම ශ්‍රි ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය හරහා නව විදේශ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරනවා. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරම භාෂා හැකියාවන් වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.”