වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය…..

වාහන ආනයනය සීමා නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ඊයේ (06) දිනය වනවිට වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 1,267ක ණයවර ලිපි විවෘත කර ඇතැයි ද එය මේ වසර අවසානය වනවිට ඩොලර් මිලියන 1500 – 1800ත් අතර ප්‍රමාණයකින් ණයවර ලිපි විවෘත කරනු ඇතැයි පුරෝකතනය කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම වාහන සඳහා කිසිදු ආකාරයකින් බදු වැඩිකිරීමක් ඉදිරියේදී සිදුනොකරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

“ඒක 2022 ආර්ථිකයට තිබූ බලපෑමක් නෙමෙයි. 2023 ඒ බර ආවේ නෑ. 2024 ඒ බර ආවේ නෑ. හැබැයි අපි ඒ බර අරන් තියෙනවා. අපි දන්නවා අපේ රටේ අවුරුදු 15 – 20 පරණ වාහන තියෙනවා. ඒවට දුවන්න බෑ. නඩත්තු වියදම් වැඩියි. වාහන කියන්නෙත් කර්මාන්තයක්. ඒ නිසා රටේ ආර්ථිකයට අපි ඒක සම්බන්ධ කරගන්න ඕනේ. අපිට විශාල ආදායම් ප්‍රබවයක්. 

මෙතෙනත් තියෙනවා කුමන්ත්‍රණයක්. ඒක කියන්න ඕනේ. මෙතෙන මතයක් හදනවා, දැන් මේක වහන්න හදන්නේ කියලා. නෑ වහන්නේ නෑ. වහනවා කියලා පස්සේ ඉන්න අයත් වෙළෙඳපොළට කැඳවන කුමන්ත්‍රණයක් තියෙනවා. ඩොලර්වලට බලපෑමක් ඇති කරන්න මේ පීඩනය දෙන්න මෙතෙනට කියලා. මම දැක්කා ගොඩක් අය කියනවා, දැන් නිව්ස් හදනවා වාහන ආනයනය සීමා කරන්න හදන්නේ කියලා. එතකොට මොකද කරන්නේ ලබන අවුරුද්දේ ගන්න ඉන්න කෙනත් මේ අවුරුද්දේ ගන්නවා. ඇයි ඩොලරයට බලපෑම් ඇති කරන්න. තර්ජනය කරන්න. ඒ නිසා පුරවැසියන්ට කියනවා වාහන ආනයනය සීමා කරන්නේ නෑ. මේ විවෘත කරන ලද වෙළෙඳපොළ මේ විදියටම පවත්වාගෙන යනවා. ඔබට මේ අවුරුද්දේ ගන්න බැරි නම් ලබන අවුරුද්දේ ගන්න. හැබැයි මතයක් හදනවා මේ වෙලාවේ ගිහින් ගන්න කියලා. ඒ කැත වැඩේ යෙදෙන්න එපා. බදු වැඩි කරයි කියනවා. මේ වෙලාවෙත් බදු වැඩියි. තවත් කොහොමද බදු වැඩි කරන්නේ. කිසිම බදු වැඩි කිරීමක් කරන්නේ නෑ”

අමෙරිකානු තීරු බදු අඩු කරගැනීම ගැන අවසන් එකඟතාවයක් නෑ -ජනපති

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කිසිදු අවසන් එකඟතාවයක් ගෙන නොමැති බවත් ඒ සඳහා ගිවිසුමකට එළැඹ නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අනෝන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 20 දක්වා අඩුකර ගැනීමට සමත් වූ බවත් එය ඉදිරියේදී තවදුරටත් අඩුකරගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා සභාව අමතමින් මේ බව කියා සිටියේය.

මෙතෙක් පැවති සාච්ඡාවලදී යම් යම් එකඟතාවයන්ට පැමිණ ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස බදු ප්‍රතිශතය 20% දක්වා අඩුකර ගැනීමට හැකිවූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“අපේ වෙළෙඳ පරතරය මත තමයි අපිට 44%ක් ලැබෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ මූලධර්මය. එය 44% – 20% දක්වා අඩුකර ගැනීම සාකච්ඡා සහ ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවයේ වැදගත් ප්‍රතිඵලයක් ලෙස අපි කල්පනා කරනවා. ඒ ගැන හැම තීන්දුවක් ගැනීමේ දීම සමහර HS CODE ප්‍රමාණයක් ඔවුන්ට නිදහස් කළ යුතුව තිබෙනවා. ඊට බලපාන කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් එක්ක අපි සාකච්ඡා කළා. අපි යම් කේෂ්ත්‍රයක් විවෘත කිරීම ගැන සාකච්ඡා කරන්නේ නම් ඊට අදාළ පාර්ශවකරුවන් ගෙනල්ලා සිදුවන බලපෑම ගැන නිරන්තරයෙන් කතා කරමින් තමා අපේ කණ්ඩායම මේ සාර්ථකත්වයට පත්වුණේ. එහෙම නැතුව කාමරයක් ඇතුළේ කරන කුමන්ත්‍රණයක් විදියට නෙමෙයි.

ඒ නිසා මෙයට සහභාගී කරගත හැකි සෑම පාර්ශවකරුවෙක්ම සහභාගී කරවා ගන්න අපි වගකිව යුතු ලෙස අපි කටයුතු කළා. ඒ නිසා එක්සත් ජනපදයේ බදු ප්‍රතිපත්තිය මත ඔබතුමන්ලා බලාපොරොත්තු වුණා නම් ආර්ථිකයේ බිඳවැටීමක් ඒකත් දැන් අවසන්. තාමත් අවසන් එකඟතාවයක් නෑ. අපිට 20%ක් තිබුණා. අපි තාමත් උත්සාහ දරනවා ඒ 20%ත් අඩු කරගන්න පුළුවන් ද කියලා සාකච්ඡා අපි ආරම්භ කරලා තියෙනවා. ඒක තමා රට පැත්තෙන් අපි ගත යුතු තීරණය.”

අමෙරිකාව මෙරටට පැන වූ නව තීරුබදු අද සිට…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය යටතේ මෙරටට පනවා ඇති නව තීරුබදු අද (07) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව අමෙරිකාව විසින් මෙරටින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 20ක තීරුබද්දක් අද සිට අයකරනු ඇති.

අමෙරිකාව භාන්ඩ ආනයනය කරනු ලබන රටවල් සඳහා නව තීරුබදු හඳුන්වාදුන් අතර එහිදි ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බදු ප්‍රතිශතයක් පනවා තිබුණි.

එම බදු ප්‍රතිශතය ක්‍රියාත්මක වුවහොත් එය මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින් ඉන් සහනයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබීය.

එම සාකච්ඡාවලින් සියයට 24ක ඉහළ තීරුබදු ප්‍රතිශතයක් අඩු කරගැනීමට මෙරට නියෝජිතයින් සමත් වීමත් සමග ශ්‍රී ලංකාව සඳහා පනවනු ලැබු තීරුබදු ප්‍රතිශතය සියයට 20ක් වේ.

කෙසේවෙතත් මෙම නව බදු ප්‍රතිපත්තිය පසුගිය පළමු වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එය අද දිනය දක්වා කල් දමනු ලැබීය.

මේ අතර අමෙරිකාව පනවා ඇති තීරුබදු ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.

අමෙරිකාව පනවා ඇති තීරුබදු සඳහා මුහුණ දීමේදී ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

COPA සභාපති ඉල්ලා අස්වෙයි…..

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මේ තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා කියා සිටියේය.

රේගුවේ රඳවා ඇති BYD ගැන පෙත්සම 7 වනදා කැඳවයි…..

ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගෙන සිටින BYD විද්‍යුත් මෝටර් රථ මුදාහරින්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 07 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (05) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ආනයනික වාහන රේගුව විසින් රඳවා ගැනීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළාය.

අදාළ වාහන බැංකු බැඳුම්කරයක් මත මුදාහැරීමට රේගුවට හැකියාවක් තිබෙන බවත් ඇය අධිකරණය හමුවේ පෙන්වා දුනි.

මෙහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසියට ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ආනයනය කළ වාහන 997ක් රේගුව භාරයේ පවතින බව සඳහන් කළේය.

එම වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝවොට් 100 ද? කිලෝවොට් 150 ද? යන්න නිගමනය කිරීම සඳහා මොරටුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල විශේෂඥ මහාචාර්යවරුන් දෙදෙනෙකු සහ BYD සමාගමේ ඉංජිනේරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඔහු පැවසීය.

එම වාර්තාව ලැබෙන තෙක් අදාළ වාහන සඳහා ගෙවිය යුතු බදු අතර වෙනස ගණනය කර එම මුදල තැන්පතුවක් වශයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ගිණුමේ තැන්පත් වශයෙන් තබන්නේ නම් එම වාහන වලින් 06ක් විමර්ශන කටයුතු සඳහා රඳවාගෙන සෙසු වාහන මුදාහැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවට වගඋත්තරකරුවන්ට උපදෙස්දී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ පෙත්සම යළි මේ මස 07 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින මෙම යෝජනාව සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වයේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් නියම කෙරුණි.

ජෝන් කීල්ස් සීඩී ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ඇමරිකානු විදුලි මෝටර් රථ, තීරුබදු රහිතව ලංකාවට ගෙන්නන්න ඉඩ දෙනවාද? – ඇමති නලින්දගෙන් පිළිතුරු…

ඇමරිකාව විසින් එක් එක් රටවල් සඳහා අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සඳහා පවත්නා අනුපාතිකය 30% සිට 20%ක් දක්වා පහත හෙළන බව පසුගිය ජූලි 31 දා නිවේදනය කරනු ලැබීය. මෙම තීරුබදු අඩු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යම් කොන්දේසි සඳහා එකඟ වීමට සිදුවී ඇති බවට විවිධ වාර්තා සඳහන් කරන අතර, අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසීමක් සිදුකරන ලදී.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අදාළ තීරුබදු ප්‍රතිශතය අඩුකිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක සාකච්ඡා මේ දක්වා අවසන් වී නොමැති බවත්, ශ්‍රී ලංකාවට වාසිදායක ආකාරයෙන් මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීමට උත්සාහ දරන බවත්ය. තවද සාකච්ඡා අවසානයේ දී මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිල නිවේදනයක් නිකුත් කරනු ඇති බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රශ්නය – මේ වෙන කොට කතාබහක් යනවා ඇමරිකාව සමග බදු සහන ලබා ගැනීමට ඇති කර ගත් එකඟතා සම්බන්ධයෙන්. දැනගන්නට තිබෙන තොරතුරු අනුව ඇමරිකානු විද්‍යුත් මෝටර් රථ තීරුබදු අයකිරීමකින් තොරව ලංකාවට ගේන්න කියලා ඉල්ලීමක් වෙලා තියෙනවා කියලා තොරතුරු තියෙනවා. ඒ වගේම ලංකාවෙන් ඇමරිකාවට අපනයන කරන නිමි ඇඳුම්වල ගොඩාක්ම පාවිච්චි කරන්නේ චීන උපාංග. ඒ සම්බන්ධයෙන් සලකා බැලීමක් කරන්න කියලා ඉල්ලීමක් ලැබිලා තියෙනවා කියලා තොරතුරු තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා සතුව යම්කිසි තොරතුරක් තිබෙනවාද? ඇමරිකානු තීරුබදු සම්බන්ධයෙන් රජයේ සාකච්ඡා අවසන්ද, නැතිනම් තවදුරටත් ක්‍රියාත්මකද?

පිළිතුර – සාකච්ඡා තවම අවසන් නැහැ. ඒ 20% මත පදනම් වෙලා ඉදිරියට යනවා, තීරුබදු අඩු කරන්නේ මොනවාද, ඒ කියන යෝජනා සම්බන්ධයෙන්. එකගතා අවසන් නැහැ. සාකච්ඡා අවසන් නැහැ. සාකච්ඡා අවසන් වුණාට පසුව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කරාවි ඒක තත්ත්වය මොකක්ද කියලා. අපි තවමත් උත්සාහ කරමින් සාකච්ඡා කරමින් ඉන්නවා, රටට වාසිදායක විදියට මේ තත්ත්වය කළමනාකරණය කරගන්න. 

රටටම Starlink දෙන්න ඊලෝන් මස්ක් සමඟින් ධම්මික පෙරේරා එක්වෙයි

නොබෝදා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමි වූ ස්ටාර්ලින්ක් සැටලයිට් අන්තර්ජාල සේවාවට අදාළ උපාංග සඳහා මෙරට නිල බෙදාහරින්නා වශයෙන් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී පත් කර ඇති බව වාර්තා වේ.

සිංගර් (ශ්‍රී ලංකා) හි නිල ෆේස්බුක් පිටුවෙහි මේ බව ඉඟි පළකරමින් සටහනක් තිබෙන අතර ඉතා නුදුරේ දීම මේ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර Starlink Sri Lanka Official ෆේස්බුක් පිටුව විසින් මේ බව තහවුරු කරමින් පහත නිවේදනය පළ කර ඇත.

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී යනු මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරන හේලීස් සමූහයට අයත් ලැයිස්තුගත සමාගමකි. සිංගර් (ශ්‍රී ලංකා) හි 67.13%ක කොටස් හිමිකාරීත්වය හේලීස් පීඑල්ස් සතුවන අතර, හේලීස් හි 51.01% ක කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා සතුව පවතී.

ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ඊලෝන් මස්ක් ස්ටාර්ලින්ක් හි හිමිකරුවා වන අතර ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකේ.

ස්ටාර්ලින්ක් යනු අධිවේගී අන්තර්ජාල පද්ධතියක් වන අතර එය ෆයිබර් ඔප්ටික් කේබල්වලට වඩා වේගයෙන් දත්ත හුවමාරු කිරීමට සමත් චන්ද්‍රිකා දහස් සංඛ්‍යාවකින් සැදුම්ලත් පද්ධතියකි. පෘථිවියට ආසන්න කක්ෂයක් හෝ පහළ ප්‍රථිවි කක්ෂයක් තුළ මෙම චන්ද්‍රිකා ස්ථාන ගත කර තිබේ.

උදෑසන වාර්තා තැබූ කොටස් වෙළෙඳපොළ සවස් යාමයේ පසුබසී….

අද (04) උදෑසන ගනුදෙනු ආරම්භයේ දී ඉතිහාසයේ මුල්වරට ඒකක 20,000 සීමාව අතික්‍රමණය කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සමත් වුව ද දිනය අවසන් වූයේ එහි ඒකක 128.02ක පහළ යාමක් වාර්තා කරමිනි.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,786.23ක් දක්වා පහළ ගොස් තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 37.14කින් පහළ ගොස් ඒකක 5,857.61ක් ලෙසින් දිනය අවසානයේ දී සටහන් වුණි.

අද සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප්, NDB,ඇක්සෙස් ඉජිනියරින්ග් සහ බුකිට් ඩාරා ඇතුළුව සමාගම් 165ක කොටස් මිල පහළ යාම් හේතු වී තිබුණි.

අද ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.53ක් ලෙසින් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.46ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.45 ක් ලෙසින් සටහන් වී තිබුණි.

විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 74ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 82ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය……

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (04) සිය සහතිකය සටහන් කළේය.

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව මෙම පනත සංශෝධනය මගින් තනි කොටස් හිමියෙකු සමඟ සමාගමක් සංස්ථාගත කිරීමට ඉඩ සලසාදීම සමාගමක නම වෙනස් කරන විට මහජනයාට දැනුම් දීමේ කාල සීමාව වැඩ කරන දින 20ක් දක්වා දීර්ඝ කිරීම, හාරක සඳහා වූ කොටස් බලපත්‍රයක් හෝ හාරක කොටස් බලපත්‍රයක් නිකුත් කිරීම තහනම් කිරීම, හාරක සඳහා වූ කොටස් බලපත්‍රයක් හෝ හාරක කොටස් බලපත්‍රයක් නිකුත් කිරීම පිළිබඳ සමාගම වෙත දැනුම් දීම හා බලපත්‍ර දරන්නාගේ තොරතුරු සමාගම් ලේකම් වෙත පනතේ දින සිට දින 60 ක් ඇතුළත හෙළිදරව් කිරීමේ වගකීම එම බලපත්‍ර දරන්නා වෙත පැවරීම, ප්‍රතිෂ්ඨාව ලැබීමෙන් පසු සමාගමක් විසින් ප්‍රතිෂ්ඨාව ලද දින සිට දින 20ක් ඇතුළත කොටස් විභජනය කළ යුතු වීම මෙම පනතේ විධිවිධානවල ඇතුළත්  වේ.

තවද කොටස්වල “අර්ථලාභී අයිතිය” සම්බන්ධයෙන් නව විධිවිධාන හඳුන්වා දීම, එනම් අර්ථලාභී අයිතිකරුවන් පිළිබඳ තොරතුරු, ලේකම්වරුන් සහ අධ්‍යක්ෂවරුන් විසින් විස්තර රෙජිස්ට්‍රාර්වරයාට හෙළිදරව් කිරීම, රෙජිස්ට්‍රාර්වරයා විසින් එම තොරතුරු පිළිබඳ වාර්තා තබා ගැනීම, සමාගමක අර්ථලාභී අයිතිය පිළිබඳ තොරතුරු රෙජිස්ට්‍රාර්වරයා විසින් මහජනතාව වෙත ලබා දීම, සමාගමක් හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් අර්ථලාභී අයිතිකරුවන් පිළිබඳ විස්තර රාජ්‍ය බලධාරීන් වෙත ලබා දිය යුතු බව සහ “අර්ථලාභී අයිතිය” සහ “සඵල පාලනය” සඳහා නව අර්ථකථන ඇතුළත් කිරීම මෙම පනත සංශෝධනය කිරීම මගින් සිදුවේ.

එමෙන්ම ඇතැම් ලේඛන සහ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා සමාගමකට ලබා දෙන කාල සීමාවක් දීර්ඝ කිරීමට රෙජිස්ට්‍රාර්වරයාට බලය ලබා දීම, නම කපා හරින ලද සමාගමකට නිශ්චිත කාල සීමාවක් තුළ නැවත ලියාපදිංචි වීමට සහ රජය සතු කරන ලද එහි දේපළ නැවත ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීම, ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා සමාගම් ආරවුල් මණ්ඩලයට යොමු කිරීමේ හැකියාව පුළුල් කිරීම, සමාගම් අධ්‍යක්ෂවරුන් ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය සංශෝධනය කිරීම, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ යම් නිලධාරීන් පන්තියකට මුදල් විෂය භාර අමාත්‍යවරයා විමසා දිරි දීමනා ගෙවීමට ප්‍රතිපාදන සැලසීම,  සාමාන්‍ය දඬුවම් සඳහා විධිවිධාන සැලැස්වීම සහ  ප්‍රධාන ප්‍රඥප්තියේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පාඨවල දෝෂ නිවැරදි කිරීම සඳහා උපලේඛනයක් සැපයීම මෙම පනත සංශෝධනය මගින් සිදුවේ.

මෙම සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 ජුනි මස 05 වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මෙම සමාගම් ( සංශෝධන) පනත් කෙටුම්පත  2025 අංක 12  දරන  සමාගම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

ඉතිහාසයේ ප්‍රථම වරට ASPI ඒකක 20000 ඉක්මවයි…..

අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 20,000 සීමාව ඉක්ම වීමට සමත් විය.

ඒ වන විට රු. මිලියන 432 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.