සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ….

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර තිබේ.

මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්‍රේල් මස 1 වන දා සිට බලාත්මක වන අතර
එය රු මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර තිබේ.

ඒ අනුව මෝටර් වාහන, සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කර ඇත.

සංචාරක පැමිණීමේ ඉලක්කවලට බාධා – සතියකට පාඩුව ඩොලර් මිලියන 10ත් 12ත් අතර අගයක්….

මැදපෙරදිග ඇති වූ යුදමය වාතාවරණය හමුවේ මාර්තු මාසයේ දී බලාපොරොත්තු වූ සංචාරකයින්ගේ පැමිණීමේ ඉලක්කයන් සපුරාගැනීමට නොහැකි වූ බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

අද (03) කෙළඹදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ වැඩිම සංචාරක වෙළෙඳපොළ වන්නේ ඉන්දියාව බවත් ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ගේ පැමිණිමට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම යුරෝපා රටවල් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හරහා සෘජුවම ගුවන් ගමන් ඇරඹීමට මේ වන විට කටයුුතු යොදා ඇති බැවින් ඉදිරියේදී යුරෝපයෙන් පැමිණෙන සංචාරකයින්ට කිසිදු ගැටලුවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට සහ නැවත පිටත්ව යාමට හැකි බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

“මාර්තු මාසේ තමයි අපි ඉතිහාසයේ වැඩිම ලක්ෂ 3ක් වැනි සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ආකර්ශනයකර ගන්න බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් යම් අඩුවීමක් තියෙනවා. යුරෝපාකරයෙන් සංචාරකයින් පැමිණෙන්නේ මැදපෙරදිග හරහා. ඉතින් ඩුබායි, අබුඩාබි, කාටර් වැනි ගුවන්තොටුපොළවල් වසා දැමීමත් එක්ක අඩුවක් තියෙනවා. නමුත් වැඩිම වෙළෙඳපොළ අපේ ඉන්දියාව නිසා අපේ විශාලම වෙළෙඳපොළට ගැටලුවක් නෑ. එවගේම චීනය, ඔස්ට්‍රේලියාව,නවසීලන්නය, අමෙරිකාව මේ වගේ රටවලින් පැමිණෙන සංචාරකයින් සාමාන්‍ය ලෙස පැමිණෙනවා. යුරෝපයටත් සෘජු ගුවන් ගමන් දැන් ශ්‍රී ලන්කන් ආරම්භ කරලා තියෙනවා අනෙකුත් ගුවන් මාර්ග හරහා. ඒ අනුව එහෙන් පැමිණෙන අයටත් මෙහෙන් යන්න ඉන්න අයටත් යම් පහසුවක් අපි සලසල තියෙනවා ශ්‍රී ලන්කන් හරහා. තවමක් ඉතිහාඩ්, කටාර් වැනි ගුවන් සමාගම් සිය මෙහෙයුම් ආරම්භ කරලා නෑ.”

“දවසකට 25ක් 30ක් අතර සංඛ්‍යාවක් මැදපෙරදිග හරහා එනවා. මේ වෙනකොට පැමිණෙන්නේ නෑ. ශ්‍රී ලංකාවේ සතියකට සංචාරක කර්මාන්තයට අදාළව ඩොලර් මිලියන 10ක 12ක වගේ අහිමිවීමක් අපිට සිදුවෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ යුද්ධය අදාළ පාර්ශව විසින් සාකච්ඡා කරලා අවසාන වෙයි කියලා. “

“එමෙන්ම මැදපෙරදිග ඉන්න ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙනුක් අපි ඉතාම අවධානයෙන් ඉන්නවා. මෙරටට ඒමට අවශ්‍යතාවයක් තියෙන අයට තානාපති කාර්යාල හරහා සම්බන්ධවෙලා ඒ කටයුතු කරගන්න. රජයක් විදියට අපි ඒකට මැදිහත් වෙලා කටයුතු කරන්න සූදානමෙන් ඉන්නවා.”  

“සංචාරක පැමිණීමෙන් 30%ක් පමණ තමා මැදපෙදිගින් පැමිණෙන්නේ. එමෙන්ම මැදපෙරදිග වැසියන් එන්නේ නෑ එයාල රාමදාන්වල ඉන්න නිසා. මැදපෙරදිග හරහා යුරෝපයෙන් එන අයට තමා මේ බලපෑම ඇති වෙලා තියෙන්නේ. අනිත් එවාගේ කිසිදු ගැටලුවක් නෑ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා.”

මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් – තැපැල්පති….

මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් විවිධ රටවල් වෙත භාණ්ඩ යැවීමේ කටයුතු වලට බාධා එල්ල වී ඇති බව තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා පැවසීය.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පසුගිය සිකුරාදා භාරගත් භාණ්ඩ කිහිපයක් මේ වනවිටත් යැවීමට නොහැකි වී ඇති බවයි.

මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට භාණ්ඩ යැවීම සීමා වී ඇති අතර, ඇතැම් භාණ්ඩ යැවීමේදී බාධා ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.

විශේෂයෙන්ම එම කලාපය වෙත සිදුකරන ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු වී ඇති බැවින් ජාත්‍යන්තර තැපැල් සේවා කටයුතු සෘජුවම බලපෑමට ලක්ව තිබේ.

ප්‍රමාදවීම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ද පියවර ගත් බව සඳහන් කළ තැපැල්පතිවරයා, ඒ ඒ රටවල තැපැල් පරිපාලන සමඟ අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගෙන යන බවද පැවසීය.

යථා තත්ත්වය යළි ස්ථාපිත වූ වහාම ජාත්‍යන්තර තැපැල් සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයක් තුළ භාණ්ඩ ප්‍රමාද වීම හේතුවෙන් විශේෂයෙන්ම නරක් වීමට ඉඩ ඇති භාණ්ඩ සම්බන්ධයෙන් අවදානම් පවතින බැවින්, ඒවා පාලනයෙන් තොර විය හැකි බවද ඔහු අවධාරණය කළේය.

එබැවින්, මේ අවස්ථාවේ පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමින් විදේශයන් වෙත භාණ්ඩ යැවීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

භාණ්ඩ අදාළ ගමනාන්ත වෙත යැවීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේ අපහසුතා පවතින්නේ ශ්‍රී ලංකාවට පමණක් නොව, අනෙකුත් රටවලටද වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අඛණ්ඩව ඉන්ධන බෙදාහරින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි…..

අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, හෙට (02) දිනයේදීත් සුපුරුදු පරිදි ඉන්ධන බෙදාහැරීම සිදු කරන බවය.

අද (01) නිවාඩු දිනයක් වූවත් සේවකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉන්ධන බෙදාහැරීමට කටයුතු කළ බව ද සභාපතිවරයා කීය.

ඒ අනුව අද පස්වරු 5.00 වනවිට ඩීසල් ලීටර් 1,332,311ක් ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් 2,019,600ක් ද බෙදා හැර ඇති බව ඩී.ජේ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම නිවාසවල ඉන්ධන තොග රැස්කර තබාගැනීම නීතිවිරෝධී ක්‍රියාවක් බව හෙතෙම පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියෙන් ඉල්ලා ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝක තෙල් මිල 10% කින් ඉහළට – බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යාමේ අවදානමක්….

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා යුදමය තත්ත්වයක් නිර්මාණය වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ.

විදේශ මාධ්‍ය වාර්තා කරන පරිදි, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල 10% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, මේ වන විට එහි බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80 සීමාවට පැමිණ ඇත.

පවතින ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත්, බොරතෙල් බැරලයක මිල නොබෝ දිනකින්ම අමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බව පැවසේ.

විශේෂයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇති බව සඳහන් වේ.

“නවෝත්පාදනයන් තුළින් මුල්‍ය අන්තර්ගතභාවය කරා” යන තේමාව යටතේ ලංකාපේ ටෙක්නොවේෂන් 2026 සම්මාන උළෙල….

ලංකාවේ ජාතික ගෙවීම් ජාලයෙහි ක්‍රියාකරු වන ලංකාපේ ආයතනය – ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙල වන ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උළෙල (LankaPay Technnovation Awards) අට වන වතාවටත් සංවිධානය කරන බව 2026 පෙබරවාරි මස 25 වෙනි දින කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය සමුළුවකදී නිවේදනය කළේය.

මුල්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවදානයක් දිනාගෙන ඇති මෙම සම්මාන උළෙල මෙවරත් ආරම්භ වූයේ ‘වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් විසඳුම ් සඳහා වන ඔන්ලයින් මත විමසුමත් සමඟිනි. අවසාන සම්මාන රාත්‍රිය 2026 මාර්තු මස 24 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

අවසන් මහා සම්මාන උළෙල, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහි අනෙකුත් ගරු ආරාධිත අමුත්තන් ලෙස ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු චිරංග වීරරත්න මහතා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහභාගිවීමට නියමිතයි.

අඛණ්ඩව දෙවන වසරටත් හවුල්කාරීත්වය සනිටුහන් කරන Mastercard සහ ගිය වසරේ ප්ලැටිනම් අනුග්‍රාහකයෙකු වූ BPC ආයතනය මෙවර සම්මාන උළෙලේ උපායමාර්ගික හවුල්කරුවන් ලෙස සම්බන්ධ වේ. ප්ලැටිනම් අනුග්‍රාහකයින් ලෙස UnionPay ඉන්ටර්නැෂනල් ආයතනය සහ NOVUS Technologies ආයතනය කටයුතු කරන අතර, මෙය UnionPay ඉන්ටර්නැෂනල් ආයතනය මෙම සම්මාන උළෙල සදහා අනුග්‍රාහකත්වය ලබා දෙන සිව්වන අවස්ථාව වේ.

ස්වර්ණ අනුග්‍රාහකයා ලෙස Alipay+, අඛණ්ඩව තුන්වන වසරටත් හවුල්කාරීත්වය සනිටුහන් කරයි. රජත අනුග්‍රාහකත්වය JCB ඉන්ටර්නැෂනල් ආයතනය සහ සිංගප්පූරුවේ NETS සමාගම විසින් සලසනු ලැබේ. JCB ඉන්ටර්නැෂනල් ආයතනය ආරම්භයේ සිටම අනුග්‍රාහකයෙකු ලෙස මෙම සම්මාන උළෙල හා හවුල් වී සිටින අතර NETS සිංගප්පූරු සමාගම මෙලෙස අනුග්‍රාහකත්වය දක්වන පස්වන අවස්ථාව මෙයවේ. Rolling & Action ආයතනය නිල නිර්මාණාත්මක සහකරු සහ Daily Mirror, Daily FT, Sunday Times, ADA Derana BIZ, FM có ໖໑ TV có 50 මාධ්‍ය අනුග්‍රහය දක්වයි.

2017 දී ආරම්භ කරන ලද ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ මුල්‍ය සේවා අංශයේ තාක්ෂණික නවෝත්පාදනවල පුරෝගාමීන් ඇගයීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන සම්මාන උළෙලයි. ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රට තුල ඩිජිටල් ගෙවිම් ක්‍රම ප්‍රචලිත කිරීම උදෙසා නොසැලෙන දායකත්වයක් ලබාදෙන සහ ඒ හරහා පාරිභෝගික පහසුව ඉහළ නැංවීමට මූලිකත්වය ගත් බැංකු, මුල්‍ය ආයතන, FinTech ආයතන සහ රාජ්‍ය ආයතන ඇගයීමට ලක් කිරීම මෙම සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණයි.

2026 සඳහා වන සම්මාන නිර්ණායකය ලෙස 2025 ජනවාරි 1 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ අන්තර් බැංකු ගනුදෙනු සලකා බලයි. බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන, FinTech සේවා සපයන්නන් සහ රාජ්‍ය ආයතන සම්මාන කාණ්ඩ 12ක් යටතේ තරඟ වදිනු ඇත. මෙම කාණ්ඩ අතරට 2025 වසරේ ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය සඳහා සමස්ත සම්මානය, පාරිභෝගික පහසුව අතින් විශිෂ්ටතම මුල්‍ය ආයතනය, මූල්‍ය ඇතුළත්භාවය සඳහා හොඳම මූල්‍ය ආයතනය, නව්‍යකරණයන් අතින් විශිෂ්ටතම මූල්‍ය ආයතනය, වඩාත් ජනප්‍රිය ඩිජිටල් ගෙවීම් විසඳුම, සිල්ලර ගෙවීම් සඳහා හොඳම ඩිජිටල් ගෙවීම් යෙදුම, දේශසීමා ගනුදෙනු සඳහා හොඳම සක්‍රීය කරන්නා, හොඳම රාජ්‍ය ආයතන වෙත ඩිජිටල් ගෙවීම් සක්‍රීය කරන්නා, GovPay සඳහා හොඳම රජයේ ආයතනය, හොඳම LankaPay කාඩ්පත් සක්‍රීය කරන්නා, LankaSign ඩිජිටල් අත්සන් සඳහා හොඳම සක්‍රීය කරන්නා සහ හොඳම ඩිජිටල් ගෙවීම් උපාය මාර්ගය සඳහා සම්මානය ඇතුළත් වේ.

මෙවර LankaPay ටෙක්නොවේෂන් 2026 සම්මාන උළෙල සඳහා විනිශ්චය මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති රජීව බණ්ඩාරනායක මහතායි. බණ්ඩාරනායක මහතා ලෝක කොටස් හුවමාරු සම්මේලනයේ (WFE) නාමයෝජනා සහ පාලන කමිටුවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි. දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) ව්‍යවස්ථාපිත ගිණුම්කරණ ප්‍රමිති කමිටුවේ සහ ගිණුම්කරණ ප්‍රමිති කමිටුවේ සභාපති, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා Ernst & Young සමාගමේ හිටපු දේශීය කළමනාකාර හවුල්කරු මනිල් ජයසිංහ මහතා; BDO Partners විගණන සමාගමෙහි කළමනාකාර හවුල්කරු සහ ව්‍යවස්ථාපිත විගණන ප්‍රමිති කමිටුවේ හිටපු සභාපති සුජීව රාජපක්ෂ මහතා; B R ද සිල්වා සහ සමාගමේ හවුල්කරු සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා; හේමාස් C O E (පුද්ගලික) සමාගමේ සාමාන්‍යාධිකාරී – හවුල් සේවා සහ CA ශ්‍රී ලංකා විසින් සංවිධානය කරනු ලබන TAGS සම්මාන උළෙලේ 2025/26 වසර සඳහා සභාපති චමිලා කුරේ මෙනවිය; සහ ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාණිජ්‍ය ව්‍යවසාය වන කප්රුක PLC හි නිර්මාතෘ සහ සභාපති දුලිත් හේරත් මහතා විනිශ්චය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරයි

ඉන්දියාව – ශ්‍රී ලංකාව යා කරන ශ්‍රීලංකන් මෙහෙවර තවදුරටත් පුළුල් වෙයි…..

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී අනාවරණය කරන ලද්දේ දකුණු ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක සේවා ප්‍රදර්ශනයක් වන SATTE 2026 ප්‍රදර්ශනයට සමගාමීව දෙරට අතර ගුවන් ගමන් සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇති බවයි. මීට අමතරව මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව ගමනාන්ත පිළිබඳ තොරතුරු රැසක්ද අනාවරණය කරන ලද අතර, ඉන්දියානු ජනමාධ්‍ය සමඟ ගනුදෙනු කිරීම සඳහා විශේෂ පදනමක්ද හඳුන්වා දෙන ලදී. ඉන්දියාව යනු ශ්‍රීලංකන් ගුවන් සේවයට අතිශය වැදගත් වෙළඳපොළක් වන අතර, මේ සියල්ල ශ්‍රීලංකන් ගුවන් සේවය සහ එහි සේවාවන් සම්බන්ධයෙන් එරට ජනතාව වැඩි වැඩියෙන් දැනුවත් කිරීම සඳහා මහෝපකාරී වනු ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙන්ම ඉන්දියාව සහ ලෝකය අතර ගුවන් ගමන් සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය දීර්ඝ කාලයක පටන් සුවිශාල කාර්යභාරයක් ඉටු කර තිබේ. මේ වන විට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර සතියකට ගුවන් ගමන් වාර 90 ක් පමණ ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී එය තවත් ඉහළ යාමට නියමිතය. ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශාලතම වෙළඳපොළ ඉන්දියාව වන අතර, එය ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමස්ත මගී ගමනාගමනයෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් සහ දිවයිනට පැමිණෙන සමස්ත සංචාරකයින්ගෙන් 23% ක් පමණ වේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය දැනට ඉන්දියාවේ චෙන්නායි, මුම්බායි, දිල්ලි, හයිද්‍රාබාද්, බැංගලෝර්, කොචි, ත්‍රිවේන්ද්‍රම්, මදුරෙයි සහ තිරුචිරප්පලි යන නගර වෙත පියාසර කරන අතර, 2026 වසර ආරම්භයේ සිට සතිපතා ඉන්දියාව වෙත සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවයේ 10 වන ඉන්දියානු ගමනාන්තය වන අහමදාබාද් ඉක්මනින්ම මෙම ජාලයට එක්වීමට නියමිතය. මේ ආකාරයට සාමාන්‍යයෙන් නිතර ගුවන් ගමන් සිදු වන ප්‍රධාන නගර මෙන්ම, සාපේක්ෂව අඩු ගුවන් සම්බන්ධතා සහිත, නැගී එන වෙළඳපොළවල් ලෙස සැලකෙන නගර වෙතද පියාසර කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය අවධානය යොමු කර තිබේ.

අහමදාබාද් වෙත ගුවන් සේවා ආරම්භ වීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ ප්‍රධාන නගර අටෙන් හයක්ම ආවරණය කරනු ඇත. මෙය වසර පුරා පවතින ඉල්ලුම සහ දෙරට අතර ශක්තිමත් සංස්කෘතික සබඳතා උපයෝගී කර ගනිමින්, ආර්ථික වශයෙන් ලාභදායී වෙළඳපොළක් වෙත සපයන සේවා තවදුරටත් ශක්තිමත් කිරීමකි. මෙම සැලසුම් හේතුවෙන් මෙම වසරේදී ඉන්දියානු ගුවන් මගීන් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කිරීම 12% කින් පමණ වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විවේකය ගතකිරීම, ව්‍යාපාර කටයුතු සහ ඥාති හිතමිත්‍රාදීන් බැලීමට යාම මෙන්ම විවාහ මංගල්‍යයන් සහ වෙනත් උත්සවවලට සහභාගී වීම දක්වා විවිධාකාර වූ අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියානු මගීහු ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරති.  ශ්‍රී ලංකාව හැර වෙනත් රටවල් වෙත ගමන් කරන විටද ඉන්දියානු මගීන්ගෙන් 30% ක් පමණ කොළඹ හරහා ගමන් කරන අතර, මෙම මගීන් වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය තම ගුවන් යානා හෝ හවුල්කාර ගුවන් සේවාවන්ට අයත් ගුවන් යානා භාවිතයෙන් (Codeshare ක්‍රමයට) මැදපෙරදිග, මාලදිවයින, ඈත පෙරදිග, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව යනාදී රටවල් හා කලාප රැසක් වෙත ගුවන් ගමන් පහසුකම් සපයයි.

ශ්‍රී ලංකාවේ සංචාරක ඉලක්ක සපුරා ගැනීමට අත්වැලක් වීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය සහ වෙනත් හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකාවේ උත්සව, ආහාරපාන, සුවතා සේවා, සුන්දර වෙරළ තීරයන්, වනජීවීන්, ඉතිහාසය සහ ආගමික කටයුතු ආදිය පිළිබඳ තොරතුරු ලෝකය වෙත රැගෙන යමින්, ශ්‍රී ලංකාව යනු ආකර්ෂණීය ගමනාන්තයක් බව ඉන්දියානු සංචාරකයන්ට පෙන්වා දීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය දැවැන්ත කාර්යභාරයක් ඉටු කර තිබේ. ඉතා මෑතකදී ඉන්දියානු සංචාරකයන්ට ඓතිහාසික රාමායණයේ ඇසින් ශ්‍රී ලංකාව දකිමින් එහි ඓතිහාසික අපූර්වත්වය වර්තමාන ලෝකය තුළ අත්විඳීමට අවස්ථාව උදා කර දීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සම්මානලාභී ‘Ramayana Trail’ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවන ලදි.

ඉන්දියානු මගීන්ගේ ගුවන් ටිකට්පත් මිලදීගැනීම් අතරින් 60% ක් පමණ සංචාරක නියෝජිතයන් සහ සංචාරක වෙබ් අඩවි ආදිය හරහා සිදු වන අතර, ඉතිරි 40% සෘජුවම ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය හරහා සිදු වේ. තම ඩිජිටල් හැකියාවන් වැඩිදියුණු කරන අතරම හවුල්කාර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉහත සඳහන් කාණ්ඩ දෙකටම අයත් මගීන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉලක්කය වී ඇත.

වැඩිදුර තොරතුරු සහ වෙන්කරවාගැනීම් සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න.

කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. අද රු. බිලියන 5ට ආසන්න පිරිවැටුමක්….

පසුගිය දිනවලට සාපෙක්ෂව කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ සක්‍රීය බවක් අද (26) දින දැකගන්නය ලැබුණි. ඒ අනුව ප්‍රධාන මිල දර්ශකවල වර්ධනයක් ද දිනය තුළ දැක ගත හැකි විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 78.13කින් ඉහළ ගොස් ඒකක 23,781.23ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 24.90කින් ඉහළ ගොස් ඒකක 6,710.17ක් ලෙසින් සටහන් විය.

අද දින ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 4.91ක් ලෙසයි.

එහි දී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.66 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 4.85ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 249 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 55ක් ලෙසින් වාර්තා විය.

කොළඹ ඉඩම්වල තක්සේරු වටිනාකම ඉහළට…..

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, ඉහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී සියයට 10.6කින් වර්ධනය විය.

මෙම වර්ධනය, ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක වන නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහිම පිළිබිඹු වූ අතර, ඒවා පිළිවෙළින් සියයට 12.4ක, 11.3ක සහ 8.0ක වාර්ෂික ඉහළයෑම් වාර්තා කළේය.

මේ අතර, 2025 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අර්ධ වාර්ෂික පදනම අනුව මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. මෙහිදී, වාණිජ සහ නේවාසික අනු දර්ශක ඉහළ වර්ධන වේගයන් පෙන්නුම් කළේය.

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට….

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද (22) දින දිවයිනට පැමිණ තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ, එමඟින් ගෘහස්ත ගෑස් සිලින්ඩර 300,000 නිකුත් කිරීමට නියමිත බවය.

එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් සහ 3700ක් රැගත් නෞකා දෙකක් ලබන 24 සහ 28 යන දිනයන්හිදී මෙරටට ළඟාවීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් අදත් (22) දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පැවති බවට තොරතුරු වාර්තා විය.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයින්ගෙන් තොරතුරු ලැබුණු අතර ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබිණි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය ක‍ළේ අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති අතර පෙබරවාරි මාසය අවසන්වීමට පෙර ගෑස් නෞකා තුනක් පැමිණීමට නියමිතව ඇති බවය.

මාර්තු මස 12 වැනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළඳවෙළෙපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගියදා කියාසිටියේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන වෙළෙදුන් පවසන්නේ ගෑස් පැමිණෙන නිශ්චිත දිනයක් සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම තමන්ව දැනුවත් කර නොමැති බවය.